Friday, March 29, 2024

රුපියල් 7000 න් ඇරැඹූ ව්‍යාපාරයෙන් ලෝකය ජයගත් ” ගලුකු ” කතාකරයි !

Must read

galuku_1පොල්ගස හැදින්වෙන්නේ කප්රුකක් ලෙසය. ඒ ප්‍රයෝජනයකට නොගෙන ඉවත දැමීමට තරම් කිසිදු කොටසක් පොල්ගසක අන්තර්ගත නොවන බැවිනි. පොල්ගස සතු සම්පත් නිසි ලෙස භාවිතා කරන්නේ නම් සුවිසල් ධනස්කන්ධයක් මෙරටට අද්දවාගැනීමට හැකි බව පිළිගත් සත්‍යයකි. ඒ බව ප්‍රායෝගිකව ඔප්පු කර පෙන්වූ අපූරු ව්‍යාපාරිකයෙකු මුණගැසීමේ අවස්ථාව පසුදිනෙක අපට උදාවිය. පොල් ගෙඩිය ඉවත්කරගැනීමෙන් පසු ඉවත දමනු ලබන පොල් ලෙල්ල භාවිතා කරමින් ලෝක වෙළදපොල ජයගැනීමටත්, ඒ හරහා ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තරය තුළ ඉහළින්ම ඔසවා තැබීමටත් හෙතෙම මේ වන විට සමත් වී සිටි. මේ, කොහුබත් නිෂ්පාදන අපනයනයේ ප්‍රමුඛතම සහ කීර්තිමත් සමාගමක් ලෙස සැලකෙන ගලුකු ව්‍යාපාර ජාලයේ සභාපති ජගත් මංජුල යාපා මහතා සමග කළ කතාබහකි.

සාමාන්‍ය පවුලක දරුවෙක් විදිහට උපදින ඔබ ජාත්‍යන්තර වෙළදපොල ජයගත් ව්‍යාපාරිකයෙක් බවට පත්වෙන්නේ කොහොමද ?

මම උසස්පෙළ කළේ වාණිජ අංශයෙන්. උසස්පෙළ විභාගයට පෙනී සිටියාට පස්සේ පවුලේ තිබුණු ආර්ථික ප්‍රශ්නත් එක්ක මට රැකියාවකට යොමුවෙන්න සිදුවුණා. ඒ අනුව හෝටල් කළමනාකරුවෙක් විදිහට මට මම මගේ පළමු රැකියාව තෝරාගත්තා. ඒ කාලය ඉතාම සුන්දර කාලයක්. මොකද මම පාසලේදී ඉගෙනගත්තු දේවල් පිළිබදව ප්‍රායෝගික අත්දැකීම් ලබාගන්නේ එතැනදී. එතැන කාලයක් සේවය කරද්දී මට හිතෙනවා මේ ඒකාකාරී වෘත්තියෙන් මිදිලා වෙනස් පැත්තක් තෝරගන්න. ඊළගට මම අපනයන සමාගමක කළමනාකරුවෙක් විදිහට සේවයට බැදෙනවා. ඒ ආයතනයේ තවත් එක් සේවකයෙක් විදිහට බදවාගත් මාව ආයතනයට නැතිවම බැරි සේවකයා බවට පත්වෙනකම්ම දැඩි කැපවීමකින් මම එතැන වැඩ කළා. එහි ප්‍රතිඵලයක් විදිහට එම ආයතනයේ සාමාන්‍යාධිකාරි තනතුර දක්වාම ඉහළට ආවා. යම් ආයතනයක අපි වැඩ කරද්දී ඒ ආයතනයේ කළමණාකාරීත්වයේ තියෙන දුර්වලකම් මත අපේ රැකියාව සුරක්ෂිත නැති බවක් දැනෙනවා නම් එය ඉහළ තනතුරුවල ඉන්න අයට කල්ඇතිවම දැනෙනවා. මටත් ඒ වගේ අත්දැකීමට මුහුණදෙන්න සිදුවුණා. තවත් ආයතනයක් ගැන විවේචනය කරන්න මට සදාචාරාත්මක අයිතියක් නැති වුනත් මගේ අනාගතය ගැන ස්වාධීන තීරණයක් ගැනීම මට අයිති වැඩක්. ඒ නිසා‍ 2004 වසරේදී ගලුකු කියන නමින් මම මගේම ව්‍යාපාරයක් පටන්ගන්නවා.

