Friday, April 19, 2024

උසාවි ගේට්ටුව ළගදී ජොන්ස්ටන්ගේ වාහනය හරස් කළ විදේශිකයා කවුද ?

Must read

alu_yata_ gini_ marach_31ටිකිරි බණ්ඩාගේ දෙබිඩි පිළිවෙත තවත් වරක් එළියට !

මහින්ද පිලේ ප‍්‍රධාන බලකොටුවක් වන කුරුණෑගල දිස්ත‍්‍රික්කය සම්බන්ධයෙන් මාස කිහිපයක් තිස්සේ පවත්වාගෙන ආ නිහැඩියාව බිදිමින් මෛත‍්‍රී පිලේ උදවියද වැඩ පටන්ගෙන ඇති බවට පසුගිය බ‍්‍රහස්පතින්දා ‘අඵ යට ගිනි ’පිටුවෙන් කළ අනාවරණය මේ සතිය ගෙවී යන්නටත් පෙර දෑස් පනාපිටම සැබෑ වූ බවක් දැකගත හැකි විය. මක්නිසාද ගෙවී ගිය සතියේ දින හතෙන් තුනක්ම ජනපති මෛත‍්‍රී ගතකළේ කුරුණෑගල වූ බැවිනි. ඒ දින තුනට අමතරව එළැඹෙන 05 වැනිදාත් මෛත‍්‍රී යළිත් වතාවක් කුරුණෑගල පැමිණීමට නියමිතව ඇත්තේ කුරුණෑගල මාළිගා පිටියේදී පැවැත්වෙන මත් නිවාරණ වැඩසටහනක් වෙනුවෙනි. ජනපති මෛත‍්‍රී මේ අයුරින් කුරුණෑගලට වැඩි බරක් තබමින් ඉදිරි වැඩකටයුතු සැලසුම් කරමින් සිටින්නේ ආවාට ගියාට නොවන බවත්, එය පළාත් පාලන මැතිවරණය ළග ළගම එන බවට ලකුණක් බවටත් බොහෝ දෙනෙකුගේ මතය වෙයි. පසුගිය බ‍්‍රහස්පතින්දා ජනපති මෛත‍්‍රී අලව්වට ආවේ විවෘත කිරිම් දෙකකටය. ඒ අලව්ව නව බස් නැවතුම්පොල විවෘත කිරීමට සහ රාහුල ජාතික පාසලේ තාක්ෂණික පීඨය විවෘත කිරීම සදහාය. ඇමැති රන්ජිත් සියඹලාපිටිය, වයඹ ආණ්ඩුකාර අමරා පියසීලි රත්නායක, නියෝජ්‍ය ඇමැති ඉන්දික බණ්ඩාරනායක, මහ ඇමැති ධර්මසිරි දසනායක, වයඹ සෞඛ්‍ය ඇමැති ලක්ෂ්මන් වේඩරුව, පළාත් ඇමැති ගුණදාස දෙහිගම, වයඹ පළාත් සභා මන්ත‍්‍රීවරුන් වන පියසිරි රාමනායක, අතුල විජේසිංහ, අශෝක පේ‍්‍රමදාස, රෝහණ බස්නායක, නිලන්ත සුපුන් රාජපක්ෂ, කමල් ඉන්දික යන මැති ඇමැතිවරුන් මෛත‍්‍රී සමග අලව්වේ උත්සවවලට සහභාගී වී සිටියහ. හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ජයරත්න හේරත්, ආර්. ඩී. විමලදාස සහ නිමල් විජේසිංහද එම උත්සව දෙකේදී දැකගැනීමට ලැබීම විශේෂත්වයක් වූ අතර පළාත් පාලන ආයතන ප‍්‍රධානින් නියෝජනය කරමින් මාවතගම ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති උපුල් පෙරේරා, අලව්ව ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති බණ්ඩාර වෑත්තෑව, කුලියාපිටිය ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් කැටවලගෙදර සහ තවත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ප‍්‍රාදේශිය සභා මන්ත‍්‍රීවරුන් පිරිසක්ද මෛත‍්‍රීගේ උත්සවයට සහභාගි වී සිටියහ. රාහුල ජාතික පාසලේ විවෘත කිරීම් උත්සවයේදී අධ්‍යාපන ඇමැති අකිල විරාජ්ගේ අඩුව දකින්නට ලැබුණු අතර නාරම්මල ප‍්‍රදේශයේ නායක හිමි නමකගේ ආදාහන පූජෝත්සවයකට සහභාගිවන්නට තිබීම හේතුවෙන් විවෘත කිරීමේ උත්සවයට එන්නට නොලැබෙන බව අකිල විසින් දන්වා කල් ඇතිව දන්වා එවා තිබිණි. උත්සවයට සහභාගි වී සිටි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමැතිවරුන් සියලු දෙනාම පාහේ මෛත‍්‍රීවාදීන් හෝ මැදිහත් මතධාරීන් ලෙස ලේබල් වී සිටින නමුත් මහින්දවාදීන් ලෙස නම් දැරූ චරිත දෙකක්ද අලව්වේ උත්සවවලදී දැකගත හැකි විය. ඉන් එක් අයෙක් වයඹ අධ්‍යාපන ඇමැති සන්ධ්‍ය රාජපක්ෂ වූ අතර අනෙක් චරිතය වූයේ වයඹ පළාත් සභාවේ සභාපති ටිකිරි බණ්ඩාය. ඇමැති සන්ධ්‍ය පළාතේ අධ්‍යාපන ඇමැතිවරයා ලෙස පාසලක පැවැති විවෘත කිරීමේ උත්සවයකට මෛත‍්‍රී සමග සහභාගි වී සිටීම සාමාන්‍ය තත්වයක් වුවත් සභාපති ටිකිරි බණ්ඩාට එතැන තිබුණේ අහවල් රාජකාරියක්දැයි පැහැදිලි නැත. ටිකිරි බණ්ඩා විසින් එදිනත් සුපුරුදු ලෙසම පෙන්වූයේ සිය දවල් මිගෙල් රෑ දනියෙල් නාඩගම බව උත්සවයට සහභාගී වී සිටි බොහෝ දෙනෙකුගේ මුවින් පිටවෙනු ඇසිණි. ජනපති මෛත‍්‍රීට මහින්දගේ බලය පෙන්වා පොඩි සද්දයක් දමනු පිණිස දැනට දෙසතියකට පෙරදී කොළඹ හයිඩ් පිටියේ සංවිධානය කෙරුණු රැස්වීමට පළාත් පාලන මන්ත‍්‍රීවරුන් සහ පාක්ෂිකයින් සහභාගි කරවීම පිණිස සෑහෙන වෙහෙසක් දැරූ ටිකිරි බණ්ඩා, ඒ ජනාධිපතිවරයාම රාහුල විද්‍යාලයට පැමිණි විට ළගින්ම වූ අසුනක වාඩි වී සිටිනු පෙණිනි. එපමණක් නොව මහින්දගේ නමක් හෝ කියැවෙන උත්සව, පන්සල්, රැස්වීම් එකක්වත් අත්නොහැර සහභාගි වන ටිකිරි බණ්ඩා දැන් දැන් මෛත‍්‍රී එන්නේ කොතැනද එතැනත් පෙනීසිටීමේ අලුත් සෙල්ලමක් පටන්ගෙන ඇති බවක් පෙනෙයි. මහින්ද සමගත්, මෛත‍්‍රී සමගත් එකවර පෙනී සිටිමින් ටිකිරි බණ්ඩා මේ දත කන්නේ හෙට අනිද්දාට ගැලවීයාමට නියමිත පොල්ගහවෙල ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක පට්ටම රැකගැනීමට බව තතු දත් අය කියති.

