Friday, April 19, 2024

අවුරුදු තිහකින් නොහැදුණු දෙල්විට පාර හදන්නැයි ඉල්ලා ගම් දොළහක් වීදි බසිති. (VIDEO)

Must read

delwita_rd_11වසර තිහක් තිස්සේ නිසි පිළිසකර කිරීමකට ලක් නොවූ රිදීගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි කටුපිලගොල්ල – දෙල්විට මාර්ගය පිළිසකර කර දෙන ලෙස ඉල්ලමින් එම මාර්ගය භාවිතා කරන ගම්මාන දහ තුනකට අයත් ජනතාව අද (04 දා) දහවල් කුරුණෑගල – කැප්පිටිගල මාර්ගය කටුපිළගොල්ල මංසන්ධියේදී අවහිර කරමින් දැවැන්ත විරෝධතාවයක යෙදුණහ.

මෙම විරෝධතාවය සදහා නහල්ල, ජංකුරේ, කිතුල්වල, දෙල්විට, පල්ලේකන්ද, ගොරකඇල, කිරිබත්ගල්ල, කඵගහතැන්න, බඹරගහකන්ද, දුණුමාව, කිතුල්ගොල්ල සහ පොල්කුඹුර ඇතුඵ ගම්මානවල වෙසෙන දහසකට ආසන්න පිරිසක් එක් වී සිටියහ. එම පිරිස බස් රථවල නැගී විරෝධතාවය දැක්වීම සදහා  කටුපිළගොල්ල මංසන්ධිය වෙත එමින් සිටියදී විරෝධතාකරුවන් පැමිණි බස් රථ අතරමගදී නැවැතූ රිදීගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්. එම්. එච්. ජයතිලක මහතා විසින් මාර්ගය අවහිරකර උද්ඝෝෂණයේ යෙදීම තහනම් කරමින්  රම්බඩගල්ල අධිකරණයෙන් විරෝධතාකරුවන් වෙත නිකුත් කර තිබූ අධිකරණ නියෝගයක් ඔවුන් වෙත භාරදෙන ලදී. අධිකරණ නියෝගය භාරගත් විරෝධතාකරුවන් පොල්කුඹුර ප්‍රදේශයේදී බස් රථවලින් බැස ගත් අතර එතැන් සිට ‘‘ දෙල්විට පාරට බාලගිරි දෝෂයද ?  ’’,‘‘ බදු මුදල් ඉහළට – ගමේ පාර පහළටද ? ’’,‘‘ අපේ පාරේ වළවල්වල ඔබේ ඡන්දේ පල්වෙනවා. ’’,‘‘ රට සවාරි කෝටි ගණන් – අපේ පාරට නෑ සතයක් .’’,‘‘ පාලකයිනි, රැවටිල්ලේ කෙළවර අමාවකයි. ’’ආදී විරෝධතා වැකි ලියූ පුවරු ප‍්‍රදර්ශණය කරමින් කටුපිළගොල්ල මංසන්ධිය දක්වා කිලෝමීටරයකට වැඩි දුරක් පාගමනින් පැමිණියහ.

කටුපිළගොල්ල මංසන්ධියට පැමිණි පිරිස එහි ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් අවහිර කරමින් ටික වේලාවක් උද්ඝෝෂණයේ යෙදුණු අතර ඉන් ටික වේලාවකට පසුව මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වන පරිදි ඒ මත වාඩි වී විරෝධතාවයේ යෙදෙන්නට වූහ. මෙම උද්ඝෝෂණයට එක් වී සිටි ගොඩමඩ ශ‍්‍රී ප‍්‍රියදර්ශනාරාමාධිපති, කන්දේවත්තේ සුමනසිරි හිමියන් ඇතුලු හික්ෂූන් වහන්සේ මාර්ගය මත වාඩි වී විරෝධතාකරුවන්ට සහය පළකළහ. මේ නිසා කුරුණෑගල – කැප්පිටිගල මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම නැවතී ගිය අතර මගී ප‍්‍රවාහන බස් රථ ඇතුලු රථවාහන ගණනාවක් විරෝධතාවය පැවැති කටුපිළගොල්ල මංසන්ධිය ආසන්නයේ නවතා තිබෙනු දැකගත හැකි විය. උද්ඝෝෂකයින් මාර්ගය මත පොල් ගසමින් තමන් රැවටූ දේශපාලකයින්ට සහ බලධාරීන්ට ශාප කළ ආකාරය මෙන්ම රතිඤ්ඤා දල්වමින් විරෝධය පළකළ ආකාරයද මෙහිදී දැකගත හැකි විය. විරෝධතාකරුවන් විසින් මාර්ගය මැදට ටයර් කිහිපයක් දමා ඒවාට ගිනි දැල්වීමට උත්සාහ කළ නමුත් පොලිස් නිලධාරීන් මැදිහත් වී එය වළක්වාලූහ.

