Friday, March 29, 2024

එට්කා ගිවිසුමට එරෙහිව ඡන්දත් වැටුණලු – මහව සමූපේ ඡන්දෙන් දිනුවේ එහෙමලු !

Must read

alg_2016_10_27alg_july_7_4විමලදාසගේ බනිස් ගෙඩියට පෙරේරාට යකා නගී.

රිදීගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ වෙසෙන, දස දෙනෙකුට වඩා වැඩි දරුවන් ප‍්‍රමාණයකට උපත දුන් මව්වරුන් ඇගයීම වෙනුවෙන් සංවිධානය කර තිබූ උත්සවයක් රිදීගම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල ශ‍්‍රවණාගාරයේදී පැවැත්වුණේ පසුගිය සදුදාය. උත්සවය සදහා දොඩම්ගස්ලන්ද ශ‍්‍රීලනිප සංවිධායක ආර්. ඩී. විමලදාස සහ දොඩම්ගස්ලන්ද එජාප සංවිධායක එම්. එස්. පෙරේරා ඇතුඵ ආරාධිතයින් රැසක් සහභාගි වී සිටියහ. උත්සවය ආරම්භවීමෙන් පසුව පිළිගැනීමේ කතාව කළේ රිදීගම වැඩිහිටි බලමණ්ඩලයේ සභාපතිවරයා විසිනි. අමුත්තන් පිළිගනිමින් කතා කළ සභාපතිවරයා ශ‍්‍රීලනිප සංවිධායක විමලදාස පිළිගන්නා අතරේ ඔහුට විශේෂ ස්තූතියක්ද කළේය. ‘‘විමලදාස මැතිතුමා අපිත් එක්ක හැමදාම හිටියා. එතුමා අපේ හැම වැඩිහිටි බල මණ්ඩලයකටම බනිස් ගෙඩියක් දුන්නා.’’යැයි ඔහු කීය. තවත් කටයුත්තකට සහභාගිවන්නට ඇති බව කියමින් විමලදාස උත්සවය අමතා එතැනින් වේලාසනින් නික්මී ගියේය. එජාප සංවිධායක එම්. එස්. පෙරේරාට උත්සව සභාව අමතන්නට ලැබුණේ ඉන් අනතුරුවය. සිය කතාව අතරමැදදී විමලදාසගේ නම සම්බන්ධ කර කියැවුණු බනිස් කතාවට උත්තරයක් දෙන්නටද පෙරේරා වගබලා ගත්තේය. ‘‘දැන් මෙතැනදී කිව්වා විමලදාස මහත්තයා හැමදාම බනිස් ගෙඩියක් දුන්නා කියලා. විමලදාස මහත්තයා බනිස් දුන්නේ එක අවුරුද්දයි. අනිත් හැම අවුරුද්දකම බනිස් දුන්නේ ප‍්‍රාදේශීය සභාවෙන්. මම විපක්ෂනායක විදිහට ප‍්‍රාදේශීය සභාවේ ඉන්න කාලේ තමයි ඒවා දුන්නේ. අනික විමලදාස මහත්තයා බනිස් දුන්නේ එයාගේ පුද්ගලික මුදලින් නෙවෙයි. ඒවා පාර්ලිමේන්තු සල්ලි. ඒ නිසා මම තමුන්නාන්සේලාට පොරොන්දු වෙනවා මින් ඉදිරියට හැම වැඩිහිටි බල මණ්ඩලයකටම මගේ පුද්ගලික මුදලින් බනිස් ගෙඩියක් දෙන්න. ’’මන්ත‍්‍රී පෙරේරා වේගවත් හඩින් කීය.

උද්ඝෝෂණ කරන්න ආ පාසල් දරුවන්ට මහ ඇමැතිගෙන් දවල් කෑමක්.