බ‍්‍රහස්පතින්දා අලව්වේ උත්සව දෙකට සහභාගි වී ආපසු ගිය ජනපති මෛත‍්‍රී දෙවැනි වරටත් පසුගිය සදුදා කුරුණෑගලට ආවේය. ඒ නාරම්මල මධ්‍ය මහා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප‍්‍රදානෝත්සවයට සහභාගීවීමටය. ත්‍යාග ප‍්‍රදානෝත්සවයට පෙර නාරම්මල මධ්‍ය මහා විද්‍යාලයේ නව ක‍්‍රීඩා පිටිය සහ තාක්ෂණික පීඨය විවෘත කිරීමද ජනපති අතින් සිදුකෙරිණි. ක‍්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර, නියෝජ්‍ය ඇමැති ඉන්දික බණ්ඩාරනායක, නියෝජ්‍ය ඇමැති අශෝක් අබේසිංහ ඇතුළු පිරිසක් එම උත්සවයට මෛත‍්‍රී සමග එක් වී සිටියහ. නාරම්මල මධ්‍ය මහා විද්‍යාලයේ ත්‍යාග ප‍්‍රදානෝත්සවය අවසන් කර කොළඹ බලා ගිය ජනාධිපති මෛත‍්‍රී ඊට පසුවදා, එනම් අගහරුවාදා පස්වරුවේ යළි කුරුණෑගල පැමිණියේ වයඹ පළාත් සුව විශිෂ්ටතා සම්මාන උළෙලට සහභාගිවීම සදහාය.

මෛත‍්‍රී පළාත් සභාව ගැන හොද කියද්දී ලයිට් යයි.

මාධ්‍යවේදීන් එළවා දැමීමේ සිදුවීමෙන් කුජීතව ගිය වයඹ පළාත් සභාවට සොහාන් ලකුණු පෙන්වන සිදුවීම් ගණනාවක්ද ඉන් පසුව එළැඹි පසුගිය සති කිහිපය තුළ අසන්නට සහ දකින්නට ලැබිණි. පළාත් සභා ඉතිහාසයේ කවරදාකවක් නොවූ අයුරින් සභා ගර්භයෙහි පුටු කඩා වැටී මන්ත‍්‍රීවරුන් බිම ඇද වැටෙද්දී, පළාත් සභාවේ කියුම් කෙරුම් ඇසෙන මානයේ වූ ඇතුගලද පළමුවරට පුපුරා ගියේය. වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් සකස් කළ ප‍්‍රශ්නපත‍්‍රවල ඇති බරපතල දෝෂ හේතුවෙන් වාර විභාගයට වාඩි වී අපහසුතාවයට ලක් වූ වයඹ දරුවන්ගේ මව්පියන් විසින් වයඹ පළාත් සභාවේ නිල බලධාරීන්ගේ මව් ගුණ සිහි කළ අයුරු පසුගිය සතියේදී වයඹ පළාතේ හැම අස්සක් මුල්ලකින්ම අසන්නට ලැබිණි. වයඹ පළාත් සභාව ගැන දන්නා හදුනන හැම කෙනකුගේම මතය වෙන්නේ පළාත් සභාව මේ ගෙවා දමමින් සිටින්නේ ඉතිහාසයේ අදුරුතම සහ අසාර්ථකම කාලවකවානුව බවයි. වයඹ පළාත් සභාව මින් පෙර බොහෝ අවස්ථාවලදී දේශපාලන අස්ථාවරභාවයට , ගැටලූකාරී සහ අර්බුදකාරී තත්වයන්ට මුහුණ දී