Saturday, April 20, 2024

මහ ඇමැතිගේ වාහන අඩුව පුරවන්න කෝටි එක හමාරක අවුඩියක් !

Must read

ayg_2016_10_07alg_july_7_4ජනතා කැපකිරීමෙන් වයඹ මහ ඇමැති ලොකුම අඩුව මකාගනී.

නව රජය බලයට පත් වූ දා සිටම ජනතාවට වැඩිපුරම අසන්නට ලැබෙමින් ඇත්තේ ඉවසන්න, කැපකරන්න සහ ගෙවන්න වැනි වචනය. පසුගිය ආණ්ඩුවෙන් ඉතිරිකර ගිය ණය බර ගෙවාදමන තෙක් ඉවසන ලෙසටත්, කැපකරන ලෙසටත් මැති ඇමැතිවරුන් වේදිකාවන්හිදී කියන අතරේ රජයට ගෙවිය යුතු බදු මුදල් කලට, වෙලාවට, නූලට, තිතට ගෙවන ලෙසට රූපවාහිනී, ගුවන්විදුලි සහ පුවත්පත් ඇතුලු ජනමාධ්‍යන් හරහා උදේ හවා අසන්නටත් ජනතාවට සිදුවී තිබේ. කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් ජනතාව විසින් ඉවසා සිටින නමුත් අනිත් අතට මැති ඇමැතිවරුන් කෙතරම්දුරට කැපවීමක් කරන්නට හෝ ඉවසන්නට සූදානම්දැයි පසුගිය සමයේදී ගැටඵ මතුවූයේ වරක් දෙවරක් නොවේ. එහි ආසන්නතම උදාහරණය දැන් අසන්නට ලැබෙන්නේ වයඹ පළාත් සභාවෙනි. මීළග පළාත් සභා රැස්වීමේදීත් අඵ යට ගිනි පිටුව පෙන්වා පෙන්වා පක්ෂ විපක්ෂ උතුමන් විසින් ඔවුන්ගේ ශ‍්‍රී මුඛවලින් වදාරන අවලාද වැලක් බලාපොරොත්තුවෙන් වුවත් කිවයුත්තේ වයඹ පළාත් සභාවෙන් යළිත් වරක් යහපාලනය දෝරේ ගලා ගොස් ඇති බවය. ඒ බව සනාථ කරවමින් වයඹ මහ ඇමැතිවරයාගේ ගමන් පහසුව පිණිස පිටරටකින් ආනයනය කෙරෙන අවුඩි වර්ගයේ මෝටර් රථයක් වයඹ පළාත් සභාව වෙත ළගා වූයේ පසුගිය සතියේදීය. අදාළ අවුඩි රථය ආනයනය කිරීම පිණිස පළාත් සභාව විසින් වැයකර ඇති මුදල රුපියල් ලක්ෂ එකසිය පනහක් හෙවත් රුපියල් කෝටි එකහමාරක් බවද කියැවෙයි. වඩාත් සුවිශේෂි කරුණ වන්නේ රුපියල් කෝටි එක පනහක් ගෙවමින් ප‍්‍රධාන අමාත්‍යවරයාගේ ගමන් පහසුව පිණිස අවුඩි රථයක් ගෙන්වන්නේ රුපියල් කෝටි තුනක් වැයකර මීට වසර දෙකහමාරකට පමණ පෙරදී වී එයිට් වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථයක් ගෙන්වා තිබියදීය. දයාසිරි ජයසේකර මහ ඇමැති සමයේදී පළාත් සභාව වෙත මිලදී ගත් මෙම රථය දයාසිරි විසින් පාවිච්චි කළේ තුන් මසකට ආසන්න කාලයකි. දයාසිරි පාර්ලිමේන්තුවට යාමත් සමග පළාත් සභා රථගාලේ සති කිහිපයක් ගාල් වී තිබූ වී එයිට් රථය ධර්මසිරි දසනායක මහ ඇමැති පුටුවේ වාඩිවීමත් සමග ඔහු වෙනුවෙන් සේවයට යෙදුවුණු අතර අදාළ රථය මේ දක්වාම මහ ඇමැති ධර්මසිරි දසනායක වෙත යහතින් සේවය කරමින් සිටී. දන්නා තරමින් එම රථයෙහි කාර්මික දෝෂයක් හෝ තාක්ෂණ දෝෂයක් වැනි ධාවනයට නුසුදුසු තත්වයක් මතු වී නොමැති අතර එය අදටත් මනා ධාවන