Friday, March 29, 2024

අතුලගේ පොහොර ඉවර වූදා වයඹ අධ්‍යාපනයත් අහවරද ?

Must read

ayg_2016_10_13alg_july_7_4පළාත් සභාවම මෙරිගෝ රවුමේ.

ඔක්තෝම්බර් පළමුවැනිදාට යෙදෙන ලෝක ළමා දිනය සැමරීම දින කිහිපයකින් කල් දමමින් වුවද තරමක වෙනස් මුහුණුවරකින් සමරන්නට වයඹ පළාත් සභාව විසින් පසුගිය සතියේදී කටයුතු කළේය. ඒ කුරුණෑගල මාළිගාපිටියේ දින තුනක් තිස්සේ පැවැති ළමා සැණකෙළියක් පවත්වමිනි. වයඹ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, පරිවාස සහ ළමාරක්ෂක අමාත්‍යංශයේ සංවිධානයෙන් පැවැත්වුණු මෙම ළමා සැණකෙළියේ විශේෂත්වය වූයේ එහිදී මුදල් වියදම් කිරීමකින් තොරව ළමුන්ට විනෝදවීමට අවස්ථාව සලසාදී තිබීමය. වෙනදාට දෙමව්පියන් විසින් මුදල් ගෙවා ලබාදිය යුතු මෙරිගෝ රවුන්ඞ් වැනි විනෝද ක‍්‍රීඩා අත්දැකීම් මෙන්ම අයිස්ක‍්‍රීම් වැනි රසවත් කෑම වර්ගයන්ද ළමුන් අතට නොමිලයේ පත්කිරීමට සංවිධායක මණ්ඩලය විසින් වගබලාගෙන තිබිණි. ළමා සැණකෙළියට සැබෑ අරුතක් එක්කරමින් එහි පළමු දිනය වයඹ පළාතේ ඇති ළමා නිවාසයන්හි වෙසෙන දරුවන්ගේ විනෝදය පිණිස වෙන්කිරීමට ඇමැති වේඩරුව ඇතුලූ අමාත්‍යංශ නිල බලධාරින් විසින් කටයුතු කර තිබිණි. මෙම ළමා සැණකෙළියේ සමාරම්භක උත්සවය පසුගිය බ‍්‍රහස්පතින්දා පස්වරුවේ පැවැත්වුණේ වයඹ ආණ්ඩුකාර අමරා පියසීලි රත්නායක, මහ ඇමැති ධර්මසිරි දසනායක සහ ඇමැති ලක්ෂ්මන් වේඩරුවගේ ප‍්‍රධානත්වයෙනි. උත්සවයේ සමාරම්භ කටයුතුවලින් පසුව සංවිධායක කමිටුවෙන් ආරාධිතයින් සියලුදෙනා වෙත අනපේක්ෂිත ආරාධනාවක් ලැබුණේ ඔවුන් පිරිස මාළිගාපිටිය පුරා දුව පැන නටමින් කෙළිදෙලෙන් පසුවන දරු දැරියන් දෙස බලමින් සිටියදීය. දරුවන් සමග මෙරිගෝ රවුන්ඩ් වටයක් ගමන්කිරීමට ආණ්ඩුකාරවරියට, මහ ඇමැති ධර්මසිරිට සහ ඇමැති ලක්ෂ්මන් වේඩරුවට සංවිධායකයින්ගෙන් ආරාධනා ලැබී තිබිණි. ‘‘ඔබතුමාලා ගිහින් එන්න. මම ඉන්නම්.’’යැයි කියමින් ආණ්ඩුකාර පියසීලි ආරාධනාව පිළිගැනීමට අදිමදි කරන්නට වූවාය. නමුත් මහ ඇමැති ධර්මසිරි සහ ඇමැති වේඩරුව විසින් දිගින් දිගටම කළ පෙරැත්ත කිරීම් හමුවේ මෙරිගෝ රවුමට ගොඩ වූ ආණ්ඩුකාරවරිය එහි හිස්ව තිබූ අසුනක් බලා වාඩිවූවාය. මහ ඇමැති ධර්මසිරි සහ ඇමැති වේඩරුවද මෙරිගෝවට ගොඩවී ළමුන් අතරේම අසුන්ගැනීමෙන් පසුව සවාරිය ඇරඹිණි. කුඩා දරුවන්ට පිරිවරාගත් ආණ්ඩුකාරවරිය, මහ ඇමැතිවරයා සහ ළමාරක්ෂක ඇමැතිවරයා රැගත් මෙරිගෝව රවුමට ගමන් කරද්දී ධර්මසිරි සහ වේඩරුව අත්පුඩි ගසමින් පපරේ සංගීතයට දායක වූ අයුරුද පෙණිනි.