ඇතත් එවකට පළාත් සභාවේ නායකත්වය දැරූ මැති ඇමැතිවරුන් විසින් එම තත්වයන් මනා ලෙස කළමනාකරණය කරගනිමින් වයඹ පළාත් සභාවේ කීර්ති නාමය රැකගැනීමට සමත් වූ බව ඒ අයගේ අදහස වෙයි. මහජන ඡන්දයෙන් මනාප ලැයිස්තුවල අන්තිමයන් වූ නමුත් ජනපති මෛත‍්‍රීට කන්කෙදිරිගෑමේ අනුහසින් තනතුරුලාභීන් බවට පත්ව දැනට වයඹ පළාත් සභාවේ මුල් පුටු හොබවමින් සිටින මැති ඇමැතිවරුන්ගේ අදූරදර්ශී සහ නොමනා හැසිරීම් හේතුවෙන් වයඹ පළාතම මේ වන විට අවුල් ජාලාවක් වී හමාරය. අතීත පළාත් සභාවන් තුළ ආණ්ඩු පක්ෂයට ඕනෑ හැටියට නටන්නට විපක්ෂයෙන් ඉඩ නොලැබුණු මුත් වයඹ පළාත් සභාවේ දැන් ඉන්නා විපක්ෂයේ හැසිරීම දිහා බලන විට අපරාදේ කියන්නට බැරිය. යහපාලනයේ නාමයෙන් වයඹ පළාත් සභාවට ලැබී ඇත්තේ ආණ්ඩු පක්ෂය සමග තකට තක විපක්ෂයකි. තමන්ගේ කොටස ලැබෙනවා නම් ආණ්ඩු පක්ෂය ගෙන එන ඕනෑම කුණු ගොඩකට දෑතම එසවීමට සූදානම් විපක්ෂයකි. වයඹ පළාතේ ජනගහණයෙන් හතරෙන් එකක් නියෝජනය කරන ධීවරයින්ගේ ගැටඵවක් පිළිබදව වයඹ පළාත් සභාවේදී සාකච්ඡා කෙරෙන අවස්ථාවකදී ධීවරයින්ට කුද ගහගන්නැයි කියා පළාත් සභාව මග හැර යන විපක්ෂයකි. වයඹ ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අයියා – මල්ලී සංකල්පයෙන් ආණ්ඩු කරන නමුත් ඉන් ජනතාවට අත් වූ සෙතක් නැත. කෝටි ගණනක් වැය කර හැර පළාත් සභාවේ ගේට්ටුව යළි ගලවා සකස්කිරීම විනා අලූතින් පටන්ගත් කිසිදු සංවර්ධන කටයුත්තක් වයඹ පළාත් සභාවට නැත. හිටපු මහ ඇමැතිවරුන්ගේ කාලයේ ආරම්භ කළ ව්‍යාපෘති විවෘත කරමින් යනවා විනා කිසිදු අලූත් ව්‍යාපෘතියකට වයඹ ප‍්‍රධාන අමාත්‍යංශයෙන් අත ගසා නැත. අලුතින් පටන් ගන්නා තබා පළාත් සභාව කරගෙන ආ වැඩ ටිකවත් ඉදිරියට කරගෙනයාමටවත් හයියක් තමන්ට නැති බව වත්මන් පළාත් සභාවේ නායකයින් විසින් මේ වන විට අපූරුවට ප‍්‍රදර්ශණය කර හමාරය. එහෙව් හැකියාවක් තිබුණා නම් තවමත් යහතින් ඉන්නා මහින්ද රාජපක්ෂ ‘මිය ගිය ශ්‍රේෂ්ඨ නායකයෙකු’බවට පත් කළ ප‍්‍රශ්න පත‍්‍ර වයඹ දරුවන්ගේ අතට ලැබෙන්නේ නැත.