මෙම විරෝධතාවය පිළිබදව වයඹ ටුඩේ වෙත අදහස් දැක් වූ ගොඩමඩ ශ‍්‍රී ප‍්‍රියදර්ශනාරාමාධිපති, කන්දේවත්තේ සුමනසිරි හිමියෝ මෙලෙස පැවසූහ.

‘‘1987 වසරේ තිබුණු ප‍්‍රාදේශිය ගම් උදාව වැඩසටහන යටතේ සංවර්ධනය කළාට පස්සේ මේ කටුපිලගොල්ල – දෙල්විට මාර්ගයේ කිසිම අලුත්වැඩියාවක් හෝ සංවර්ධනයක් සිදුවෙලා නැහැ. ඒ නිසා අද වෙනකොට මේ පාරේ අලියෙක් නාවන්න පුලුවන් තරමේ ලොකු වළවල් හැදිලා තියෙනවා. වාහනයක් යනවා තියා පයින් ගමන් කරන්නවත් බැරි විදිහට පාර ඉතාම අබලන් වෙලා තියෙනවා. ගම්මාන 13 ක ජීවත්වෙන පවුල් 7000 කට අයිති ජනතාව මේ මාර්ගය උදේ හවා පාවිච්චි කරනවා. මේ පාරේ පුද්ගලික සහ ලංගම දහයක් දිනපතාම එහාට මෙහාට ධාවනය වෙනවා. දෙල්විට රෝහල වගේම රජයේ පාසල් හතරක් මේ පාරේ පිහිටලා තියෙනවා. ගම්මාන 13ක ජීවත්වෙන ජනතාව තමන්ගේ උවමනා එපාකම් පිරිමහගන්න එන ප‍්‍රධානම නගරය වෙන රිදීගම නගරයට එන්න තියෙන එකම පාරත් මේක විතරයි. කුරුණෑගල, රිදීගම සහ රම්බඩගල්ලේ ඉස්කෝලවලට යන දරුවන් සිය ගණනකට උදේ හවස පාසල් යන්න වෙලා තියෙන්නෙත් මේ අබලන් පාරෙන්ම තමයි. අවුරුදු ගාණක් තිස්සේ මේ පාර හදලා දෙන්න කියලා දේශපාලනඥයින් පස්සේ ගිහිල්ලා, බලධාරීන්ට කන්කෙදිරිගාලා, ඔවුන්ගේ පොරොන්දු අහලා, සුරංගනා කතා අහලා, රැවටිලා රැවටිලා බැරිම තැන තමයි මේ ගම්මාන 13 මිනිස්සු එකතුවෙලා අද මේ විදිහට පාරට බැස්සේ. ’’යැයි පැවසූහ.

පැය දෙකකට ආසන්න කාලයක් කුරුණෑගල – කැප්පිටිගල මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ යෙදී සිටි පිරිස සති දෙකක් තුළ දෙල්විට මාර්ගය පිළිසකර කර නොදුන්නහොත් නැවතත් මෙම ස්ථානයේදීම විරෝධතාවයේ යෙදෙන බව පවසමින් සාමකාමීව විසිරී ගියහ.

එම උද්ඝෝෂණයේ ඡායාරූප සහ වීඩියෝ දර්ශණ පහතින් නැරඹිය හැකිය.
delwita_rd_1 delwita_rd_2 delwita_rd_3 delwita_rd_4 delwita_rd_5 delwita_rd_7 delwita_rd_6 delwita_rd_8 delwita_rd_9 delwita_rd_10


- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article