Wednesday, April 24, 2024

වයඹ, රටේ ඉහළටම එස වූ ශිෂ්‍යත්ව හපනුන්ගේ වගතුග මෙන්න !

Must read

grade_5ඊයේ නිකුත්කෙරුණු පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප‍්‍රතිඵලවලට අනුව දිවයිනේ මුල් ස්ථාන දොළහ අතරින් ස්ථාන පහක්ම පළාතට දිනාගනිමින් 2016 වසරේ ශිෂ්‍යත්ව විභාගයෙන් ජය කෙහෙළි නැංවීමට වයඹ දූ පුතුන් සමත් වී සිටිති.

ඒ අනුව මෙවර ශිෂ්‍යත්ව විභාගයේ දෙවැනි ස්ථානය සහ තුන් වැනි ස්ථාන හතරක් වයඹ පළාතේ විද්‍යාලවල ඉගෙනුම ලබන සිසු සිසුවියන් විසින් දිනාගෙන තිබේ.

ලකුණු 195ක් ලැබූ කුලියාපිටිය ඇස්සැද්දුම සුභාරතී කණිෂ්ඨ විද්‍යාලයේ රුවන්යා මෙත්මිණි ගුණසේකර දැරිය දිවයිනේ දෙවැනි ස්ථානය ලබාගනිද්දී, ලකුණු 194 ක් ලැබූ එම විද්‍යාලයේම තේජන කෞෂිත් සිසුවාත්, ඉබ්බාගමුව ආදර්ශ මහා විද්‍යාලයේ එම්. එම්. නෙත්මි සුබෝධිනී සිසුවියත්, ගිරිඋල්ල වික්‍රමශීලා විද්‍යාලයේ සෙනිත් දිල්වාන් රාජපක්ෂ සිසුවාත්, වෙන්නප්පුව ජෝශප් වාස් විදුහලේ ඉනේෂ් දුලංජන චන්ද්‍රසිරි සිසුවාත් ශිෂ්‍යත්ව විභාගයේ තෙවැනි ස්ථානයන්ට පත් වී සිටිති.

මෙම ශිෂ්‍යත්ව හපනුනගෙන් තිදෙනෙකු මුණගැසීමට වයඹ ටුඩේ වෙබ් අඩවියට අද උදෑසන කාලයේදී අවස්ථාව ලැබුණු අතර ඔවුන් පිළිබද තැබෙන කෙටි සටහනක් පහත දැක්වෙයි.

මෙත්මිණි දැරියගේ මව කුලියාපිටිය සාරානාත් විද්‍යාලයේ ගුරුවරියක් වන අතර පියා බිංගිරිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයට අනුයුක්තව සේවය කරන වෛද්‍යවරයෙකි. බාල සොහොයුරන් දෙදෙනෙකු සහිත පවුලක වැඩිමලා වන මෙත්මිණි පොතට පතට සීමා නොවී සංගීතය, යෝග භාවනා ආදියට ඇලුම් කරන දැරියක් මෙන්ම ඕගන් වාදනයට දක්ෂතාවයක් දක්වන දැරියකි.

තම ජයග‍්‍රහණය පිළිබදව වයඹ ටුඩේ වෙත අදහස් දැක් වූ රුවන්යා මෙත්මිණී සිසුවිය මෙසේ කීවාය.

“ මම හිතාගෙන හිටියා මම ලකුණු 180 කට වැඩිය ගන්නවා කියලා. ඒත් ලකුණු 195ක් ලැබෙයි කියලානම් හීනෙකින්වත් හිතුවේ නැහැ. මම ළමා ටෙලිනාට්‍ය නිතර බැලුවා. ශිෂ්‍යත්වය කියලා මගේ සංගීත පන්තියවත් නැවැත්තුවෙ නැහැ . යෝග භාවනා කරන්නත් මම ආස නිසා අම්මයි තාත්තයි එක්ක යෝග භාවනාත් කළා. ඉඩක් ලැබෙන හැම මොහොතකම මල්ලිලා නංගිලා එක්ක සෙල්ලම් කළා. ඒ මොනවා කළත් එදිනෙදා පොත්පත්වල වැඩකටයුතු කරන්නත් අතපසුකළේ නැහැ. අම්මත් ගුරුවරියක් නිසා ඇයගෙනුත් මට ලොකු සහයෝගයක් ලැබුණා. කොච්චර කාර්ය බහුල ජීවිතයක් ගතකළත් තාත්තා හැම වෙලාවෙම මං ගැන හොයලා බලන්න අමතක කළේ නැහැ. මල්ලිලා දෙන්නත් මම පාඩම් කරන වෙලාවට මට බාධා කළේ නැහැ. අම්මා තාත්තා දෙන්නම ගෙදර නැති හැමවෙලාවෙම මගේ ආච්චි මට හෙවනැල්ලක් වගේ හිටියා . විශේෂඥ වෛද්‍යවරියක් වෙලා රටට සේවයක් කරන්න මම බලාපොරොත්තු වෙනවා.“ යැයි කීවාය.