තත්වයක තත්වයක පවතී. එසේ තිබියදීත් තවත් කෝටි එක හමාරක් වැය කරමින් මහ ඇමැතිවරයා වෙනුවෙන් අවුඩි වර්ගයේ මෝටර් රථයක් ගෙනවන්නේ ඇයිදැයි විමසන අයට ප‍්‍රධාන අමාත්‍ය කාර්යාලය පැත්තෙන් ලැබෙමින් ඇත්තේ අපූරු පිළිතුරකි. ඒ ප‍්‍රධාන අමාත්‍යවරයෙකුට නිල රථ දෙකක් හිමිවන බවත්, ඉන් එක් රථයක් මෝටර් රථයක් වන බවත්, වත්මන් වයඹ ප‍්‍රධාන අමාත්‍යවරයා විසින් භාවිතා කරන මෝටර් රථය අවුරුදු නවයක් පැරණි එකක් වන බවත්ය. එබැවින් එම පැරණි මෝටර් රථය වෙනුවට නව අවුඩි රථයක් ආනනයනය කෙරුණු බවත්, රුපියල් කෝටි තුනක මුදලක් ඒ වෙනුවෙන් වැය කිරීමට හැකිව තිබියදී ඒ වෙනුවෙන් කෝටි එක හමාරක් පමණක් වැය කර කෝටි එක හමාරක් පළාත් සභාවට ඉතිරිකරදීමට ධර්මසිරි සමත් වී ඇති බවද ප‍්‍රධාන අමාත්‍ය කාර්යාලය පැත්තෙන් කියැවෙමින් තිබේ. එමෙන්ම අදාළ මිලදීගැනීම පළාත් සභාවේ සියලු නීතිරීතිවලට යටත්ව සිදු කළ නිත්‍යානුකූල මිලදී ගැනීමක් බවටත් කරුණු දැක්වෙමින් තිබේ. නීති රීති, චක‍්‍රලේඛ කෙසේ හෝ වේවා මෙම සිදුවීම දෙස මධ්‍යස්ථ ඇසකින් බැලීමේදී අදාළ මෝටර් රථය මේ අවස්ථාවේදී මිලදී ගත යුතු එකක්ද සහ ඒ වෙනුවෙන් කළ යුතු වියදම මේ අවස්ථාවේදී කළ යුතු එකක්දැයි මතුවන්නේ සදාචාරාත්මක ගැටඵවකි. මක්නිසාද යත් ආණ්ඩුව කියන පරිදි මේ අවස්ථාවේදී කැපකිරීම් කළ යුත්තේ ජනතාව පමණක්දැයි දැන් දැන් ජනතාවම පෙරළා ප‍්‍රශ්න කරන්නට පටන්ගෙන ඇති බැවිනි. එම කැපකිරීම මැති ඇමැතිවරුන් විෂයෙහි වලංගු නොවන්නේදැයි තවත් ඇතැමුන් ප‍්‍රශ්න කරමින් සිටින බැවිනි. රටේ සංවර්ධනය සහ ලබාගෙන ඇති ණය කන්ද ගෙවීම පිණිස බව පවසමින් ජනතාව වෙත පටවා ඇති සුවිසල් බදු මුදලින් සිදුකෙරෙන්නේ පැරණි කාර් වෙනුවට අලුතින් අවුඩි ගෙන්වාගැනීම නම් එය යහපාලනය නොවන බවත් වයඹ ජනතාව කියන දිනය වැඩි ඈතක නොවෙනු ඇත. මහජන මුදල් මේ අයුරින් නැති නාස්තිවීම පිළිබදව විපක්ෂය පැත්තෙන් ඊට එරෙහිව හඩක් නැගිය යුතු වුවත් ප‍්‍රධාන අමාත්‍යවරයා සමග එකට ජපන් සංචාරවල යෙදෙන විපක්ෂ නායකවරයෙකු නායකත්වය දෙන විපක්ෂයකින් එවැනි හඩක් නැගේවියැයි වයඹ ජනතාව අපේක්ෂා නොකරති. පළාත් සභාවේ මැති ඇමැති උතුමන්ගේ කියුම් කෙරුම් රටට හෙළිකිරීම නිසාම පක්ෂ විපක්ෂ භේදයකින් තොරව වයඹ පළාත් සභාව තුළ නොමද වෛරයට, ක්‍රෝධයට සහ උපහාසයට ලක්වන ජනමාධ්‍ය විශේෂංගය බවට අඵ යට ගිනි පිටුව මේ වන විට පත් වී ඇති නමුත් විපක්ෂය පවා ගොඵ වූ පළාත් සභාවක් තුළ සිදුවන දෑ පිළිබදව ජනතාවට අනාවරණය කිරීම පිණිස මෙම ඉඩකඩ ඉදිරියටත් ඒ අයුරින්ම වෙන්කෙරෙනු ඇත.

