Friday, April 19, 2024

ආනන්ද වෙනුවෙන් මහින්ද කතාවත් එපා කියයි.

Must read

alg_july_7_4ලක්ෂ පන්සියයක් ඉල්ලන කුරුණෑගල විදුහල්පතිනිය.

දේශපාලනය පොරපිටියේ වැඩි සද්ද බද්ද නැති, සන්සුන් සතියක් ගෙවී අවසන් විය. ජනපති මෛත‍්‍රී සහ හිටපු ජනපති මහින්ද පුත්තලමට පැමිණීම හැරෙන්නට වෙනත් සැලකිය යුතු දේශපාලන ක‍්‍රියාකාරකමක් පිළිබදව ගෙවුණු සතියේදී වයඹින් වාර්තා නොවූ තරම්ය. දේශපාලනය පැත්තෙන් නිස්කංලක බවක් පෙන් වූ නමුත් පරිපාලන ක්ෂේත‍්‍රය පැත්තෙන් නම් වයඹ මේ වන විට ගෙවා දමමින් ඉන්නේ අර්බුදකාරී වකවානුවකි. ගිරිල්ල රෝහලේ නිල නිවාසවලට ගල් මුල් ප‍්‍රහාරයක් එල්ලවීම මුල්කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කුරුණෑගල ශාඛාවේ මෙහෙයවීමෙන් වෛද්‍යවරුන් සටනකට මුලපුරා තිබුණේ එම රෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරුන් පවා රෝහලෙන් ඉවත් කරගනිමිනි. අනිත් පැත්තෙන් වයඹ අධ්‍යාපන පරිපාලනය තුළ අලුත් අර්බුදයක් නිර්මාණය කරමින් පසුගිය දිනවල වයඹ අධ්‍යාපන බලධාරීන්ගේ නම් ගම් කුරුණෑගල මහාධිකරණය පැත්තෙන් වැඩිපුර ඇසෙන්නට විය. ඊට හේතු වී තිබුණේ කුරුණෑගල ජනාධිපති බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය වශයෙන් කටයුතු කරමින් සිටි අයි. ටී. මල්විල විසින් වයඹ අධ්‍යාපන බලධාරීන් වගඋත්තරකරුවන් කරවමින් කුරුණෑගල මහාධිකරණය හමුවේ නඩු දෙකක් පවරා තිබීමය. විදුහල්පතිනි මල්විල විසින් ඉන් පළමු නඩුව ගොනුකර තිබුණේ වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් ඇයට ලබාදුන් ස්ථාන මාරුවක් අභියෝගයට ලක්කරමිනි. එම නඩුව විභාගවෙමින් තිබියදීම මල්විල විදුහල්පතිනිය විසින් තවත් පෙත්සමක් ගොනුකරන්නේ අදාළ නඩු පැවරීම පිළිබද උරණ වූ වයඹ අධ්‍යාපන බලධාරීන් විසින් තමන්ගේ වැඩ තහනම් කර ඇති බව කියමින්, එම වැඩ තහනම් කිරීමේ ලිපිය බල රහිත කරවන රීට් ආඥාවක් නිකුත් කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටිමිනි. මල්විල විදුහල්පතිනිය විසින් ගොනුකර ඇති පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීම වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්, වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ සහ කුරුණෑගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඇතුලු නව දෙනෙකුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කුරුණෑගල හිටපු මහාධිකරණ විනිසුරු සුනන්ද කුමාර රත්නායක මහතා විසින් පසුගිය 30 වැනිදා නොතීසිද නිකුත් කර තිබිණි. වයඹ අධ්‍යාපන බලධාරීන්ට නඩු දෙකක් පැටලවීමෙන් නොනැවතුණු මල්විල විදුහල්පතිනිය වැඩ තහනම් කිරීම හරහා තමාගේ කීර්ති නාමයට සිදු වූ අපහාසය වෙනුවෙන් රුපියල් ලක්ෂ පන්සියයක් ගෙවන ලෙසට ඉල්ලමින් නීතිඥ රංජනී හේරත් හරහා වයඹ අධ්‍යාපන බලධාරීන් කිහිපදෙනෙකු වෙත එන්තරවාසි යැවීමටද පසුගිය සතියේදී කටයුතු කළාය. දින හතක් තුළ ලක්ෂ පන්සියයක් ගෙවන ලෙස දන්වමින් විදුහල්පතිනි මල්විල විසින් එන්තරවාසි යවනු ලැබුවේ වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් කුමාරි වීරසේකර, වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ජේ. ජී. එන්. තිලකරත්න, කුරුණෑගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සිරිමෙවන් පොඩිනිලමේ, නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ඊ. එම්. පී. එම්. බී. ඒකනායක, වැඩසටහන් සහකාර ඩබ්ලිව්. ඒ. ආර්. කේ. වර්ණසූරිය, මාණ්ඩලික සහකාර චන්ද්‍රිකා කහදවආරච්චි, වැඩසටහන් සහකාර රූසිරු සේනානායක සහ සහකාර ඉඩම් කොමසාරිස් දුලානි උකුවෙල යන නිලධාරීන් වෙතය. මල්විල විදුහල්පතිනියගේ එන්තරවාසිය වෙත වයඹ අධ්‍යාපන බලධාරීන් කෙලෙස ප‍්‍රතිචාර දක්වනු ඇතිදැයි ඉදිරි සතියේදී දැකගත හැකි වනු ඇත.