වයඹ අධ්‍යාපනයේ හෙට දවස කොයිබටද ?

පසුගිය අගහරුවාදා නිකුත්කෙරුණු පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප‍්‍රතිඵලවලට අනුව දිවයිනේ මුල් ස්ථාන දොළහ අතරින් ස්ථාන පහක්ම පළාතට දිනාදෙමින් 2016 වසරේ ශිෂ්‍යත්ව විභාගයෙන් ජය කෙහෙළි නැංවීමට වයඹ පුතුන් සමත්වූහ. ඒ අනුව මෙවර ශිෂ්‍යත්ව විභාගයේ දෙවැනි ස්ථානය සහ තුන් වැනි ස්ථාන හතරක් වයඹ පළාතේ පිහිටි විදුහල්වල ඉගෙනුම ලබන සිසු සිසුවියන් විසින් දිනාගත්හ. ලකුණු 195ක් ලැබූ කුලියාපිටිය ඇස්සැද්දුම සුභාරතී කණිෂ්ඨ විද්‍යාලයේ රුවන්යා ගුණසේකර දැරිය දිවයිනේ දෙවැනි ස්ථානය ලබාගනිද්දී, ලකුණු 194 ක් ලැබූ එම විද්‍යාලයේම තේජන කෞෂිත් සිසුවාත්, ඉබ්බාගමුව ආදර්ශ මහා විද්‍යාලයේ නෙත්මි සුබෝධිනී සිසුවියත්, ගිරිඋල්ල වික‍්‍රමශීලා විද්‍යාලයේ සෙනිත් දිල්වාන් රාජපක්ෂ සිසුවාත්, වෙන්නප්පුව ජෝශප් වාස් විදුහලේ ඉනේෂ් දුලංජන චන්ද්‍රසිරි සිසුවාත් ශිෂ්‍යත්ව විභාගයේ තෙවැනි ස්ථානයන්ට පත්වූහ. එපමණක් නොව මෙවර ශිෂ්‍යත්ව ප‍්‍රතිඵල අනුව විභාග දෙපාර්තමේන්තුව විසින් නම් කෙරුණු හොදම ප‍්‍රතිඵල පෙන්වූ පාසල් 46 අතුරින් පළමු, දෙවැනි සහ පස්වැනි ස්ථානයන් ඇතුලූව ස්ථාන 13 ක්ම දිනාගැනීමට වයඹ පළාතේ පාසල්වලට හැකියාව ලැබී තිබේ. ඒ අනුව බලන කල මෙවර ශිෂ්‍යත්වයේ වැඩි ගෞරව දිනාගැනීමට වයඹ පළාත සමත් වී ඇති බව පැහැදිලිය. නමුත් මෙම ජයග‍්‍රහණයක් දෙස මැදිහත් ඇසකින් බැලූ කල පැහැදිලිව පෙනෙන්නේ අද මේ සරු අස්වනු පීදෙමින් ඇත්තේ මීට වසර පහ හයකට පෙර පොහොර කළ බිම්වලින් බවය. සරලව කිවහොත් මින් වසර හය හතකට පෙර වයඹ අධ්‍යාපනය සම්බන්ධයෙන් ගත් නිවැරදි සහ වැදගත් තීන්දු තීරණයන්හි ප‍්‍රතිඵල ලෙසට බවය. විශේෂයෙන් වැසී ගිය පාසල් නැවත විවෘත කිරීම, වයඹ පළාත් ගුරු මාරු පටිපාටිය, ගුරු තුලනය ආදී තීන්දු තීරණ ගණනාවක් හරහා මේ ජයග‍්‍රහණයන් ලබාගැනීමට එකල බිම පොහොර කර දෙනු ලැබීය. උදාහරණයක් ලෙස පසුගිය පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍ය ධූරය හෙබවූ අතුල විජේසිංහගේ ධූරකාලය තුළදී ගත් තීන්දු තීරණ හරහා නැවත විවෘත වූ පාසල් ගණනාවක් අද වන විට පවතින්නේ ඒ ඒ ප‍්‍රදේශයන්හි ජනප‍්‍රිය සහ හොදම පාසල් ලෙසටය. එසමයෙහි අලුතින්ම ආරම්භ කෙරුණු හෝ වැසී යන්නට ගොස් තිබියදී යළි පණගැන්වුණු කුලියාපිටිය විශාඛා විද්‍යාලය, අස්සැද්දුම සුභාරතී විද්‍යාලය, ඇහැටුවැව සිරිමාවෝ බණ්ඩාරනායක ප‍්‍රාථමික විද්‍යාලය, ඇතුගල්පුර කුමර විද්‍යාලය, අඹන්පොළ හෙන්රි ස්ටීල් ඕල්කට් ආදර්ශ ප‍්‍රාථමික විද්‍යාලය වැනි පාසල් අද වන විට හොදම ශිෂ්‍යත්ව ප‍්‍රතිඵල වාර්තාකරන පාසල් බවට පත්ව තිබීමම ඊට සාක්ෂි දරයි. ගුරු මාරු ප‍්‍රතිපත්තිය සහ ගුරු