Tuesday, April 23, 2024

ඉංගරදවුල විදුහලේ අංගම්පොර ඇල්ලූ සිසුන් තිදෙනෙක් පරිවාසයට !

Must read

HACAT_A05B

තවත් මාස දෙකකින් පැවැත්වීමට නියමිත අපොස සාමාන්‍ය පෙළ විභාගයට සූදානම්වීම පසෙක තබා පාසල තුළදී පොලු මුගුරු යොදාගනිමින් ගුටි බැට හුවමාරු කරගැනීම සහ සිසුන් කිහිපදෙනෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි සිසුන් තිදෙනෙකු ලබන 20 වැනිදා දක්වා පරිවාස භාරයට පත්කරන ලෙසට කුලියාපිටිය මහේස්ත‍්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා අද (13 දා) නියම කළේය.

මෙලෙස පරිවාස භාරයට පත්කෙරුණේ ගිරිඋල්ල, ඉංගරදවුල විදුහලේ සිසුන් තිදෙනෙකි.

11 සහ 13 ශ්‍රේණිවල ඉගෙනුම ලබමින් සිටින සිසුන් දෙපිරිසක් අතර ඇති වූ මෙම ගැටුමේදී තුවාල ලැබූ සිසුන් දෙදෙනෙකු දඹදෙණිය රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින බව අධිකරණය වෙත කරුණු දක්වමින් පොලිසිය පැවසීය. පාසල තුළදී සිදු වී ඇති මෙම ගුටි බැට හුවමාරුවේදී පොලු, මුගුරු වැනි දෑ වලින්ද පහරදීම් සිදුකර ඇති බවත්, තුවාල ලබා සිටින සිසුන්ගේ ප‍්‍රකාශවලට අනුව තවත් සිසුන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් පොලිසිය අධිකරණය හමුවේ වැඩිදුරටත් පැවසීය.

සැකකාර පාසැල් සිසුන් වෙනුවෙන් කරුණු දැක් වූ නීතිඥයින් ප්‍රකාශ කළේ මෙම ගැටුමට තුවාල ලබා සිටින සහ අත්අඩංගුවට ගෙන සිටින සිසුන් දෙපිරිසම සම්බන්ධ බවත්, මෙම ගැටුම ක්‍ෂණිකව ඇතිවූවක් මිස කලින් සැලසුම් එකක් නොවන බවත්ය. පාසලක් තුළ මෙවැනි ගුටිබැට ඇණගැනීම් නුසුදුසු බව විත්ති පාර්ශ්වය විසින් පිළිගන්නා බවත්, අත්අඩංගුවට ගත් සිසුන් අතර මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන්ද සිටීම පිළිබදව සලකා බලා සැකකාර සිසුන්ට ඇප ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

ඉදිරිපත්වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත‍්‍රාත්වරයා සැකකාර සිසුන් තිදෙනා මීළග නඩු දිනය තෙක් පරිවාස භාරයේ රදවා තැබීමට නියම කළේය.

පන්නල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්‍ෂක ගුණතිලක, උප පොලිස් පරීක්‍ෂක දයාවංශ, කාන්තා පොලිස් සැරයන් සංජීවනී ළමාහේවා (6019 ) යන නිලධාරීන් මෙම නඩුවේ පැමිණිල්ල මෙහෙයවූ අතර නීතිඥ චන්දන යාපා හා නීතිඥ ආසිරි ප‍්‍රනාන්දු යන මහත්වරුන් සැකකාර සිසුන් වෙනුවෙන් පෙනීසිටියහ.

කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර

(ප්‍රවෘත්තිය සදහා යොදාගෙන ඇති  ඉහත ඡායාරූපය මෙම සිදුවීමට අදාළ ඡායාරූපයක් නොවන අතර ප්‍රවෘත්තිය අර්ථවත් කිරීමේ අරමුණින් යොදාගෙන ඇති අන්තර්ජාල නිරූපනයක් පමණක් බව කරුණාවෙන් සලකන්න )

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article