පළාත් සභාවේ වස් දොස් යවනු පිණිස මාස කිහිපයකට පෙර පළාත් සභා භූමියේදීම අරිනු ලැබූ බලිය වැරදි අතට කැරකීම නිසාදෝ පළාත් සභාවට උදා වී ඇති බව පෙනෙන මේ අපල වැළ දැන්මම ගෙවෙන පාටකුත් පෙනෙන්නට නැත. එහි ආසන්නම උදාහරණය දැකගත හැකි වූයේද අගහරුවාදා පැවැති වයඹ පළාත් සුව විශිෂ්ටතා සම්මාන උළෙලේදීය. ජනපති මෛත‍්‍රීගේ සහභාගීත්වයෙන් පැවැති මෙම උත්සවයේදී ජනපති සභාව අමතමින් සිටියදී විදුලිය විසන්ධිවීම රටම කතා කළ මාතෘකාවක් බවට පත් විය. සිය කතාව ආරම්භ කළ ජනාධිපතිවරයා සෞඛ්‍ය ක්ෂේත‍්‍රය පිළිබදව විග‍්‍රහයක් කිරීමෙන් පසුව මෙවැනි උත්සවයක් සංවිධානය කිරීම පිළිබදව වයඹ පළාත් සභාවට ප‍්‍රශංසා කිරීම ආරම්භ කරනවාත් සමග විදුලිය විසන්ධි වී ගියේය. ජනාධිපති මෛත‍්‍රීට කියන්නට ලැබුණේ මෙවැනි වැදගත් කටයුත්තක් සංවිධානය කිරීම දිවයිනේ සෙසු පළාත් සභාවන්ද ආදර්ශයට ගත යුතු බව පමණි. සභාව අමතමින් සිටි ජනාධිපතිවරයාද සමග මුලු පළාත් සභා ශ‍්‍රවණාගාරයම අදුරේ ගිලී ගියේය. සභාවේ සිටි අයට වේදිකාව දෙසින් දැකගත හැකි වූයේ ජනාධිපතිවරයා පැළැද සිටි උපැස් යුවළේ රන්වන් පැහැති දාරය අදුරේ දිලිසෙමින් ඇති අයුරු පමණකි. විදුලිය විසන්ධිවීම පිළිබදව නොතැකූ ජනපති අදුර මැදම සිටගෙන තවත් විනාඩි කිහිපයක් සිය කතාව කරගෙන ගියේය. ජනාධිපතිවරයා කතාව අවසන් කරන තුරුම යළි විදුලිය නොලැබුණා මෙන්ම පළාත් සභා සංකීර්ණයේ ඇති විදුලි ජනක යන්ත‍්‍ර හෝ ක‍්‍රියාත්මක වූ බවක් නොපෙණිනි. කෙසේවෙතත් ජනාධිපති ආරක්ෂක අංශ නිලධාරීන්ටද ඔවුන් සතු විදුලි පන්දම් සිහි වී තිබුණේ ජනාධිපතිවරයා විනාඩි කිහිපයක් අදුරේ ගත කළ පසුවය. අනතුරුව උත්සවයේ වැඩ කටයුතු සිදුකෙරුණේ ජනාධිපති ආරක්ෂක අංශය සතු විදුලි පන්දම් එළි කිහිපයක ආධාරයෙනි. වයඹ පළාත් සුව විශිෂ්ටතා සම්මාන උළෙලට පැමිණීම වෙනුවෙන් ඇමැති වේඩරුව අතින් ජනපති මෛත‍්‍රී වෙත සමරු තිළිණයක්ද පිරිනැමුණු අතර ජනාධිපතිවරයාට එය පිළිගන්නට සිදුවූයේද විදුලි පන්දම් එලි ආධාරයෙනි. අඩ අදුරේ සම්මාන ලැබූ ජනපති මෛත‍්‍රී ආපසු සිය අසුන වෙත පැමිණ අසුන් ගන්නවාත් සමග විදුලිය ලැබීම හේතුවෙන් පළාත් සභා ශ‍්‍රවණාගාරය ඒකාලෝක වී ගියේය. මෙම සම්මාන උළෙල ආවරණය කිරීම සදහා පැමිණෙන ලෙසට පළාත් සභාව පැත්තෙන් මාධ්‍යවේදීන් වෙත තොග ගණනින් ආරාධනා ලැබුණු නමුත් පළාත් සභාවේ මාධ්‍ය ආවරණ කටයුතුවලින් වැළැකී සිටීමේ පොදු එකගතාවයක් සහිතව කටයුතු කරන මාධ්‍යවේදීන් ඒ ආරාධනා කළ හැම කෙනෙකුටම කීවේ ජනාධිපති සහභාගි වූවා කියා තමන්ගේ තීරණයෙහි වෙනසක් නැති බවය. කී අයුරින්ම මාධ්‍යවේදීන් කිසිවෙකුත් ඒ උත්සවය අවාරණය කරන්නට පළාත් සභාව පැත්ත පළාතේ නොගියහ. කොළඹින් ගෙන්වා ගත් මාධ්‍යවේදීන් පිරිසක් විසින් අදාල අවස්ථාව ආවරණය කර තිබූ නමුත් අන්තිමට රූපවාහිනි, පුවත්පත් සහ වෙබ් අඩවි ඔස්සේ ඉහළින් වාර්තාකර තිබුණේ සුව විශිෂ්ටතා සම්මාන උළෙල ගැන නොව ජනාධිපතිවරයා කතා කරමින් සිටියදී ලයිට් කැපුණු පුවතය. කුරුණෑගල ජනතාව දැන් කියන්නේ වයඹ පළාත් සභාවේ අපලය පැත්තක සිටි ජනපති මෛත‍්‍රී පිටින්ද ගිය බවකි.

