Thursday, April 25, 2024

විශ්‍රාම වැටුප් ඉල්ලා පාරට බැස්ස ”රට ගිය ඇත්තෝ”

Must read

 

විදේස් ගත ශ්‍රිලාංකිකයන් සදහා විශ්‍රාම වැටුපක් ඇතුළු තවත් ඉල්ලිම් රැසක් මුල්කොට ගෙන ජුනි 23 දා හලාවතින් ඇරඹෙන දින 4 ක් පාගමනකින් පසුව ජනාධිපතිතුමන් හට ඔවුන්ගේ ඉල්ලිම් ඇතුළත් සංදේශයක් රට ගිය ඇත්තෝ සංවිධානය විසින් භාරදිමට නියමිතය.
පහත පළවන්නේ එහි සභාපතිවරයා, වන  සුජිත් පෙරේරා මහතා සමගින් කරන්නට යෙදුන කථාබහක සටහනකි.

IMG_0470

“රට ගිය ඇත්තෝ” පටන් ගත්තේ කොහොමද?

ඒක ඇත්තටම මම විදේශගත වෙලා ඉද්දී මීට වසර 10කට කලින් පටන් ගත්ත සංවිධානයක්. මේ වෙනකොට අපිට සාමාජිකයෝ ලක්ෂ 3ක් ඉක්මවලා ඉන්නවා. ඒ අය ලෝකේ පුරාම විසිරිලා ඉන්නවා. මේකට මූලික වුනේ ශ්‍රී ටී.වී කියන සැටලයිට් ටී.වී චැනල් එක, ඒ හරහා තමයි සියළුම මෙහෙයුම් කටයුතු කරලා මේ සංවිධාන ආරම්භ වීම සිදුවන්නේ. ඒ චැනල් එක ආරම්භ කරලත් දැන් වසර 10ක් පමණ වෙනවා. ඒ සිට අද වෙනකම් පැවැති සියළුම රජයන් එක්ක විදේශගත ලාංකිකයන්ගේ ඔනෑ එපාකම් හා අයිතිවාසිකම් ගැන අපි සාකච්ඡා කරා,තවමත් ඒ පිළිබදව සාකච්ඡා කරමින් පවතිනවා. නමුත් මේ වෙනකම් ඒ දේවල් වෙනුවෙන් නිසි විසදුමක් ,සැලකිය යුතු විසදුමක් ලැබුනේ නැති නිසයි අපි මේ පා ගමන සූදානම් කරේ හෙට පටන් ගන්න.

ඔබගේ සංවිධානයේ මූලික ඉල්ලීම් මොනවාද?