ඉබ්බාගමුව, පබලූව ප‍්‍රදේශයේ වෙසෙන නෙත්මි සුබෝධිනී සිසුවියගේ මව්පියන් ඉබ්බාගමුව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරින් ලෙස සේවය කරති. ඇයට තවත් බාල සහෝදරියක්ද සිටී. අධ්‍යාපනයෙන් මෙන්ම විෂය බාහිර ක‍්‍රියාකාරකම්වලින්ද දක්ෂතා පෙන්වා ඇති සුබෝධිනී සිසුවිය විද්‍යාලයේ කණිෂ්ඨ ශිෂ්‍ය නායිකාවක් වශයෙන්ද කටයුතු කරන්නීය. නෙත්මි සුබෝධිනී සිසුවිය විසින් වාර්තාකළ ශිෂ්‍යත්ව ප‍්‍රතිඵලය ඉබ්බාගමුව ආදර්ශ මහා විද්‍යාලයෙන් මෙතෙක් වාර්තා වී ඇති ඉහළම විභාග ප‍්‍රතිඵලය වන අතර ද්විතීයික පාසල් සංකල්පය යටතේ මෙම වසරෙන් පසුව එහි ප‍්‍රාථමික අංශය ඉවත්කිරීමට නියමිතව තිබීමද විශේෂත්වයකි.

තම ජයග‍්‍රහණය පිළිබදව වයඹ ටුඩේ වෙත අදහස් දැක් වූ නෙත්මි සුබෝධිනී සිසුවිය මෙසේ කීවාය.

‘‘ශිෂ්‍යත්ව විභාගයෙන් තුන්වැනියා වෙන්න ලැබීම ගැන මට ගොඩාක් සතුටුයි. මට මේ ජයග‍්‍රහණය ලබාගන්න උදව් කරපු මගේ අම්මටයි, තාත්තටයි, ගුරුවරුන්ටයි, මගේ යහඵ යෙහෙළියන්ටයි මම ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම මගේ විදුහල්පතිතුමා සහ නියෝජ්‍ය විදුහල්පතිතුමාත් මට ගොඩක් උදව් කළා. මම නංගිලා මල්ලිලාටත් කියන්නේ ඔයාලත් ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළින් සමත්වෙලා ඔයාලගේ පාසලට කීර්තියක් ගෙනල්ලා දෙන්න කියලයි. අපි ඉන්ටර්නෙට් එකෙන් බලපුවාම ලකුණු 194 ක් තියෙනවා කියලා දැනගත්තා. ඒත් ලංකාවෙන්ම තුන්වැනියා කියලා දැනගෙන හිටියේ නැහැ. පස්සේ ඉස්කෝලෙට ආවාට පස්සේ මුලින්ම ලංකාවේ දෙවැනියා කියලා දැනගත්තා. පස්සේ ඒක වෙනස්වෙලා ලංකාවෙන් තුන්වැනියා වෙලා කියලා දැනගත්තා. ශිෂ්‍යත්ව විභාගේ කියලා මම පාඩම් වැඩ විතරක්ම කළේ නැහැ. මම පාඩම් වැඩ කරන අතරේ සෙල්ලමුත් කළා. රූපවාහිනියත් බැලුවා. මට චූටි නංගියෙක් ඉන්නවා. අම්මා කෑම උයනකම් එයාව බලාගෙන අම්මටත් උදව් කළා. ’’යැයි පැවසීය.

තෙවන ස්ථානයක් දිනාගත් කුලියාපිටිය සුභාරතී විද්‍යාලයේ තේජන කෞෂිත් සිසුවාගේ මව කුලියාපිටිය මූලික රෝහලේ හෙදියක ලෙස සේවය කරන්නීය. තම ජයග‍්‍රහණය පිළිබදව වයඹ ටුඩේ වෙත අදහස් දැක් වූ තේජන කෞෂිත් සිසුවා මෙසේ පැවසීය.

“පන්තියේදී දෙන ගෙදර වැඩ ටික මම එදාම ඉවර කළා. පොත් දිහාම බලාගෙන ඉන්න මම හරිම අකමැතියි. අම්මා නම් මම පාඩම් කරනවා මදි කියලා සමහර වෙලාවට කෑගහනවා. නමුත් මම ඉස්කෝලෙන් දෙන වැඩ ටික වේලාවට, හරියටම කළා. ඉස්සරහට කොහොම ඉගෙන ගන්න වෙයිද කියලා මම දන්නේ නැහැ. ඒ නිසා අනාගතයේදී කවුරු වෙනවද කියලා මට තවම හරියට කියන්න බැහැ.“යැයි පැවසීය.

සාමාන්‍ය මට්ටමේ ගම්බද පාසල්වලින් අකුරු කර ජනප්‍රිය යැයි නම් ලද පාසැල් ගණනාවක් අභිබවමින් වයඹ නාමය ලක්බිම මුදුනතේ බැබැල වූ දිරිය දූ පුතුනි, අනාගතයේදී පළාතට, රටට පමණක් නොව ලොවටත් වැඩදායී පුරවැසියන් ලෙස මුලු මහත් මනුෂ්‍ය සංහතියේම හිතසුව පිණිස ඔබේ ගුණ, නැණ, දැනුම යෙදවිය හැකි මිනිස්කමින් පිරිපුන් මිනිසුන් ලෙස යෙහෙන් වැජඹීමේ වරම ඔබට ලැබේවා යැයි වයඹ ටුඩේ වෙබ් අඩවිය ඔබ සියලු දෙනා වෙත සුභාසිංශන පළකර සිටියි.

කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර / කුරුණෑගල අජන්ත බණ්ඩාර රත්නායක

දෙවැනි තැන දිනූ රුවන්‍යාgrade_5_2016_3 grade_5_2016_4 grade_5_2016_5තෙවැනි තැන දිනූ නෙත්මිgrade_5_2016_2 grade_5_2016_1

තෙවැනි තැන දිනූ තේජන

SAMSUNG CAMERA PICTURES

SAMSUNG CAMERA PICTURES

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article