තුලනයන් ක‍්‍රියාත්මක කරවීමේදී අතුල විජේසිංහ පරිපාලනය විසින් දැක් වූ දැඩි සහ සෘජු බව හේතුවෙන් ඇතැම් ගුරුවරුන් නොසතුටට පත් වූ නමුත් දුෂ්කරයැයි නම් ලද පාසල් ගණනාවකට ගුරුවරුන් දෙතුන් දෙනා බැගින් හෝ ලබාදෙන්නට අතුලට එදා හැකිවිය. අතුලගේ කාලයේදී වයඹ අධ්‍යාපනයට කිරි ඉතුරුණා හෝ අතුල විසින් සියල්ල සර්ව සම්පූර්ණ කළා යැයි සහතික ලියන්නට ඉදිරිපත් නොවන නමුත් අතුල විජේසිංහ අවදිය යනු වයඹ අධ්‍යාපනය සම්බන්ධයෙන් සුවිශේෂි සහ ප‍්‍රගතිශීලී තීන්දු තීරණ ගත් වකවානුවක් බව නොරහසකි. වයඹ අධ්‍යාපනයේ අතීතය හාරා අවුස්සන්නට වන්නේත්, අතුල විජේසිංහ යුගය ගැන යළි සිහිපත් කරන්නට සිදුවන්නේත්, වයඹ අධ්‍යාපනයේ වර්තමානය දෙස බැලූ විටදීය. මක්නිසාද යත් මහින්ද රාජපක්ෂ පාලනයේ අනුහසින් අධ්‍යාපන ඇමැතිකමෙන් පමණක් නොව මහ ඇමැතිකමෙනුත් විශ‍්‍රාම යැවූ අතුල විජේසිංහගෙන් පසුව අධ්‍යාපන ඇමැතිවරුන් දෙදෙනෙකු විසින් වසර හතරකට ආසන්න කාලයක් වයඹ අධ්‍යාපනය භාරව රාජකාරි කර ඇතත් වයඹ අධ්‍යාපනයේ බිම සරුකරනු වස් සැලකිය යුතු තරමේ පොහොරක් වැටුණු බවක් නම් පෙනෙන්නට නැත. එයිනුත් තුන් වසරකට ආසන්න කාලයක් අධ්‍යාපන ඇමැතිකම හෙබ වූ දයාසිරි ජයසේකර පාලන සමයේදී පාසල් ගුරු විවේකාගාර කිහිපයක් ඉදිකිරීම විනා අධ්‍යාපන අනාගත සරුඵල ලැබෙන ආකාරයේ පොහොරක් එකතු කිරීමට අපොහොසත් විය. ඇමැති සන්ධ්‍ය රාජපක්ෂ අධ්‍යාපන ඇමැති පුටුවේ වාඩි වී වසරක් පිරුණේ ඊයේ පෙරේදාට වන අතර එම වසර තුළදී වයඹ අධ්‍යාපනය සවිමත් කෙරෙන අන්දමේ සුවිශේෂි තීන්දු තීරණ ගත් බවක් නම් වාර්තා නොවේ. එබැවින් දැන් දැන් වයඹ අධ්‍යාපනයෙන් දක්නට ලැබෙමින් ඇත්තේ අතුල විසින් පොහොර කළ සරු බිම් දැන් දැන් නිසරුවීගෙන යමින් ඇති බවකි. එබැවින් ඇමැති සන්ධ්‍ය මෙන්ම වයඹ පළාතේ අධ්‍යාපනය නගාසිටුවීම වෙනුවෙන් වැටුප් ලබමින් සිටින බලධාරින් විසින්ද සිව් වසරක් තිස්සේ නිසි පොහොරක් නොලැබුණු වයඹ අධ්‍යාපන බිම කඩිනමින් පොහොර කිරීම පිණිස වැඩි අවධානයක් යොමු කළ යුතු වෙයි. එසේ නොවන්නේ නම් ඉදිරි වසර කිහිපය තුළදී පොහොර අවසන් වී නිසරුව ගිය වයඹ අධ්‍යාපන බිමෙන් නෙලන්නට වනු ඇත්තේ කේඩෑරිව ගිය ඵලයකි. අශෝක වඩිගමංගාව සමයේදී තරමක් සාරවත් කෙරුණු වයඹ ක‍්‍රීඩා බිම ආලපාලු වෙන්නට හැරීමේ ප‍්‍රතිඵල අද වයඹ පළාත විසින් හොද හැටි අත්විදිමින් සිටී. එහි අමිහිරි ප‍්‍රතිඵල එළිපිටම ලබාදෙමින් මෙවර ජාතික මහා ක‍්‍රීඩා උළෙලේදී අංක හතර දක්වා පල්ලම් බැසීමට වයඹ පළාතට සිදුවිය. වයඹ අධ්‍යාපන සම්බන්ධයෙන්ද ක‍්‍රියාත්මක වෙමින් ඇත්තේ එම නොසලකා හැරීමේ ක‍්‍රියාදාමයම නම් තවත් වසර දෙක තුනක් යද්දී වයඹ අධ්‍යාපනයටත් දෙයියන්නේඩපිහිට පැතීම හැර වෙනත් විකල්පයක් ඉතිරි නොවනු ඇත.

