Saturday, April 20, 2024

යහපාලනය වයඹින් දෝරේ ගලයි. මහඇමැතියි විපක්ෂනායකයි එකට ජපන් යයි !

Must read

 

alu_yata_gini_16_09_29alg_july_7_4නියෝජ්‍ය ඇමැති හර්ෂ ඉබ්බාගමුව මැදි විදුහලෙන් සමාව ඉල්ලයි.

ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප‍්‍රදානෝත්සවය පැවැත්වුණේ පසුගිය සිකුරාදාය. විද්‍යාලයේ පී. එම්. ජයතිලක ශාලාවේදී පැවැති ත්‍යාග ප‍්‍රදානෝත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වූයේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වාය. නියෝජ්‍ය ඇමැති හර්ෂ ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලය වෙත පැමිණියේ උත්සවය ආරම්භවීමට නියමිතව තිබූ වේලාවට වඩා විනාඩි විස්සක් පමණ ප‍්‍රමාදවය. විද්‍යාලයේ ප‍්‍රධාන ගේට්ටුව අසලට පැමිණි නියෝජ්‍ය ඇමැතිවරයා තමන් පිළිගැනීමට ගේට්ටුව ඉදිරිපිටට රැස් වී සිටි ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයේ විදුහල්පතිනි නිරෝධා අබේවික‍්‍රම ඇතුලු ආචාර්ය මණ්ඩලයෙන් සහ සිසු සිසුවියන්ගෙන් තම ප‍්‍රමාදය පිළිබදව ප‍්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටීමට තරම් නිහතමානී විය. ‘‘සියලුදෙනාම සමාවෙන්න. මම විනාඩි විස්සක් ප‍්‍රමාද වුණා. ගමනට පැය දෙක හමාරක් යයි කියලයි හිතුවේ. නමුත් පැය දෙකයි විනාඩි පනහක් ගියා. ළමයි ගොඩක් වෙලා බලාගෙන හිටියද දන්නේ නැහැ. සමාවෙන්න. ’’ නියෝජ්‍ය ඇමැති හර්ෂ කීවේ විදුහල්පතිනිය ඇතුලු පිරිස වෙත දෑත් එකතු කර ආචාර කරන අතරතුරේදීය. නියෝජ්‍ය ඇමැතිවරයා විද්‍යාලයේ දරු දැරියන් විසින් පිළිගැන් වූ බුලත් හුරුඵ පිළිගෙන විද්‍යාලයට පාතැබුවේ ඉන් අනතුරුවය. නියෝජ්‍ය ඇමැති හර්ෂට අමතරව විද්‍යාලයේ ආදි ශිෂ්‍යයින් වන මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියේ ප‍්‍රධාන ඉංජිනේරු ඩී. එම්. අබේරත්න සහ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධර්ම ශ‍්‍රි බණ්ඩාර ඒකනායක ඇතුලු ආදි ශිෂ්‍යයින් පිරිසක්ද ආරාධිතයින් ලෙස උත්සවයට එක් වී සිටියහ. තමන් අතින් සිදු වූ පමාව පිරිමසන්නටදෝ නියෝජ්‍ය ඇමැතිවරයා පැය හතරකට ආසන්න කාලයක් ත්‍යාග ප‍්‍රදානෝත්සවයේ රැදී සිටියේය. අධ්‍යාපනික සහ විෂය බාහිර ක‍්‍රියාකාරකම්වලින් විශිෂ්ට දක්ෂතා දැක් වූ සිසු සිසුවියන් සහ ඔවුන් ඒ සදහා යොමු කළ ගුරු මහත්ම මහත්මීන් වෙත සම්මාන පිරිනමන්නටද එක් වූ නියෝජ්‍ය ඇමැති හර්ෂ සිය දේශණය ආරම්භ කළේ ඉන් අනතුරුවය. දේශණය ආරම්භ කිරීමට පෙර තමන් උත්සවයට පැමිණීමට ප‍්‍රමාදවීම පිළිබදව ඔහු දෙවැනිවරටද සමාව ඉල්ලා සිටියේය. කොළඹ සිට ඉබ්බාගමුවට ඒමට පැය දෙක හමාරක් ප‍්‍රමාණවත් වේයැයි සිතා කොළඹින් පිටත් වූ නමුත් දඹුල්ල – කුරුණෑගල මාර්ගයේ සිදුකෙරෙන මාර්ග නවීකරණ කටයුතු හේතුවෙන් වාහන තදබදයට හසුව අමතර විනාඩි විස්සක් වැයකරන්නට සිදුවීම තම ප‍්‍රමාදයට හේතු වූ බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය. පැය භාගයකට ආසන්න කාලයක් සිය දේශණය පැවැත්වූ හර්ෂ නැවත වරක් සමාව අයදිමින් ඉල්ලා සිටියේ වැඩබලන විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස තමන් එදින පස්වරු හය වන විට පාර්ලිමේන්තුවේ පෙනී සිටිය යුතු බැවින් තමන්ට උත්සවයෙන් නික්මයාමට අවසර ලබාදෙන ලෙසටය. හර්ෂ එම ඉල්ලීම කරන අවස්ථාව වනවිටත් පස්වරු තුන පසු වී තිබිණි. හර්ෂ උත්සවයට පැමිණෙන අතරමගදී මුහුණපෑමට සිදු වූ කම්කටොඵවලට නැවත වතාවක් ලක්වීමට ඉඩතිබීම පිළිබදව සහ පස්වරු හයට පාර්ලිමේන්තුවේ පෙනී සිටීමට නියමිතව තිබීම පිළිබදව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධර්ම ශ‍්‍රි බණ්ඩාර විසින් ගොකරැල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයා දැනුවත්කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස නියෝජ්‍ය ඇමැති හර්ෂට කුරුණෑගල දක්වා පොලිස් පෙර ගමන් යතුරුපැදියක සේවය ලැබී තිබිණි.

ජනපතිගේ රට සවාරි වැට වයඹ මුල් පුටුවලින් කැඩෙයි.

‘‘කුමන නීති දැම්මත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂට පාලනය කිරීමට නොහැකි වූ වයඹ පළාත් සභාවේ මන්ත‍්‍රී රට සවාරි රැල්ල මෛත‍්‍රී විසින් කෙසේ පාලනය කරනු ඇති දැයි වයඹ ජනතාව දැන් බලා සිටිති. ’’පළාත් සභා මැති ඇමැතිවරුන්ගේ රට සවාරිවලට ජනාධිපති ලේකම් කාර්යාලය පැත්තෙන් වැටුණු තහංචිය පිළිබදව පසුගිය සතියේ අඵ යට ගිනි පිටුවේ තැබුණු සටහන අවසන් වූයේ එලෙසිනි. අඵ යට ගිනි විසින් සැක පහළ කළ අයුරින්ම, රජයේ මුදල් නාස්තිකරමින් අනවශ්‍ය විදෙස් ගමන් යොදා නොගන්නා ලෙසට ජනපති මෛත‍්‍රී විසින් නියෝග කර