මේ වගේ ව්‍යාපාරයක් ආරම්භය කරන්න තරම් විශාල ආයෝජනයක් කරන්න එවකට ඔබට හැකියාව තිබුණාද ?

ඔබ විශ්වාස කරයිද දන්නේ නැහැ. මේ ව්‍යාපාරය ආරම්භ කරන්න මහ ලොකු මුදලක් මගේ අතේ තිබුණේ නැහැ. රුපියල් 7000 කින් තමයි මම මේ ව්‍යාපාරය ආරම්භ කළේ. මට ස්ථිර කාර්යාලයක් තිබුණේ නැහැ. කුලියට ගත්ත කාමරයක තමයි කාර්යාලය පවත්වාගෙන ගියේ. පරිගණක ටික ගත්තේ දින දාපු චෙක්වලට. ටෙලිෆෝන් ලයින් එකක් ගන්න බැරි නිසා කාඩ් කනෙක්ෂන් අරගෙන තමයි වැඩේ පටන්ගත්තේ. පැක්ටරියක් පටන්ගන්න වත්කමක් තිබුණේ නැති නිසා වෙනත් කර්මාන්තශාලාවලින් නිෂ්පාදන මිලදී අරගෙන අපනයනය කිරීමේ ට්‍රෙඩින් ඔෆිස් එකක් තමයි මුලදි ආරම්භ කළේ. නමුත් එදා ඉදන් අද වෙනකම්ම ව්‍යාපාර සම්බන්ධයෙන් මම එක ක්‍රමවේදයක් අනුගමනය කළා. ඒ ලැබෙන ලාභය ආයෝජනය කරලා ව්‍යාපාරය පවත්වාගෙනයාමේ ක්‍රමවේදයයි. ඒ විදිහට ලාභය යළි ආයෝජනය කිරීමේ ප්‍රතිඵලය විදිහට ව්‍යාපාරය ආරම්භ කරලා වසරක් ගතවෙද්දී මගේ තාත්තට අයිති ඉඩමක ගලුකු පළමුවෙනි කර්මාන්ත ශාලාව ආරම්භ කරන්න පුලුවන් වුණා.

කොහුබත් යොදාගෙන මොනවගේ නිෂ්පාදනයන්ද ඔබ කරන්නේ ?

පොල්ගහට කියන්නේ කප්රුක කියලා. පොල්ගෙඩිය ගැන විතරක් කතාකළත් පොල්ගෙඩියේ අහක දාන්න කියලා කිසිම දෙයක් නැහැ. පොල් ලෙල්ලේ ඉදලා පොල් වතුර ටික දක්වාම ජාත්‍යන්තර වෙළදපොලේ විශාල ඉල්ලුමක් තියෙනවා. කොහුබත් කෘෂිකර්මාන්තයට යොදාගැනීමත් එක්ක කොහුබත් ආශ්‍රිත නිෂ්පාදනවලට ලෝකයෙන් තියෙන ඉල්ලුම දිනෙන් දින ඉහළ යමින් තියෙනවා. නිසරු පස සරු කරන්න වගේම පස් රහිතව වගාකිරීමේ වගා මාධ්‍යයක් විදිහටත් කොහුබත් පාවිච්චි වෙනවා. වැඩි වතුර ප්‍රමාණයක් දරාගන්න හැකි මාධ්‍යක්වීමත් කොහුබත්වලට තියෙන ජාත්‍යන්තර ඉල්ලුම ඉහළ යෑමට තව හේතුවක්. අපි ගලුකු වෙළද නාමය යටතේ කොහුබත් නිෂ්පාදන විශාල සංඛ්‍යාවක් සිදුකරනවා. ව්‍යාපාරයේ මුල් අවදියේදී පස සරුකිරීමේ මාධ්‍යක් විදිහටත් , උද්‍යාන වගා මාධ්‍යක් විදිහටත්, ගෝල්ෆ් පිටි වගේ විශාල භූමි සදහාත් අපි කොහුබත් නිෂ්පාදනයන් සිදුකළා. නමුත් ලෝකය පුරාම මේ වෙනකොට සිදුවෙමින් තියෙන කාලගුණික සහ දේශපාලන විපර්යාසත් එක්ක ගොවීන් වැඩි වශයෙන් හරිතාගාර වගාවන් සදහා යොමුවෙමින් ඉන්නවා. ඒ නිසා අපි හරිතාගාර වගා මාධ්‍යක් ලෙස ගලුකු වෙළද නාමය යටතේ හයිඩෝ සී එස් සහ හයිඩෝ ස්ලැබ්ස් කියන නිෂ්පාදන දෙක අන්තර්ජාතික වෙළදපොලට දැන් නිකුත් කරනවා. මේ නිෂ්පාදනවල විශේෂත්වය වෙන්නේ එලවලු, පළතුරු, මල් හෝ ඕනෑම ශාඛයකට ගැලෙපෙන විදිහට අපි මේ විශේෂිත කොහු මිශ්‍රණය සකස් කරලා තිබීමයි. මේ මිශ්‍රණය සම්පූර්ණයෙන්ම කාබනික නිෂ්පාදනයක්. කිසිම රසායනික ද්‍රව්‍යයක් මෙහි අඩංගු වෙන්නේ නැහැ. ඒ ඒ රටවල්වල ගොවියාගේ කැමැත්ත සහ ඔහු වගා කරන ශාඛය අනුව අපේ මේ නිෂ්පාදන ඔහුගේ වගාවට යොදාගත හැකියි. මේ ගලුකු නිෂ්පාදනයේ තවත් විශේෂත්වයක් තියෙනවා. අපි නිෂ්පාදනය කරන මේ මිශ්‍රණය තුළින් ජලය, පාංශු වාතය සහ අමතර ජලය කියන කරුණු තුනම ශාඛයට අවශ්‍ය පරිදි කළමනාකරණය කරලා දෙනවා. එය ලෝකයේ කිසිම නිෂ්පාදයක නැති විශේෂත්වයක්.