ඇමැති සන්ධ්‍ය ශමල්ගේ ඔලුව අත ගා ටොකු අණී.

අධිකරණය හමුවේ විභාගවෙමින් ඇති කටයුත්තක් පිළිබදව පළාත් සභා රැස්වීම තුළ සාකච්ඡාවට නොගැනීම සම්ප‍්‍රදායක් වන නමුත් වයඹ පළාත් සභාවේ ජ්‍යෙෂ්ඨයෙකු යැයි කියාගන්නා විපක්ෂ නායක ශමල් සෙනරත් විසින් එම සම්ප‍්‍රදායද පසුගිය 05 වැනිදා පැවැති වයඹ පළාත් සභා රැස්වීමේදී අපූරුවට බිද දැම්මේය. එදින පළාත් සභා රැස්වීමේ මන්ත‍්‍රීවරුන්ගේ පුද්ගලික ප‍්‍රකාශ යටතේ ප‍්‍රකාශයක් කරමින් ශමල් කුරුණෑගල ජනාධිපති බාලිකා විද්‍යාලය ගැන මාතෘකාව පළාත් සභා රැස්වීමට ඇදගත්තේ මල්විල විදුහල්පතිනිය වෙනුවෙන් පෙනී සිටිමිනි. ජනාධිපති බාලිකා විද්‍යාලයේ දෙමව්පියන් පිරිසක් එක්ව එම විදුහලේ පරිපාලනය අවුල් කිරීම සදහා විදුහල්පතිනියට එරෙහි වැඩපිළිවෙලක් ගෙනයන බවත්, ඒ පිළිබදව සොයාබලා පියවරක් ගන්නා ලෙසටත් ශමල් අධ්‍යාපන ඇමැති සන්ධ්‍යගෙන් ඉල්ලා සිටියේය. ශමල් විසින් පාස් කළ බෝලයට පෙරළා එල්ල කිරීම සදහා ඇමැති සන්ධ්‍ය සිය අසුනෙන් නැගී සිටියේය. මෙම ගැටඵව මතුකිරීම පිළිබදව ශමල්ට ස්තූති කරමින්, සාරගම විදුහල්පතිනිය අල්ලස් නොගන්නා, දක්ෂ පරිපාලනයක් සහිත හොද විදුහල්පතිනියක් බව කියමින් සන්ධ්‍ය සිය කතාව ආරම්භ කළේය. නමුත් ඉන් එහාට සාරගම විදුහල්පතිනියගේ ක‍්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කරමින් කතා කළ සන්ධ්‍ය ඇය විසින් ගුරුවරුන්ගෙන් ප‍්‍රසිද්ධියේ පලිගන්නා ආකාරය මෙන්ම ගුරුවරුන් සහ දෙමව්පියන් පීඩාවට පත්කරන ආකාරය පිළිබදවත් උදාහරණ සහිතවම විග‍්‍රහ කළේය. ඇයගේ ඇති අඩුපාඩු නිවැරදි කරගන්නා ලෙසට කිහිප අවස්ථාවකදීම අවවාද කර ඇතත් ඒ කිසිවකට ඇහුම්කන් නොදෙන ඕ දරදඩු පාලනයක් ගෙනයමින් සිටින ආකාරයත්, නිලධාරීන් කිසිවෙකුටත් අවනත නොවන බවත් සන්ධ්‍ය කීවේය. වැඩ තහනමට ලක් කර තිබියදී පවා නීතිවිරෝධී ලෙස ජනාධිපති බාලිකා විද්‍යාලයට ඇතුලු වූ මල්විල විදුහල්පතිනිය