Friday, April 19, 2024

ජපානයේ සැලසුමකට මිනුවන්ගැටේදී හැදුණු සුපිරි බස් නැවතුම ගැන නොකියැවුණු කතා මෙන්න !

Must read

wifi_bus_holt_7වාරියපොල , මිනුවන්ගැටේ ප්‍රදේශයේ තරුණ පිරිසක් එක්ව රුපියල් ලක්ෂ දොළහක පමණ වියදමකින් ඉදිකරනු ලැබූ නවීන පහසුකම්වලින් යුත් බස් නැවතුම්පොළක් ජනතා අයිතියට පත්කිරීම පසුගියදා සිදුකෙරිණි.

ප්‍රදේශයේ ජනතාවට කලෙක පටන් තිබූ අඩුපාඩුවක් සම්පූර්ණ කරමින් මිනුවන්ගැටේ, ඉස්කෝල හන්දියේ ඉදි වූ මෙම බස් නැවතුම්පොළ වෙනුවෙන් කිසිදු දේශපාලනඥයෙකුගේ , රජයේ හෝ වෙනත් අනුග්‍රාහකයින්ගේ ආධාර උපකාර ලබාගෙන නැති අතර “සත් සිත් මිතුරු සුභසාධක සංමය “නැමැති ස්වේච්ඡා සංවිධානයක සාමාජික තරුණ තරුණියන්ගේ මූල්‍ය හා ශ්‍රම දායකත්වයෙන් බස් නැවතුම්පොළෙහි සියලු ඉදිකිරීම් සිදුකිරීම විශේෂත්වයකි.

අන්තර්ජාලය හරහා ලබාගත් ජපානයේ පිහිටි බස් නැවතුම්පොළක ආකෘතියකට අනුව පරිසර හිතකාමී ලෙස ඉදිකර ඇති මෙම බස් නැවතුම්පොළේ සැකිල්ල සැහැල්ලු යකඩ වර්ගයක් සහ ඝණකම් වීදුරු උපයෝගි කර ගනිමින් නිමවා ඇත. රාත්‍රී කාලයේදී බස් නැවතුම්පොළ ආලෝකවත් කෙරෙන විදුලි ආලෝක පද්ධතියක්ද ඊට සවිකර ඇති අතර ඊට විදුලිය සැපයෙන්නේ බස් නැවතුමෙහි වහළයට සවිකළ සූර්ය පැනලයක් මගිනි. අතිශය ආකර්ශණීය ලෙස නිමවා ඇති මෙම බස් නැවතුම්පොළ පරිහරණය කරන අයගේ පහසුව පිණිස ගුදමක හැඩය ඇතිව ඔප දැමූ ලීයෙන් නිමකළ කසළ බදුනක්ද එහි සවිකර තිබේ. මගීන්ට වාඩිවීමට ඔප ගැන් වූ ලීයෙන් නිමවූ සුවපහසු බංකුවකින් සමන්විත බස්නැවතුම්පොළහි ගෙබිම ටයිල් අතුරා අලංකාර කර තිබේ. බස් නැවතුම්පොළෙහි ආරක්ෂාව පිණිස සවිමත් ආරක්ෂිත වැටකින් මෙන්ම අලංකාර මල් වගාවකින්ද එය හැඩ වැඩ කිරීමට සත් සිත් මිතුරු තරුණ පිරිස කටයුතු කර තිබේ.

ඉදිරියේදී මෙම බස්නැවතුම්පොළට අන්තර්ජාල පහසුකම්ද ලබාදීමට තරුණ පිරිස සැලසුම් කර ඇති අතර ඒ හරහා මගීන් වෙත වයිෆයි පහසුකම්ද නොමිලයේ සැපයීමට කටයුතු කරන බවද ඔවුහු කියති. අනුරාධපුර – කුරුණෑගල මාර්ගයේ බස් ධාවන කාලසටහනක්ද මෙහි ප්‍රදර්ශණය කිරීමට නියමිත අතර බස් නැවතුම්පොළෙහි සියලු නඩත්තු කටයුතුද තමන් විසින්ම සිදුකරන බව සත් සිත් මිතුරු සුභසාධක සංගමයේ සාමාජිකයෝ කියති.

බස්නැවතුම්පොළ විවෘත කිරීමේ පසුගිය දෙසැම්බර් 31 වැනිදා පස්වරු 6.02 ට යෙදුණු සුබ නැකැතින් ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේ, වාරියපොළ පොලිස් ස්ථානාධිපතිවරයා සහ සිංහල සහ මුස්ලිම් ජාතින් නියෝජනය කරන වැඩිහිටියන් කිහිපදෙනෙකුගේ අතින් සිදු වූ අතර ඒ සදහා කිසිදු දේශපාලනඥයෙකුට ආරාධනා නොකර තිබීමද විශේෂත්වයකි.

ඡායාරූප සහ විස්තර –  සුනිල් එස් පැල්ලන්දෙණිය wifi_bus_holt_1 wifi_bus_holt_2 wifi_bus_holt_3 wifi_bus_holt_6 wifi_bus_holt_4 wifi_bus_holt_5

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article