හිරියාලේ සම්බන්ධීකරණ සභාපති පුටුව හිස්වෙයි.

හිරියාල මැතිවරණ කොට්ඨාශයට අයත් ඉබ්බාගමුව සහ ගනේවත්ත ප‍්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම් පැවැත්වුණේ පසුගිය සදුදාය. එහි තිබූ විශේෂත්වය වූයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශ්වයෙන් එම ප‍්‍රාදේශීය සංවර්ධන කමිටුවල සම සභාපතිවරයා ලෙස නම් කර සිටින වයඹ පළාත් සභා මන්ත‍්‍රී කමල් ඉන්දික එම රැස්වීම් දෙකටම සහභාගි නොවීමය. අදාල ප‍්‍රාදේශීය සංවර්ධන කමිටු දෙකේ සම සභාපතිවරුන් වන කමල් ඉන්දික සහ ජගත් යාපා යන දෙදෙනාගෙන්ම වේලාව වෙන්කරවාගෙන ප‍්‍රාදේශීය ලේකම්වරුන් විසින් අදාල රැස්වීම් දෙක සංවිධානය කර තිබුණේ සතියකටත් පමණ පෙරදීය. නමුත් සම සභාපති කමල් ඉන්දික විසින් සංවර්ධන කමිටු රැස්වීම් මගහැර ගොස් තිබුණේ කිසිදු හේතු දැක්වීමකින් හෝ රැස්වීමට සහභාගි නොවන බවට නිල දැනුම්දීමකින් තොරවමය. එම නිසා ප‍්‍රාදේශීය ලේකම්වරුන් දෙදෙනාම නියමිත වේලාවට වඩා විනාඩි පහළොවක් පමණ රැස්වීම ආරම්භ කිරීම පමාකරමින් මග බලා සිටි නමුත් කමල් ඉන්දික නම් ආවේ නැත. අන්තිමේදී සම සභාපති ජගත් යාපාට එම රැස්වීම් දෙකටම තනිවම වාඩිවෙන්නට සිදු වූ අතර තනි සභාපතිවරයෙක් ලෙස ජගත් විසින් සංවර්ධන කමිටු රැස්වීම් පවත්වාගෙන ගියේය.

