Thursday, April 25, 2024

බාහිර කැපුම්වලින් තොර සැත්කම් සදහා කුලියාපිටිය රෝහල මුලපුරයි.

Must read

 

kuliyapitiya_surgery

ගෙලෙහි බාහිර කැපුම් නොමැතිව තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත්කිරීම සදහා සිදුකරන ට‍්‍රාන්ස්ඕරල් ලැපරස්කොපික් තයිරොඩෙක්ටමි (TRANSORAL LAPAROSCOPIC THYROIDECTOMY) නැමැති සැත්කම කුලියාපිටිය මූලික රෝහල් ඉතිහාසයේ පළමුවරට අද ( 08 දා ) සාර්ථකව සිදුකෙරිණි.

කුලියාපිටිය මූලික රෝහල් උගුර,කණ, නාසය පිළිබද විශේෂඥ වෛද්‍ය රිස්නි සක්කාෆ් මහතා ඇතුලු කණ්ඩායම විසින් මෙම සැත්කම සිදුකරනු ලැබීය. සැත්කමට ලක්කෙරුණු උඩුබද්දාව ප‍්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි ඩබ්ලිව්.ඒ.රන්ජනී ශ්‍රියාලතා මහත්මිය මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන්නීය.

කුලියාපිටිය මූලික රෝහලේදී පමණක් නොව දිවයිනේ වෙනත් රෝහලකදී හෝ මම සැත්කම මීට පෙර සිදුකර නොමැති බවත්, වඩා දියුණු සෞඛ්‍ය සේවාවක් පවතින ඉන්දියාවේදී පවා මෙම සැත්කම මුල්වරට සිදුකර ඇත්තේ මීට මාස 10කට ඉහතදී බවත් විශේෂඥ වෛද්‍ය රිස්නි සක්කාෆ් මහතා පැවසීය. ඒ අනුව මෙම සැත්කම දකුණු ආසියානු රටකදී සිදු වූ සිව්වැනි අවස්ථාව මෙය වන බවද වෛද්‍ය රිස්නි මහතා පැවසීය .

අදාල සැත්කම් ක‍්‍රමවේදය පිළිබදව වයඹ ටුඩේ වෙත පැහැදිලි කරමින් විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ, ගෙලෙහි කැපුම් යොදමින් සිදුකරන සාමාන්‍ය සැත්කම්වලින් හටගන්නා කැලැල් හේතුවෙන් බොහෝදෙනෙකු එම සැත්කමට අකැමැති බවය. නමුත් මෙම සැත්කම කැපුම්වලින් තොරව සිදුකෙරෙන හෙයින් අවම වේදනාවකින් හා අවම රුධිර වහනයකින් යුතුව අවසන් කළ හැකිබවද පැවැසීය.

පැය 4 කට ආසන්න කාලයක් සිදුකෙරුණු මෙම සැත්කමේදී රන්ජනී ශ්‍රියාලතා මහත්මියගේ තයිරොයිඩ් ග‍්‍රන්ථියේ ඉදිමුන කොටස සාර්ථක ලෙස ඉවත් කිරීමට හැකිවූ බවත් , තම කණ්ඩායමට මුහුණදීමට සිදු වූ තාක්‍ෂණික දෝෂ නොතිබෙන්නට ඉතා කෙටි වේලාවක් තුළදී මෙම සැත්කම සිදුකර අවසන් කිරීමට හැකියාව තිබූ බවද වෛද්‍ය රිස්නි මහතා පැවැසීය.

කුලියාපිටිය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි අයි. එස්. යද්දෙහිගේ මහත්මිය, විශේෂඥ වෛද්‍ය කාර්යමණ්ඩලය, වෛද්‍ය කාර්යමණ්ඩලය, හෙද හා කණිෂ්ඨ කාර්යමණ්ඩල විසින් තමන් පිළිබදව විශ්වාසය තබමින් දැක්වූ සහයෝගය හේතුවෙන් මෙම සැත්කම සාර්ථකව සිදුකිරීමට හැකි වූ බවද විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

kuliyapitiya_surgery_1

kuliyapitiya_surgery_4

kuliyapitiya_surgery_2

kuliyapitiya_surgery_3

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article