Breaking News

යාය හතරේ ලියන්නී- ශාන්ති දිසානායක

Shanthi-Dissanayake-Sri-Lankan-Writer-PNBසටහන සහ ඡායාරූප – ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර 

මහඉලුප්පල්ලම – සේනපුර ගොවිජනපදයක්. ගොඩින් අක්කර තුනකුයි මඩින් පහකුයි දීලා ගෙවලුත් හදල දීලයි ඩී.එස්. සේනානායකමහත්තයා මේ ජනපදයේ මිනිස්සු පදිංචි කරන්නෙ. එදා හදල දුන්න ඒ සිරියාවන්ත පුංචි ගෙවල් කීපයක් ශේෂවෙලා තියෙනවා අදටත් පේනවා තැන් තැන්වල ඇවිදිද්දි. එදා මේ විදිහට මිනිස්සු පදිංචි කළත් ඔවුන්ගෙන් බොහෝමයක් ආපහු පළාගිහින් තියෙනවා තමන්ගෙ මුල් ගම්බිම්වලටම. ඒ මහ උණ කියල ඒ ගැමියන් හඳුන්නපු මැලේරියාවට බයේ. ගොවිජනපදය පිහිටවපු කාලෙ මේ පළාතෙ මහඋණ තදින්ම පැතිරිලා තිබිලා තියෙනවා. “තත්ත්වෙ බැරෑරුම් වෙද්දි මිනිස්සුන්ව බලහත්කාරෙන් ගෙවල් ඇතුළට දාලා දොර වහලා- යතුර ඇතුළට දාලා ගෙවල් හැරනොයන ලෙස තර්ජනය කරන්න ආණ්ඩුවට වුණාලු” මං අහල තිබ්බ ඒ කතාවත් මයෙ මතකෙට එනවා.

සේනපුර, ගම්මාන කීපයකට බෙදෙනවා. ඒ යාය එක, යාය දෙක, යාය තුන ආදී වශයෙන්. ඒ බෙදිල්ල අහවර වෙන්නෙ යාය දහයෙන්. ඒත් මගේ ගමන නතර වෙන්නෙ යාය හතරෙන්. තොරක් නොමැති නියඟයත් දෙගොඩතලන මුරුගාසන වරුසාවත් අතර දිවිහරින ගැමියන්ගේ නිවාසත් ගොවිබිමුත් පහුකරගෙන ට්‍රැක් හතර හංදියදිහාවට මං මගේ පුෂ් බයිසිිකලේ පාගනවා. සතිගාණක් තිස්සේ වැටෙන මහ වරුසාවට මේච්චල්වෙලා කුදුගැහුණු, දෙගොඩතලපු ඇළ බන්ට්ටෙක දෙපස තවමත් පණගහල හිනාවෙන “වරාමල්” මයෙ දෑස සනහනවා. මල් සුවඳ බලන්ඩ නතර වෙන්න මේ වෙලාවේ ඉඩක් නැතත් – මයෙ පරිකල්පනමය නාස්පුඩු ඒ සුවඳ අවුස්සනවා. ට්‍රැක් හතර හන්දියට ආ විගස මගේ ගමනාන්තය වන ඒ සුන්දර කුටුම්බය මුණගැහෙන බව මං දන්නවා. සිනා මුසු මූණින් ඒ කුටුම්බයේ මව – අපූරු ලේඛිකාව මයෙ ඇස් අසුනක් දිහාවට මේ දැන් යොමු කරනවා.

“අපෙ කිරිඅම්මලාගෙ පරම්පරාව තමයි මෙහෙට ඇවිත් පදිංචි වෙන්නෙ. ඒ අපේ අම්මලා තාත්තලාත් වඩාගෙන. ගොඩක් මිනිස්සු තමන්ට ලැබුණ ඉඩම් අතහැරලා ඒ කාලෙම ආයෙත් ගම්බිම්වලටම ගියත් කිරිඅම්මලත් අපෙ අම්මල තාත්තලත් මෙහෙටම මුල්බහිනවා”මං දන්න කතාවට ම ඈ ඇගේ කෑල්ලත් එකතුකරනවා.