උත්සවයේ තිබූ අඩු ලුහුඩුකම් හේතුවෙන් ජනාධිපතිවරයා පමණක් නොව එහි පැමිණ සිටි හිටපු අමාත්‍ය සරත් වෙළගෙදරටද අපහසුතාවයට පත්වන්නට සිදු විය. සරත් වෙළගෙදර වෙනුවෙන් උත්සව සංවිධායකයින් විසින් අසුනක් වෙන් කර නොතිබූ අතර පළාත් සභා ශ‍්‍රවණාගාරය මැද්දෙන් ප‍්‍රධාන වේදිකාව දෙසට එන්නට උත්සාහ කළ සරත් වෙළගෙදර ජනාධිපති ආරක්ෂක අංශ නිලධාරීන් විසින් නැවැත්වූහ. තමන් කවුදැයි හදුන්වාදුන් නමුත් හිටපු ඇමැති සරත්ට වේදිකාව දෙසට යන්නට ජනාධිපති ආරක්ෂක අංශ නිලධාරීන් ගෙන් ඉඩක් නොලැබිණි. මෙයින් කෝපයට පත් හිටපු ඇමැතිවරයා උස් හඩින් යමක් කියන්නට වූ සභාව මැද මේ කලබලය දැක එහි පැමිණි උත්සව සංවිධායකවරයෙකු විසින් හිටපු ඇමැති වෙළගෙදර වේදිකාව වෙත කැදවාගෙන ගොස් අසුනක් පිරිනැමුවේය.

‘ඇමැතිකමින් අයින්වෙන්න’.නලින් බණ්ඩාර අශෝක්ට කියයි.

උතුරේ සහ දකුණේ මාධ්‍යවේදීන් අතර සංහිදියාව වර්ධනය කරවීමේ අරමුණින් ජනමාධ්‍ය අමාත්‍යංශය සහ මාධ්‍ය සංගම් එක්ව සංවිධානය කළ ‘එන්න එකට හුස්ම ගන්න’කුරුණෑගල හරහා යන්නට ආවේ පසුගිය සෙනසුරාදාය. මෙම සංචාරය සදහා මෙරට විද්්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයන් නියෝජනය කරන මාධ්‍යවේදීන්, මාධ්‍ය සංගම් නියෝජිතයින්, ජනමාධ්‍ය අමාත්‍යංශයේ සහ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුලූ පිරිසක් එදින උදෑසන යාල් දේවී දුම්රියෙහි නැගී කොළඹ කොටුවෙන් යාපනය බලා ගමන් ආරම්භ කර තිබිණි. ගමන සදහා යාල් දේවී දුම්රියෙහි මැදිරි දෙකක් ජනමාධ්‍යවේදීන් සදහා වෙන් කර තිබුණු අතර ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක සහ නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතානද මාධ්‍යවේදීන් සමග දුම්රියෙන් ගමන් කරමින් මෙම ගමනට එක් වී සිටීම විශේෂත්වයක් විය. වයඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් කුරුණෑගල දුම්රිය ස්ථානයේදී පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කර තිබූ අතර ප‍්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ , පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ජේ. සී. අලවතුවල, නලින් බණ්ඩාර, කුරුණෑගල මහ නගර සභාවේ විපක්ෂ නායක වරුණ පේ‍්‍රමරත්න, මන්ත‍්‍රී