ඉල්ලීම් රාශියක් තිබෙනවා. ඉන් එකක් තමයි විශේෂයෙන් මැදපෙරදිග රටවල් වලට කාන්තාවන් යැවීමට අපි විරුද්ධයි. ඒකට හේතුව තමයි ලංකාවේ සංස්කෘතියට අනුව කාන්තාවක් විදෙස් ගත වෙලා උපයන මුදලට වඩා 10ගුණයක් පමණ විශාල වෙනවා ඒ විදේශ ගතවීම නිසා ඒ පවුලට සිදුවන හානිය හා ඒ පවුල පත්වන පරිහානය. ඒ පාඩුව කවදාවත් මැදපෙරදිග ගිහින් උපයන මුදලින් පියවන්න බැහැ. ඒ වගේම තමයි මැදපෙරදිග රටවල් වල මානව හිමිකම් සම්බන්දව විශාල ගැටළු තිබෙනවා. ඒ නිසාම අපේ කාන්තාවන්ට එ් රටවල් වලදී විශාල හිරිහැර, කරදර අනන්ත අප්‍රමාණ ලෙස විදින්නට සිදුවෙනවා. ඒ නිසා අපි ඒකට විරුද්ධයි. නමුත් අපේ රටේ දැනට තිබෙන දැඩි ආර්ථික අපහසුතාවයන් නිසා මං හිතන්නේ නැහැ අපිට දැනට මැදපෙරදිගට රටවල් වලට අපේ කාන්තාවන් යැවීම නතර කරන්න පුළුවන් කියලා. ඒක නිසා දැනට  කාන්තාවන් යවන්න වෙනවාමයි.
මේ රජයෙන් අපි මුලින්ම ඉල්ලන වැදගත්ම ඉල්ලීම තමයි මේ රජයෙන්  කාන්තාවක් වෙත් රටකට හෝ මැදපෙරදිග රටකට මුලින්ම ගියහම ගුවන් තොටුපළේදී  අසරණ වෙන්න දෙන්නේ නැතුව ඔවුන්ව අපේ තානාපති කාර්‍යාලයට එක්ක යන්න කියලා. එතකොට එලෙස විදෙස්ගතවන අපේ කාන්තාවක් පිරටකට ගිහින් ඉස්සෙල්ලාම යන්නේ ඔවුන්ගේ ගෙදර වගේ සිංහල කතා කරන, දෙමළ කතා කරන අපේ තානාපති කාර්‍යාලයට. ඉන් පස්සේ ඒ විදියට ගෙනිච්චායින් පස්සේ ඊට අදාලව නේවාසිකාගාර පහසුකම් ඇති කරන්න ඕනෑ. ඊට පස්සේ එතැන ඉන්නකොට ඇගේ සේවායෝජකයා එහෙමත් නැතිනම් ඇයට රැකියාව ලබාදෙන තැනැත්තා ඒ කාර්‍යාලයට ඇවිල්ලා සිදුවන නිසි ලියාපදිංචි කිරීමකින් අනතුරුව අපේ කාන්තාව එම පුද්ගලයන්ට භාර දෙන්න පුළුවන්. එතැනදී  ගැටළු රාශියක් අවම කරගන්න පුළුළුන්. ඒ  වගේම මේ කාන්තාව පිළිබද හොයලා බලන්නත් පුළුවන්. නමුත් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ සදහා කොච්චර මුදලක් වැය වෙන්න පුළුවන්ද කියලා, එතැනදී අපි මතක තියාගන්න ඕනෑ අපේ රටේ වැඩිම විදේශ විනිමය උපයන්නේ මෙලෙස විදේශ ගතවන පිරිස් විසින්. එහිදී ඒ ආදායම අපට ලැබෙන්නේ රජය විසින් කිසිදු ආයෝජනයක් කිරීමෙන් තොරවයි. අප මේ මුදල වෙනත් කර්මානතයක් මගින් හොයන්නට ගියානම් අපට කොයිතරම් මුදලක් වියදම් කරන්න වෙයිද? ඒක නිසා ඒ මදල් සම්භාරය අපට වැදගත් වෙනවානම් රජය පැත්තෙන් යම් කැපවීමක් කරලා ඒ අපේ කාන්තාවන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කරන්නට අප මේ කරන යෝජනවට  එකගවෙන්න ඕනෑ. ඒක බොහෝම ප්‍රායෝගිකයි . ඒක කරන්න පුළුවන්. මොකද ඒ රටවල් වල දීර්ඝකාලීනව ජීවත් වෙලා එහි සංස්කෘතිය, එදිනෙදා ජීවන රටාවල් හා ඒ භාෂාවන් හොදින් හසුරුවන්න පුළුවන් ලාංකීකයන් ඕනෑ තරම් ඉන්නවා. ඔවුන්ව ඒ රැකියාවන් වලට අනුබද්ධ කරන්න පුළුවන්.ඔවුන්ගෙන් එතකොට නිසි සේවයක් ගන්නත් පුළුවන්. මේක තමයි මූලිකම ඉල්ලීම.