“කිරි අම්මලෑ ගෙදර තිබ්බෙ අපේ ගෙදරට වැඩි ඈතක නෙමෙයි. මට අවුරුද්දකට විතර පස්සෙ මල්ලි ඉපදෙද්දි, මාවත් මල්ලිවත් බලාගන්න අම්මට තිබ්බ අපහසුව මාව යොමු කළේ ඒ අපූරු ගැමි ගෙදරට. ඒක සාම්ප්‍රදායික ගොවි ගෙදරක්. කිරිඅම්මලා හේනේ කුඹුරේ වත්තෙ පිටියෙ හරි හරියට වැඩ කරපු උදවිය. ඉතිං පරිසරයට බද්ධ වෙලා ඉන්න මටත් පුළුවං වුණා. අපේ ගෙදර තිබ්බ ව්‍යාපාරික පරිසරයට හාත්පසින්ම වෙනස් සුන්දර ගැමි පරිසරයක් තමයි එහෙ තිබ්බෙ” කුඩා කාලෙ ඇය අත්වින්ද ඒ අතීත චමත්කාරය ඇගෙ මූණෙ දැනුත් ඇඳෙනවා මට පේනවා.

“ලියන්න කියවන්න පුළුවං වයසෙ ඉඳන් වැඩිපුර දවස ගෙවුනෙ පොත් පත්තර එක්ක. තාත්ත ව්‍යාපාරිකයෙක් වුණත් හොඳට පොතපත කියෙව්වා. හැමදාම පත්තරේ ගන්නවා කඩේට. කටියාව පුස්තකාලෙත් මට ලොකු ප්‍රයෝජනයක්. ඒ කාලෙ තදින්ම බලපෑවෙ රුසියානු පරිවර්තන. ඒවා මිනිස්සුන්ගෙ මානව දයාව පුදුමවිදිහට අවුලනවා. මං පොත් කියවද්දි, ලියන්න උත්සාහකරද්දි කිරිඅම්මලා එච්චර කැමති වුණේ නෑ. ඉතිං ඒ කාලෙ සමහර වෙලාවට මං කියෙව්වෙ වත්ත පහළ තිබ්බ ලොකු අඹගහක් උඩට නැගලා නොපෙනෙන්ඩ. ඒත් තාත්තගෙ ඇසුර නිසා සම්මතය ප්‍රශ්න කරන්ඩ පුංචි කාලෙ ඉඳන් මට හුරු වුණා. අම්මලාගේ අදහස් එක්ක පොඩි පොඩි ගැටුම් ඇතිවෙද්දි ගොඩක් වෙලාවට තාත්ත මයෙ පැත්තට ඉන්නවා” ඇයටත් හොරෙන් මයෙ දෑස් ඇගෙ නිවසෙ බිත්තියක් දිහාවට යොමුවෙනවා. ඒ බිත්තෙියේ භක්තියෙන් එල්ලලා තිබ්බ තාත්තෙක්ගෙ පින්තූරෙ ඇතුළෙ මං ඇගේ මූණුවර හොයනවා.

“කටියාව යායහය දුටුගැමුණු විද්‍යාලයෙන් කැකිරාව මධ්‍යමහා විද්‍යාලෙට මාරුවෙලා හොස්ටල් එකේ නතරවුණාමයි මට මං ජීවත්වෙන ගමේ වෙනස තේරුණේ. මොකද සතිඅන්තෙ ගෙවල්වලට යන ළමයි ආයෙත් ඇවිත් තමන්ගේ ගම් ගැන කියනවා. ඒ අය කියන කතා අහලා මං නිතර කල්පනා කරනවා අපේ ගමේ ඒ අය කියන අව්‍යාජ ලෙංගතු ගැමිකමක් නැද්ද කියලා. මොකද මේක විවිධ ප්‍රදේශවලින් ආපු මිනිස්සු පදිංචිවුණ ගමක්. ලොකු ඥාති පිරිසක් හිටියෙ නෑ. මිනිස්සු එකිනෙකා සමග ලොකු සම්බන්ධකම් තිබුණෙ නෑ… කුල මළ බේදෙ වුණත් ඒ කාලෙ තදින්ම තිබ්බා. විශේෂයෙන් නුවර පළාතෙන් ඇවිත් පදිංචිවුණ අය ඒක වැඩියෙන් අරන් ගියා. වෙන කුලවල අය ගෙදරට ආවම ඉඳගන්න තැනක්වත් දුන්නෙ නෑ. මට මතකයි අපෙ පවුලෙ අය ගාව වුණත් ඔය අදහස් තිබ්බා. ඒත් මං පුංචි කාලෙම ඒවට තදින් විරුද්ධ වුණා. ගම පිළිබඳව පුංචි කාලෙ මට තදින් දැනුන ඒ චූල සංස්කෘතිය ගැන තමයි පස්සෙකාලෙක මං මයෙ වරාමල් නවකතාවත් ලියන්නෙ.” ඈ දශක කිහිපයක් ඉදිරියට මා එකවැර ඔසවා තබයි. එසේ නමුත් ඒ අතර අතීතයේ මට දැනගතයුතු – මගේ කුතුහලය අවුස්සන කාරණා රාශියක් තිබේ. මම නැවතත් ඒ අතීතෙට සන් කරනවා.