අතේ වියදමින් රට යන්න වයඹ මන්ත‍්‍රීවරු සැරසෙති.

රජයේ මුදල් නාස්තිකරමින් අනවශ්‍ය විදෙස් ගමන් යොදා නොගන්නා ලෙසට ජනපති මෛත‍්‍රී විසින් සියලූ මහජන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් වෙත චක‍්‍රලේඛයක් නිකුත් කිරීමත්, මධ්‍යම පළාත් සභාවේ මන්ත‍්‍රීවරුන් විසින් සැලසුම් කරගෙන සිටි රැසියානු සංචාරයක් ජනපති නියෝගයෙන් අහෝසිකිරීමත්, පළාත් සභා මන්ත‍්‍රීවරුන්ගේ විදෙස් සංචාර සඳහා මහා භාණ්ඩාගාරයෙන් අනිවාර්ය අනුමැතියක් ලබාගත යුතු බවට මුදල් අමාත්‍යංශයෙන් නිවේදනය කිරීමත් පසුගිය දෙසතිය තුළදී එක පෙළට වූ සිදුවීම් විය. මෙම සිදුවීම්පෙළ වයඹ ඇතුලු දිවයිනේ සෙසු පළාත් සභා මන්ත‍්‍රීවරුන් සලිත කරවන්නට සමත් වී තිබූ අතර ඒ නිසාම පසුගිය සතියේ පැවැති ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී මෙන්ම සභා කටයුතු කාරක සභාවේදීත් විදේශ සංචාර තහනම පිළිබදව මන්ත‍්‍රීවරුන් අතර පුඵල් ලෙස සාකච්ඡාවට ලක් විය. වාර්ෂික විදේශ සංචාරය යනු තමන් සතු වරප‍්‍රසාදයක් බවත්, එයට වාරණ නියෝග පැනවීම අසාධාරණයක් බවත් ඇගවෙන අයුරින් මන්ත‍්‍රීවරුන් බොහෝ දෙනෙකු, මෙම දෙතැනේදීම අදහස් දැක්වූ නමුත් ඒ පිළිබදව ජනාධිපතිවරයා හෝ වගකිවයුත්තෙකු සමග සාකච්ඡා කිරීමට කිසිදු මන්ත‍්‍රීවරයෙකු ඉදිරිපත්වන බවක් නම් දැකගත නොහැකි විය. කෙසේවෙතත් විදෙස් සංචාර මාතෘකාව දිගින් දිගටම සාකච්ඡා කර අවසානයේදී ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමට එක් මන්ත‍්‍රීවරයෙකු විසින් යෝජනා කළේ රජයෙන් මුදල් ප‍්‍රතිපාදන නොලැබෙන්නේ නම් තමන්ගේ පුද්ගලික මුදල් හෝ වැයකර විදෙස් සංචාරයක යෙදිය යුතු බවටය. ආර්ථික අපහසුතා ඇති නම් බැංකු ණයක් හෝ ලබාගෙන මෙම විදෙස් සංචාරයේ සැලසුම් කළ යුතු බවට එම මන්ත‍්‍රීවරයා විසින් ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමට යෝජනා කළේය. එමගින් පළාත් සභා මන්ත‍්‍රීවරුන්ගේ විදෙස් සංචාරයන් පිළිබදව සමාජයේ පැතිරී ඇති ආකල්ප වෙනස් කළ හැකිවීම මෙන්ම ඒ හරහා මධ්‍යම රජයටත් යම් සංඥාවක් ලබාදිය හැකි වෙතැයිද යෝජනාව ගෙනා මන්ත‍්‍රීවරයා කීය. කෙසේවෙතත් මෙම යෝජනාවට මන්ත‍්‍රීවරුන් සැලකිය යුතු ප‍්‍රමාණයක් කැමැත්ත පළ කළ නමුත් තවත් සැලකිය යුතු මන්ත‍්‍රීවරුන් පිරිසක් තමන්ගේ පසුමිබ්යට තට්ටුවේදෝයි යැන බිය හේතුවෙන්දෝ එම යෝජනාව පිළිබදව දැක්වූයේ සෘනාත්මක ප‍්‍රතිචාරයකි. කෙසේවෙතත් මන්ත‍්‍රීවරුන් විසින් සාකච්ඡා කළ අයුරින්ම අතේ වියදමින් විදෙස් ගතවීමේ යෝජනාව ක‍්‍රියාත්මක කළ හැකි නම් තමන්ගේ වියදමින් රට ගොස් සෙසු පළාත් සභාවන්ට පූර්වාදර්ශයක් සැපයූ මන්ත‍්‍රීවරුන් ලෙසට ඉතිහාස ගතවන්නට හයවැනි වයඹ පළාත් සභාව නියෝජනය කරන මන්ත‍්‍රීවරුන්ට දැන් අවස්ථාව උදා වී තිබේ. එමෙන්ම පළාත් සභා මන්ත‍්‍රීවරුන්ගේ විදෙස් සංචාර මහජන මුදල් නාස්තියක් බව හෙළිකරමින් ප‍්‍රවෘත්ති ගණනාවක් ලියා ඇති මාධ්‍යවේදීන් පවා දැන් මග බලමින් සිටින්නේ අතේ වියදමින් රට යන වයඹ මන්ත‍්‍රීවරුන් ගැන තම තමන්ගේ පොල් ගෙඩි අකුරින් ප‍්‍රවෘත්තියක් පළකිරීමේ අපේක්ෂාවෙනි.