තිබූ අදාළ චක‍්‍රලේඛය හුදු ලියැවිල්ලක් බවට පත්කිරීමට වයඹ පළාත් සභාවේ මුල් පුටුවලට ගතවූයේ දෙතුන් දිනක් පමණි. ජනපති චක‍්‍රලේඛයේ තීන්ත වේලෙන්නටත් පෙර වයඹ ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක, විපක්ෂනායක ශමල් සෙනරත්, නියෝජ්‍ය සභාපති සෝමසිරි ගුණතිලක සහ වයඹ පළාත් පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ සමන් සේනානායක ජපානය බලා පිටත් වී ගියේ පසුගිය සිකුරාදාය. වයඹ පළාත් සභාවේ මන්ත‍්‍රීවරුන් විදේශගතවීමේදී යොදාගන්නා සුපුරුදු මාතෘකා දෙකෙන් එකක් වන කසල කළමනාකරණය පිළිබද අධ්‍යන චාරිකාවක් යන ලේබලය මෙම සවාරියටද අලවා තිබිණි. කසල කළමනාකරණය පිළිබදව පැවැත්වෙන වැඩමුඵවකට සහභාගිවන ලෙසට එරටින් ලැබී තිබූ ආරාධනාවකට අනුව පිරිස ජපානයට පිටත් වී ගිය බවත්, එය ජනපති මෛත‍්‍රීගේ අනුදැනුම ඇතිව සිදු වූ සංචාරයක් බවටත් ඒ පිළිබද විපරම් කළ අයට වයඹ මහ ඇමැති කාර්යාලය පැත්තෙන් ලැබී තිබූ පිළිතුර විය. නමුත් අඵ යට ගිනි වෙත ලැබෙන තොරතුරුවලින් කියැවෙන්නේ අදාළ සමුඵව ජපන් රජයෙන් හෝ එරට රාජ්‍ය තාන්ත‍්‍රික මට්ටමෙන් අනුග‍්‍රහය නොලබන එකක් බවත්, එය එරට පුද්ගලික ව්‍යාපාරික ආයතනයක් විසින් මෙහෙයවන සමුඵවක් වන බවකි. කසල සමුඵවේ තතු විත්ති කෙසේවෙතත් වයඹ පළාත් සභාවේ පක්ෂ විපක්ෂ නායකයින් කරට අත දමාගෙන ජපානය බලා ගුවන් ගත වී තිබුණේ ඒ පිටුපස හෙළිනොවුණු සහ රසවත් සිදුවීම් සහ කතන්දර ගණනාවක් මෙරට තුළ ඉතිරි කරමිනි. මෙම සංචාරය පිළිබදව කටුනායකින් පිටත් වන තුරු කටේ කෙළබිදක් හෝ නොහෙලන්නට මහ ඇමැති ධර්මසිරි මෙන්ම විපක්ෂ නායක ශමල් සෙනරත්ද ප‍්‍රවේශම් වී තිබිණි. සංචාරයට දින කිහිපයකට පෙර පැවැති ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ කණ්ඩායම් රැස්වීම්වලදී හෝ පළාත් සභා රැස්වීමේදීවත් ධර්මසිරි සහ ශමල් විසින් ජපන් සංචාරය පිළිබදව සිය සහෝදර මන්ත‍්‍රීවරුන් කිසිවෙකුටත් වචනයක් හෝ අගවා නොසිටීමට පරිස්සම් වී තිබිණි. ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් පවා මහ ඇමැති ධර්මසිරි විදෙස් ගත වී ඇති බව දැනගත්තේ ධර්මසිරිගේ ජංගම දුරකථනයට ඇමැතුමක් ලබාගත් විටදීය. ධර්මසිරිගේ දුරකථන අංකය රෝමිං වී තිබීම විමසිලිමත් වූ මන්ත‍්‍රීවරුන්ගේ ඇස් උඩගියේ ධර්මසිරි පැදුරටත් නොකියා ශමල් සමග ජපානය වෙත ගොස් තිබූ බව තහවුරුකරගැනීමත් සමගය. තවත් අතෙකින් බැලූවහොත් වයඹ පළාත් සභාවේ වත්මන් තත්වය පිළිබදව මෙතෙක් වැසී ගොස් තිබූ කඩතිර විවර වී ජනතාව වෙත සත්‍යය නිරාවරණය වීමටද මෙම සංචාරය අවස්ථාවක් වූ බවද පෙනෙයි. අඵ යට ගිනි පිටුව හරහා මින් පෙර අනාවරණය කර ඇති ආකාරයටම වයඹ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය කියා දෙපක්ෂයක් පවතින්නේ මේ වන විට පවතින්නේ නාමිකව පමණි. විපක්ෂයේ සෙසු මන්ත‍්‍රීවරුන්ගේ මතය කෙසේවෙතත් යහපාලනයේ නාමයෙන් විපක්ෂනායක ශමල් විසින් මහඇමැති ධර්මසිරි වෙත කොන්දේසි විරහිත අගනා සහයෝගයක් ලබාදෙමින් සිටින බවක් පැහැදිලිවම දකින්නට තිබේ. වයඹ පළාත් සභාව තුළ ක‍්‍රියාත්මක මේ එක මල්ලේ ලුණු කෑම නැවත වතාවක් තහවුරු කරවමින් වයඹ පළාත් සභා ඉතිහාසයේ පළමුවරට මහ ඇමැති සහ විපක්ෂනායක එකම ගුවන් යානයෙන් විදෙස් සංචාරයක් සදහා පිටත් වී ගොස් තිබිණි. සුවිශේෂීම කාරණාව වන්නේ ජපන් සංචාරය සදහා විපක්ෂනායක ශමල්ගේ නම ඇතුළත් කිරීමට කාරුණික වූ ධර්මසිරි පරිසර අමාත්‍යංශ උපදේශක කාරක සභාව නියෝජනය කරන හෝ පරිසර විෂය සම්බන්ධයෙන් අධීක්ෂණ මන්ත‍්‍රී තනතුරු දරන ආණ්ඩු පක්ෂයේ කිසිදු මන්ත‍්‍රීවරයෙකුගේ නමක් ඊට ඇතුළත් කිරීමට කාරුණික වී නොතිබීමයි. රජයේ මුදල් නැති නාස්තිකරමින් අනවශ්‍ය විදෙස් ගමන් යොදා නොගන්නා ලෙසට වූ ජනපති නියෝගය වලංගුවන්නේ පළාත් සභාවල මැති ඇමැතිවරුන්ට පමණක් නොවේ. එය පළාත් සභාවේ නිලධාරීන්ටද එක සේ වලංගුය. එවැනි තත්වයක් තුළ ජපන් සංචාරය සදහා වයඹ පළාත් පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ සමන් සේනානායක එක් වී සිටීම පළාත් සභාවේ සෙසු මන්ත‍්‍රීවරුන්ගේ නොසන්සුන්තාවය ඉහළ නංවන්නට සමත් වී තිබිණි. වයඹ පළාත් පරිසර අධිකාරියේ ක‍්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ජනපති මෛත‍්‍රී විසින් වයඹ පරිසර අධ්‍යක්ෂ සමන් සේනානායක වෙත තදබල දෝෂාරෝපණයක් එල්ල කළ බව මීට සති දෙක තුනකට පමණ පෙරදී ප‍්‍රවෘත්ති වෙබ් අඩවි විසින් වාර්තා කර තිබිණි. අදාළ වෙබ් පුවත වයඹ පළාතේ ජනතාවගේ වැඩි අවධානයක් දිනාගෙන තිබීම නිසා එය පසුගිය සති කිහිපයේදී පළාතේ ජනතාව අතර වැඩිපුරම හුවමාරු වූ ප‍්‍රවෘත්තියක් බවට පත් වී තිබිණි. අදාළ පුවත අසත්‍ය බවට හෝ ජනාධිපතිවරයා විසින් එවැනි දෝෂාරෝපණයක් නොකළ බවට වයඹ පරිසර අධිකාරය පැත්තෙන් මේ වනතෙක් ප‍්‍රතිචාරයක් හෝ පළ වී නැති තත්වයක් තුළ වයඹ වැඩිදෙනා විශ්වාස කරන්නේ එවැනි සිදුවීමක් සිදුවී ඇති බවටය. එබැවින් ජනාධිපතිවරයා විසින් වයඹ පරිසර අධ්‍යක්ෂවරයා දෝෂ දර්ශනයට ලක්කිරීමේ සිදුවීම සත්‍යයක් ලෙස සැලකුවහොත් ජනාධිපති මෛත‍්‍රී තහනම් කළ විදෙස් සංචාරයක මුලින්ම ගමන්කර ඇත්තේ ජනපතිගේම අප‍්‍රසාදයට ලක් වූ රාජ්‍ය නිලධාරියෙකි. මෙම ජපන් සංචාරය සැලසුම් කිරීමේදී සහ සම්බන්ධීකරණය කිරීමේදී බොහෝ වෙහෙස මහන්සි වී ඇත්තේ පරිසර අධ්‍යක්ෂ සමන් සේනානායක බවද වයඹ පළාත් සභාවේ මන්ත‍්‍රීවරුන් විසින් අනාවරණය කරගෙන තිබේ. සතියකට ආසන්න කාලයක් ජපානයේ පැවැති කසල සමුඵවට සහභාගි වූ වයඹ පළාත් සභාවේ පක්ෂ විපක්ෂ නායකයින් එකම ගුවන් යානයකින් යළිත් මව්බිම වෙත සැපත්වීමට නියමිතව සිටින්නේද අද දිනයේදීය. අඵ යට ගිනි හරහා සිදු කළ මෙම හෙළිදරව්ව සුපුරුදු ලෙසම සංචාරයේ යෙදුණු අයගේ උදහසට හේතුවන්නට වැඩි ඉඩකඩක් ඇති අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස ඇතැමුන් පළාත් සභා රැස්වීමේදී පරලවන්නටත් ඉඩ තිබේ. ‘‘අපි ගියේ අපට එන්න කියලා ආරාධනා කරපු නිසා. පළාත් සභාවෙන් ශත පහක්වත් වියදම් වුනේ නැහැ. සියලු වියදම් කළේ ජපානෙන් ’’වැනි සිල්ලර උත්තර පළාත් සභා රැස්වීමේදී මුදාහරිනු පිණිස මේ වනවිටත් තොග ගණනින් සූදානම් වී තිබෙන්නට ඉඩ ඇති නමුත් ජපන් සංචාරයේ යෙදුණු මහත්වරුන්ගෙන් ඊට වඩා ප‍්‍රශස්ත පිළිතුරක් ලැබෙනු ඇති බවට වයඹ ජනතාව දැන් බලා සිටිති. උදාහරණයක් ලෙස අදාළ සංචාරය සදහා වැය කළ සම්පූර්ණ මුදල කොපමණද ? එම වියදම් දැරුවේ කවරෙකු විසින්ද ? යම් විදේශීය ව්‍යාපාරික ආයතනයක් නම් ඔවුන් ඒ සදහා වයඹ පළාතෙන් පෙරළා බලාපොරොත්තු වන ප‍්‍රතිලාභය කුමක්ද ? අදාළ සංචාරය සදහා මැති ඇමැතිවරුන් සහ රාජ්‍ය නිලධාරීන් තෝරාගත්තේ හෝ නම් කළේ කවුරුන් විසින්ද ? ඒ කුමන පදනම යටතේද ? සහ අදාළ සංචාරයෙන් වයඹ ජනතාවට ලැබෙන ප‍්‍රතිලාභ කුමක්ද වැනි කරුණු ඇතුළත් හුදු කෑකෝගැසීම්, බැණ වැදීම්, අවමන් කිරීම් රහිත ප‍්‍රශස්ත සහ මහත්මා ගුණයෙන් යුත් පිළිතුරක් ලැබෙතැයි වයඹ ජනතාව අපේක්ෂා කරති.

කුලියාපිටියේ සමූපකාර ඡන්දයේ ගුටිකෙළි.

