Thursday, April 25, 2024

ලිලිපුට් සුමිත් රාජපක්ෂගෙන්, ගලිවර් ශාන්ත බණ්ඩාරට අභියෝගයක් !

Must read

alu_yata_gini_april_29_2ගිය ආණ්ඩුවෙන් තමන්ට කෙළවුණු හැටි ධර්මසිරි කියයි.

ලංකාව ගැන හාන්කවිසියක් හෝ නොදන්නා යම් පුද්ගලයෙකු මේ දිනවල ලංකාවට පා තැබුවහොත් එම තැනැත්තා නිසැකවම සිතනු ඇත්තේ ලංකාව මුහුණ දී සිටින ලොකුම සහ දැවෙන ප‍්‍රශ්නය වන්නේ මැයි දිනය සැමැරීම කියාය. රටට බරක් නොවී දහදිය මහන්සියෙන් බඩවියත රැකගන්නා මිනිසුන් වෙනුවෙන් වෙන් කර ඇති අවුරුද්දේ එකම දිනයත් සින්නක්කරයට ලියාගෙන සිටින ලාංකීය දේශපාලකයින් විසින් මැයි දින සැමැරුම අල්ලාගෙන මේ දිනවල යෙදී ඉන්නා බලූ පොරය දකින ඕනෑම අයෙකුට එලෙස සිතීම පවා අසාධාරණයැයි කිව නොහැකිය. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නමින් මැයි රැළි දෙකක් සංවිධානය කෙරෙමින් ඇති පසුබිමක් තුළ ගාල්ල සමනල ක‍්‍රීඩාංගණයට වැඩි සෙනගක් අද්දා ගැනීමට මෛත‍්‍රී පාර්ශ්වය දතකමින් සිටියදී ඊට වඩා එක් ඔලු ගෙඩියක් හෝ කිරුළපනට වැඩියෙන් ගෙන්වාගෙන තම පිලේ බලය ප‍්‍රදර්ශනය කිරීමේ මාරාන්තික උත්සාහයකට මහින්ද පාර්ශ්වයේ පිරිස් කැසකවමින් සිටිති. මැයි දිනය මුල්කරගනිමින් ජාතික දේශපාලන ගිනිකන්ද පුපුරා හැලෙමින් තිබියදී ඉන් විසිවන ලාවා බෝම්බ කුරුණෑගල දිස්ත‍්‍රික්කය පැත්තටත් වැටී තිබීම හේතුවෙන් පසුගිය සතියම කුරුණෑගල පැත්ත නම් තිබුණේ ගිනිගත් ගමන්මය. මැයි රැළි මුල්කරගනිමින් ශ‍්‍රීලනිපය තුළ කෙතරම් උණුසුමක් නිර්මාණය වී ඇතිදැයි කිවහොත් එය මෙතෙක් කාලයක් මෛත‍්‍රී පිලේ කුරුණෑගල සාමාජිකයින් විසින් රැකගෙන ආ මුනිවත පවා බිද දැමීමට සමත් වී තිබිණි. මැයි දින සැමැරුම පිළිබදව දැනුවත් කිරීමට බව කියමින් මහ ඇමැති ධර්මසිරි දසනායකගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය බ‍්‍රහස්පතින්දා කුරුණෑගල වැවරවුමේ පිහිටි මහගෙදර පරිශ‍්‍රයේදී ප‍්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවෙන්නේ ඒ අනුවය. එය මෛත‍්‍රී පිළ නියෝජනය කරන කුරුණෑගල සාමාජිකයින් විසින් කැද වූ පළමු සාකච්ඡාවද විය. රතු පැහැති කමිසයකින් සැරසී