“පොත් කියවන ආසාවත්, තාත්තගෙ පෙළඹවීමත් නිසා පොඩි කාලෙ ඉඳන් ම මං විවිධ දේ ලිව්වා. ඒ කාලෙ ලයිට් තිබුණෙ නෑනෙ. ලාම්පුව ළඟට වෙලා මං කවියක් කෙටිකතාවක් ලියද්දි තාත්ත රෑ කීය වෙනකම් හරි ඇහැරිලා ඉන්නවා ඒක කියවන්න. මම ලියපු හැම දෙයක ම මුල් පාඨකයා එයා. ඒ කාලෙ ලිව් දේවල් එච්චර හොඳ නෑ. ඒත් තාත්තා ඒවා කියවලා මට ගොඩක් ප්‍රශංසා කළා. කැකිරාවෙ හොස්ටල් එකේ ඉද්දිත් මට ලියන්න පුළුවං කියල ගොඩක් ළමයි දන්නවා. ඉතිං ලොකු පංතිවල ගෑනු ළමයි මට කියලා පුංචි පුංචි කවි, ආදර ලිවුම් එහෙම ලියාගන්නවා. ඒ අය ඒ වෙනුවට මට චොක්ලට් ගෙනත් දෙනවා. සමහරවෙලාවට කඩචෝරු කන්න සල්ලි දෙනවා. ඉතිං මං රසබර වදන් දාලා ඒව ලියල දෙනවා.”ඇගේ මූණට එළිය වැටෙනවා. දෙතොළග හීන් හිනාවක් ඇඳෙනවා. ඉතිං ‘ඒ සුන්දර අතීතෙදි ඒ රසබරවදන් වලින් තමන්ටම කියල වැඩක් ගන්න බැරිවුණාද’ කියලා නාහා ඉන්න මට බැරි වෙනවා.

“ඇත්තටම ඒ කාලෙ මං හිටියෙ හයේ හතේ පංතිවල. මගෙ ලෝකෙ පිරිලා තිබ්බෙ පොත්පත්වලින් විතරයි. මං ඒකාලෙ පිරිමි ළමයෙක්ට කියලා ලිව්වේ එකම ලියුමයි. ඒකත් ආදර ලිවුමක් නෙමෙයි. අපේ පංතියට පොළොන්නරුව පැත්තෙ ඉඳලා ආපු ළමයෙක් හිටියා. එයා ඉගනගන්න ඉගනගන් හරි දක්ෂයි. ගුරුවරු අහන ප්‍රශ්නවලට නිතර උත්තර දුන්නා. ඉතිං පංතියේ ළමයි එයාට ඉරිසියා කරන්න ගත්තා. ගොඩක් අය එයාට කතා කරන්නෙ නැතිව හිටියා. මේ නිසා දවසින් දවස ඒ ළමයගේ මානසික මට්ටම පිරිහුණා. විභාග ප්‍රතිඵලත් පහළ බැස්සා. ඉතිං ඒ දේට මට දුක හිතුණා. පස්සෙ මං එයාට ලිව්වා එයාගෙ හිත හදන ලියුමක්. ඉන් පස්සෙ එයාගෙ හිත හැදුණා. අද ඔහු ඉංජිනේරුවෙක්. ආයෙ ලියුං කියලා දුන්නේ ඉතිං මගෙ මහත්තයට තමයි. ඇත්තටම ඒවනම් ලියුං නෙමෙයි පොත්.” අපගේ කතාබහ අතරතුර ඒ කඩවසම් රූපකාය අප වෙත එනවා. ‘මේ මගේ මහත්තයා’ ඈ මට ඔහු හඳුවා දෙනවා. මා ආදරයෙන් පිළිගන්නා ඔහු ප්‍රදේශයේ ගොවියන් හසුවී ඇති ණය උගුලක් ගැන මට සැකවින් කියනවා – පසුව තවත් තොරතුරු කියන්නට පොරොන්දුවී ආයෙත් ඒ රූපකාය වෙනතකට ඇදෙනවා.