ෆයිස් කිචිලාන්, කුරුණෑගල ප‍්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක අජිත් ප‍්‍රියලාල්, මන්ත‍්‍රීවරුන් වන චන්ද්‍රදාස ගොඩිගමුව, චමින්ද සෝමරත්න සහ මොහොමඞ් කියාස් ඇතුලු පිරිසක් දුම්රිය ස්ථානය වෙත පැමිණ සිටියහ. ගයන්ත ඇතුලූ පිරිස රැගත් දුම්රිය කුරුණෑගලට එන්නට තිබුණේ පෙරවරු 8. 30 ට පමණ වුවත් නියමිත වේලාව පසුවීගෙන යද්දී දුරකථනයෙන් ගයන්ත ඇමැතු නලින් බණ්ඩාර සහ අලවතුවල පමාවට හේතු විමසා සිටියහ. ගයන්ත කීවේ දුම්රියට විශාල පිරිසක් දුම්රියට ගොඩවීමට උත්සාහ කරනා බවත්, දුම්රිය තුළ මාධ්‍යවේදීන්ට වෙන් කර තිබූ පෙට්ටි දෙක පවා මගී ජනතාව විසින් අක‍්‍රමණය කර ඇති බවකි. මේ හේතුවෙන් දුම්රිය පොල්ගහවෙල දුම්රිය ස්ථානයේ නවතා ඇති බවද ගයන්තගෙන් කියැවිණි. කෙසේවෙතත් පැයක පමණ කාලයක පමාවකින් පසුව මාධ්‍යවේදීන් රැගත් දුම්රිය කුරුණෑගලට ළගා වූ අතර ගයන්ත, කරු ඇතුලූ පිරිසට මල් මාලා පළදවමින් අශෝක් , අලවතුවල සහ නලින් බණ්ඩාර ඇතුලූ පිරිස උණුසුම් ලෙස පිළිගත්හ. සුහද කතාබහකට පවා ඉඩක් නොලැබුණු පිළිගැනීම විනාඩි දෙක තුනකට සීමා කරන්නට සිදු වූයේ දුම්රිය පිටත්වීමේ සංඥා නිකුත්වීම හේතුවෙනි. ගයන්ත සහ කරු දුම්රියට නැග අසුන්ගත් අතර ගයන්ත වාඩි වී සිටි තැන ජනේලය අසලට පැමිණි අශෝක් , අලවතුවල සහ නලින් ගයන්ත සමග කතා බහ ආරම්භ කළහ. ‘‘කෝච්චිය සෑහන්න ප‍්‍රමාද වුණානේ. ’’ගයන්ත කීය. ‘‘ආ. මේ ඉන්නේ. අල්ලගන්න මෙයාව.’’නලින් බණ්ඩාර කීවේ ප‍්‍රවාහන නියෝජ්‍ය ඇමැති අශෝක් පෙන්වමිනි. ‘‘නෑ. නෑ. අපේ ප‍්‍රමාදයක් නැහැ. අද සෙනග වැඩියි. ඒකයි මේ. ’’ අශෝක්ද ඊට පිළිතුරු දුන්නේය. ‘‘එහෙම කියලා හරියන්නේ නෑ. හරි නම් මෙයා ඉල්ලා අස්වෙන්න ඕනෑ. ’’නලින් බණ්ඩාර කීවේ සියලු දෙනා සිනා ගස්වමිනි. ‘‘ඔය අනම් මනම් කියන්න එපා. මෙතැන කැමරා තියෙනවා. ’’ගයන්ත කිවේ ඒ වන විටත් එම සංවාදය දෙසට එල්ල වී තිබූ කැමරාවක් දෙස බලමිනි. පිරිසට තවදුරටත් මේ කතාබහ ඉදිරියට ගෙනයන්නට නොහැකි වූයේ දුම්රිය සෙමෙන් සෙමෙන් ඉදිරියට අද්දන්නට වූ බැවිනි. ‘‘අපි එහෙනම් ගිහින් එන්නම්. ’’යැයි කියූ ගයන්ත අශෝක් , අලවතුවල සහ නලින් ඇතුලූ සිය කුරුණෑගල සගයින්ට සමුදුන්නේ ඔවුන් නොපෙනී යන තුරු අත වනමිනි.

සාලින්දයි ජොනියි එකට උසාවි එයි.