ඊට අමතරව මේ නව රජය විසින් දින 100 වැඩපිළිවෙල යටතේ විදෙස්ගත ලාංකිකයන්ට විශ්‍රාම වැටුපක් පොරොන්දු උනා. ඒක දෙන්න ඕනා. ඒ වගේම විදෙස්ගතවෙලා ඉන්න ලාංකිකයන්ට වාහනයක් , මෝටර් සයිකල් එකක්, ත්‍රීවීල් එකක් තීරු බදු රහිතව ගෙන්න ගන්න පුළුවන්කම ලබා දෙන්න ඕනා. ඒ වගේම අපේ රටේ කෙනෙක් පිටරට පාවිච්චි කරන වාහනය අපි අපේ රටේ සම්පතක් ලෙසයි සලකන්න ඕනේ, ඒක අවුරුදු දෙකක් තුනක් පාවිච්චි කරලා කිසි වටිනාකමන් නැතිවෙනවාට වඩා හොදයි එය අපේ රටට ගෙනල්ලා අපේ රටේ එය ප්‍රයෝජනයට ගැනීම. මේ වගේ ඉල්ලීම් මාලාවක් අප සතුව තිබෙනවා.

මේ ඉල්ලීම් ඉෂ්ට කරගන්න මේ වෙනකම් මොනවද කරල තියෙන්නේ?

අපි පසුගිය වසර 10 පුරාවටම මේ රටේ ජන නායකයන් හා අමාත්‍යංශවල මැති ඇමතිවරුන් හම්බවෙලා මේ පිළිබදව සාකච්ඡා කරල තියෙනවා. නමුත් මේ වසරේ තමයි මුල්ම වතාවට අපි උද්ඝෝෂණ වලට සහභාගී වුනේ. අපි විදෙස්ගත ලාංකිකයන්ගේ ඉල්ලීම් වෙනුවෙන් පළමු උද්ඝෝෂණය පැවැත්වූවා දින 100 වැඩපිළිවෙල යටතේ විශ්‍රාම වැටුප සම්බන්දව ක්‍රියාත්මක කිරීම් කරල දෙන්න කියලා විදේශ කටයුතු අමාත්‍යංශය ඉදිරිපිට බත්තරමුල්ලේදී.එහිදී ඒ උද්ඝෝෂණය ඉතාමත් සාර්ථක එකක් උනා. පැයක් යන්නත් කලින් අදාල බළධාරීන් 3න් වරක් අපව හමුවෙන්න ඇවිත් මේ ඉල්ලීම් සියල්ලම අපට ලබා දෙන බවට පොරොන්දු වුනා. ඒ නිසා අපි විසිර ගියා. නමුත් පොරොන්දු වූ පරිදි දින 100 වැඩපිළිවෙල යටතේ විශ්‍රාම වැටුප් ලබා දීම ක්‍රියාත්මක වුනේ නැහැ. අපි දන්නවා රජයට විවිධ ගැටළු තිබෙනවා ඒ නිසා ඒ පිළිබදව අපට ලොකු අමනාපයක් නැහැ. නමුත් මේ විශ්‍රාම වැටුප් සම්බන්ද යෝජනාව මීට අවුරුදු 20ක පමණ සිට සාකච්ඡා වෙන දෙයක් ඒ නිසා විශ්‍රාම වැටුප සම්බන්දව හා අනෙකුත් ඉල්ලීම් ලැබිය යුතුයි. ඒ උද්ඝෝෂණයෙන් පසු විවිධ හමුවීම් හා සාකච්ඡා පැවැත්වුණා. ඉන් පස්සේ තමයි අපි ප්‍රථම වතාවට මේ පාගමන සංවිධනය කරන්නේ හලාවත ඉදන් කොළඹට ජූනි 23 වෙනිදා ඉදන් 26 වෙනිදා වෙනකම් දින 4ක්. 4වන දිනය අවසානයේ අප බලාපොරොත්තු වෙනවා ජනාධිපති ලේඛම් කාර්‍යාලයට ගිහිල්ලා අපගේ සංදේශය ජනාධිපතිතුමන්ට භාර දීලා එතුමන් හමුවෙලා මේ සම්බන්දව සාකච්ඡා කරලා ඉක්මන් විසදුමකට යන්න.