ඔහුට ඈ හමුවන්නේ ඈ උසස්පෙළට ඉගනගන්නා කාලයේදී ය. එතකොට ඈ හිටියේ කැකිරාවේ ඔහුගේ ආච්චි අම්මාගේ ගෙදර බෝඩිංවෙලා. එසේ නමුත් ඔහු සම්බන්ධයෙන් ඇගේ මතකයන් ඊට වඩා පැරණිය. ඈ කුඩා පංතිවලදී ඒ පාසලේම ඉහළ පංතිවල හිටි ඔහුගේ ආකර්ශනීය රූපය ඇගේ සිත්ගෙන තිබේ. “ඒ කාලෙ ලොකු පංතිවල හිටි ඒ ගොල්ල ඒ වයසෙ ගෑනු ළමයි දිහා මිස අපි වගේ පොඩි කෙල්ලො දිහා බලයියැ” ඈ හඬනගා සිනහ වෙනවා.

“අපෙ සම්බන්දෙට මුළදි ගෙදරින් කැමතිවුණේ නෑ. මට ඒකාලෙ තේ එකක්වත් හදාගන්න බෑනෙ. ඉතිං තාත්තලා ගොඩක් බය වුණා. ඒත් එදා මගේ ආදරේ පරමාදර්ශය වුණේ, මං කියවපු රුසියානු සුරංගනා කතාවක හිටපු, යකඩ හැරමිටි හතක් ගෙවෙනකන්, යකඩ සපත්තු හතක් ගෙවෙනකං, කාන්තාර හතක් පහුවෙනකං ඇවිද්ද ප්‍රේමවන්තිය…”

“ඔය කාලෙ වෙනකොට ම කොහොමෙන් කොහොමහරි ජනතා විමුක්ති පෙරමුණේ වැඩවලට මම සම්බන්ධ වුණා. ඇත්තටම ඒ අරගලෙන් එදා මං දැක්කෙ රුසියන් කතාවල කියවපු දේවල්.” ඈ තවත් කතාවකට මුලපුරයි.

“මං ළඟත් තාත්ත ළඟත් මාක්ස්වාදී පොත් ගොඩක් තිබුණා. රටේ දේශපාලන තත්ත්වය නරක අතට හැරෙද්දි ඒවා හංගන්න අපි හිතුවා. ඔහොම හිතලා දවසක් මායි තාත්තයි තව කෙනෙකුයි එකතුවෙලා වත්ත පහළ වළක් කපල පොත් ටික වැළලුවා. ඒත් මේ වැඩේට අපිට අමතරව පිටස්තරයෙකුත් හිටපු එක ගැන පස්සෙ අපි හැමෝටම බය හිතුනා. ජීවිත බේරුණොත් ආයෙමත් පොත් ගමු කියලා තාත්තාතයි මායි එදා රෑ ම වළලපු පොත් ටික ගොඩඅරං ගිනි තිබ්බ… ඇත්තටම ඒක ශෝචනීය කාලයක්. එකපැත්තකින් අපිට නිකරුණේ මනුස්සයෙක් සැක කරන්න වුණා. අනිත් පැත්තෙන් අපි පණවගේ ආදරේ කළ පොත්පත් පවා ගිනි තියන්න සිද්ධ වුණා.”ඕ සුසුමක් පිට කරයි. ඒ සුසුම යට ඇති බර මට දැනෙයි. ආයෙමත් කතාව.

