Saturday, April 20, 2024

මහව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළේ දින තුනක මළගෙදරක් !

Must read

මහව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල භූමියෙහි දින තුනක් තිස්සේ පවත්වාගෙන ගිය අවමගුල් උත්සවයක් හේතුවෙන් එම දිනවලදී රාජකාරී කටයුතු කරගැනීමට එහි පැමිණි ජනතාව දැඩි අපහසුතාවයකට පත් වූ බව වයඹ ටුඩේ වෙබ් අඩවිය වෙත වාර්තා වෙයි.

මහව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල භූමියෙහි මෙලෙස පැවැත් වී ඇත්තේ මහව සහකාර ප‍්‍රාදේශීය ලේකම් ආර්. එම්. ඒ. සී. රත්නායක මෙනවියගේ මවගේ අවමංගල උත්සවයයි. සහකාර ප‍්‍රාදේශීය ලේකම්වරියගේ මව පසුගිය 24 වැනිදා අභාවප‍්‍රාප්ත වී ඇති අතර මහව ප‍්‍රාදේශීය ලේකම් එච්. එම්. ජේ. එම්. හේරත් මහතා විසින් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල භූමියෙහි පිහිටි ප‍්‍රාදේශීය ලේකම් නිල නිවාසයේදී අදාල අවමංගල්‍යය පැවැත්වීම සදහා අවසර ලබාදී තිබේ. ඒ අනුව ප‍්‍රාදේශීය ලේකම් නිල නිවාසයෙහි ඒ වන විට පවත්වාගෙන යමින් තිබූ රෙජිස්ට‍්‍රාර් කාර්යාලයේ කාමරවලට ඉබියතුරු දමා සාලය සහ අනෙක් ස්ථාන අවමගුල වෙනුවෙන් සකස් කර තිබිණි. පසුගිය බ‍්‍රහස්තින්දා උදෑසන මහව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල භූමිය වෙත ගෙනා මෘතදේහය එහි රෙජිස්ටාර් කාර්යාලය තුළ දින තුනක් තිස්සේ තැන්පත් කර තැබීමෙන් අනතුරුව ඊයේ පස්වරුවේ (27 දා) දළදාගම පොදු සුසාන භූමියේදී ඒ පිළිබද අවසන් කටයුතු සිදුකෙරිණි.

ප‍්‍රාදේශීය ලේකම් නිල නිවාසයේදී අවමගුල පැවැත්වීමට අවසර ලබා දී ඇති කියැවුණු නමුත් ඉකුත් දින තුන පුරාම මහව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල භූමිය වෙතින් දැකගත හැකි වූයේ රාජ්‍ය ආයතනයක ස්වරූපයකට වඩා අවමංගල්‍යක් අවස්ථාවක නිවසද පවතින ස්වරූපයකි. ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල භූමියෙහි තැන තැන තාවකාලික කූඩාරම් ඉදිකර තිබූ අතර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල භූමිය පුරාම ශෝක ප‍්‍රකාශ බැනර් සහ සුදු කොඩි එල්ලා තිබෙනු දැකගත හැකි විය. එමෙන්ම අදාල දිනවලදී මළගෙදර පැමිණි අය සදහා උදේ, දිවා සහ රාත‍්‍රී ආහාර මෙන්ම තේ පැන් පිළිගැන්වීමද මහව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු ග‍්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් වැනි විවිධ කොටස්වලට පැවරී තිබූ බවත් ඔවුන් විසින් සකස්කරගෙන පැමිණි ආහාර පිළිගැන්වීම සදහා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විවිධ ස්ථාන භාවිතා කර ඇති බවද වයඹ ටුඩේ වෙත වැඩිදුරටත් වාර්තා වෙයි.

රාජකාරී දිනවල අවමගුල් කටයුත්තක් වෙනුවෙන් කාර්යාල පරිශ‍්‍රය සදහා භාවිතා කිරීමට අවසර ලබාදීම පිළිබදව මහව ප‍්‍රාදේශීය ලේකම් එච්. එම්. ජේ. එම්. හේරත් මහතාගෙන් කළ විමසීමකදී, සහකාර ප‍්‍රාදේශීය ලේකම්වරිය දැනට වාසය කරන කුලී නිවසේ හිමිකරුවන් එම නිවසෙහි අවමංගල්‍ය උත්සවයක් පැවැත්වීමට ඉඩලබානොදීම හේතුවෙන් සිය නිල නිවාස ගොඩනැගිල්ලේ අවමගුල උත්සවය පැවැත්වීම සදහා සහකාර ප‍්‍රාදේශීය ලේකම්වරියට අවසර ලබා දුන් බව පැවසීය. කෙසේවෙතත් මෙම අවමගුල් උත්සවය හේතුවෙන් කිසිදු රාජකාරී කටයුත්තකට බාධාවක් සිදු නොවූ බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

අවමගුල් උත්සවය පැවැති දිනවලදී මහව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල භූමිය දිස් වූයේ මෙසේය.

maho_furenal

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article