Thursday, March 28, 2024

කුලප්පු මිලදී ගැනීම් රට පුරා  – උකස් කඩ ඉදිරියේ පෝලිම් දිගු වෙයි

Must read

marketing

 

කොරෝනා වෛරස් රෝගය හේතුවෙන් මාර්තු 20 වන සිකුරාදා  ප.ව.6.00 සිට 23 වන සඳුදා පෙ.ව.6.00 තෙක් පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීම මත ශ්‍රී ලංකාවේ සෑම නගරයක්ම ජනයාගෙන් පිරී යන තත්වයක් උද්ගතව ඇත.

මෙසේ ජනතාව විශාල වශයෙන් නගර කරා ඇදී එන්නට වූයේ ඉදිරි කාලයේ පවත්නා අවිනිශ්චිතාව මුල් කොට ආහාර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ එක් රොක් කොට තබා ගැනීමටය. මේ අතර 20 වන සිකුරාදා දහවල් කාලයේ සිටම ඉන්ධන පිරවුම් හල් ඉදිරියේද දිගු රථවාහන පෝලිම් දක්නට ලැබිණ.

කිසියම් අවිනිශ්චිතතාවයක් මුල් කොට මෙලෙස ජනතාව එක්වරම වෙළඳපළ කරා ඇදී ඒම විද්‍යාත්මකව හඳුන්වනුයේ සන්ත්‍රාස මිලදීගැනීම (panic buying) යනුවෙනි. තමන් මිලදී ගන්නා භාණ්ඩයේ මිල සහ ගුණාත්මක භාවය පිළිබඳ වැඩි තැකීමක් නොකරන ජනතාව අදාළ ද්‍රව්‍ය සහ භාණ්ඩ වැඩිපුර මිලදී ගැනීම මෙම සන්ත්‍රාස මිලදීගැනීමේ පොදු ලක්ෂණයකි.

මේ අතර ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වලින් කොරෝනා වෛරස් රෝගය සුව කළ හැකි බව පැවසෙන ව්‍යාජ ඖෂධ වට්ටෝරු පවා ප්‍රසිද්ධ වී තිබූ අතර ඒ ආදී හේතු මුල් කොට සිංහල බෙහෙත් බඩු වෙළඳසැල් ඉදිරියේද වැඩිපුර ජනතාවක් දක්නට හැකි විය.

මේ වන විට බටහිර ඖෂධ අලෙවිසැල් වලින් අලෙවි කරන මුහුණු ආවරණ(Face mask) වල සංඛ්‍යාව සහ මිල ගණන් කිහිප ගුණයකින් ඉහළ ගොස් ඇතිමුත් ඒවාට පවතින දැඩි ඉල්ලුම මත ඒවායේ හිඟයක්ද පවතී.

මෙම කොරෝනා වෛරස් රෝගය මුල් කොට ලොව පුරා සිදු කෙරෙන සන්ත්‍රාස මිලදී ගැනීම් වලදී වැඩිපුරම අලෙවි වී ඇත්තේ වැසිකිළි කඩදාසි (Toilet papers) බව අනාවරණය වී ඇත. එසේ වුවද ශ්‍රී ලාංකේය වෙළඳපළේ ඒවා සඳහා පවතින සුළු ඉල්ලුම මඳකුදු වැඩි නොවීම විශේෂත්වයකි.

මෙහි ඇති තවත් දුක්මුසු කතාවක් ද තිබේ. ඒ නම් උකස් කඩ ඉදිරියේ දිගු ‌පෝලිම් පැවතීමයි. අසරණ මිනිසුන්ට සන්ත්‍රාස මිලදී ගැනීම් සඳහා මුදල් නැත. ඔව්හු තමන් සතු රත්තරන් බඩු උකස් තියා මුදල් ‌ගෙන සන්ත්‍රාස මිලදී ගැනීම කරති. ‌ඔ්ස්ට්‍රේලියාව වැනි ධනවත් රටවල පසුගිය සඳුදා සිට සෑම පුරවැසියෙකුගේ ගිණුමට ඔ්ස්ට්‍රේලියානු ‌ඩොලර් 750 ක් රජයෙන් බැර කර තිබේ. ලංකාවට එවැනි ශක්තියක් නැති බැවින් අසරණයාට උකස් කඩ පිහිට පමණ ය.


 

තිලක් සේනාසිංහ

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article