විදුහලෙන් ඉවත්කිරීම සදහා සෑහෙන මහන්සියක් ගැනීමට සිදු වූ අයුරුත් , මෙවැනි තත්වයන් තුළ පාසලක පරිපාලනය ගෙනගිය නොහැකි බවත් දීර්ඝ වශයෙන් විග‍්‍රහ කළේය. සන්ධ්‍යගේ කතාව අවසන් වන විට පෙනුනේ ජනාධිපති බාලිකා විදුහල්පතිනිය වෙනුවෙන් පෙනී සිටීමට ගිය විපක්ෂ නායක ශමල්ගේ ඔලුව අත ගා හොද ටොක්කක් ඇණීමට ඇමැති සන්ධ්‍ය විසින් කටයුතු කර තිබූ බවකි. ශමල් නැවත වතාවක් නැගී සිට තවත් යමක් කියන්නට හදනාවාත් සමගම ආණ්ඩු පක්ෂය පැත්තෙන් නැගී සිටි මහ ඇමැති ධර්මසිරි අධිකරණය හමුවේ විභාගවෙමින් ඇති මාතෘකාවක් පිළිබදව සභාවේ සාකච්ඡාවට ගත නොහැකි බව ශමල්ට සිහිපත් කර දුන්නේ විපක්ෂ නායක ලෙස ඒ පිළිබදව නොදැන සිටීම පිළිබදව ශමල්ට උපාහාසයක්ද එල්ලකරමිනි.

පළාත් සභාව තුළ සහ අධිකරණය හමුවේ සිදු වූ ඉහත සිදුවීම් හැරෙන්නට කුරුණෑගල ජනාධිපති බාලිකා විද්‍යාලයේ සිදුවීම පිළිබදව විවිධ පාර්ශ්ව ඔස්සේ වාර්තා වූ තවත් තොරතුරු ගණනාවක් අළු යට ගිනි සතුව ඇතත් අධිකරණය හමුවේ නඩු කටයුත්තක් සිදුවෙමින් ඇති බැවින් ඒ පිළිබදව තැබෙන සටහන මෙතැනින් අවසන් කරන්නට ලියුම්කරු අදහස් කරයි. තමන්ට ලබාදුන් ස්ථාන මාරුවක් අවලංගු කරන ලෙසට ඉල්ලමින් උසාවි ගිය පළමු විදුහල්පතිනිය ලෙස මල්විල විදුහල්පතිනිය ඉතිහාසයට එක්වෙද්දී වයඹ අධ්‍යාපන බලධාරීන්ද අධිකරණය හමුවේ ඊට සාර්ථකව මුහුණදීමට දැන් සූදානම් වෙමින් සිටින බව කියැවෙන්නේ මෙම සිදුවීම තවත් විදුහල්පතිවරුන්ට පූර්වාදර්ශයක් නොවිය යුතුය යන පදනමේ පිහිටා බවද වාර්තා වෙයි. අධිකරණය හමුවේ මේ වනවිට විභාගවෙමින් පවතින නඩුවෙන් දිනන්නේ මල්විල විදුහල්පතිනිය වේවා, වයඹ අධ්‍යාපන බලධාරීන් වේවා කුරුණෑගල ජනාධිපති බාලිකා විද්‍යාලයේ නම උසාවියේ කියැවෙන වාරයක් වාරයක් පාසා පරාජය වෙමින් සිටින එක්තරා පිරිසක් වෙති. ඒ මේ කිසිදු සිදුවීමට සම්බන්ධයක් නොමැති ජනාධිපති බාලිකාවේ ඉගෙනුම ලබන අහිංසක දැරියන්ය.