අතක් ඔසවාගෙන සිටින ජනපති මෛත‍්‍රීගේ රුව සහිත බැනරයකින් පසුබිම සැරසී තිබූ මෙම ප‍්‍රවෘත්ති සාකච්ඡාව සදහා ධර්මසිරිට අමතරව ඇමැති ලක්ෂ්මන් වේඩරුව සහ ඇමැති ගුණදාස දෙහිගමද සහභාගි වී සිටියහ. පළාත් සභා මන්ත‍්‍රීවරුන් නියෝජනය කරමින් පියුමාල් හේරත්, පියසිරි රාමනායක, නිලන්ත රාජපක්ෂ සහ අශෝක පේ‍්‍රමදාස යන මන්ත‍්‍රීවරුන් සහභාගි වී සිටි අතර ප‍්‍රාදේශීය සභා නියෝජනය කරනු පිණිස කුරුණෑගල ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ප‍්‍රැටික් කරුණාසිංහ, මාවතගම ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති උපුල් පෙරේරා සහ වාරියපොළ ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ආනන්ද ජයලත් ද මාධ්‍ය හමුවට අසුන්ගෙන සිටියහ. නිහැඩියාව බිදින්ට හේතු වූ කරුණු ගැන පහදාදෙමින් පළමුවෙන් කතා කළේ මහ ඇමැති ධර්මසිරිය. ‘‘කලකට පස්සේ වෙලකට බැස්සා. මේ සිද්ධවෙන දේවල් එක්ක අපේ පක්ෂයට මොකද වෙන්නේ කියලා අපිත් මෙච්චර කාලයක් බල බලා හිටියා. මම හිතන්නේ දැන් අපි කට අරින්න ඕනෑ වෙලාව ඇවිල්ලා තියෙනවා. පක්ෂයට වින්නැහියක් වෙද්දී අපිට තවදුරටත් කටවහගෙන ඉන්න බැහැ. දැන් සමහරු අපිට චෝදනා කරනවා අපි එක්සත් ජාතික පක්ෂයත් එක්ක ඩීල් දානවා කියලා. අපි නෙවෙයි ඞීල් දාන්නේ ඒ ගොල්ලොම තමයි. ඇයි ඉතිං පක්ෂය දුර්වල වුණාම වාසිය යන්නේ එක්සත් ජාතික පක්ෂයට. ආයි දෙකක් නෑ මේ විදිහට මැතිවරණයක් තිබ්බොත් අපි පරදිනවා. අද විතරක් නෙවෙයි එදත් මේකම වුණා. පහුගිය ආණ්ඩුව කාලේ එක්සත් ජාතික පක්ෂයෙන් ආපු මැති ඇමැතිවරුන්ට තමයි වැඩිපුර සැලකුම් ලැබුණේ. එක්සත් ජාතික පක්ෂයත් එක්ක හොදම ඞීල් තිබුණේ ඒ දවස්වලනේ. අපිට කෙළවුණෙත් ඒකයි. මම අවුරුදු 14 ක් පඩුවස්නුවර ආසනයේ සංවිධායකවරයා. මාව අයින් කරලා යූ ඇන්පියෙන් ආපු අයට තැන දුන්නා. පලයං කියද්දිත්, එළියට දමද්දිත් අපි පක්ෂය දාලා ගියේ නැහැ. අපිව එදා පක්ෂයෙන් එළවද්දිත් අපි ගියේ නෑ. ඒ නිසා මැයි පළමුවෙනිදාට අපි යන්නේ ගාල්ලේ සමනල ක‍්‍රීඩාංගණයේ තියෙන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයයේ මැයි රැළියටයි. ’’ ධර්මසිරි කීය.