වනාතවිල්ලුව, මොනරවැව විදුහල සදහා ගුරුවරුන් ලබාදෙන්නැයි ඉල්ලමින් එම පාසලේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් සහ ඔවුන්ගේ මව්පියන් ඇතුලු පිරිසක් වයඹ පළාත් සභා සංකීර්ණය ආක‍්‍රමණය කළේ පසුගිය සදුදාය. වනාතවිල්ලුවේ සිට බස් රථයකින් කුරුණෑගලට පැමිණ සිටි පිරිස තම පාසලට ගුරුවරුන් ලබාදෙන්නැයි ඉල්ලමින් වයඹ ප‍්‍රධාන අමාත්‍ය කාර්යාලයේ පිවිසුම් දොරටුව ඉදිරිපිටදී ආවේගශීලී ලෙස හැසිරෙන්නට වූහ. වයඹ පළාත් සභාව ඉදිරිපිට උපවාසයේ යෙදී සිටින ගුරු සමතුන් පිරිසකුත් මොනරවැවෙන් පැමිණි පිරිසට සහය ලබාදෙන්නට ඉදිරිපත් වී සිටීම නිසා තත්වය වඩාත් උණුසුම් අතට හැරී තිබිණි. පළාත් සභාව වෙත එල්ලවන හදිසි ආක‍්‍රමණයන්වලදී සාම දූත රාජකාරිය ස්වේච්ඡාවෙන්ම භාරගන්නා මහ ඇමැති සම්බන්ධීකරණ ලේකම් එමල් ප‍්‍රියන්ත මෙදිනද විරෝධතාකරුවන් වෙත ගොස් තම සුපුරුදු රාජකාරියට බැස සිටියේය. ‘‘මෙතැන කෑ කෝ ගහලා කලබල කරනවාට වඩා අපි මහ ඇමැතිතුමත් එක්ක කතා කරලා ප‍්‍රශ්නය විසදගන්න බලමු. ’’එමල් පිරිසට කීය. ‘‘අපි ඔය මැති ඇමැතිවරු හැමෝම හම්බවුණා. නමුත් අපිට තවම එක ගුරුවරයෙක් ලැබුණේ නැහැ.’’විරෝධතාකරුවන් කීහ. ‘‘නමුත් මහ ඇමැතිතුමා හම්බවුණේ නැහැනේ. අපි එතුමාවත් හම්බවෙලා බලමු මොකක්ද කරන්න පුඵවන් කියලා.’’එමල් උත්සාහය අතනොහරිමින් පැවසීය. අවසානයේදී එමල්ගේ උත්සාහය මල්ඵල ගන්වමින් විරෝධතාකරුවන්ගෙන් පිරිසක් මහ ඇමැති ධර්මසිරි සමග සාකච්ඡාවකට වාඩිවීමට කැමැත්ත පළකළහ. සාකච්ඡාවට වාඩි වූ මොනරවැව පාසලේ දරු දැරියන් සහ මව්පියන් මහ ඇමැති ධර්මසිරිට තමන් මුහුණ දී සිටින ගුරු හිගය පිළිබදව විස්තර කළහ. පාසලට මෑතකදී පත්වීම් ලබා පැමිණි ගුරුවරුන් කිහිපදෙනෙකුද ස්ථාන මාරුලබාගෙන ගොස් ඇති බවද ඔවුහු ධර්මසිරිට පැවසූහ. සාකච්ඡාවේ සිටියදීම වයඹ අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් කුමාරි වීරසේකර දුරකථනයෙන් සම්බන්ධ කරගත් ධර්මසිරි මොනරවැව විදුහලේ ගුරු හිගය පිළිබදව සාකච්ඡා කළේය. විනාඩි දහයක් පමණ පැවැති දුරකථන සාකච්ඡාව අවසන් කළ ධර්මසිරි පිරිස ඇමැතුවේය. ‘‘හරි, සතියක් ඇතුලත ඔබතුමාලගේ ගුරු ප‍්‍රශ්නයට විසදුමක් ලබාදෙනවා කියලා අධ්‍යාපන ලේකම්තුමිය පොරොන්දු වුණා. ඒ සතිය ඇතුලත වැඩේ කෙරුණේ නැත්නම් ඇවිත් මාව හමුවෙන්න. මේ දරුවෝ එක්ක එන්න උවමනා නැහැ. මව්පියෝ කීපදෙනෙක් ආවා නම් ඇති. ’’ ධර්මසිරි කීය. ධර්මසිරිගේ යෝජනාවට එකෙගවීම හැර මොනරවැවෙන් පැමිණි පිරිසට වෙනත් විකල්පයක් නොවීය. අනතුරුව මොනරවැව පාසලේ ඇති අඩුපාඩු පිළිබදව ධර්මසිරි විමසා සිටි අතර දරු දැරියන්ද තමන්ට ඇති අඩුපාඩු පිළිබදව විස්තර කළේය. මොනරවැව විදුහලේ විදුහල්පතිවරයා දුරකථනයෙන් සම්බන්ධ කරගත් ධර්මසිරි ඔහුගෙන්ද පාසලේ පවතින අඩුපාඩු පිළිබදව විමසා සිටියේය. ‘බලන්න ඔයාලා මේ දරුවොත් අඩගහගෙන ඇවිත්නේ. ප‍්‍රශ්න කතාකරන්න මොකටද දරුවෝ ගේන්නේ. ඔයාලට විතරක් එන්න තිබුණනේ. මේ දරුවෝ විතරද ආවේ ? ’’ ධර්මසිරි තමන් ඉදිරිපිට සිටින මව්පියන්ට දෝෂාරෝපණයක්ද එල්ල කරමින් ඇසීය. ‘‘නැහැ සර්, තව කට්ටියක් එළියේ ඉන්නවා. ’’සාකච්ඡාවට වාඩි වී සිටි අය කීහ. ‘‘දැන් මේ දරුවෝ දවල්ට කෑම කාලද ? ’’ධර්මසිරි යළි ඇසීය. නැති බවට පිරිසගෙන් පිළිතුරු ලැබිණි. තම පුද්ගලික සහකාර නිලධාරිනියක් එතැනට ගෙන්වාගත් මහ ඇමැති ධර්මසිරි ඇය ලවා සිය බැංකු පොත සහ බැංකු පත‍්‍රිකාවක් ගෙන්වා ගත්තේය. තමන් අතින්ම බැංකු පත‍්‍රිකාව පිර වූ මහ ඇමැති ධර්මසිරි ඊට අත්සන් තබා පළාත් සභාවේ පිහිටි බැංකු ශාඛාවට ගොස් එහි සදහන් මුදල ගෙනැවිත් දෙන්නැයි පුද්ගලික සහකාර නිලධාරිනියට කීය. ටික වේලාවක් ගතවෙද්දී ලියුම් කවරයක බහාලූ අදාල මුදල ධර්මසිරි අතට පත් විය. ‘‘මෙන්න මේ සල්ලිවලින් ඔය දරුවන්ට යන ගමන් කෑම ටිකක් අරන් දෙන්න. ඔතන රුපියල් දහ දාහක් ඇති. ’’යැයි කියූ මහ ඇමැති ධර්මසිරි මුදල් කවරය මව්පියන් අතට පත් කළේය.