“තාත්තට වාමාංශික අදහස් තිබුණට ජනතා විමුක්ති පෙරමුණ අරංගිය වැඩපිළිවෙළට එයා කැමති වුණේ නෑ. එයා හැමවෙලේ ම කිව්වේ මිනිස්සු බලහත්කාරෙන් අරං ගිහින් විප්ලව කරන්න බෑ, මේ දෙයින් වෙන්නෙ දෙපැත්තෙම අය නිකරුණේ මැරෙන එක විතරයි කියලා. ඒත් රැස්වීම් වලට අනිවාර්යයෙන් එන්ඩ ඕනෙ කියලා පණිවිඩ ලැබෙද්දි තාත්තටත් කඩේ වහලා ඒවට යන්ඩ වුණා. ඒවට මං හොරෙන් හොරෙන් යනව කියල දැනගත්තම ගෙදර අය ගොඩක් බය වුණා. මට මතකයි තාත්තට යන්ඩ වුණ ඒ වගේ රැස්වීමකට මාත් හොරෙන් ගිය විදිහ. මාව උඩ තට්ටුවේ කාමරේකට දාලා දොරවල් වහලයි එදා තාත්ත ගෙදරින් ගියෙ. ඒත් මට ඒ රැස්වීමට යන්ඩම හිතුණා. අන්තිමට මං කඹයක් දාලා උඩතට්ටුවෙන් බැහැලා මහ රෑ ඒ රැස්වීම තිබ්බ පිට්ටනියට ගියා. පිට්ටනියෙ පුරා ම මිනිස්සු වාඩිවෙලා හිටියා. තැන් තැන්වල ලස්සනට ලංතෑරුම් පත්තුකරලා තිබ්බා. ඇත්තටම ඒ වෙලාවෙ මට දැනුනෙ මං ඒ වෙලාවෙ ජීවත් වෙන්නෙ රුසියන් කතාවක කියලයිි.”

ඈ අතීතය ස්මරණය කරනවා. මගෙ පරිකල්පනීය ලෝකයත් ඈ කියන ඉසව් කරා ගමන් කරනවා. ඒ ලන්තෑරුම් එළිය මේ දැනුත් ඇගෙ මූණ එළිය කරනවා මට පේනවා. “කොහොමහරි එදා රෑ තාත්තට කළිං ගෙදරට ඇවිත් නිදාගන්ඩ මට පුළුවං වුණා”

“හැබැයි ඊට පස්සෙ වුණ දෙයක් නම් මගෙ හිත තදින් කැළඹුවා. එදා තලාව පාර දිගේ ලොකු විරෝධතාවක් සංවිධානය වුණා. තාත්තට ඔය ගමනටත් යන්ඩ වුණා. කොහොමහරි මාත් හොරෙන් ගිහින් පිටිපස්සෙන් පෙළපාළියට එකතු වුණා. එහෙම එකතු වෙලා ටික දුරයි ඉස්සරහට යන්න පුළුවං වුණේ. පෙළපාළියට වෙඩි තිබ්බා. ඒ වෙඩිල්ලක් මං ළඟම හිටි ගෑනු ළමයට වැදුණ මං දැක්කා. එයාගෙ ලේ මයෙ ඇඟ පුරාම විසිරුණා. වෙඩි තියන බවවත් වෙඩි වදින බවවත් මම ඊට කළිං අත්විඳල තිබ්බෙ නෑ. කරකියාගන්න දෙයක් නැතිව මම එතනම ගල්ගැහුණා. ඒ වෙලාවෙ කවුදෝ මාව ඇදලා ඇරන් පාරෙන් එහා කැලෑවට තල්ලු කළා. එදා ලේ පෙරාගෙන ගෙදර යද්දි තාත්තත් ඇවිත්. වෙඩි තිවූ සිද්ධිය නිසා හැමෝම හොඳටම බයවෙලා මං ගැන.”
ඈ ඈ ඇගෙ කතාවට තවත් කරුණු එකතු කරනවා. “මටයි මල්ලිටයි අපෙ බාල නංගි ලැබෙන්නෙ ඔය කාලෙ. එයා අපිට වඩා අවුරුදු විස්සක් විතර බාලයි. ඇත්තටම ඒක මහ පුදුම සහගත කාලයක්. ජීවිතය ගැන බලාපොරොත්තු අතඇරලා දාද්දි ජීවිතය ගැන බලාපොරොත්තු ඇතිකරපු කාලයක්. මරණය ඔච්චර සුලභ වෙද්දි ජීවිතයත් පුදුම සහගත විදිහට දලු දාපු කාලයක්. කොහොමහරි ගෙදරින් එළියටවත් බහින්න බැරිව කොටුවෙලා හිටි මැදි වයසෙ මිනිස්සු ගොඩක් අයට අවුරුදු විස්සකට තිහකට පස්සේ ආයෙමත් ඔය කාලෙ දරුවො ලැබුණා.”