ගලුකු ව්‍යාපාරයේ හෙට දවස සැලසුම් කරලා තියෙන්නේ කොහොමද ?

ගලුකු නාමය යටතේ මේ වෙනකොට කර්මාන්තශාලා හතරක් පවත්වාගෙන යනවා. ඒ වගේම මැලේසියාව සහ ඉන්දියාව දක්වාම අපේ කර්මාන්තශාලා ව්‍යාප්ත කරලා තියෙනවා. එතැනින් තවත් ටිකක් එහාට ගිහින් පිලිපීනයේ අපේ අලුත්ම කර්මාන්තශාලාව ලබන මාසයේදී පටන්ගන්නවා. මේ සියලු කර්මාන්තශාලාවලදී ගලුකු නාමය යටතේ කොහුබත් ආශ්‍රිත නිෂ්පාදන රාශියක් නිෂ්පාදනය වෙනවා. අපි මෑතක් වෙනතුරුම කෘෂිකර්මය ආශ්‍රිත නිෂ්පාදන තමයි කළේ. නමුත් කාලයක් යනකොට තව තව නිෂ්පාදන ඇවිත් අපිට තියෙන තරගකාරිත්වය වැඩි වුණා. ඒ නිසා අපි තීරණය කළා කාර්මික අංශය සම්බන්ධ නිෂ්පාදනවලට යොමුවෙන්න. ඒ අනුව විදිහට වසර තුනක් තිස්සේ කරපු පර්යේෂණවල ප්‍රතිඵලයක් විදිහට ගලුකු ස්පිල් පික්ස් කියන නිෂ්පාදනය අපි පසුගිය වසරේදී වෙළදපොළට නිකුත් කළා. කාර්මික ක්ෂේත්‍රෙයේ භාවිතාවෙන විවිධ තෙල් වර්ග බිමට වැටුණහම ඉවත්කිරීම අද ලෝකයටම විශාල ගැටලුවක් බවට පත්වෙලා තියෙනවා. ඒ නිසා කොහුබත් යොදාගෙන මේකට සාර්ථක විසදුමක් ලබාදෙන්න අපිට අද පුලුවන් වෙලා තියෙනවා. ස්පිල් පික්ස් කියන මේ නිෂ්පාදනයෙන් එක් අතතින් ඔයිල් පැතිරීම වළක්වනවා. අනික් අතට ඔයිල් උරාගැනීම සිදුකරනවා. ඒවගේම පරිසර හිතකාමී ලෙස පරිසරය බැහැරකිරීමේ හැකියාවත් මේකට තියෙනවා. මේ නිසා අපේ නිෂ්පාදන අතර වැඩිම අලෙවියක් ඇති නිෂ්පාදනය බවට ගලුකු ස්පිල් පික්ස් කියන මේ නිෂ්පාදනය පත්වෙමින් තියෙනවා.