හිටපු සභාපතිගෙන්ම පොල්ගහවෙල ප‍්‍රාදේශීය සභාවට නඩු.

පසුගිය රජය යටතේ ප‍්‍රතිසංස්කරණය කළ මාර්ග දෙකක් වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් පනස් හය ලක්ෂයකට අධික මුදලක් ගෙවීම පැහැරහරිමින් සිටින බැවින් තමන්ට එම මුදල අයකර දෙන්නැයි ඉල්ලා අදාළ මාර්ග ප‍්‍රතිසංස්කරණ කොන්ත‍්‍රාත් සිදුකළ බව කියන කොන්ත‍්‍රාත්කරුවන් තිදෙනෙකු විසින් පොල්ගහවෙල ප‍්‍රාදේශීය සභාවට එරෙහිව කුරුණෑගල දිසා අධිකරණය හමුවේ නඩු ගොනු කළේ පසුගිය බදාදාය. ව්‍යාපාරිකයින් විසින් නඩු දැමූ බව කියන නමුත් අදාළ නඩු පැවරීම පිටුපස සිටියේ පොල්ගහවෙල ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ලිවේරා ගුණතිලකය. සදුදා උදෑසනින්ම කුරුණෑගල අධිකරණ සංකීර්ණය වෙත පැමිණි ලිවේරා නීතිඥයින් හමු වී ඔවුන්ගේ උපදෙස් මත අදාළ නඩුව දිසා අධිකරණයේ ලියාපදිංචි කරවා අවසන් වන විට පස්වරු තුනටත් ආසන්න වී තිබිණි. ‘‘මොකද සභාපතිතුමා ඔබතුමාගේ සභාවටම නඩු දාන්න යන්නේ ?’’අධිකරණ සංකීර්ණයෙන් ඉවතට පැමිණි ලිවේරාගෙන් මාධ්‍යවේදීහු ඇසූහ. ‘‘මේ කොන්ත‍්‍රාත් කළේ 2014 අවුරුද්දේ. මේවා කරපු මිනිස්සුන්ට තවමත් සල්ලි ගෙවලා නැහැ. කොන්ත‍්‍රාත්කාරයින්ට ගෙවන්න තියෙන සල්ලිවලින් ලක්ෂ අනූවක් විතර සභාවෙන් ගෙවලා නෑ. ඒ මිනිස්සු හැමදාම අපිව හොයාගෙන ඇවිත් දුක කියනවා. බැරිම තැන තමයි ඒ කොන්ත‍්‍රාත් කරපු ව්‍යාපාරිකයෝ ටික එක්ක සාකච්ඡා කරලා මේ මුදල් ගෙවන්න ගියලා නඩුවක් දාන්න අපි තීරණය කළේ. ’’කී ලිවේරා එතැනින් පිටත් වී යාමට පෙර වත්මන් ආණ්ඩුව විවේචනය වන ආකාරයේ සැර ප‍්‍රකාශයක් මාධ්‍ය වෙත ලබාදීමටද අමතක නොකළේය.