ඩී. බී. මහ ඇමැතිට පරණ ණය මතක් කරයි.

කෙසේ වෙතත් ධර්මසිරි ඇතුලු පිරිස විසින් මහගෙදරදී පැවැත් වූ ප‍්‍රවෘත්ති සාකච්ඡාව මහින්ද පිලේ උදවිය තරමක් කලබල කරන්නට සමත් වී තිබිණි. ඒ නිසාම පසුගිය සෙනසුරාදා කුරුණෑගල බෞද්ධාලෝක පිරිවෙනේදී පැවැති රැස්වීමකින් පසුව මහින්ද පිලෙන් හදිසි මාධ්‍ය හමුවක් සූදානම් වෙන්නේ ඊට පිළිතුරුදීමේ අරමුණ ඇතිවය. මෛත‍්‍රී පිලේ මාධ්‍ය හමුවට වාඩිවූයේ සීමිත පිරිසක් වන නමුත් මහින්ද පිලේ මාධ්‍ය හමුවට ප‍්‍රාදේශීය සභාවන්හි හිටපු සභාපතිවරුන්, උප සභාපතිවරුන් මන්ත‍්‍රීවරුන් සහ පළාත් සභා මන්ත‍්‍රීවරුන් ඇතුඵ විශාල පිරිසක් වාඩි වී සිටියහ. මහ ඇමැති ධර්මසිරි සහ සුව ඇමැති වේඩරුව ඉලක්ක කරගනිමින් මහින්ද පිලෙන් පළමු ප‍්‍රතිප‍්‍රහාරය එල්ල කළේ වයඹ පළාත් සභා මන්ත‍්‍රී ඞී. බී. හේරත් විසිනි. ‘‘ මැයි දිනය සම්බන්ධයෙන් කතා කරන්න පහුගිය දවසක අපේ මහඇමැතිතුමා ඇතුලු පිරිසක් කුරුණෑගලදී පවත්වපු මාධ්‍ය හමුවට ඇවිත් හිටිය පිරිසට වැඩි පිරිසක් අද මෙතැන වාඩිවෙලා ඉන්නවා. ඒ නිසා වයඹ ජනමතය මේකයි කියලා අපි කියන්න කැමැතියි. පසුගිය පළාත් සභා මැතිවරණයේදී වත්මන් මහ ඇමැතිවරයා මනාප ඡන්ද විසි දෙදාහක් ගන්නකොට මම මනාප ඡන්ද හැට දෙදාහක් ගත්තා. නමුත් අපේ මහ ඇමැතිතුමාට අපි එදා අස්සන් කරලා දුන්නා ඔබතුමා මනාප ලැයිස්තුවේ දාහත් වැනියා වුණාට කමක් නෑ, මනාප ඡන්ද විසි දෙදාහක් ගත්තට කමක් නෑ ඔබතුමාට අපි මහ ඇමැතිකම දෙන්න කැමැතියි කියලා. ඒ නිසා වයඹ මහ ජනමතය මේකයි කියලා අපෙන් අහන්නේ නැතුව ප‍්‍රකාශයක් කරන්න එතුමාට සදාචාරාත්මක අයිතියක් නෑ. මොකද එතුමා මනාපවලින් ඔය තැනට ආවා නෙවෙයි. එතුමා මහ ඇමැතිකමට ආවේ අපේ කැමැත්තෙන් අස්සන් කරලා දුන්නු නිසයි. ඒ නිසා එතුමා කරපු ඒ ප‍්‍රකාශයට අපි විරුද්ධයි. ඒ වගේම මම දන්නෙම නැතුව, නිදහසට කරුණු අහන්නේ නැතුව, චෝදනා පත‍්‍රයක් නැතුවම මගේ ඇමැතිකම අයින්කරලා මනාප ලැයිස්තුවේ විසි එක්වැනියාට, මනාප දහඅටදාහක් ගත්තු කෙනාට දුන්නා. දැන් එතුමා සෞඛ්‍ය ඇමැති. එතුමාත් එදා කියනවා අපි මැයි දිනය සමරන්නේ මෙහෙමයි කියලා. අපි මතක්කරලා දෙන්න ඕනෑ ඒකත් වයඹ ජනමතය නෙවෙයි. ඒක පුද්ගල අදහසක් විතරයි. ඒ නිසා මෙතැන වාඩිවෙලා ඉන්න ප‍්‍රාදේශීය සභා සහ පළාත් සභා මන්ත‍්‍රීවරු විදිහට අපි සියලූදෙනාගේ පදවි තනතුරු අහිමි කළත්, විනය පරීක්ෂණ කොතරම් පැවැත්වුවත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ උරුමය වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය තුළ මැයි දිනය සමරන්න එකතුවෙනවා කියන පණිවිඩය මේ වෙලාවේ අපි දෙන්න කැමැතියි. ’’ඩී. බී. කීය.

‘‘තරුණයෝ පනහක් ගාල්ලට ගෙනිහින් පෙන්නන්න !’’ සුමිත් රජපක්ෂගෙන් ශාන්ත බණ්ඩාරට අභියෝගයක්.