මේ වෙනකොට ගලුකු ලංකා එක්ස්පෝර්ට් ප්‍රයිවට් ලිමිඩට්, ගලුකු හයිඩ්‍රපොනික් ප්‍රයිවට් ලිමිඩට්, ගලුකු ඇග්‍රි ප්‍රයිවට් ලිමිඩට් කියන කර්මාන්ත තුනක් යටතේ අපේ ව්‍යාපාරය ක්‍රියාත්මක වෙනවා. මේ තුනම අපනයනය මුල්කරගෙන ක්‍රියාත්මක වෙන සමාගම්. ඊට අමතරව අපි ගලුකු එන්ටර්ටේන්මන්ට් කියලා දේශීය ව්‍යාපාරයක් ආරම්භ කරලා තියෙනවා. දේශිය වෙළදපොල වෙත පිවිසෙන්න තියෙන හොද මාර්ගයක් විදිහට කලාව අපි දැක්කා. ඒ නිසා ගලුකු එන්ටර්ටේන්මන්ට් යටතේ අපි මේ වෙනකොට චිත්‍රපට තුනක් නිෂ්පාදනය කරලා තියෙනවා. සිනමා ශාලා දෙකක් පවත්වාගෙන යනවා. ස්පන්දන නමින් සංගීත කණ්ඩායමක් පවත්වාගෙන යනවා. කලාව පැත්තෙන් ලාංකීය ජනතාවට උසස් රස වින්දනයක් ලබාදෙන්න අපි බලාපොරොත්තු වෙනවා.

කප්රුක කියලා කිව්වත් අපි තවමත් පොල් ගහෙන්උපරිම ප්‍රයෝජන ගන්නේ නෑ කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා මේ වසර අවසන්වීමට පෙර ගලුකු නාමය යටතේ කර්මාන්තශාලා හයකින් යුත් පොල් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත පුරයක් ආරම්භ කරන්න අපි සැලසුම් කරලා තියෙනවා. පොල් තෙල්, පොල් වතුර, පොල් කටු සහ කොහු ආශ්‍රිත නිෂ්පාදනයන් මෙම කර්මාන්තශාලා හයේදී නිෂ්පාදනය කිරීමට තමයි අපි සැලසුම් කරලා තියෙන්නේ.

ගලුකු කියන්නේ ලාංකීය සමාජයට එතරම් හුරුපුරුදු නමක් නෙවෙයි. ඇයි ඔබේ ව්‍යාපාරයට ඒ වගේ නමක් තෝරාගන්නේ ?

ඔබ හරි. ගලුකු කියන්නේ අපිට ආගන්තුක නමක් වුණාට එය ලෝකයට එය හුරුපුරුදු නමක්. ගලුකු කියන්නේ ඔස්ට්‍රේලියානු ඇබෝජින්වරු පොල්වලට කියන නම. සමහරු අහනවා ඇයි මම මගේ නමින් හරි, මගේ ගමේ නමින් හරි මේ ව්‍යාපාරය පටන්ගත්තේ නැත්තේ ඇයි කියලා. ජාත්‍යන්තර වෙළදාමකදී වෙළද නාමය කියන එක ඉතාම සුවිශේෂයි. 2004 දී මගේ ව්‍යාපාරය ආරම්භ කරනකොට මේ ක්ෂේත්‍රයේ හිටපු ලාංකීය සමාගම් මට වඩා තරග වට දෙක තුනක් ඉදිරියෙනුයි හිටියේ. එහෙම තැනකදී ජාත්‍යන්තරය දන්නා හදුනන නමකින් ව්‍යාපාරය ආරම්භ කිරීම තුළින් කලින් තරග කරුවන් දුවලා තිබුණු වට දෙක තුන අල්ලාගන්න මම බලාපොරොත්තු වුණා. මොකද ගලුකු කියන වචනය ජාත්‍යන්තරය දන්නා සහ හුරුපුරුදු නමක් බවට පත්වෙලා තිබුණු බව මම හොදාකාරවම දැනගෙන හිටියා. මගේ උත්සාහය සාර්ථක කරමින් ඉතාමත් කෙටි කාලයක් තුළ ගලුකු කියන වෙළද නාමය ලෝකයේ ප්‍රධාන පෙළේ කොහුබත් නිෂ්පාදන සමාගම් සමග ජාත්‍යන්තර වෙළදපොළ තුළ කරට කර තරග කරන සමාගමක් බවට පත්කරන්න හැකි වුණා. සමහරු හිතන්න පුලුවන් ගලුකු කියන්නේ විදේශිය සමාගමක් කියලා. නමුත් පැහැදිලිවම කියන්න ඕනෑ මේ සමාගමේ නාමය විතරයි ජාත්‍යන්තර. ඒ හැර අනෙක් සෑම දෙයක්ම සියයට සියයක්ම ශ්‍රී ලාංකිකයි. මේ සමාගමේ කොටස්වලට හෝ හිමිකාරිත්වයට කිසිදු විදේශ සම්බන්ධයක් නැහැ. අනිත් පැත්තෙන් ආයතනයේ පරිපාලනයටත් කිසිදු විදේශිකයෙක් සම්බන්ධ නැහැ. මමත්, මගේ බිරිදත් තමයි මෙහි අධ්‍යක්ෂවරුන් විදිහට කටයුතු කරන්නේ. අපේ ආයෝජන, අපේ හිමිකම් සහ මත තමයි සමාගම  අද තියෙන තත්වය දක්වා ගෙනාවේ. ඉදිරියටත් කටයුතු කෙරෙන්නෙත් ඒ විදිහටමයි.