කලකට පෙර මහින්ද පෙළේ කුරුණෑගල මුල් කණු දෙක ලෙස කටයුතු කළේ සාලින්ද දිසානායක සහ ටී. බී. ඒකනායක විසිනි. පසුගිය මහ මැතිවරණයෙන් පසුව සිය ස්ථාවරය වෙනස් කළ ටී. බී. ඒකනායක සම්මුතිවාදී ආණ්ඩුවේ ඇමැතිකමකට කරගැසීම හේතුවෙන් එම මුල් කණු දෙකෙන් එකක් ගැලවී ගියේය. ටී. බී. ගේ පුරප්පාඩුවෙන් පසුව එතැනට කරගහන්නට අවස්ථාව ලැබුණේ මන්ත‍්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දුටය. මහින්ද පිලේ සියලු ක‍්‍රියාකාරකම් දැන් සිද්ධ වෙමින් පවතින්නේ මෙම දෙපළගේ නායකත්වය යටතේය. ඒ අයුරින් මහින්ද පිලේ කුරුණෑගල දිසාවට නායකත්වය දෙමින් සිටින සාලින්ද සහ ජොන්ස්ටන් පසුගිය සදුදා කුරුණෑගල මහාධිකරණය හමුවේ පෙනී සිටියේද එකටමය. ඒ එක් නඩුවක් වෙනුවෙන් නොව දෙදෙනාට එරෙහිව වෙන් වෙන් වශයෙන් කුරුණෑගල මහාධිකරණය හමුවේ විභාග වෙමින් පවතින නඩු දෙකක් එදින අහඹු ලෙස එකහම දිනයකදී විභාගයට ගැනීම හේතුවෙනි. සාලින්දට එරෙහිව විභාග වෙමින් පැවතුනේ 2001 වසරේ මහ මැතිවරණ සමයේදී හිරියාල ආසනයේ සිදු වූ බව කියන වෙඩි තැබීමක් සම්බන්ධ නඩුවකි. ජොන්ස්ටන්ට එරෙහිව විභාගවූයේ පසුගිය වයඹ පළාත් සභා මැතිවරණ සමයේ සතොස ආයතනයෙන් භාණ්ඩ මිලදීගෙන මුදල් ගෙන මුදල් නොගෙවූ බවට වන නඩුවකි. සාලින්දගේ නඩු තීන්දුව අපේ‍්‍රල් 22 වැනිදාට ලබාදෙන්නට තීරණය වූ අතර ජොන්ස්ටන්ගේ නඩුව මැයි 02 වැනිදා දක්වා කල් ගියේය. අධිකරණ භූමියෙන් එළියට පැමිණි ජොන්ස්ටන් සිය හිතවතුන්ට කතා කර එතැනින් පිටත් වී යන්නට වාහනය නැග්ගේය. විදුලි වේගයෙන් පැමිණි යතුරු පැදියක් ජොන්ටන්ගේ වාහනය ඉදිරිපිට මග හරස්කරමින් නතර කෙරිණි. ජොන්ස්ටන් මෙන්ම රැස්ව සිටි පිරිසද විමතියට පත් වී බලා සිටියදී යතුරු පැදියෙන් බැස ආවේ විදේශිකයෙකි. පිරිස තවත් පුදුමයට පත්කරවමින් එම විදේශිකයා ජොන්ස්ටන්ට කීවේ තමන්ට ජොන්ස්ටන් සමග සෙල්ෆි ඡායාරූපයක් ලබාගැනීමට අවශ්‍ය බවය. ජොන්ස්ටන් විසින් විදේශිකයාගේ විස්තර විමසද්දී ඔහු කීවේ තමන් ඉන්දියානුවෙකු බවය. ඉන්දියානුවාගේ ඉල්ලීමට ඉඩ දුන් ජොන්ස්ටන් ඔහු සමග සෙල්ෆි ඡායාරූප කිහිපයකටම පෙනී සිටියේය.

උපුටාගැනීම – මව්බිම පුවත්පත, 2016 මාර්තු 31 වැනි බ‍්‍රහස්පතින්දා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article