තිබුණු ලකුණුත් කපා ගත් මහව මහින්ද පිලේ මාධ්‍ය හමුව.

ඉකුත් සතියේදී මහව පැත්තේ ගිය අයෙකුට නම් එක්වරම සිතෙන්නට ඉඩ තිබුණේ මහ මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් වැනි හදිසි මැතිවරණයක් සදහා එම ප‍්‍රදේශය සූදානම්වෙමින් පවතින බවකි. මක්නිසාදයත් මහ මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් වැනි ජාතික තලයේ දේශපාලන ව්‍යාපාරයකදී කලඑළි බසින හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ සිනාසෙන මුහුණ සහිත වෛවර්ණ පෝස්ටර් තොග ගණනින් මහව හන්දියක් හන්දියක් ගාණේ ඇලැවී තිබූ බැවිනි. ඊට අමතරව එවැනි පෝස්ටර් ගසාගත් යාන වාහනද මහව ගම්බිම් හරහා ධාවනය වෙමින් තිබිණි. මේ කලකෝලාහලයට සැබැවින්ම හේතු වී තිබුණේ මැතිවරණයක් නොව මහව විවිධ සේවා සමූපකාර සමිතියේ ප‍්‍රාදේශික කාරක සභා නිලවරණයයි. සමූපකාර ඡන්දය ගැන එජාපය පැත්තෙන් දැකගත හැකි වූයේ ඇල්මැරුණු ස්වභාවයක් වූ නමුදු ඒකාබද්ධ විපක්ෂය නම් සමූපකාර නිලවරණය ඇගට අරගෙනම කළ ස්වභාවයක් දක්නට ලැබිණි. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් වන ජොන්ස්ටන් ප‍්‍රනාන්දු සහ සාලින්ද දිසානායක දෙපළ මහව සමූපකාර නිලවරණයට ඒකාබද්ධ විපක්ෂයෙන් ඉදිරිපත් කර සිටින අපේක්ෂකයින්ට සහය පිණිස දින කිහිපයක්ම මහව ගොස් සිටියහ. පෙර කී ලෙසටම ‘‘මහින්ද සමග පෙරටම, මහව සමූපකාර නිලවරණය’’යනුවෙන් මුද්‍රණය කළ අපේක්ෂක නම් ලැයිස්තු සහිත පෝස්ටර් මහව ගම්බිම්වල පමණක් නොව යානවාහනවලද ඇලැවී තිබිණි. සමූපකාර නිලවරණයට මැතිවරණයක මුහුණුවරක් ගෙන දුන් සති ගණන අවසන් කරමින් පසුගිය ඉරිදා පැවැති මහව සමූපකාර නිලවරණයෙන් වැඩි බලයක් දිනාගන්නට ඒකාබද්ධ විපක්ෂය සමත් වී තිබිණි. තමන්ගේ ජයග‍්‍රහණය ගැන රටටම කියන්නට කල්පනා කළ මහව ඒකාබද්ධ විපක්ෂ නියෝජිතයින් පසුගිය සදුදා මාධ්‍ය හමුවක්ද කැදවා තිබිණි. යාපහුව ආසනයේ ප‍්‍රබල මහින්දවාදීන් ලෙස සැලකෙන පළාත් සභා මන්ත‍්‍රී බණ්ඩාර රාජපක්ෂ, නිමල් කරුණාතිලක සහ මහව ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රෝහණ මැදගෙදර යන තිදෙනාම එම මාධ්‍ය හමුවට සහභාගි වී නොසිටියහ. මාධ්‍ය හමුවට වාඩි වී සිටියේ පළාත් සභා මන්ත‍්‍රී ආනන්ද චන්ද්‍රලාල් සහ මහව ප‍්‍රාදේශීය සභාවේ හිටපු මන්ත‍්‍රීවරුන් පිරිසක් පමණි. බණ්ඩාර රාජපක්ෂ, නිමල් කරුණාතිලක සහ රෝහණ මැදගෙදරගේ අඩුව ගැන ප‍්‍රශ්න කළ මාධ්‍යවේදීන්ට පිළිතුරු දෙමින් මන්ත‍්‍රී ආනන්ද කීවේ බණ්ඩාර රාජපක්ෂට වයඹ ප‍්‍රධාන අමාත්‍යංශයේ උපදේශක කාරක සභාවට සහභාගිවන්නට සිදුවීමත්, මන්ත‍්‍රී නිමල්ට පොල්පිතිගම සමූපකාර නිලවරණයේ නාමයෝජනා දෙන්නට සිදුවීමත්, රෝහණ මැදගෙදරට ලෙඩෙකු බලන්නට කුරුණෑගල යන්නට සිදුවීමත් හේතුවෙන් හේතුවෙන් මාධ්‍ය හමුවට සහභාගිවන්නට බැරි වූ බවය. කෙසේවෙතත් තමුන්ගේ ජයග‍්‍රහණය ගැන උදම් ඇණීම පසෙක තබා මාධ්‍යවේදීන්ගේ දැඩි ප‍්‍රශ්න කිරීමකට පිළිතුරු බදින්නට මන්ත‍්‍රී