Thursday, March 28, 2024

සංගීතයක ටිකට් විකුණන්න සිවිල් ආරක්ෂකයින්ට බලෙන් පටවලා !

Must read

civil_1සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් කටුනායකදී සංවිධානය කර ඇති සංගීත සංදර්ශණයක් වෙනුවෙන් ප්‍රවේශපත්‍ර විකිණීම සදහා තමන් බලහත්කාරයෙන් යොදවා ඇතැයි සිවිල් ආරක්ෂක භටයින් චෝදනා කරති.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ කටුනායක බලකා මූලස්ථානය එක්ව සංවිධානය කරනු ලබනු බව කියන මෙම සංගීත ප්‍රසංගය සඳහා ටිකට්පත් අලෙවිකිරීමට ඉහළ නිලධාරින් විසින් තමන්ට බලකරමින් සිටින බව අපහසුතාවයට පත් සිවිල් ආරක්ෂක භටයෝ කියති. ලබන දෙසැම්බර් මස 10 වැනිදා පැවැත්වීමට කටුනායකදී පැවැත්වීමට නියමිත මෙම සංගීත ප්‍රසංගය වෙනුවෙන් රුපියල් 100 ක වටිනාකමින් යුත් ටිකට්පත් ජනතාව වෙත අලෙවිකිරීමට තමන් වෙත නියෝග ලැබී ඇති බව ඔවුහු කියති. එක් සිවිල් ආරක්ෂක භටයෙකුට ටිකට්පත් 25 බැගින් ලබා දී ඇති අතර ඒවා අලෙවිකර මුදල් භාර දෙන ලෙසටත්, එසේ නොවන්නේ නම් රුපියල් 2500 ක මුදලක් තම පුද්ගලික මුදලින් හෝ ගෙවිය යුතු බවටත් උසස් නිලධාරින් වෙතින් නියෝග ලැබී ඇතැයිද ඔවුහු වැඩිදුරටත් කියති.

මේ නිසා ගෙයින් ගෙට ගමන් කරමින් ලොතරැයිකරුවන් මෙන් ටිකට්පත් විකුණන්නට තමන්ට සිදු වී ඇතැයි කියන සිවිල් ආරක්ෂක භටයින් ඒ නිසාම තමන් සමාජය තුළ විවිධ අපහාස උපහාසවලට ලක්වෙමින් සිටින බවද කියති. මීට මාස තුනකට පමණ පෙර කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පැවති සංගීත සංදර්ශනයක් සඳහාත් මේ ආකාරයෙන්ම ටිකට්පත් අලෙවිකිරීමට තමන්ට සිදු වූ බවත්, එවරත් තම තමන්ගේ පුද්ගලික මුදල්වලින් එම ටිකට්පත්වල වටිනාකම පියවන්නට සිදු වූ බවද ඔවුහු පැවසූහ. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සුබසාධක අරමුදල සදහා මෙම ප්‍රසංගය පවත්වන බව කියන නමුත් සිවිල් ආරක්ෂක භටයින්ගේ හිස් මත අනවශ්‍ය බරක් පටවා, ඔවුන් මානසිකව පහතට ඇද දමා සිදුකරන සුබසාධනයෙන් ඇති ඵලය කුමක්දැයි ඔවුහු ප්‍රශ්න කරති.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව යටතේ භටයින් 41000ක් වැඩි පිරිසක් සේවයේ යෙදී සිටින බවත්, එක් අයෙකුගෙන් රුපියල් 2500 බැගින් එකතු කළ විට මුලු මුදල රුපියල් කෝටි දහයකටත් අධික වන බවත් කියන සිවිල් ආරක්ෂක භටයෝ මෙම මුදල් සැබෑ ලෙසම සාමාජිකයින්ගේ සුබසිද්ධිය සඳහා යෙදවෙන්නේදැයි සොයා බැලීම රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ වගකීමක් බවද කියති. එමෙන්ම කටුනායකදී පැවැත්වෙන සංගීත ප්‍රසංගයක් වෙනුවෙන් තමන් ලවා දිවයින පුරා ටිකට්පත් අලෙවි කරවීමේ අරමුණ මුදල් රැස්කිරීම මිස රසවින්දනය ලබාදීම නොවන බවත් අතෘප්තියට පත්ව සිටින සිවිල් ආරක්ෂක භටයෝ කියති.

සිවිල් ආරක්ෂක භටයින්ගේ චෝදනාව පිළිබදව එම දෙපාර්තමේන්තුවේ කුරුණෑගල කලාප භාර ජ්‍යෙෂ්ඨ නියාමක ඒකනායක මහතාගෙන් කළ විමසීමකදී ප්‍රකාශ කළේ තමන් මේ දිනවල නිවාඩු ලබා සිටින බැවින් ඒ පිළිබද කිසිවක් නොදන්නා බවයි. එහෙත් ඉන් විනාඩි කිහිපයකට පසුව පෙරළා අප ඇමතූ එම නිලධාරියා ප්‍රකාශ කළේ උසස් නිලධාරීන්ගේ උපදෙස් මත සිවිල් ආරක්ෂක භටයින් වෙත එම ටිකට්පත් නිකුත්කළේ තමන් විසින් බවයි. තම දෙපාර්තමේන්තුවේ සුබසාධන සමිතියට ආධාර පිණිස මෙම ප්‍රසංගය පවත්වන බවද හෙතෙම පැවසීය.

වාරියපොල නිසංකා අබේරත්න

ජනතාව වෙත අලෙවිකිරීම සදහා සිවිල් ආරක්ෂක භටයින් වෙත  නිකුත් කර ඇති ටිකට්පත

civil_2

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article