ඩී. බී. හේරත් සිය ප‍්‍රහාරය අවසන් කරනවාත් සමග මාධ්‍ය හමුවට වාඩි වූයේ පළාත් සභා මන්ත‍්‍රී සුමිත් රාජපක්ෂය. ලැබුණු අවස්ථාව උපරිමව ප‍්‍රයෝජනයට ගත් සුමිත් සිය සදාකාලික දේශපාලන ප‍්‍රතිවාදියා වන දඹදෙණිය ශ‍්‍රීලනිප සංවිධායක ශාන්ත බණ්ඩාරට ප‍්‍රසිද්ධියේ අභියෝගයක් කළේය. ‘‘ශාන්ත බණ්ඩාර හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා කියනවා සමස්ත තරුණ සංවිධානය මේ වෙලාවේ ඉන්න ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්කයි කියලා. එහෙනම් මම එයාට අභියෝග කරනවා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානයේ නායකයා වශයෙන් ඔබතුමා දඹදෙණිය ආසනයේ තරුණයින් පනහක් පුලුවන් නම් ගාල්ලට ගෙනියලා පෙන්නන්න මම තරුණයින් තුන්දාහක් කිරුළපනට අරන් ගිහින් පෙන්නනවා. ඒ වගේම මම තව එතුමාට තව අභියෝගයක් කරනවා . දඹදෙණිය ආසනයේ සංවිධායකවරයා විදිහට පුලුවන් නම් බස් පහක් ගාල්ලට අරන් යන්න , මම කිරුළපනට බස් විස්සක් අරන් යනවා. එතුමා මේ අභියෝගය භාරගන්නවා නම් හෙටම මාධ්‍ය සාකච්ඡාවක් තියලා ඒ බව රටට කියන්න. ඉන් පසුව එතුමාට පුලූවන් දඹදෙණිය ආසනයේ ජනතාව එකතු කරන්න. මමත් ජනතාව එකතු කරන්නම්. මැයි පළවෙනිදා උදේට අලව්වේ ප‍්‍රාදේශිය සභා ක‍්‍රීඩාංගණයට අපේ කණ්ඩායම් දෙකම එකතු කරමු. එදාට බලාගන්න පුලුවන් ශාන්ත බණ්ඩාරගේ වැඩ කොහොමද සුමිත් රාජපක්ෂගේ වැඩ කොහොමද කියලා. ’’ සුමිත් කීය. මෙම සටහන ලියැවෙන විට සුමිත් විසින් අදාල අභියෝගය ඉදිරිපත් කර දින පහකටත් වැඩි කාලයක් ගත වී ඇතත් ශාන්ත බණ්ඩාර පාර්ශ්වයෙන් ඒ පිළිබදව හූම් කියා හෝ ප‍්‍රතිචාරයක් දක්වා නොමැත. ඒ නිසාම සුමිත්ගේ අභියෝගය පිළිබදව ‘අඵ යට ගිනි’ ඔස්සේ යළිත් වරක් සිහිපත් කෙරෙන්නේ එබැවිනි. අභියෝගය ඉදිරිපත් කළ සුමිත් රාජපක්ෂ සහ අභියෝගයට ලක්කළ ශාන්ත බණ්ඩාර අතර අපට නම් පෙනෙන්නේ ගලිවර් – ලිලිපුට් අනුපාතයකි. මන්ද ජනාධිපති ව්‍යාපෘති අධ්‍යක්ෂ, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ සංවිධානයේ කැදවුම්කරු සහ දඹදෙණිය ශ‍්‍රීලනිප සංවිධායක යන මෙකී නොකී බලගතු තනතුරු ගණනාවකින් සන්නද්ධව ගලිවර් මට්ටමේ සිටින ශාන්ත බණ්ඩාර පළාත් සභා මන්ත‍්‍රීකම පමණක් දරමින් සිටින ලිලිපුට් මට්ටමේ සුමිත් රාජපක්ෂ විසින් කළ අභියෝගය මහ ලොකු කජ්ජක් නොවන බව බොහෝ දෙනෙකුගේ මතය වෙයි. වයඹ ජනතාව දැන් දැන් දෑස් පිසදමමින් මැයි පළමුවැනිදා වනතුරු ඇගිලි ගණිමින් ඉන්නේ සුමිත්ගේ අභියෝගය භාරගත් ශාන්ත බණ්ඩාර විසින් ගාල්ල සමනල ක‍්‍රීඩාංගණය වෙත යන්නට සූදානම් වූ දඹදෙණියේ ජනතාවගෙන් අලව්ව ප‍්‍රාදේශීය සභා ක‍්‍රීඩංගණය පුරවන තුරුය.