ලෝකානන්ද පන්සලේදී චින්තකගෙන් ආනන්දට කැපිල්ලක්.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පසුගිය සතිඅන්තය ගතකළේ පුත්තලම දිස්ත‍්‍රික්කයේ ස්ථාන කිහිපයකදී සංවිධානය කර තිබූ ආගමික වැඩසටහන්වලට සහභාගිවෙමිනි. මහින්ද පුත්තලමට ගෙන්වා සියලු ආගම් නියෝජනය වන අයුරින් ආශිර්වාද වැඩසටහන් සංවිධානය කිරීමට මුල් වී තිබුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සනත් නිශාන්ත පෙරේරාය. ඒ අනුව බෞද්ධාගමික උත්සවය සංවිධානය කිරීම සදහා මන්ත‍්‍රී සනත් නිශාන්ත විසින් භාර දී තිබුණේ වයඹ පළාත් සභාවේ සභානායක අමල් චින්තක මායාදුන්නේ වෙතය. මහින්ද පිලේ සාමාජිකයෙකුව සිටියදී මෛත‍්‍රී පිලේ අනුග‍්‍රහයෙන් පිරිනැමුණු වයඹ පළාත් සභාවේ සභානායකකමට කරගැසීම හරහා මහින්දවාදී ලේබලය යම් තරමකට පළුදු කරගෙන සිටි චින්තක මායාදුන්න ලවා මෙම උත්සවය සංවිධානය කරගැනීම හරහා මන්ත‍්‍රී සනත් නිශාන්ත එක ගලෙන් කුරුල්ලන් කිහිපදෙනෙකු බිම වට්ටවාගැනීමට ක‍්‍රියාකර ඇති බවක් පෙණිනි. තම ක‍්‍රියාවෙන්ම මහින්දට ඇති පක්ෂපාතීත්වය ඔප්පු කරන්ට අවස්ථාවක් ලැබී තිබීම නිසාදෝ චින්තක විසින් පෝස්ටර්, බැනර් ගසා වැඩේ ජයටම කරන්නට වගබලාගෙන තිබිණි. චින්තක විසින් මහින්දගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන ආශිර්වාද බෝධි පූජාව සංවිධානය කිරීම සදහා තෝරාගෙන තිබුණේ පුත්තලම සහ ආණමඩුව මැතිවරණ කොට්ඨාශ මායිමේ පිහිටි කිවුල ශ‍්‍රී ලෝකානන්ද විහාරස්ථානයයි. ලෝකානන්ද විහාරස්ථානයේ චින්තකගේ මෙහෙයවීමෙන් ආශිර්වාද බෝධි පූජාවක් සංවිධානය කෙරන බව ආරංචි වූ තවත් අයෙකු