මන්ත‍්‍රී තුෂාරත් නිළමෙට අදී.

පසුගිය ජූලි මාසයේදී පැවැති ඇත්කද විහාර පෙරහැරේ බස්නායක නිලමේවරයා ලෙස ගමන් කිරීමෙන් වයඹ මහ ඇමැති ධර්මසිරි දසනායක විසින් ආරම්භ කළ ‘මන්ත‍්‍රී නිලමේ’සම්ප‍්‍රදාය පළාතේ අනෙක් දේශපාලනඥයින් විසින්ද පූර්වාදර්ශයක් කරගනිමින් සිටින බවක් පෙනෙන්නට තිබේ. ඒ පසුගිය සිකුරාදා වීථි සංචාරය කළ පඩුවස්නුවර දළදා පෙරහැරේ බස්නායක නිලමේ ලෙස තවත් දේශපාලනඥයෙකු කළ එළි බැස සිටීම හේතුවනි. ඒ පාර්ලිමේන්තු මන්ත‍්‍රී තුෂාර ඉදුනිල්ය. හුරු පුරුදු රෙද්ද බැනියමට සමු දී මුල් ඇදුමින් සැරසී සිටි මන්ත‍්‍රී තුෂාර නැටුම්, ගැයුම් , වැයුම් පෙරටුකරගනිමින් පඩුවස්නුවර නගරය වටා පෙරහැරින් ගියේය. 70 දශකයේ පඩුවස්නුවර නියෝජනය කළ මන්ත‍්‍රී ආර්. එම්. කේ. බී. රත්නායක සමයේ ආරම්භ කෙරුණු බව කියන පඩුවස්නුවර දළදා පෙරහැර විවිධ හේතුමත පසුකාලීනව අභාවයට ගොස් තිබිණි. තුෂාර පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධූරයට පත්වීමත් සමග නැවතී තිබූ පඩුවස්නුවර දළදා පෙරහැර යළි ආරම්භ කරන්නට සෑහෙන තරමේ මහන්සියක් ගෙන තිබූ අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස මෙම වසරේදී පෙරහැර නැවත පවත්වන්නට හැකියාව ලැබී තිබිණි. පෙරහැර යළි ආරම්භ කිරීම වෙනුවෙන් ගත් වෙහෙස මහන්සිය අගය කරනු වස් පෙරහැරේ දියවඩන නිළමේ තනතුරත් මන්ත‍්‍රී තුෂාරට පිරිනමන්නට පෙරහැර කමිටුව විසින් කටයුතු කර තිබූ බව කියැවෙයි.

අසංක, විජය අමතක නොකරයි.