පිරිසට මෙහිදී සිදුවිය. එම ප‍්‍රශ්නකිරීම් හමුවේ ඒකාබද්ධ විපක්ෂ නියෝජිතයින් විසින් දඩිබිඩියේ ලබාදුන් පිළිතුරු වලින් කියැවුණේ ජාතික දේශපාලනය තුළ විසදාගත යුතු ප‍්‍රශ්නවලට එරෙහිව මහව සමූපකාර ඡන්දයේදීත් ජනතාව ඡන්දය පාවිච්චි කර ඇති බවකි. ‘‘ප‍්‍රාදේශීය සභා ඡන්දය දිනෙන් දින කල්දැමීමට, එට්කා ගිවිසුමට විරුද්ධව, වැට් බදු ගැහීමට විරුද්ධව, ජීවන වියදමට විරුද්ධව, රාජ්‍ය සේවකයින්ට දුන් බොරු පොරොන්දුවලට විරුද්ධව මහ ජනතාවගේ මතය ප‍්‍රකාශ කරන්න ලැබුණු එකම අවස්ථාව මේ සමූපකාර මැතිවරණය. ඒ නිසා මේ මැතිවරණයේදී ඡන්දය පාවිච්චි කරන්න ජනතාවගේ විශාල පෙළගැස්මක් තිබුණා. මෙම මැතිවරණ ප‍්‍රතිඵලයෙන් පෙන්නේ ජනතාව ඒවට උත්තර දීලා තියෙන බවයි ’’මන්ත‍්‍රී ආනන්ද වරෙක පැවසීය. මහව සමූපකාර නිලවරණය ඒකාබද්ධ විපක්ෂය විසින් දේශපාලනීකරණය කළ බවට මාධ්‍යවේදියෙකු විසින් කළ චෝදනාවක්ද මන්ත‍්‍රී ආනන්ද චන්ද්‍රලාල් එම චෝදනාව හිස් මුදුනින්ම පිළිගත්තේය. ‘‘පැහැදිලිවම පිළිගන්නවා. අපි ගමට ගිහින් සමූපකාර සාමාජිකයින් හම්බ වුණා. ඒ සාමාජිකයින් ඉල්ලපු ඉල්ලීමට පිටින් යන්න බැරි බව අපි දන්නවා. ජනතාවට හරස්වෙලා උඩුගම්බලා පීනන්න අපිට බැහැ. ඒ නිසා ජනතාවට අවශ්‍ය මොනවද අපි ඒ දේ කළා. මම මහින්ද මහත්තයා වෙනුවෙන් පැහැදිලිවම දේශපාලනය කරන පුද්ගලයෙක්. අපි සමූපකාර ඡන්දය හරහා පෙන්නුවේ තවම මහව තියෙන්නේ මහින්ද මහත්තයාගේ ශක්තිය, විශ්වාසය සහ ජනතාවගේ ඉල්ලූම තියෙනවා කියලයි. ඒ නිසා මම හොරෙන් හොරෙන් ඒක කළේ නැහැ. මම පිළිගන්නවා.’’ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන්ගේ මෙවැනි කට වැරදීම්වලින් නම් මාධ්‍ය හමුවට අඩුවක් වූයේ නැත. සමූපකාර ජයග‍්‍රහණය පිළිබදව දැනුවත් කිරීමට කැදවා තිබූ ප‍්‍රවෘත්ති සාකච්ඡාවක් වුවත් මෙම මාධ්‍ය හමුවේදී අඩුවෙන්ම සාකච්ඡා කළ මාතෘකාව වූයේද සමූපකාරය වීමද විශේෂත්වයක් විය. මහව විවිධ සේවා සමූපකාරය දියුණු කරවීමට ගන්නා ඉදිරි පියවර හෝ වැඩපිළිවෙල පිළිබදව වචනයක් හෝ මෙහිදී කියැවුණේ නැත. ඒ වෙනුවට මාධ්‍ය හමුව පුරාම වැඩි වශයෙන් කියැවුනේ පළාත් පාලන ඡන්දය කල් දැමීම, රණවිරු දඩයම, එට්කා ගිවිසුමට, වැට් බදු, ජීවන වියදම සහ මෛත‍්‍රීගේ නායකත්වය පිළිනොගැනීම වැනි සමූපකාර සංකල්පයන්ට කිසිසේත් අදාළ නොවන මාතෘකාවන්ය. ඊට වාඩි වූ මන්ත‍්‍රීවරුන් විසින් මාධ්‍ය හමුව පුරා කළ කී දෑ හරහා සමූපකාර ඡන්දයේ හා ජාතික දේශපාලනයේ වෙනස වටහා ගැනීමට තරම් ඔවුන්ගේ නොමේරූ බව පෙන්නුම් කිරීම සහ පුද්ගල ප‍්‍රතිරූප ගොඩනැංවීම වෙනුවෙන් සමූපකාරය පවා දේශපාලනීකරණය කිරීමට ඔවුන් සූදානම් බව මාධ්‍ය ඉදිරියේම අනාවරණය කිරීම එම මාධ්‍ය හමුවෙන් සිදු වූ එකම කාර්යය බවට පත් වී තිබිණි. එබැවින් සමූපකාර ඡන්දයේ පිහිටෙන් ලකුණු වැඩිකරගැනීමට ගිය මහව ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමට අන්තිමට සිද්ධ වී තිබුණේ තිබුණු ලකුණුත් කපාගැනීමටය.

