Thursday, March 28, 2024

කහටගහ සේවකයෝ අඩි 1100 ක් පොළව යට උපවාසයක ! (ඡායාරූප)

Must read

kahatagaha_1තම ආයතනය පුද්ගලිකරණය නොකරන ලෙසට බලකරමින් දොඩම්ගස්ලන්ද කහටගහපතළේ සේවයේ නියුතු පතල් කම්කරුවන් සහ කාර්යාල සේවකයින් ඇතුලු සියයකට ආසන්න පිරිසක් පොළව මතුපිට සිට අඩි 1132 ක් පමණ ගැඹුරින් පිහිටි මිනිරන් දෝනාවක බැස අද ( 25 දා) අඛණ්ඩ උපවාසයක් ආරම්භ කළහ.

විදුලි සෝපානවල ආධාරයෙන් අද උදෑසන පතළට ඇතුලු වූ මෙම පිරිස , ‘පේදිරිස් මට්ටම’ලෙස හැදින්වෙන කොටසේ වාඩි වී මෙම උපවාසය ආරම්භ කළහ. ආයතනය පුද්ගලිකරණය නොකරන්නැයි ඉල්ලා දින පහක් තිස්සේ සංඛේත වැඩවර්ජනයක යෙදුණු නමුත් තම ඉල්ලීමට විසදුමක් ලබාදීමට කිසිදු බලධාරියෙකු ඉදිරිපත් නොවීමට විරෝධය පළකරමින් පොළව අභ්‍යන්තරයට බැස මාරාන්තික උපවාසයක් ආරම්භ කිරීමට තීරණය කළ බව උපවාසයේ නියුතු සේවකයෝ වයඹ ටුඩේ වෙත පැවසූහ.

දොඩම්ගස්ලන්ද, මදුරාගොඩ ප‍්‍රදේශයේ පිහිටා තිබෙන, කහටගහ ගැෆයිට් ලංකා යන නමින් හැදින්වෙන කහටගහපතල අද වන විට පූර්ණ රාජ්‍ය සතු සමාගමක් ලෙස සභාපතිවරයෙකුගේ පාලනය යටතේ පවතී. පුද්ගලිකරණයට විරෝධය පළකරමින් කහටගහ පතල් පරිශ්‍රය පුරාම විවිධ සටන් පාඨ ලියූ බැනර් සහ පෝස්ටර් ප්‍රදර්ශණය කර ඇති අන්දම එහි ගිය අපට දැකගත හැකි විය.පතල තුළට පිවිස සිටින පතල් සේවකයින් එතුළ අඩි සිය ගණනක් දිගට දිවෙන මිනිරන් දෝනාවන් තුළ තැන් තැන්වල කණ්ඩායම් වශයෙන් රැස් වී උපවාසයේ යෙදී සිටින අයුරුද දැකගත හැකි විය.

පතල් කම්කරුවන්ගේ ඉල්ලීම පිළිබදව පැහැදිලි කළ කහටගහ පතල සේවක එකමුතුවේ කැදවුම්කරු අජිත් රත්නතිලක මහතා මෙසේ පැවසීය.

”මේ ආයතනය පාඩු ලබන ආයතනයක් බවට පත්වෙලා තියෙන නිසා මේක පුද්ගලිකරණය කරන්න වෙලා තියෙනවා කියලා බලධාරින් හේතු ඉදිරිපත් කරමින් ඉන්නවා කියලා අපිට දැනගන්න ලැබිලා තියෙනවා. නමුත් අපි ඉතාම වගකීමෙන් කියනවා මේ ආයතනය කිසිසේත්ම පාඩු ලබන ආයතනයක් නෙවෙයි. මොකද මහා භාණ්ඩාගාරයෙන් හෝ රජයෙන් අපි ශත පහක මුදලක් ඉල්ලලා හෝ ලබාගෙන නැහැ. වාර්ෂික ලාභාංශ විදිහට මේ ආයතනයේ වැඩකරන සියලු සේවකයින්ට රුපියල් පහළොස් දහසක බෝනස් මුදලක් පවා අපිට පසුගිය අවුරුද්දේ ලබා දුන්නා. එහෙනම් කොහොමද මේක පාඩු ලබන ආයතනයක් වෙන්නේ ? මේ පතල ලබාගන්න යන පුද්ගලික ආයතනය කියන්නේ මේකෙන් මිනිරන් විතරක් ලබාගන්නවා කියලයි. නමුත් අපිට තියෙන තොරතුරුවලට අනුව මේ ආයතනයෙන් සියයට හතලිස් නවයක්ම ඒ ආයතනයට ලබාදෙන්න නියමිතයි. ඒ නිසා මේක පුද්ගලිකරණය කරන්න එපා කියලා අපි මීට දවස් පහකට පෙර සංඛේත වැඩවර්ජනයක් ආරම්භ කළා. නමුත් කිසිම බලධාරියෙක් ඒකට ඇහුම්කන් දුන්නේ නැති නිසා අපිට අවසන් පියවර විදිහට මේ වගේ මාරාන්තික උපවාසයකට යන්න වුණා. මේ ආයතනය පුද්ගලිකරණය කරන්නේ නැහැ කියලා පිළිගත හැකි සහතිකයක් ලැබෙනකම් අපේ කිසිම සේවකයෙක් පොළව මතුපිටට එන්නේ නැහැ. එකා පිට එකා මැරිලා හරි අපේ ඉල්ලීම ඉටුවෙනකම් මේ සටන නවත්වන්නෙත් නැහැ. තවදුරටත් මේකට විසදුමක් ලැබීම පමා වෙනවා නම් උපවාසයේ යෙදෙන සේවකයින්ගේ ජීවිත කිහිපයක් අහිමිවෙන්න පවා ඉඩ තියෙනවා. ’’යැයි පැවසීය.

කහටගහ ගැෆයිට් ලංකා සමාගමේ වත්මන් සභාපති අබ්දුල් මජීඩ් මහතාද අද දිනයේදී කහටගහ පතලට පැමිණ සිටි නමුත් හෙතෙම මාධ්‍යට අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළේය. උපවාසකරුවන්ගේ අවශ්‍යතාවයන් ඉටුකිරීම සදහා පොළව මතුපිට රුදී සිටින පතල් සේවකයින් කිහිපදෙනෙකු හැර අන් සියළු කම්කරුවෝ මෙම උපවාසයට එක් වී සිටින බව කියති. මේ වනවිටත් පතල් කම්කරුවෝ පොළව යටට වී අඛණ්ඩවම උපවාසයේ යෙදී සිටියහ.kahatagaha_2 kahatagaha_5 kahatagaha_3 kahatagaha_4 kahatagaha_6

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article