මෙහිදී අපට අමතක කරන්න බැහැ, විදේශසේවා නියුක්ති කාර්‍යංශයේ ලියාපදිංචි වූ විදෙස් ගතව සිටින පිරිස පමණක්  ලක්ෂ 17ක් පමණ සිටිනවා. අපි විශ්වාසකරනවා පැහැදිලිවම ලක්ෂ20කට එහා  විදේශගතව සිටිනවා කියලා. ඒ නිසා ඒ විදෙස්ගතවෙලා ඉන්න පිරිස් වෙත ලංකාවේ ප්‍රධාන මැතිවරණ වලදී ඡන්දය ප්‍රකාශකිරීමේ අයිතිය දෙන්න ඕනෑ. ඒක මේ වෙනකම් හැම කෙනෙක්ම පොරෙන්දු වුනත් මේ වෙනකම් ඒක ඉටුවෙලා නැහැ. ඒකත් මෙවර අපේ ඉල්ලීමක්.

ඒ ලක්ෂ 20න් සෘජුව ම යැපෙන එක්කෙනෙකුට දෙන්නා ගානේ තිබ්බත් ලක්ෂ 40ක් ඉන්නවා ඒක තමයි ඇත්ත. එතකොට ඒ ලක්ෂ 40ට මේ රටේ රජයක් පිහිටුවන්න, රජයක් වෙනස් කරන්න තරම්  මහා විශාල බලයක් තියෙනවා. ඒක නිසා පක්ෂ පාට භේදයකින් තොරව රට ගිය ඇත්තෝ සංවිධානය තුලදී අපි කටයුතු කලොත් අපට දැඩි විශ්වාසයක් තියෙනවා ඕනෑම රජයකට අපේ ඉල්ලීම් වලට කන්දෙන්න සිදු වෙනවා කියලා. මොකද අපි දන්නවා පසුගිය කාලයේදී ලක්ෂ 5ක් 6ක් ඡන්ද ගන්න අයටත් රජුන් තනන්නො කියන ලේබලය වැදිලා තිබුනා. ඒ නිසා පැහැදිලිවම රටගිය ඇත්තෝ එක පොදියකට ගත්තොත් අපිට රජුන් තනන්නෝ වෙන එක මහා ලොකු කාර්‍යයක් නෙවෙයි.

ඔබ සංවිධානය කරන පාගමන කොහොමද සංවිධානය වෙන්නේ ? කවුද ඒ සදහා සහභාගී වෙන්නේ?

අපි හෙට උදේ 9ට හලාවත ඔරලෝසු කණුව ඉදිරිපිටින් මේ උද්ඝෝෂණය ආරම්භ කරනවා.එ් සදහා විශාල පිරිසක් සහභාගී වෙතැයි අපි බලාපොරොත්තු වෙනවා. අමතක කරන්න එපා අපේ රටේ මිනිස්සුන්ට උද්ඝෝෂණ වලට සහභාගී වෙලා පළපුරුද්දක් නැහැ. මට දැන් අවුරුදු 52ක් වුනත් මං සහභාගී වන පළමු උද්ඝෝෂණය වන්නේත් මෙය. ඒ තමයි අපේ හැටි. මොකද අපි කවමදාවත් අපේ ඉල්ලීම් වෙනුවෙන් කොළඹ කොටුව ඉදිරිපිටට, මරදාන වටරවුමට ගිය අය නෙමෙයි. ඒ ගැන අපි ලැජ්ජ වෙන්න ඕනේ.