‘‘ඔබතුමා මාව කැපුවා.’’ ! හිටපු මන්ත‍්‍රී සිසිර බැසිල්ගේ මූණටම කියයි.

කෙසේවෙතත් මෙම මාධ්‍ය හමුවට පෙර එම ස්ථානයේදීම පැවැති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන වයඹ පළාත් සභා සහ කුරුණෑගල දිස්ත‍්‍රික් පළාත් පාලන ආයතන මන්ත‍්‍රීවරුන්ගේ හමුවේදී සුවිශේෂි සිදුවීමක් දැකගත හැකි විය. කුරුණෑගල ප‍්‍රාදේශීය සභාවේ හිටපු සන්ධාන මන්ත‍්‍රී සිසිර කුමාර එම හමුවට සහභාගි වී සිටි බැසිල් රාජපක්ෂට සෘජුවම චෝදනා කළේ ඔහුට උප සභාපති තනතුරට පත්වීම සදහා තිබූ අවස්ථාව බැසිල්ගේ මැදිහත්වීමෙන් අහිමි කළ බවටය. ‘‘ඔබතුමා වටේ හිටපු ලේකම්ලා කියන මිනිස්සු තමයි මේවා කළේ .මගේ මනාපවලින් එක මනාපයක් අඩු කරලා මට උප සභාපති වෙන්න තිබුණු අවස්ථාව ඔබතුමා මට අහිමි කළා. ඒ ගැන කතාකරන්නවත් අපිට ඔබතුමා ළගට ළංවෙන්නවත් ඒ දවස්වල අවස්ථාවක් තිබුණේ නැහැ. පක්ෂය වෙනුවෙන් දර දිය ඇදපු මිනිස්සු කපලා දාලා එයාලට ඕන ඕන මිනිස්සු ඉස්සරහට ගෙනාවා. එහෙම ගෙනාපු මිනිහෙක් තමයි කුරුණෑගල නගරාධිපති ගාමිණී පෙරමුණගේ. කෝ දැන් ? අද අපිත් එක්කත් නැහැ. නමුත් අපි තවමත් පක්ෂයට ආදරෙයි. කිරුළපනට බස් විස්සක හරි සෙනග අරන් එන්න මම ලෑස්තියි. නමුත් මම ඉල්ලන්නේ මින් පස්සේවත් ඔබතුමා වටේ ඉන්න මිනිස්සුන්ට ඕන ඕන විදිහට නටන්න ඉඩ තියන්න එපා. ’’ සිසිර කියනවාත් සමගම රැස්ව සිටි පළාත් පාලන මන්ත‍්‍රීවරුන් වෙතින් නැගුණේ ශාලාව හෙල්ලී යන තරමේ අත්පුඩියකි. කෙසේවෙතත් සිසිරගේ චෝදනාවට ලක් වූ බැසිල්ගේ ලේකම්වරයා ඒ වන විටත් ශාලාව තුළ රැදී සිටීම විශේෂත්වයකි. සිසිරගේ චෝදනාව අවසානයේ බැසිල් කතා කළේය. ‘‘ මගේ අතින් වැරැදි වෙන්න ඇති. මම නෑ කියන්නේ නැහැ. නමුත් ඔය මනාප වෙනස් කළා කියන දේවල් වලට මගේ කිසිම සම්බන්ධයක් නෑ. මම එහෙම දේවල් කරලත් නෑ. කරන්න කියලා කියලත් නැහැ. ’’

අජිත් රෝහණ ආසන සංවිධායකමින් ඉල්ලා අස්වෙයි ?

එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත‍්‍රික් කමිටු රැස්වීම පසුගිය ඉරිදා පස්වරුවේ කුරුණෑගල කැන්ඩියන් රිච් හෝටලයේ පැවැත්වුණේ එජාප මහලේකම් කබීර් හෂිම්ගේ ප‍්‍රධානත්වයෙනි. කමිටු රැස්වීම සදහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්, පළාත් සභා මන්ත‍්‍රීවරුන්, පළාත් පාලන ආයතන නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් මෙන්ම එජාප ආසන සංවිධායකවරුන්ද ඇරයුම් ලබා සිටියහ. එදින උදෑසන පැවැති අනුරාධපුර දිස්ත‍්‍රික් කමිටු රැස්වීම අවසන් කළ කබීර් නියමිත වේලාවටම වාගේ කුරුණෑගලට පැමිණ සිටි බැවින් සැලසුම් කර තිබූ වේලාවටම කමිටු රැස්වීම ආරම්භ විය. රැස්වීම ආරම්භ කරමින් මහලේකම් කබීර් විසින් පසුගිය මැතිවරණ සහ ජනාධිපතිවරණයන්හිදී කුරුණෑගල දිස්ත‍්‍රික්කය තුළින් එක්සත් ජාතික පක්ෂයට ඡන්දය පාව්චිචි වී තිබූ අයුරු සංඛ්‍යාලේඛණ සහිතව විග‍්‍රහ කළේය. අනතුරුව පළාත් පාලන ආයතන නියෝජනය කරන මන්ත‍්‍රීවරුන්ට අදහස් දැක්වීමට අවස්ථාව ලැබිණි. එහිදී අදහස් දැක් වූ මන්ත‍්‍රීවරුන් ගණනාවක් ග‍්‍රාමීය සමිතිවලට කොන්ත‍්‍රාත් ලබාදීම නැවැත්වීම, පාක්ෂිකයින්ට රැකියා අවස්ථාවන් නොලැබීම වැනි කරුණු ගණනාවක් පිළිබදව චෝදනා මුඛයෙන් අදහස් දක්වන්නට වූහ. එමෙන්ම තවත් මන්ත‍්‍රීවරුන් කිහිපදෙනෙකුම කබීර්ගෙන් ඉල්ලා සිටියේ පළාත් පාලන ඡන්දය කොට්ඨාශ ක‍්‍රමයට නොපවත්වා සමානුපාතික ක‍්‍රමයටම පවත්වන ලෙසටය. ‘‘තමුන්නාන්සේලාගේ චෝදනා සියල්ල සාධාරණයි. නමුත් රජයක් විදිහට අප මේ පසුකරමින් ඉන්නේ ඉතාම අසීරු කාලවකවානුවක්. ආණ්ඩු බලය අපිට තියනවා කියලා කිව්වාට රටේම පළාත් සභා තියෙන්නේ අනිත් පැත්තට. ප‍්‍රාදේශිය සභාවලින් බහුතරයක් තිබුණෙත් අනිත් පැත්තට. දැන් කාලය දික් කරලා තියෙන පළාත් පාලන ආයතනවල බලය තියෙන්නෙත් සන්ධානය පැත්තටයි. ආණ්ඩුවෙනුත් අපිට තියෙන්නේ භායගයි. ආණ්ඩුවේ ඇමැතිකම්වලින් භාගයක්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට දෙන්න වෙලා තියෙනවා. ඒ නිසා සෑහෙන අමාරු ගේමක් තමයි අපි මේ ගහගෙන යන්නේ. අපිට සල්ලි ලැබෙන විදිහට ඇතිවෙලා තියෙන ප‍්‍රශ්න ටික විසදගෙන යනවා. ඒ අතරේ අලූත් රැකී රක්ෂා බිහිකරන වැඩපිළිවෙලකුත් දැන් හැදෙමින් යනවා. ඒ නිසා තව ටික කාලයක් යද්දී ඔය කිව්ව ගැටලුවලින් වැඩි ප‍්‍රමාණයකට විසදුම් ලැබේවි. ’’ කබීර් පුංචි මන්ත‍්‍රීවරුන් අස්වසමින් කීය. පොල්ගහවෙල ගුවන් පාලම සම්බන්ධයෙන් එජාප සම සංවිධායකවරුන් වන