Thursday, March 28, 2024

දෝෂාභියෝගය වයඹ රත් කරයි.

Must read

අජන්ත රත්නායක විසිනි. 

දූෂණ චෝදනාවක් මත රාජ්‍ය සේවයෙන් නෙරපා හැරි ගුරුවරයෙකු යළි සේවයේ පිහිටුවීම මගින් වයඹ පළාත් ආණ්ඩුකාර අමරා පියසීලී රත්නායක මහත්මිය විසින් දැන හෝ නොදැන කරන ලද විෂමාචාර ක‍්‍රියාව පිළිබදව පළාත් සභාව වෙත දෝෂාභියෝග චෝදනාවක් ගෙනඒමට ක‍්‍රියාකරන්නේදැයි ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රී පියුමාල් හේරත් මහතා ( එ.ජ.නි.ස.) විසින්  ඊයේ (17 දා) පැවැති වයඹ පළාත් සභා රැස්වීමේදී ප‍්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගෙන් ප‍්‍රශ්න කළේය.

වයඹ පළාත් සභා සංකීර්ණයේ පිහිටි ‘ සශ‍්‍රී’ ශාලාවේදී වයඹ පළාත් සභාවේ සභාපති ධර්මසිරි දසනායක මහතාගේ                  ප‍්‍රධානත්වයෙන් ඊයේ පෙරවරු 9.30 ට පමණ වයඹ පළාත් සභාව රුස්විණි.

රැස්වීමේ අමාත්‍යවරුන්ගේ ප‍්‍රකාශ අවස්ථාවේදී නැගී සිටි වයඹ පළාත් ධීවර සහ කෘෂිකර්ම අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතා විසින් පුත්තලම , විල්පොත අනුර විද්‍යාලයේ ශාරීරික අධ්‍යාපන විෂය භාරගුරුවරයා ලෙස සේවය කළ අනුෂ්ක නැමැති අයෙකු විසින් 2011 මාර්තු මාසයේ 20 වැනිදා එම විද්‍යාලයේම සේවය කරන වෙනත්  ගුරුවරයෙකුගේ බිරිදකට බීමතින් අතවර කරන්නටයාමේදී ප‍්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන පොලිසියට භාර දී ඇති බව පැවසීය. පසුව මෙම සිද්ධිය ඇතුඵ චෝදනා හතරක් යටතේ අදාළ ගුරුවරයා පිළිබදව කළ විනය පරීක්ෂණයකින් පසුව ඔහුව රාජ්‍ය සේවයෙන් නෙරපා හැරීමට වයඹ පළාත් රාජ්‍ය සේවා කොමිසම විසින් කටයුතු කර ඇති බවද ඇමැතිවරයා කීය. පළාත් රාජ්‍ය සේවා කොමිසමේ තීරණය පිළිනොගත් අදාල ගුරුවරයා තමා යළි සේවයේ පිහිටුවන ලෙසට හිටපු ආණ්ඩුකාර තිස්ස ආර් බලල්ල මහතා වෙත අභියාචනයක් ඉදිරිපත් කර ඇතත්, බලල්ල මහතා විසින් එම අභියාචනාව නිශ්ප‍්‍රභ කර ඇති බවද හෙතෙම පැවසීය. නමුත් නව ආණ්ඩුකාරවරියගේ පත්වීමත් සම`ග අදාල ගුරුවරයා යළි සේවයේ පිහිටුවා ඇති බවට පැතිරී ගිය ආරංචියකින් මේ වන විට විල්පොත ප‍්‍රදේශවාසීන් කැළඹීමට පත්ව සිටින බවද පැවසීය. මෙම ගුරුවරයාගේ සේවය අත්හිටුවීමට ක‍්‍රියා කළ ආණ්ඩුකාර ලේකම් නයනා කාරියවසම් මහත්මිය විසින්ම අදාළ ගුරුවරයා සේවය පිහිටුවීමට ලිපි නිකුත්කිරීම අවාසනාවන්ත තත්වයක් බවද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

පසුව මන්ත‍්‍රීවරුන්ගේ පුද්ගලික ප‍්‍රකාශ අවස්ථාවේ නැ`ගී සිටි වයඹ පළාත් සභා මන්ත‍්‍රී පියුමාල් හේරත් මහතා               (එ. ජ. නි. ස.) විසින්ද මෙම සිදුවීම පිළිබදව අදහස් දක්වමින් මෙසේ පැවසීය.