කෙසේ හෝ මේ පාගමන ඉතාමත් දුෂ්කර එකක්. මොකද ඉතාම උණුසුම් දේශගුණයක් තියෙන්නේ විශේෂයෙන් හලාවත ප්‍රදේශයේ. අපි උත්සහ කරනවා මේ පාගමනේදී  හලාවත සිට මාරවිලට පයින්ම පැමිණෙන්න. අපට ලෝකයේ දස දෙසින් විශාල ආශිර්වාදයන් ගලාගෙන එනවා. විවිධ පුද්ගලයන් අපි නොහිතපු විදියට අපට සුභපතනවා. මේක ආරම්භයක් පමණයි. අපි හෙට (ජූනි 23 වන අගහරුවාදා)  හලාවත ඉදලා මාරවිලට එනවා, අනිද්දා (ජූනි 24) උදේ මාරවිල ඔරලෝසු කණුව ලගින් පටන් ගෙන මීගමුව බස් නැවතුම්පල දක්වා එනවා, ජූනි 25 වන දින මීගමුව නගර ශාලාව ඉදිරි පිටින් ආරම්භ කරලා කදාන පොලීසිය දක්වා පැමිණෙනවා. අන්තිම දවසේ ඒ කියන්නේ ජූනි 26 වෙනිදා කදාන පොලීසිය ඉදිරිපිටින් මේ පාගමන ආරම්භ කරලා කොටුව හරහා ජනාධිපති ලේකම් කාර්‍යාලයට ගමන් කරන්න බලාපොරොත්තු වෙනවා.

ඉතින් මේ සම්බන්දව ප්‍රචාරය ලබා දෙමින් ඔබ ආයතනය හා අනිකුත් ආයතන ලබා දෙන සහයෝගයට අපි ඉතාමත් ගරු කර සිටිනවා. අපට අරමුදල් සපයන්න කිසිදු දේශපාලන පක්ෂයක් නැහැ. ඒ වගේම අපට කිසිදු රාජ්‍ය නොවන සංවිධානයකින් මුදල් ලැබිලත් නැහැ. ඒ වගේමයි පසුගිය වසර 10ක කාලසීමාව තුල අපේ සාමාජිකන්ගෙන් අපි කිසිදු සාමාජික මුදලක් අය කරගෙනත්  නැහැ. කිසිදු ආයතනයකින් හෝ ව්‍යාපාරික ආයතනයකින්වත් අපි මුදල් අයකරගෙන නැහැ. විදෙස්ගත ශ්‍රීලාංකිකයන් වෙනුවෙන් අපි කිහිපදෙනෙක් අපගේ පෞද්ගලික මුදල් යොදවලා තමයි මේ කටයුතු සිදුකරගෙන යන්නේ. ඉදිරියටත් අපි ඒ විදියටම ගමන් කරන්න බලාපොරොත්තු වෙනවා.

අවසාන වශයෙන් ඔබට මොකක්ද කියන්න තියෙන්නේ?

අවසාන වශයෙන් අපගේ විදෙස් ගත මේ ලාංකිකයන්ට නිසි තැන,නිසි ගෞරවය ලබා දෙන්න ඕනා. ගෙදරක උනත් උපයන තැනැත්තා තමයි ගෘහ මූලිකයා විදියට අපේ සංස්කෘතියෙන් අපි සලකන්නේ. එහෙම බැලුවොත් අපේ රටට වැඩිම විදේශ විනිමයක් ලබා දෙන්නේ අපි. ඒ නිසා අපි හම්බ කරන දේවල් මේ රටෙ හැම දේටම විශාල පිටුවහලක් වුනා. නමුත් අපිට බොරුවට රට විරුවෝ කියලා ලේබලයක් ගහලා අපිව රවට්ටලා උත්සව සැණකෙළි තියලා මහජන මුදල් කාබාසිනියා කරා මිසක් පැවැති කිසිම රජයකින් අපගේ ඉල්ලීම් ඉටුවුනේ නැහැ. විදෙස්ගතව සිටින හා එසේ නොවන පිරිසගේ උදව් ඇතිව ඉදිරියේදී විදෙස් ගත ලාංකිකයාට හිමි ගෞරවය ලබා දීමට අප උත්සහ කරනවා. එය සාර්ථක කර ගැනීමට අපට හැකි වේවායි අපි ප්‍රාර්ථනා කරනවා.

සංවාද සටහන –මිතිලයා ගමගේ
DSC_0320

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article