ඒ තීරණාත්මක වෙඩි සිද්ධියෙන් පසු අනාගත ලේඛිකාවත් ඇගේ සහොදරයාත් ගෙදරින් පිටකර කැළණියේ නෑ ගෙදරක නවත්තන්න ඇගේ දෙමව්පියෝ පියවර ගන්නවා. ජයන්ත චන්ද්‍රසිරිගේ “අත්”,ජයසේකර අපෝන්සුගේ “තටු” වැනි වේදිකා නාට්‍ය බලන්නට ඇයට භාග්‍ය හිමිවන්නෙ ඒ ගමනෙදි. ඒ විතරක් නෙමෙයි මේ හිතුවක්කාරකමින් පසු ඈ වෙත තවත් භාග්‍යයක් හිමිවෙනවා. ඒ යකඩ සපත්තු හතක් ගෙවෙන තුරාවට හරි ඇවිදින්න බලං හිටි ප්‍රේමවන්තයා විවාහ කරගන්නට ගෙදර උදවිය අවසර දිම. “මගේ හිතුවක්කාරකම් දරාගන්නම බැරි ම තැන, මාව එයාට බන්දලා දෙන්න ඊටපස්සෙ තාත්තලා කැමති වුණා.”

“කසාද බඳිද්දි මට විසි එකයි. අපි කසාද බැඳලා ටික කාලෙකින් දරුවෙක් ලැබුණා. දරුව දෙන්නා වුණා. දෙන්නා තුන්දෙනා වුණා. ඒත් ඒ අය ඔක්කොම පිරිමි දරුවෝ. ඒ තුන්දෙනාගෙ ඇඳුම් හොදලා වැලේ වනද්දි ඔක්කොම තිබුණෙ කළිසං කමිස. ඉතිං ඒක දකිද්දි මගේ ඔළුව කැරකෙන්න ගත්තා. ඊළඟ ආත්ම ගැන විශ්වාස කරන්නේ නැති හින්දා මට මේ ආත්මෙදි ම දුවෙක් අවශ්‍ය වුණා. බැරිම තැන මං කඩෙන් ගවුමක් ගෙනල්ලා රෙදි හෝදද්දි ඒකත් හෝදලා පුතාලගෙ ඇඳුම් එක්ක වනන්න පටංගත්ත. එක දරුවෙක්වත් නැතිව ඉන්න දෙමව්පියෝ කොච්චර ඉන්නවාද? ඉතිං එහෙම හිතල කාලයක් යද්දි මං හිත හදාගත්තා. කොහොමහරි මට ආයෙමත් නිවුන්නු ලැබුණා. හැබැයි ඒ අයත් පුතාලමයි.” ඈටම හිනා යයි. පුතුන් පස්දෙනෙක්ගෙන් යුත් ඒ කුටුම්බය පරිපූර්ණයි. ඒ සෙනෙහෙබර කුටුම්බයේ උණුසුම චමත්කාරජනකයි.