ඉතාම පැහැදිලිව වත්මන් ආණ්ඩුකාරවරිය විසින් හිටපු ආණ්ඩුකාරවර තිස්ස ආර් බල්ලල මහතා විසින් ලබා දුන් නියෝගයක් වෙනස් කරමින් කටයුතු කර තිබෙනවා. මෙය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 154 ( ආ) 3 වැනි වගන්තිය යටතේ විෂමාචාර චෝදනා යටතේ ආණ්ඩුකාරවරයෙකුට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන ආ හැකි කරුණක් . මේ කරුණු සලකා බලමින් මම ගරු ප‍්‍රධාන අමාත්‍යතුමා වෙත ප‍්‍රශ්න කිහිපයක් යොමු කිරීමට කැමැතියි. එක, ආණ්ඩුකාරවරිය විසින් ලබා දී ඇති තීන්දුව ඔබතුමා පිළිගන්නවාද ? , නොඑසේ නම් එය අවලංගු කිරීමට කටයුතු කරනවාද ? දෙක, ඒ නියෝගය ලබාදුන් ආකාරය පිළිබද සෙවීමට කමිටුවක් පත් කරනවාද? තුන,   මෙම ගුරුවරයා පිළිබද සියලූ තොරතුරු දැන දැනම ඒවා වසන් කරමින් අදාල පත්කිරීමට ආණ්ඩුකාරතුමියට අනුබල දුන් වත්මන් ආණ්ඩුකාර ලේකම්වරිය පිළිබදව ඔබතුමා විසින් ගන්නා ක‍්‍රියාමාර්ගය කුමක්ද ? සහ අවසාන ප‍්‍රශ්නය වශයෙන් ගරු ආණ්ඩුකාර අමරා පියසීලී රත්නායක මැතිනිය විසින් දැන හෝ නොදැන ආණ්ඩුකාර ධූරයේ බලතල ඉක්මවා යමින් චේතනාන්විතව කරන ලද මේ විෂමාචාර ක‍්‍රියාව පිළිබදව දෝෂාභියෝග චෝදනාවක් ගෙන ඒමට ක‍්‍රියාකරන්නේදැයි මා ගරු ප‍්‍රධාන අමාත්‍යතුමාගෙන් විමසා සිටිනවා. යැයි පැවසීය.

පියුමාල් හේරත් මහතා විසින් ආණ්ඩුකාරවරිය පිළිබද දෝෂාභියෝග චෝදනාවක් ඉදිරිපත්කිරීම පිළිබදව අදහස පළකිරීමත් සමග ආණ්ඩු පක්ෂයේ සෙසු මන්ත‍්‍රීවරු සිය මේසවලට තට්ටු කරමින් ඊට ප‍්‍රසාදය පළකළහ.

පියුමාල් හේරත් මහතා කතාකරමින් සිටියදී වයඹ පළාත් සභාවේ විපක්ෂ නායක ජේ.සී. අලවතුවල මහතා අවස්ථා කිහිපයකදීම ඊට බාධා කළ අතර ඒ අවස්ථාවේදී ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් සහ විපක්ෂ මන්ත‍්‍රීවරුන් අතර උණුසුම් වචන හුවමාරුවක්ද ඇති විය. ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන් විසින් ආණ්ඩුකාර අමරා පියසීලී රත්නායක මහත්මිය දිගින් දිගටම විචේචනය කරමින් අදහස් පළකරන බව පවසා, ඊට විරෝධය පළකරමින් පියුමාල් හේරත් මහතා අදහස් දක්වමින් සිටියදී එක්සත් ජාතික පක්ෂයේ සියලූම මන්ත‍්‍රීවරුන් සභා රැස්වීමෙන් ඉවත් වී ගියහ.

පියුමාල් හේරත් මහතා වෙත පිළිතුරු දුන් ප‍්‍රධාන අමාත්‍යවරයා මෙය හදිසියේ මතු වූ ගැටඵවක් බැවින් ඊයේ පස්වරුවේ ආණ්ඩු පක්ෂයේ හදිසි කණ්ඩායම් රැස්වීමක් කැදවා මන්ත‍්‍රීවරුන් සමග ඒ පිළිබද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව පැවසීය.  උද්ගත වී ඇති තත්වය පිළිබදව වැඩිදුර සොයාබැලීමෙන් අනතුරුව ලබන සභා රැස්වීමේදී විශේෂ ප‍්‍රකාශයක් කිරීමට බලාපොරොත්තු වන බවද කී ප‍්‍රධාන අමාත්‍යවරයා එතෙක් මතභේදයට ලක් වී ඇති අදාළ ගුරුවරයාගේ පත්වීම අත්හිටුවීමට   ක‍්‍රියාකරන බවද පැවසීය.

3/17/2015 12:08 AM3/17/2015 12:08 AM

 

 

 

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article