නිලධාරින්ට එරෙහිව යළිත් කැරැල්ලක්.

වයඹ පළාත් සභා නිලධාරින් සහ මන්ත‍්‍රීවරුන් අතර සියුම් අරගලයක් ක‍්‍රියාත්මක වෙමින් ඇත්තේ කලෙක පටන්ය. මීට මාස කිහිපයකට පෙරදී ඒ වයඹ පළාත් සභාව යටතේ ඇති සමාජ සේවා, සමූපකාර සංවර්ධන, පරිවාස හා ළමාරක්ෂක , ඉඩම් සංවර්ධන, පළාත් පාලන සහ කුඩා කර්මාන්ත ඇතුලූ දෙපාර්තමේන්තු කිහිපයක ප‍්‍රධානින්ට හදිසි ස්ථාන මාරු ලැබුනේද මෙම ගැටුමේ ප‍්‍රතිඵලයක් ලෙසට බව කියැවිණි. ඉන් අනතුරුව මෑතකදී පැවැති වයඹ පළාත් සභා රැස්වීම්වලදීත් නිලධාරින් කිහිපදෛනෙකුටම එරෙහිව මන්ත‍්‍රීවරුන්ගේ විවේචන ගණනාවක්ද එල්ල විය. මන්ත‍්‍රීවරුන්ගේ විදෙස් සංචාරයන් වැනි අවස්ථාවන් මාධ්‍යයන්හි පළ වූ බොහෝ අවස්ථාවල මන්ත‍්‍රීවරුන් මාධ්‍යවේදීන්ගෙන් විමසුවේ ‘‘ඔයාලට පේන්නේ අපි රට යන එක විතරද ? නිලධාරින් අවුරුද්දට කී සැරයක් රට යනවාද ? ඇයි ඔයාලා ඒ ගැන ලියන්නේ නැත්තේ? ’’කියාය. පළාත් සභාවේ සමහර නිලධාරීන් මන්ත‍්‍රීවරුන්ට මුවා වී තම තමන්ගේ උවමනා එපාකම් පිරිමසා ගන්නා බවටත්, නිලධාරීන් විසින් ගන්නා තීන්දු තීරණවල අනිටු ප‍්‍රතිඵලත් පැටවෙන්නේ තමන්ගේ කර පිට මත බවත් කියමින් ඇතැම් මන්ත‍්‍රීවරුන් විවිධ අවස්ථාවන්වලදී මාධ්‍යවේදීන් හමුවේ මැසිවිලි නැගූහ. නිශ්චිත හේතුවක් දැක්විය නොහැකි වුවත් වයඹ පළාත් සභාවේ මන්ත‍්‍රී – නිලධාරි ගැටුම නැවත වරක් අලුත් වී ඇති බවක් දෙපාර්ශ්වයෙන්ම කියන කෙරෙන දෑ දෙස බැලූ කල පෙනෙන්නට තිබේ. මන්ත‍්‍රී චිත‍්‍රාල් ප‍්‍රනාන්දු විසින් පසුගිය වයඹ පළාත් සභා රැස්වීමට වයඹ පළාත් සභා නිලධාරීන්ගේ විදෙස් ගමන් පිළිබද ප‍්‍රශ්න කරමින් ප‍්‍රධාන අමාත්‍යවරයා වෙත ප‍්‍රශ්නයක් යොමුකරන්නේද අහේතුකව විය නොහැකිය. ප‍්‍රශ්නයක් යැයි කීවාට මන්ත‍්‍රී චිත‍්‍රාල් විසින් මහ ඇමැති ධර්මසිරි වෙත ප‍්‍රශ්න පත‍්‍රයක්ම යොමුකර තිබිණි. මන්ත‍්‍රී