දැන් තියෙන තත්වයත් එක්ක විශාල ආයෝජනයක් නැතිව මේ ක්ෂේත්‍රය තුළ ව්‍යාපාරයක් ආරම්භ කරන්න බැරි තත්වයක් මතුවෙලා තියෙනවා නේද ?

නැහැ. මම ඒකට එකග නැහැ. සාමාන්‍ය කෙනෙකුට වුනත් මේ ක්ෂේත්‍රයට එන්න බැහැ කියලා මම නම් හිතන්නේ නැහැ. මොකද මම කලින් කිව්වා වගේ ගලුකු ව්‍යාපාරය පටන්ගත්තේ රුපියල් 7000 ක් වැනි ඉතාම පොඩි මුදලකින්. නමුත් මගේ ව්‍යාපාරය සාර්ථක වෙන්න කරුණු තුනක් බලපෑවා. කතාවක් තියෙනවානේ දැන වෙළදාම්, නොදැන ගොවිතැන් කියලා. පළවෙනි කාරණාව තමයි වෙළදාමක් කරනවා නම් ඒ විෂය සම්බන්ධයෙන් තමන්ට හොද දැනුමක් තියෙන්න ඕනෑ. දෙවැනි කාරණය තමයි තව කෙනෙක් මත ව්‍යාපාරය යැපීම නවත්වන්න වෙනවා. ඒ ව්‍යාපාරය තනිවම හෝ පවත්වාගෙනයාමේ හැකියාවක් තමන් තුළ තියෙන්න ඕනෑ. තුන්වැනි කාරණය තමයි අනුකරණයෙන් හෝ කොපි කිරීමකින් තොරව තමන්ගේම නව නිෂ්පාදන වෙළදපොලට දෙන්න ඕනෑ. ගලුකු සාර්ථක වෙන්න ප්‍රධාන වශයෙන් මුල් වුණු හේතු මේවා කියලයි මම නම් දකින්නේ. මේ කරුණු තුන සම්පූර්ණ කරන්න පුලුවන් ඕනෑම කෙනෙකුට ව්‍යාපාරයක් ආරම්භ කිරීම සදහා ආයෝජනයේ ප්‍රමාණය ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා මම විශ්වාස කරනවා.

ඔබේ ව්‍යාපාරයට අභියෝග එල්ලවෙලා නැද්ද ?

