Friday, March 29, 2024

සතිපොළ වෙළෙන්දෝ පාරට වැ‍ටෙති.

Must read

ඉබ්බාගමුව සතිපොළ දැනට පවත්වාගෙන ස්ථානයෙන් ඉවත් කිරීමට ඉබ්බාගමුව ප‍්‍රාදේශීය සභාව විසින් ගෙන ඇති බව කියන තීරණයකට එරෙහිව සතිපොළ වෙළඳුන් පිරිසක් ඊයේ එම පොළ භූමිය ඉදිරිපිටදී විරෝධතාවයක යෙදුණහ.

සතියකට දෙවරක් පැවැත්වෙන ඉබ්බාගමුව සතිපොළ පවත්වාගෙන දැනට යනු ලබන්නේ කුරුණෑගල – දඹුල්ල ප‍්‍රධාන මාර්ගයට යාබදව , ඉබ්බාගමුව නගර මධ්‍යයේ පිහිටි ඉබ්බාගමුව ප‍්‍රාදේශීය සභාවට අයත් ඉඩමකය. කුරුණෑගල – දඹුල්ල මාර්ගය පුළුල් කිරීමේ මාර්ග සංවර්ධන ව්‍යාපෘතියක් මෙම දිනවල ක‍්‍රියාත්මක කෙරෙන අතර ඒ යටතේ ඉබ්බාගමුව සතිපොළ පවත්වාගෙන යන භූමියෙන් කොටසක් එහි තිබූ ගොඩනැගිලිද සමග මාර්ග සංවර්ධන සේවකයින් විසින් පසුගිය දිනෙක කඩා ඉවත් කර තිබිණි. මේ හේතුවෙන් වෙළෙදුන්ට සතිපොළ භූමියට ඇතුළුවීම ඉබ්බාගමුව ප‍්‍රාදේශීය සභාව විසින් ඊයේ සිට තහනම් කර තිබූ අතර , නගරයට මදක් ඔබ්බෙන් අළුතින් ඉදිවෙමින් පවතින නව සතිපොළ භූමියට ගොස් වෙළදාම් කටයුතු කරන ලෙසට ප‍්‍රාදේශීය සභාවෙන් වෙළදුන් වෙත දනුම්දී තිබිණි.

එම තීරණයට විරෝධය පළකරමින් සතිපොළ වෙළදාම් යෙදී සිටින ව්‍යාපාරිකයින් පිරිසක් ඊයේ උදෑසන ඉබ්බාගමුව සතිපොළ භූමිය ඉදිරිපිට රැස් වී සිටියහ. පසුව එම ස්ථානයට පැමිණි ඉබ්බාගමුව ප‍්‍රාදේශීය සභාවේ ලේකම් එච්. ජී. සත්‍යකාන්ති මහත්මිය වෙළෙදුන් සමග උද්ගත වී ඇති තත්වය පිළිබදව සාකච්ඡා කළ අතර වෙළෙදුන්ගේ එල්ල වූ දැඩි විරෝධය හේතුවෙන් එම සාකච්ඡාවද උණුසුම් මුහුණුවරක් ගත්තේය.

එහිදී පොළ ව්‍යාපාරිකයින් පැවසූවේ තවමත් ඉදිකිරීම් අවසන් නොකළ නව සතිපොළෙහි වෙළදාම් කිරීමට කිසිඳු පහසුකමක් සකස්කර නැති බවය. වෙළද කුටි, ජලය , විදුලිය , වැසිකිලි පහසුකම් මෙන්ම ප‍්‍රමාණවත් ඉඩකඩක්ද එහි නැති බවත් , වර්ෂාව දිනවලදී එම භූමිය සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වන බවත් ඔවුහු කීහ. එබැවින් පැරණි පොළෙහි ඉතිරිව ඇති කොටසේ හෝ තමන්ට සුපුරුදු පරිදි වෙළදාම් කටයුතු කිරීමට අවසර දෙන ලෙසට ඔවුහු ප‍්‍රාදේශීය සභාවේ ලේකම්වරියගෙන් ඉල්ලා සිටියහ.

එහි ඇති අවදානම් තත්වය හේතුවෙන් එම ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප කළ ප‍්‍රාදේශීය සභා ලේකම්වරිය ඊයේ දිනට පමණක් පැරණි පොළ භූමියෙහිම වෙළදාම් කිරීම වෙළෙදුන්ට අවසර දුන්නාය. මින් ඉදිරියට පොළ පැවැත්වීමට අවශ්‍ය නම් නව සතිපොළ භූමියට යන ලෙසත් , එසේ කිරීමට අකමැති නම් මාසයක කාලයක් සම්පූර්ණයෙන්ම පොළ නවතා දමා නව සතිපොළෙහි අඩුපාඩු සම්පූර්ණ කිරීමෙන් පසුව නැවත පොළපැවැත්විය හැකි බවද ඕ වෙළදුන් හමුවේ කීවාය.

මාසයක කාලයක් තමන්ට වෙළ`දාම් නොකර ජීවත්වීමට නොහැකි බව පැවසූ සතිපොළ ව්‍යාපාරිකයින් ප‍්‍රාදේශීය ලේකම්වරියගේ තීරණයට අවනතවීම හැර වෙනත් විකල්පයක් තමන්ට නොමැති බවටත් මැසිවිලි නඟමින් එම ස්ථානයෙන් පිටවී යාමත් සමග වෙළදුන්ගේ විරෝධතාවයද අවසන් කෙරිණි.

කොටසක් කඩා දමා ඇති වත්මන් සතිපොල

picture  1(1)

 

විරෝධතාවයේ යෙදී සිටි සතිපොල වෙළෙදුන්

picture  2(1)
ඉදිවෙමින් පවතින නව සතිපොලෙහි පවතින අඩුපාඩු

p  3

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article