Tuesday, April 23, 2024

අලි පැන්නීමට අශෝක සුදානම් වෙයි

Must read

අශෝක

පුත්තලම දිස්ත්‍රික්කයේ ඇතැම් ගම් වලට වැදී සිටින වන අලින් පලවා හැරීමේ මෙහෙයුම් ලබන මස 05 වැනිදා ආරම්භ කරන බව පුත්තලම දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතා පැවසීය.ඒ අනුව වන අලින් ගම්මාන වලින් පලවා හැරීමේ මෙහෙයුම නවගත්තේගම ප්‍රදේශයෙන් ආරම්භ කිරීමට නියමිතව ඇත.

වන අලින්ගම් වැදීම නිසා තමන්ට ජීවත් ජීවට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව පුත්තලම දිස්ත්‍රික්කයේ බොහෝ ගම්මාන වල පදිංචිකරුවන් කියා සිටිති. විශේෂයෙන්ම කරුවලගස්වැව,නවගත්තේගම,පුත්තලම,වනාතවිල්ලුව සහ මහකුඹුක්කඩවල යන ගම්මාන වල පදිංචිකරුවන් මෙම වන අලි ගැටළුවට මුහුණ දී සිටිති.

මෙම ප්‍රදේශ වල ඇති රක්ෂිත වනාන්තර වල සහ කුඩා කැලෑ වල දිවා කාලයේ රැදී සිටින වන අලින් රාත්‍රී කාලයේ ගම් වැදීම සිදු කරති.මෙම තත්ත්වය නිසා එම ප්‍රදේශ වල පදිංචිකරුවන් වසර ගනනාවක සිට දැඩි දුෂ්කරතාවයකට මෙන්ම පීඩාවකටද මුහුණ දී සිටී.

වන අලින් විසින් පසුගිය කාලය තුළ මිනිස් ජීවිත විශාල ප්‍රමාණයක් බිලි ගෙන ඇති අතර,වන අලින් පලහර දීම නිසා තුවාල ලබා ආබාධිත තත්ත්වයට පත්වූ පිරිස්ද සිටී.එමෙන්ම වන අලින් විසින් වගා බිම් සහ දේපල විනාශ කිරීම නිසාද එම ප්‍රදේශ වල ජීවත් වන බොහෝ දෙනෙකු දැඩි පීඩාවට පත්ව සිටී.ඇතමුන් තම වගා බිම් අතහැර දමා ඇති බවක්ද දක්නට ඇත.

වන අලින් විසින් නිරන්තර සිදු කරන මෙම විනාශයන් නැති කර දෙන ලෙස පීඩාවට පත්වී සිටින පිරිස් නිරන්තර දේශපාලකයින්ගෙන් ඉල්ලා සිටීමද සිදු කරති.පුත්තලම දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ දී මෙන්ම ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේදී සිදු කරන සාකච්ඡා වලද වැඩි ඉඩ කඩක් වෙන් වන්නේ වන අලින් නිසා සිදු වන හිරි හැර සම්බන්ධයෙනි.

මෙම තත්ත්වයට ස්ථීර විසදුමක් ලබා දිය යුතු බවට විශ්වාස තමන් විශ්වාස කරන බැවින් ඒ සදහා විශේෂ වැඩ පිළිවෙලක් සකස් කළ බව පුත්තලම දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපතිවරයා සදහන් කරයි.ඒ අනුව වන අලින්ගෙන් පීඩාවට පත් වී සිටින පිරිස් සමග මුලින්ම සාකච්ඡා කිරීමට සභාපතිවරයා කටයුතු කර ඇත.නවගත්තේගම සහ මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම්  කාර්යාල වල පැවති මෙම සාකච්ඡාවන්ට රාජ්‍ය නිලධාරීන් මෙන්ම ප්‍රාදේශීය දේශලපාකයින්ද සහභාගි විය.නිලධාරීන් සහ ගම්වාසීන් අතර එම සාකච්ඡා වලදී විටින් විට උණූසුම් තත්ත්වයක්ද ඇති විය.

අවසානයේදී වන අලින් ගම්වැදී සිටීමට හේතුව සහ එම සතුන් ආපසු පලවා හරින්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් තීන්දු තීරණ වලට එළඹීමට තමන්ට හැකියාව ලැබුණූ බවද දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති අශෝක ප්‍රියන්ත මහතා සදහන් කරයි.ඒ අනුව දැනට ගම්වැදී සිටින වන අලින් ස්ථීර ලෙසම විල්පත්තුව වනෝද්‍යානය තෙක් පලවා හැරීමේ මෙහෙයුම ලබන මස 05 වැනිදා නවගත්තේගම ප්‍රදේශයෙන් ආරම්භ කරන බව සභාපතිවරයා සදහන් කරයි.එම වන අලි මෙහෙයුමට වන ජීවී නිලධාරීන්,පොලීසිය,ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක බලකාය මෙන්ම ඒ ඒ ප්‍රදේශ වල ගම්වාසීන්ද හවුල් කර ගන්නා බවද සභාපතිවරයා සදහන් කරයි.මෙම වන අලි මෙහෙයුම සාර්ථක කර ගැනීම සදහා පූර්ණ සහාය තමන්ට ලබා දෙන ලෙස ඉල්ලීමක් කරන්නේ යැයිද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.


ජුඩ් සමන්ත.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article