පරිසර අධ්‍යක්ෂ වෙනුවෙන් මහ ඇමැති පෙරට එයි.

වයඹ පළාත් පරිසර අධිකාරියේ දූෂිත නිලධාරින් එම තනතුරුවලින් ඉවත් කරන ලෙසට බලකරමින් වයඹ පළාතේ පරිසර සංවිධාන කිහිපයක නියෝජිතයින් කුරුණෑගල දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණයක යෙදුණේ පසුගිය සදුදාය. එහිදී මාධ්‍ය වෙත අදහස් දැක් වූ ආනවිලුන්දාව පරිසර සුරැකීමේ සංවිධානයේ සම කැදවුම්කරු පූජ්‍ය විල්පොත පේමානන්ද හිමියෝ වයඹ පරිසර අධිකාරිය සහ එහි අධ්‍යක්ෂවරයාගේ ක‍්‍රියාකාරීත්වය දැඩි ලෙස විවේචනය කළහ. ‘‘ලෝක උරුමයක් විදිහට සැලකෙන ආනවිලුන්දාව රම්සා තෙත් බිම විනාශ කිරීමේ වැඩපිළිවෙලක් වයඹ පරිසර අධිකාරිය විසින් මේ වෙනකොට ක‍්‍රියාත්මක කරමින් තියෙනවා. වයඹ පරිසර අධිකාරියේ අනුමැතිය ඇතිව ඒ තෙත් බිම ආසන්නයේ සුවිශාල කර්මාන්තශාලා භූමියක් ඉදිවෙමින් පවතිනවා. ඒ වගේම පල්ලම, බිංගිරිය, මුන්දලම ආදී ප‍්‍රදේශ ගණනාවක පරිසරයට කිසිසේත් නොගැලපෙන, පරිසරය විනාශ කරන කර්මාන්ත විශාල ප‍්‍රමාණයක් පවත්වාගෙන යමින් තියෙනවා. ඒ සියලු කර්මාන්ත ආරම්භ කරන්න අනුමැතිය දීලා තියෙන්නේ වයඹ පරිසර අධිකාරියෙන්. 2016 අගෝස්තු මාසේ 31 වැනිදා ජනාධිපති මන්දිරයේ තිබුණු සාකච්ඡාවකදී ජනාධිපතිතුමා නියෝග කරනවා වයඹ පරිසර අධිකාරියේ අධ්‍යක්ෂවරයා වහාම එම තනතුරෙන් ඉවත්කරන්න කියලා. නමුත් අපි කණගාටුවෙනවා වයඹ ප‍්‍රධාන අමාත්‍යවරයා ඇතුලු ඇතැම් දේශපාලනඥයින්ගේ රැකවරණය ලබන එම නිලධාරින්ට තවමත් ඒ තනතුරුවල ඉදගෙන වයඹ පරිසරය විනාශ කරලා දාන්න අවස්ථාව සලසා දී තිබීම ගැන. ’’හිමියන්ගේ චෝදනා බරපතල වූ බැවින් ඒ පිළිබදව ප‍්‍රතිචාරයක් ලබාගැනීම සදහා වයඹ පරිසර අධ්‍යක්ෂ සමන් සේනානායක ඇමතූ මාධ්‍යවේදීන්ට අධ්‍යක්ෂවරයා කීවේ ඔහු ඒ වන විට කුරුණෑගල දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වෙමින් තිබෙන දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගි වී සිටින බවය. සම්බන්ධීකරණ රැස්වීම අවසන් කර මැති ඇමැතිවරුන් සමග කච්චේරියේ පහත මාලයට එමින් සිටි පරිසර අධ්‍යක්ෂවරයා හමු වූ මාධ්‍යවේදීහු පේමානන්ද හිමියන්ගේ චෝදනාව පිළිබදව විමසා සිටියහ. ‘‘ඔබතුමා ඉන්න.මම කියන්නම්.’’පරිසර අධ්‍යක්ෂවරයා වෙනුවෙන් කරුණු දැක්වීමට ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වූයේ මහ ඇමැති ධර්මසිරිය. අගෝස්තු 31 වැනිදා කළ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා විසින් පරිසර අධ්‍යක්ෂවරයාට කිසිදු දෝෂාරෝපණයක් නොකළ බවත්, ඔහු තනතුරෙන් ඉවත් කිරීමට නියෝගයක් නොකළ බවත් කී මහ ඇමැති ධර්මසිරි එය ෆේස්බුක් ඔස්සේ ප‍්‍රචාරය වූ බොරුවක් පමණක් වන බවත් කීය. එබැවින් එක එක්කෙනා කියන පලියට පරිසර අධ්‍යක්ෂවරයා ඉවත්කිරීමට තමන් සූදානම් නැති බව කී මහ ඇමැති මාධ්‍යවේදීන්ගෙන් බේරාගත් පරිසර අධ්‍යක්ෂවරයාද සමග කච්චේරි භූමියෙන් පිට වී ගියේය.

උපුටාගැනීම – මව්බිම පුවත්පත, 2016 ඔක්තෝම්බර් 27 වැනි බ‍්‍රහස්පතින්දා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article