Friday, April 19, 2024

‘‘පදමාලාව අර්ථවත් නම් නවක , ප්‍රවීන කියලා වෙනසක් අවශ්‍ය නැහැ ! ‘‘ සුභානි හර්ෂණී

Must read

රුහුණු පුරවරයේ තංගල්ල ගම් පියසෙහි උපන් සුභානි හර්ෂණී මුතුකුමාරණ නම් වූ ඇය “ලාබ සිනා” ගීතය තුලින් සංගීත දිවියට පිවිස මේ වන විට රසික රසිකාවියන්ගේ නොමදව ආදරයට පාත්‍රවී සිටින ජනප්‍රිය ගායන ශිල්පිණියකි. මේ ඇය සමග කෙරුණු  සංවාදයකි.

subhani_1කොහොමද ඔබ ගීත ගායනයට යොමු වුනේ….?

පොඩිකාලේ ඉදලම මම සංගීතය විෂයක් විදියට හැදෑරුවා. මගේ දෙමව්පියෝ සහ පාසල් ගුරුවරුන් මගේ හැකියාවන් හදුනාගෙන මට උදව් කළා. ඒ අතරෙම මම රුහුණු සේවයේ ළමා  ගායිකාවක් විදියට ගීත ගැයුවා. පසුව මම සංගීතය පිළිබඳ  වැඩිදුරටත් හදාරල විශාරද විභාගය සමත් වෙන්න පුළුවන් වුනා. 1999 වර්ෂයේදී ජාතික තරුණ සේවා සභාව විසින් පවත්වන ලද තුරුණු ශක්ති තරඟයට ඉදිරිපත් වෙලා ඒකෙන් මට ජාතික මට්ටමෙන් ජයග්‍රහණය ලබන්න පුළුවන් වුනා. එහිදී මම ගායනා කලේ නව නිර්මාණ ගීතයක්. ඒ ගීතය තමා ලාභ සිනා  ගීතය, ඒ තුලින් මට ලොකු ජනප්‍රියතාවයක් ඇතිවුනා.

ඔබ වැඩියෙන්ම ගැයීමට  කැමති කුමන ආකාරයකට ලියවුනු ගීත වලටද..?

මම ගීත වර්ග කරලා නැහැ. ගොඩක් වෙලාවට රසිකයන් ඉල්ලන්නේ ආදරය, විරහවට බරවූ ගීත. ඒ නිසා මම වැඩිපුරම ඒ ගීත ගයනවා. නමුත් ඊට වෙනස් වූ ගීතත් ගායනා කරලා තියෙනවා.

නවකයෙකු ඔබට ගී පද රචනාවක් එව්වොත් ඔබ ඒ පිලිබදව සලකා බැලීමක් කරනවද…?

මම නවක ප්‍රවීන කියල වර්ග කරන්නේ නැහැ. හොද අර්ථවත් පදමාලාවක් නම් මම එය ගීතයකට යොදා ගන්නවා. සමන් ජයවර්ධන, මහාචාර්ය උදා හෙට්ටිගේ වගේ  ඒ  දවස්වල නවකයින් විදියට මට ගී පද මාලා එවපු අයගේ පදමාලාවන් තෝරාගෙන මම ගීත ගායනා කරලා තියෙනවා.

අලුතින් සී.ඩි එකක් කරන්න එහෙම අදහසක් නැත්ද…?

ලඟදිනම්  සී.ඩි.එකක්  කරන්න බලාපොරොත්තුවක් නැහැ. ඒත්, හොඳ  නිර්මාණයක් හමු වුනාම එක එක වශයෙන් ගීත ගායනා කරලා මාධ්‍ය වලට ලබා දෙනවා.

පැරණි ගායක ගායිකාවන්ගේ ගීත රැප් කරලා නව සංගීත රටාවන් යොදලා ඒ ගී නිර්මාණයන් වෙනස් කරපු අවස්ථා තියෙනවා. ඒ පිලිබදව ඔබගේ අදහස මොකද්ද…?

මගේ පුද්ගලික මතය නම් එහෙම කරනවට කැමති නැහැ කියන එකයි. ඒ ගීත ගයපු අයගෙන් අහලා එහෙම කරනවානම් ඒක වෙනම දෙයක්. එහෙම නැතුව ඒ අයගෙන් නොවිමසා වෙනස් කරනවානම් මම ඒක අනුමත කරන්නේ නැහැ. ඒක ඒ පැරණි ගීතවලට කරන අසාධාරණයක්.

ඔබේ අනාගත බලාපොරොත්තු මොනවද…?

ලොකු බලාපොරොත්තු නම් නැහැ. කලා ක්ෂේත්‍රෙය්  තවදුරටත් රැඳිලා ඉඳිමින්  හොඳ  නිර්මාණ කිරීම තමා බලාපොරොත්තුව. දැනට මගේ ගෙදර රූපලාවන්‍ය ආයතනයක් පවත්වාගෙන යනවා . ඊට අමතරව සංගීත පන්තියකුත් ආරම්භ කරලා තියෙනවා. ඒවත් වැඩි දියුණු කරගෙන ඉන්න තමා  බලාපොරොත්තුව.

සංවාද සටහන  

රෝහණ ආරියරත්න – හම්බන්තොට
subhani_2

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article