කුලියාපිටිය විවිධ සේවා සමූපකාර සමිතිය සදහා ප‍්‍රාදේශික කාරක සභිකයින් තෝරාපත් කරගැනීම සදහා වූ නිලවරණය පැවැත්වුණේ පසුගිය සෙනසුරාදාය. සාමාන්‍යයෙන් ඕනෑම සමූපකාරයක තරගය පවතින්නේ එජාප කණ්ඩායම සහ ශ‍්‍රීපනිප කණ්ඩායම අතර වුවත් කුලියාපිටියේ සමූපකාර සටන්බිමට බැස තිබුණේ ඇමැති අකිලගේ නායකත්වයෙන් යුත් එජාප කණ්ඩායම සහ මන්ත‍්‍රී සමන්ප‍්‍රියගේ නායකත්වයෙන් යුත් මහින්ද කණ්ඩායමයි. කුලියාපිටියේ මෛත‍්‍රීපිලේ සාමාජිකයින් වන මන්ත‍්‍රී අතුල විජේසිංහ සහ ඇමැති දෙහිගම සමුපකාර නිලවරණය පිළිබදව දක්වා තිබුණේ නිහඩ පිළිවෙතකි. සාමාන්‍යයෙන් සමූපකාර ප‍්‍රාදේශික ඡන්දයක් යනු එම ප‍්‍රාදේශිකයට අයත් වන ජනතාවට පමණක් සීමාවන සරල ඡන්ද විමසීමක් වන නමුත් සෙනසුරාදා පැවැති කුලියාපිටියේ සමූපකාර ඡන්දයට නම් ලැබී තිබුණේ පාර්ලිමේන්තු මහ මැතිවරණයක මුහුණුවරය. පහරදීම්, තර්ජනය කිරීම්, බලපෑම් කිරීම්, කැන්වසින්, කොඩි වැල් පමණක් නොව සහ රතිඤ්ඤාවන් වැනි මහ මැතිවරණ අංගෝපාංග ගණනාවක් මෙම සමූපකාර නිලවරණය ආශ‍්‍රිතව යහමින් අසන්නට දකින්නට ලැබුණු බැවිනි. සමූපකාර ඡන්දයක නොපැවැතිය යුතු අංග ගණනාවක්ම පැවැතීම නිසාම කුලියාපිටිය සමූපකාර ප‍්‍රාදේශික කාරක සභික නිලවරණය අවසන් වූයේ මායිම්පිටිය ප‍්‍රාදේශිකයේ ඇති වූ ගුටිකෙළියක්ද සමගිනි. ගුටිකෙළිය හේතුවෙන් ඇතැමෙකුට රෝහල් ගතවෙන්නටත් තවත් ඇතැමෙකුට පොලිස් කූඩුවේ ලගින්නටත් සිදුවිය. මැතිවරණයට පසුදින මාධ්‍ය හමුවක් කැද වූ මන්ත‍්‍රී සමන්ප‍්‍රිය හේරත් ඇතුලු මහින්ද පිලේ සාමාජිකයින් ඇමැති අකිලට චෝදනා කළේ ඇමැති අකිලගේ ක‍්‍රියාකලාපය හේතුවෙන් සමූපකාර නිලවරණය මැතිවරණයක් බවට පත් වූ බවටය. අකිල විසින් රාජ්‍ය බලය යොදා සමුපකාර නිලවරණය දිනාගැනීමට උත්සාහ කළ නමුත් අකිලගේ නිවස අවට පිහිටි සමූපකාර ප‍්‍රාදේශික කිහිපයේ බලයද දිනාගනිමින් තම නියෝජිතයින් විසින් සමුපකාර නිලවරණය 76 ට 64 ක් ලෙස ජයග‍්‍රහණය කිරීමට සමත් වූ බවද සමන්ප‍්‍රිය එම මාධ්‍ය හමුවේදී කීහ. සමන්ප‍්‍රිය විසින් කරන මෙම චෝදනාවන් පිළිබදව ඇමැති අකිලගේ පැත්තෙන් නම් තවමත් ප‍්‍රතිචාරයක් පළ වී නැත.

උපුටාගැනීම – මව්බිම පුවත්පත, 2016 සැප්තැම්බර් 29 වැනි බ‍්‍රහස්පතින්දා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article