කලබලයට පත් වී තිබිණි. ඒ හිටපු පළාත් සභා මන්ත‍්‍රී ආනන්ද සරත් කුමාරයි. මන්ත‍්‍රී සනත් නිශාන්ත ඇමැතූ ආනන්ද, චින්තක විසින් ආණමඩුව මායිමේ සංවිධානය කරනු ලබන බෝධි පූජාව පිළිබදව විරෝධය පළකරන්නට විය. ආනන්ද සහ චින්තක දෙදෙනාටම එක්ව බෝධි පූජාව සංවිධානය කරන ලෙසට උපදෙස් දුන් සනත් නිශාන්ත තමන්ගේ ජාම බේරාගෙන තිබිණි. පසුගිය ඉරිදා මහින්ද ලෝකානන්ද විහාරස්ථානයට පැමිණෙන විට නියමිත වේලාවට වඩා පැය කිහිපයක් ගෙවී තිබු බැවින් මහින්දගේ පැමිණීමත් සමග උත්සවයද කඩිනමින් ආරම්භ කෙරිණි. ඒ අතරතුර ආනන්ද සහ චින්තක අතර තවත් සීතල යුද්ධයක් ආරම්භ වී තිබුණේ උත්සවයේ න්‍යාය පත‍්‍රය සම්බන්ධයෙනි. චින්තකගේ මෙහෙයවීමෙන් සකස් වී තිබූ න්‍යාය පත‍්‍රයට අනුව චින්තකට , සනත් නිශාන්තට සහ මහින්දට පමණක් කතා ලැබී තිබූ අතර ආනන්දගේ නම එයින් කැපී ගොස් තිබිණි. ආනන්ද ඊට විරෝධය පළකරන්නටවීම නිසා එය විසදීමට මහින්දටද මැදිහත්වන්නට සිදුවිය. තමන්ට කතාවක් නැතුව හෝ ආනන්දට කතාවක් දෙන ලෙස මහින්ද එහිදී උත්සවයේ සංවිධායකටයින්ට කීය. ‘‘හරි. මට කතාවක් ඕනෑ නැහැ. ඔයාලා දෙන්නම කතාකරන්නකෝ. ’’අවසානයේ විසදුමක් යෝජනා කරමින් සනත් නිශාන්ත විසදුමක් කීය. ඒ අනුව පිළිගැනීමේ කතාව සිදුකිරීම සදහා චින්තකට අවස්ථාව ලැබුණු අතර උත්සවය සංවිධානය කරන්නට ගොස් මුහුණපෑමට සිදුවූ දුක් කරදර ආදිය ගැනත් කියමින් කියමින් චින්තක විනාඩි විස්සකට ආසන්න වේලාවක් පිළිගැනීමේ කතාව පැවැත්වීය. අනතුරුව ආනන්ද සරත් කුමාරට සභාව ඇමැතීමට ලැබුණු අතර ආනන්ද සභාව අමතා අවසන් කළේ හිටිවන කවි දෙකක්ද කියමිනි.