එච්. එම්. ජයරත්න සහ වයඹ පළාත් සභා මන්ත‍්‍රී අජිත් රෝහණ අතර ඇති වී තිබෙන හබය මේ කමිටු රැස්වීමටත් ඇදිණි. රැස්වීම අවසන් වෙන්නට ටික වේලාවක් තිබියදී එච්. එම්. ජයරත්නට අදහස් දක්වන්නට අවස්ථාවක් ලැබී තිබීම ඊට හේතුවිය. තමන්ට ලැබුණු අවස්ථාව උපරිමව ප‍්‍රයෝජනයට ගත් එච්. එම්. ජයරත්න තම ප‍්‍රතිවාදීන් විවේචනය වන අයුරින් අදහස් දක්වන්නට විය. ‘‘ පොල්ගහවෙල යූඇන්පී කාරයින්ගේ අභිමානය රැකලා දුන්නේ මමයි. මම අවුරුද්දක් තිස්සේ මහන්සිවෙලා තමයි පොල්ගහවෙලට ගුවන් පාලමක් ගත්තේ. නමුත් ඒකට මුල්ගල් තියෙන දවසේ මාව කපලා දාලා වෙන වෙන අය එතැනට ඇවිත් උත්සව සංවිධානය කරනවා. මේ වගේ දේවල් ඉස්සරහටවත් වෙන්න තියන්න එපා. මේ දවල් මිගෙල් රෑ දනියෙල් මිනිස්සු එක්ක වැඩකරන්න අපිට බෑ. රෑට මහින්ද මහත්තයා එක්ක ආණ්ඩු පෙරළන්න කතා කරනවා. දවල්ට මෛත‍්‍රී මහත්තයාත් එක්ක යහපාලනය වෙනුවෙන් පෙනී ඉන්නවා. ටිකිරි අධිකාරි කියන්නේ සම්පූර්ණයෙන්ම ෆේල් වෙච්ච මිනිහෙක්. අපේ සමහර අය අද එයත් එක්ක වැඩ කරන්න තමයි උත්සහ කරන්නේ. අනිත් එක පොල්ගහවෙල සංවර්ධන කමිටුවේ සම සභාපතිකමට දාලා ඉන්න දයාසිරි ජයසේකර මහත්තයා උත්සහ කරන්නේ එයා විසින් සියලු දේවල් කරන බව පෙන්වන්න. දයාසිරි ඒ තනතුරට කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. ’’ ජයරත්න කීය. ජයරත්නගේ ප‍්‍රකාශයත් සමගම රැස්වීමද අවසන් වූ අතර අජිත් රෝහණ රැස්වීමෙන් එළියට එමින් සිටි මහලේකම් කබීර් අල්ලා ගත්තේය. ‘‘ සර් , මම සංවිධායකකමින් ඉල්ලා අස්වෙනවා. මෙහෙම රණ්ඩු වෙවි දේශපාලනය කරන්න මම කැමැති නැහැ.’’ අජිත් කීය. අජිත්ගේ කරට තට්ටුවක් දැමූ කබීර් ඊට පරිණත පිළිතුරු දුන්නේය. ‘‘ මෝඩ විදිහට හැසිරෙන්න එපා අජිත්. ඔයාලා දේශපාලන නායකයෝ විදිහට ඔහොමද ප‍්‍රශ්නවලට මුහුණදෙන්නේ ? ඔය වගේ දේවල්ද මට වෙලා තියෙන්නේ. නමුත් මම මේ අදටත් අපූරුවට ඉන්නේ. දේශපාලනයේ හැටි ඔහොම තමයි. ඒක ගගක් වගේ නිකම් ගලාගෙන ගිහින් වැඩක් නෑ. කදු එන්න ඕනෑ, පල්ලම් එන්න ඕනෑ. එතකොට තමයි දේශපාලනයට පන්නරයක් ලැබෙන්නේ. ඔයාත් මේ සිද්ධවෙන දේවල් වලින් පන්නරයක් ගන්න. ඉල්ලා අස්වෙලා හරියන්නේ නෑ. ඔයා ඒවට කෙලින් මුහුණ දෙන්න. ඔය එක එක්කෙනා කියන දේවල් ගණන් ගන්න එපා. ඔයාට තියෙන්නේ දැන් ආසනේට බැහැලා තව හොදට වැඩ කරන්න. ’’ කබීර් කීය.

උපුටාගැනීම – මව්බිම පුවත්පත –  2016 අපේ‍්‍රල් 29 වැනි සිකුරාදා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article