චිත‍්‍රාල් විසින් තමන්ගේ ප‍්‍රශ්නයෙන් විදේශ සංචාර සදහා හිමිකම් ලත් වයඹ පළාත් සභාවේ නිලධාරින්ගේ නම් සහ තනතුරු, මෙම වසරේ විදේශ සංචාර සදහා එම නිලධාරින් වෙනුවෙන් වැය කළ මුදල් ප‍්‍රමාණයන්, දීමනා පිළිබද විස්තර, සංචාරය කළ දින වකවානු සහ රටවල් පිළිබද විස්තර ඉල්ලා තිබිණි. එමෙන්ම එම සංචාරයන් සදහා නිලධාරින්ට ආරාධනා කළ විදෙස් ආයතන සහ එම ආයතනයන් වෙනුවෙන් දැක් වූ දායකත්වය පිළිබද විස්තර පමණක් නොව එම ආයතනයන් මගින් අදාල නිලධාරින්ට විදෙස් සංචාරයන් සදහා ආරාධනා කරමින් එවූ ආරාධනා ලිපිවල පිටපත්ද ඉල්ලා සිටියේය. එතැනින් හෝ නිලධාරින්ට බුරුලක් ලබානොදෙන මන්ත‍්‍රී චිත‍්‍රාල් නැවත ප‍්‍රශ්න කරන්නේ අදාල සංචාරයන් හරහා පළාත් සභාවට ලැබුණු ප‍්‍රතිලාභ මොනවාදැයි කියාය. එමෙන්ම අදාල සංචාරයන්ගෙන් පසුව පළාත් සභාව වෙත එම නිලධාරින් විසින් ඉදිරිපත් කළ පශ්චාත් සංචාර වාර්තාවන්හි පිටපත් සභාවට ඉදිරිපත් කරන්නේදැයි මන්ත‍්‍රී චිත‍්‍රාල් විසින් සිය ප‍්‍රශ්නය හරහා ප‍්‍රධාන අමාත්‍යවරයාගෙන් විමසා තිබේ. මෙම ප‍්‍රශ්නයට පිරිපුන් තත්වයේ පිළිතුරක් ලැබුණහොත් විස්මයට පත්විය හැකි කරුණු කාරණා ගණනාවක් ඒ හරහා අනාවරණයවීමට වැඩි ඉඩකඩක් පවතී. නමුත් අදාළ පිළිතුර සම්බන්ධයෙන් මන්ත‍්‍රීවරුන් වඩාත් ප‍්‍රවේශම් වියයුත්තේ පළාත් සභා රැස්වීමට උත්තර බැදීම පිණිස අදාළ පිළිතුර සකස්වන්නේද පළාත් සභාවේ නිලධාරීන්ගේ අතින්වීම නිසාය.

උපුටාගැනීම – මව්බිම පුවත්පත, 2016 ඔක්තෝම්බර් 06 වැනි බ‍්‍රහස්පතින්දා

( මෙම ලිපිය සදහා යොදාගෙන ඇති ඉහත දැක්වෙන ඡායාරූපය මෙම ලිපියෙහි සදහන් කරුණුවලට කිසිසේත්ම අදාළ ඡායාරූපයක් නොවන අතර ලිපිය අර්ථවත් කිරීමේ අරමුණින් යොදාගෙන ඇති අන්තර්ජාල ඡායාරූපයක් පමණක් බව කරුණාවෙන් සලකන්න )

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article