මේ ව්‍යාපාරයට තියෙන ප්‍රධානම අභියෝග දෙක වෙන්නේ අමුද්‍රව්‍ය සහ වෙළදපොල කියන කාරණා දෙකයි. අමුද්‍රව්‍ය ප්‍රශ්නය බැලුවොත් පොල් වගාව අඩුවීම සහ නිෂ්පාදනය අඩුවීම අපේ ක්ෂේත්‍රයට තදින්ම බලපාලා තියෙනවා. නිෂ්පාදනය අඩුවීම තුළ පොල් මිල වැඩිවෙනවා. පොල් මිල වැඩිවීමත් එක්ක පොල් ලෙල්ලේ මිලත් වැඩිවෙනවා. ඒක අපේ නිෂ්පාදනවල මිල තීරණය කිරීම කෙරෙහි බලපානවා. පහුගිය කාලයේ කිසිදු වග විභාගයක් නැතිව සිදුකෙරුණු පොල් ඉඩම් කට්ටි කිරීම වැනි වැරැදිවල ක්‍රියාවල ප්‍රතිඵල තමයි අපට අද විදින්න සිදුවෙලා තියෙන්නේ. වෙළදපොල පැත්තෙන් බැලුවාම ඉන්දියාව සහ තවත් රටවල් කොහුබත් ආශ්‍රිත නිෂ්පාදනයන් වෙළදපොළට නිකුත් කරනවා. ඒ රටවල්වලින් දෙන අඩු මිලත් එක්ක අද අපිට තරග කරන්න වෙලා තියෙනවා. ඒ නිසා අපි පොල් වගාව සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙලක් නැවත සකස් නොකළොත් අපේ ව්‍යාපාරවලටත් වඩා කඩෙන් පොල් ගෙඩියක් ගන්න යන මේ රටේ පාරිභෝගික ජනතාව අමාරුවේ වැටෙන්න පුලුවන්.

ව්‍යපාරිකයෙක් වශයෙන් සාර්ථක වුණු ඔබ මෑත කාලීනව දේශපාලනයට එනවා. මම අන්තිම වශයෙන් මෙහෙම අහන්නම්. ඔබ වඩාත්ම කැමැති ඔබව දේශපාලනඥයෙක් විදිහට හදුන්වනවාටද ? ව්‍යාපාරිකයෙක් විදිහට හදුන්වනවාටද ?

මම ජීවිතේ සැලසුම් කරපු මිනිහෙක්. මම ජීවිතේ සැලසුම් කරලා තියෙන්නේ විස්සේ කොටස් හතරකට. පළවෙනි අවුරුදු විස්ස අධ්‍යාපනය ලබන්න. දෙවැනි අවුරුදු විස්සේ ආදායම් උපයන්න, විවාහයක් කරගන්න සහ දරුවෝ හදන්න. තුන්වැනි විස්සේ තැන්පත් ධනය හරහා උපන් රටට සහ ජනතාවට සේවය කරන්න. අන්තිමේදී හැටෙන් පස්සේ විශ්‍රාම සුවයෙන් විවේකීව ගත කරන්න. මගේ ජීවිතයේ පළමු අවුරුදු හතළිහ තුළ මගේ අරමුණු ඉටුකරගෙන ඉවරයි. ව්‍යාපාර ගොඩනගලා, මුදල් උපයලා, යාන වාහන අරන්, ගේ දොර හදලා තියෙනවා. දැන් මම උපන් ප්‍රදේශයට, මගේ ගමේ මිනිස්සුන්ට සේවයක් කරන්නයි මට උවමනාව තියෙන්නේ. දේශපාලනයට පිවිසීම හරහා ඒකට අවස්ථාවක් ලැබිලා තියෙනවා කියලා මම හිතනවා. නමුත් කවුරු හරි මාව හදුන්වද්දී ව්‍යාපාරිකයෙක් විදිහට මාව හදුන්වනවා නම් මම තවමත් ඒකට කැමැතියි. මොකද ව්‍යාපාරිකයෙක් කියන චරිතය තුළ මගේ සාර්ථකත්වය සැගවිලා තියෙන නිසා. මම දැනට දේශපාලනය ආරම්භ කළා විතරයි. දේශපාලනය තුළ මට ලොකු ගමනක් යන්න මට තවම අවස්ථාවක් ලැබුණේ නැහැ.ව්‍යාපාරිකයෙක් විදිහට ගිය ගමන වගේම දේශපාලනය තුළත් සාර්ථක ගමනක් යන්නයි මගේ ඉලක්කය තියෙන්නේ. එහෙම දවසක මාව දේශපාලඥයෙක් විදිහට හදුන්වනවාට කැමැතිවෙන්න බොහෝ විට ඉඩක් තියෙයි.

ජගත් යාපා මහතාgaluku_2දිනූ සම්මානgaluku_3ජාත්‍යන්තරය ජයගත් ගලුකු නිෂ්පාදනgaluku_4ගලුකු ප්‍රධාන කාර්යාලයgaluku_6ගලුකු කර්මාන්ත ශාලාවක්galuku_5

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article