විජය කුමාරතුංගයන්ගේ 71 වෙනි ජන්ම දින සැමරුම වෙනුවෙන් ශ‍්‍රී ලංකා මහජන පක්ෂය විසින් සංවිධානය කළ ආගමික වැඩසටහනක් පසුගිය ඉරිදා පස්වරුවේ පැවැත්වුණේ කුරුණෑගල බෞද්ධාලෝක විහාරස්ථානයේදීය.මහජන පක්ෂයේ මහලේකම් සහ වයඹ පළාත් සභා මන්ත‍්‍රී අසංක නවරත්නගේ මූලිකත්වයෙන් පැවැති මෙම වැඩසටහනේදී විජය සිහිපත් කරමින් පහන් දැල් වූ පක්ෂ නායකයින් අනතුරුව බෝධි පූජාවක්ද පැවැත්වූහ. මහජන පක්ෂයේ නායකයින් සහ පාක්ෂිකයින්ගේ සහභාගිත්වයෙන් යුතුව කෙටි උත්සව සභාවක්ද බෞද්ධාලෝක විහාරස්ථානයේදීම පැවැති අතර එහිදී විජයගේ පිළිරුවට මල්මාලා දමා උපහාර පිදීමෙන් පසුව පක්ෂයේ නිල වෙබ් අඩවිය එළිදැක්වීමත් සිදුකෙරිණි. ඉතා සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් යුතුව සිදුකෙරුණු ආගමික කටයුත්තක් වන නමුත් උත්සවය ආරම්භවීමටත් පෙරට සිටම බෞද්ධාලෝක පන්සල වටා බුද්ධි අංශ නිලධාරින් පිරිසක් කරක් ගසමින් සිටිනු අසංකගේ නෙත ගැටිණි. අසංක එක් බුද්ධි අංශ නිලධාරියෙක් ළගට ගොස් ඔහු සමග සුහදව කතා කළේය. ‘‘මෙතන ආණ්ඩු පෙරළන වැඩක්වත්, දේශපාලන රැස්වීමකවත් නෙවෙයි තියෙන්නේ. අපේ පක්ෂයේ නිර්මාතෘවරයා සිහිපත් කරලා කරන පහන් පූජාවක් විතරයි. මෙතැනට මහින්දවත්, චන්ද්‍රිකාවත් ඒ කිසිම කෙනෙක් එන්නේ නැහැ. ඒ නිසා අපේ වැඩේට බාධාවක් නොවෙන විදිහට ඔය මහත්තුරුන්ගේ රාජකාරි වැඩෙත් කරගත්තාට අපේ අමනාපයක් නැහැ. ’’අසංක බුද්ධි නිලධාරියාට කීය.

රත්නපුරේ ගිය නොගිය වයඹ කට්ටිය මෙන්න !

වයඹ පළාත් සභාවේ මහින්ද පිල නියෝජනය කරන මන්ත‍්‍රීවරුන්ට පසුගිය සතිය වඩාත් කාර්ය බහුල එකක් විය. මක්නිසාදයත් හිටපු ජනපති මහින්දගේ ප‍්‍රධානත්වයෙන් පැවැති රැස්වීම් දෙකකටම සහභාගිවන්නට ගෙවීගිය සතියේදී ඔවුන්ට සිදුවී තිබීම ඊට හේතුව විය. ඉන් පළමුවැන්න වූ අරගලයට පණ පොවන ජන රැල්ල රැළිය පසුගිය සෙනසුරාදා පැවැත්වුණේ රත්නපුරේදීය. වයඹ පළාත් සභාවේ සභාපති ටිකිරි බණ්ඩා, මන්ත‍්‍රීනි මංජුලා දිසානායක, අසංක නවරත්න, සමන්ප‍්‍රිය හේරත්, සුමිත් රාජපක්ෂ සහ චින්තක මායදුන්න ඇතුලු පිරිසක් මන්ත‍්‍රී පිරිසක් ඊට සහභාගි වී සිටියහ. දෙවැනි උත්සවය පසුගිය අගහරුවාදා පැවැත්වුණේ මඩකලපුව මංගලාරාම විහාරස්ථානයේදීය. මහින්දගේ ප‍්‍රධානත්වයෙන් පැවැති රණවිරු ස්මාරකයකට මුල්ගල් තැබීමක් වූ එම උත්සවයට නම් රත්නපුර රැළියට ගිය තරමේ මන්ත‍්‍රී පිරිසක් එක් වී නොසිටි නමුත් සභාපති ටිකිරි බණ්ඩා, මන්ත‍්‍රී අසංක නවරත්න සහ සමන්ප‍්‍රිය හේරත් එක වාහනයක නැගී මඩකලපුවට ගොස් සිටියහ.

උපුටාගැනීම – මව්බිම පුවත්පත,  2016 ඔක්තෝම්බර් 13 වැනි බ‍්‍රහස්පතින්දා 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article