Thursday, April 18, 2024

හවස හ‍යෙන් පසු මිනී පුච්චන්න උඩුබද්දාව ආදාහනාගාරයට තහනමක් !

Must read

udubaddawa_crematoriumඋඩුබද්දාව ප‍්‍රාදේශීය සභාවට අයත් ආදාහනාගාරය තුළදී පස්වරු හයෙන් පසුව ආදාහන කටයුතු සිදුකිරීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කළ කුලියාපිටිය මහේස්ත‍්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා වටා එම ආදාහනාගාරය වටා තාප්පයක් ඉදිකර එය ආවරණය කරන ලෙසත්, එහි දැනට සවිකර ඇති චිමිනිය නියමිත නිසි ප්‍රමිතීන්ට අනුකූලව උස්ව පිහිටුවන ලෙසටත් වැඩිදුර නියෝග කළේය.

මහේස්ත‍්‍රාත්වරයා මෙලෙස නියෝග කළේ උඩුබද්දාව ආදාහනාගාරය තුළ මෘත ශරීර ආදාහනය කිරීමේදී ඉන් පිටවන දුම්රොටු අවට නිවෙස්වලට පතිතවීම සහ අධික දුගදක් නිකුත්වීම ඇතුලු පාරිසරික සහ සෞඛ්‍යමය ගැටලු ගණනාවකට තමන් මුහුණ දී සිටින බව පවසමින් එම ආදාහනාගාරය අවට පදිංචිකරුවන් පිරිසක් විසින් කුලියාපිටිය මහේස්ත‍්‍රාත්අධිකරණය හමුවේ ගොනුකර තිබූ පෙත්සමක් සලකා බලමිනි.

ආදාහන ක්‍රියාවලියේදී තමන්ට මුහුණදීමට සිදු වී ඇති මෙම අපහසුතාවයන් පිළිබදව අවස්ථා කිහිපයකදීම උඩුබද්දාව ප‍්‍රාදේශීය සභාව දැනුම්වත් කිරීමට කටයුතු කළ නමුත් එම තත්වයන් නිවැරදි නොවීම හේතුවෙන් අපරාධ නඩු විධිවිධාන සංග‍්‍රහයේ අංක 98.1 (ආ) වගන්තිය යටතේ ප්‍රදේශවාසින් විසින් උඩුබද්දාව ප‍්‍රාදේශීය සභාවට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි.

ප‍්‍රදේශවාසීන්ගේ විරෝධය පවා නොතකමින් උඩුබද්දාව ප‍්‍රාදේශීය සභාව විසින් 2010 වසරේදී මෙම ආදාහනාගාරයේ ඉදිකිරීම් ආරම්භ කිරීමෙන් අනතුරුව 2016 ජනවාරි මාසයේදී වැඩ නිමනොකළ ආදාහනාගාරය විවෘත කර ඇති බව පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥ චම්පික ලසිත කුමාර මහතා අධිකරණය හමුවේ පැවසීය. මෙම ආදාහනාගාරය උඩුබද්දාව ප‍්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් මෘතදේහ ආදාහනය කිරීමට පමණක් මුලින් සීමා වී තිබූ නමුත් මේ වනවිට මුදල් අයකරමින් වෙනත් ප‍්‍රදේශවල මෘතදේහයන් පවා එහිදී ආදාහනය කෙරෙන බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය. ඇතැම් දිනයන්හි මෘත දේහ කිහිපයක් මෙම ආදාහනාගාරයේදී ආදාහනය කෙරන බවත්, එහිදී පිටවන දුම්රොටු ප‍්‍රදේශය පුරා විසිරී යන බවත් කී නීතිඥවරයා මෙම ආදාහනාගාරයේ ඇති අඩුපාඩු හේතුවෙන් ඇතැම් මෘතදේහයන් සම්පූර්ණයෙන්ම නොදැවෙන බවටත්, ඒවා ඒ මේ අත හරවමින් යළි යළි ආදාහනය කිරීමට එහි සේවකයින් විසින් කටයුතු කරන බවත් ප්‍රදේශවාසීන් වෙත දැනගන්නට ලැබී ඇති බවද පැවසීය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත‍්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා ඉහත කොන්දේසි කඩිනමින් සම්පූර්ණ කරන ලෙසට උඩුබද්දාව ප‍්‍රාදේශීය සභාව වෙත නියෝග කළ අතර මීළග නඩු දිනය යෙදෙන නොවැම්බර් මස 22 වැනිදා අධිකරණය හමුවේ පෙනීසිටින ලෙසට එම ප‍්‍රාදේශීය සභාවේ නිලධාරීන් වෙත වැඩිදුරටත් නියම කළේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article