බම්බු ගේට්ටුකරුවන්ට අශෝක් දුන් පොරොන්දුවක් ගැන නිමල් සිරිපාල අසතුටෙන්.

තමන්ට දුම්රිය දෙපාර්තමේන්තුවට අනුයුක්ත කරගන්නා ලෙසට ඉල්ලමින් දිවයින පුරා පිහිටි අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගවල සේවයේ නියුතු බම්බු ගේට්ටුකරුවන් වැඩ වර්ජනයක් ආරම්භ කළේ පසුගිය සති අන්තයේදීය. තමන්ගේ ඉල්ලීමට විසදුමක් නොලැබුනහොත් සදුදා සිට දැඩි වෘත්තිය ක‍්‍රියාමාර්ගවලට එළැඹෙන බවටද ඔවුන් විසින් ප‍්‍රකාශ කර තිබිණි. ගේට්ටුකරුවන්ගේ වර්ජනයට විසදුමක් ලබාදෙන්නේදැයි විමසීම සදහා ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ඇමැතූ මාධ්‍යවේදීන්ට ලැබී තිබුණේ අපූරු පිළිතුරකි. ‘‘ඔය බම්බු ගේට්ටුකරුවන් කියන්නේ අපේ අමාත්‍යංශයට අයිති පිරිසක් නෙවෙයි. ඒ අයට පඩි ගෙව්වේ ආරක්ෂක අමාත්‍යංශයෙන්. ඒ නිසා ඒ අයගේ ඉල්ලීම යොමුකරන්න ඕනෑ ආරක්ෂක අමාත්‍යංශයටයි. එහෙම තියෙද්දී මම රට ගිහින් හිටපු අවස්ථාවක මේ ගේට්ටුකරුවොත් එක්ක සාකච්ඡාවක් කරපු අපේ අශෝක් අබේසිංහ අපේ නියෝජ්‍ය ඇමැතිතුමා ඒ අයගේ දීමනා වැඩකරලා දෙන්නම් කියලා පොරොන්දුවෙලා තියෙනවා. දැන් ඒ මිනිස්සු දීමනාව වැඩිකරන්න කිය කියා ස්ට‍්‍රයික් කරනවා. ඒ නිසා මට නම් ඔය ගැන කියන්න දෙයක් නැහැ. අශෝක් අබේසිංහටම කතාකරලා ඔය ගැන අහගන්න. ’’ඇමැති නිමල් සිරිපාල කීය. හැරෙන තැපෑලෙන් අශෝක් අබේසිංහ අමතා නිමල් සිරිපාලගේ චෝදනාව පිළිබදව විමසූ මාධ්‍යවේදීන්ට අශෝක්ගෙන් ලැබුණේ ඊට හාත්පසින්ම වෙනස් පිළිතුරකි. ‘‘ඒක වැරදි කතාවක්. මම දුම්රිය ගේට්ටුකරුවොත් එක්ක කිසිම වේලාවක සාකච්ඡාවක් පවත්වලා හෝ ඒ අයට පොරොන්දුවක් දීලා නැහැ. නමුත් දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරින් එක්ක මම එක අවස්ථාවක සාකච්ඡාවක් කරමින් ඉන්නකොට ඔය ගේට්ටුකරුවන්ගේ ප‍්‍රශ්නය ගැනත් ඇදුණා. ඒ අයට ගෙවන මුදල ගැන දැනගත්තාම මම කිව්වා ඒ ගණන නම් ප‍්‍රමාණවත් නැහැ. තව කීයක් හරි වැඩිකරලා දෙන්න බැරිවෙයිද කියලා. එතැනදී ඒ ගැන දීර්ඝව සාකච්ඡා කරලා අන්තිමේදී මම නිලධාරීන්ට කිව්වා මේ ගැන පේපර් එකක් හදලා භාණ්ඩාගාරයටයි, පොලිස් දෙපාර්තමේන්තුවටයි යවන්න කියලා. ඇමැතිතුමාත් මේ ගැන දැනුවත් කරන්න කියලා මම දුම්රිය සාමාන්‍යාධිකාරිතුමාටත් කිව්වා. පස්සේ මේක ආරංචිවෙලා දුම්රිය ගේට්ටුකරුවෝ පිරිසක් ඇවිත් මාව හමුවුණා. ඒ අයගේ ප‍්‍රශ්නය ගැන කතාකිරීම ගැන ඒ අය මට ස්තූති කළා. මම ඒ ආව අයට අර සාකච්ඡාවේ විස්තර ටිකත් කියලා කැබිනට් පේපර් එකක් දාලා හරි දැනට ගෙවන මුදල වැඩිකරන්න කියලා නිලධාරීන්ට උපදෙස් දීලා තියෙන බව කිව්වා. එහෙම මිසක් මම ඒ අය එක්ක සාකච්ඡාවකට ගිහිල්ලාවත්, පොරොන්දුවක් දීලාවත් නැහැ. ’’අශෝක් කීය.

උපුටාගැනීම – මව්බිම පුවත්පත , 2016 ජූලි 14 වැනි බ‍්‍රහස්පතින්දා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article