“මේ පළාතෙ මිනිස්සු උදේ ඉඳන් රෑ වෙනකම් කය වෙහෙසලා වැඩකරනවා. ඉතිං එහෙම තියෙද්දි ඒවට සහභාගී නොවී එකතැනට වෙලා පොත් ලියන එක ගැන අදටත් මට ඇතිවෙන්නෙ වරදකාරී හැඟීමක්. පවුල වෙනුවෙන් වෙන්න ඕනෙ හැම කටයුත්තක්ම සියයට සියයක් හරියටම කළත් ඒ වරදකාරී හැඟීමෙන් මිදෙන්ඩ මට අමාරුයි. එදිනෙදා ගෙදර දොර වැඩවලට මයෙ කාලෙ කොච්චර වැයවෙනවද කියනවනම්, ලියන්නත් කියවන්නත් මට තියෙන ලොකු ම අභියෝගෙ කාලෙ හොයාගන්න එක. ලියන එක මේ පළාතෙ මිනිස්සුන්ට ටිකක් අමුතු දෙයක් කියලයි මට හිතෙන්නේ. මං පොත් ලියනවා කියලා දැනගත්තට මං ලියන්නේ මොනවද කියලා දන්න අය අඩුයි. ඒත් මයෙ පොත් ටෙලිනාට්‍යවලට ආවයින් පස්සෙ දැන්නන් ටිකක් දන්නවා වගෙ.”ඈ මේ කියන්නේ එක්තරා හුදකලා සිදුවීමක් පමණද? කියවීමේ පුරුද්දට රූපවාහිනිය ආදී නූතන රසවින්දන මාධ්‍ය ඇතිකළ විනාශයේ තරම පිළිබඳ පොදු යථාර්ථය ද ඒ වචන තුළ සැඟවී ඇතැයි මට සිතේ.

“මයෙ පොත්වලට සම්මාන හම්බවෙද්දි ගමේ මිනිස්සු මට උපහාර උළෙලක් පවත්තන්න ගියා. මං ඒකට තදින් විරුද්ධ වුණා. කුඹුරට හේනට වෙලා කාස්ටකේ දුක්විඳින මිනිස්සු හම්බුකරන තුට්ටුදෙකෙන් මං වෙනුවෙන් උපහාර උළෙලවල් පවත්තගන්ඩ මට අයිතියක් නෑ. මොකද මං දැනටමත් ඒ මිනිස්සුන්ගෙ කතා විකුණලා සල්ලි අරං තියෙනවා.” ඇය කියයි. ඇය කිසිදා පුවත්පත්වලින් සම්මුඛ සාකච්ඡා – ප්‍රචාරණ නොයිල්ලයි. සාහිත්‍ය ලෝකයේ යාලුකම් ඇතිකරගන්නට වෙර නොගයි. ඒ සඳහා ඇයට වෙලාවක් ද නැත. ඇගේ වචනයන්වල ඇත්තේ හුදු අව්‍යාජත්වයේ පැහැය මිස තමං තම රූපයේ තවරාගන්නා වර්ණාවලියක් නොවන බව මට හොඳින්ම පැදිලියි. ඇත්තට ම මේ අව්‍යාජ ස්ත්‍රිය ලංකාවේ ලේඛිකාවක් ද – මම කල්පනාවට වැටෙනවා.

දරුවන් පස්දෙනෙක් ඇතුළු පවුලක වැඩ කන්දරාව ඉවර වුණාම ශාස්ත්‍රීය කටයුතු සඳහා ඇයට ඉතිරිවෙන්නේ ඉතා කෙටි කාලයක්. ඒ කාලයෙනුත් වැඩිමනක් තරුණ මහලු බේදයක් නැතිව ඈ හමුවන්නට අහළ පහළ ගෙවල්වලින් පැමිණෙන ගැහැනුන් මිනිසුන් වෙනුවෙන් වැයකරන්නට සිදුවෙයි. ඈ ඒ කාලය ඔවුන් වෙනුවෙන් වෙන්කරන්නේ ඉතා නිර්ලෝභීවය. ඇගේ නිර්මාණ දහරාවේ පුංචි පුංචි උල්පත් ඔවුන් ය.

‘මොන දේ වුණත් මගේ ලිවීමේත් කියවීමේත් වේගෙ ටිකක් වැඩියි. ඒකයි මේ වෙනකොට පොත් විසිදෙකක් පළකරන්න පුළුවං වුණේ ‘– ඈ කියයි. ඈ වෙත තව ලියන්නට ඉතිරිව ඇති දේ ද බොහෝයි‐ මට හිතෙයි.

උපුටාගැනීම – boondi.lk

About meepurawayamba

Check Also

ltte_bombs_1

එල්ටීටීඊය වළ දැමූ අතීතය නාවික හමුදාවෙන් ගොඩ ගනී !

එල්ටීටීඊ සාමාජිකයින් විසින් මන්නාරම, පාප්පමොටෙයි ප‍්‍රදේශයේ කැලෑබද පෙදෙසක වළ දමා සගවා තිබු බවට සැකකෙරෙන බෝම්බ ...