Thursday, April 18, 2024

නලු නිලියන් සිය ගණනකට අතහිත දුන් සිරි කුලරත්න හුදෙකලාවම නික්ම ගියේය.

Must read

siri_kularathne_0වස්තුව, සිකුරු දසාව, නිළියෙකුට පෙම් කළෙමි, සුබෝධා, රිදී තැල්ල ඇතුලු චිත‍්‍රපට ගණනාවක් නිර්මාණය කරමින් සිංහල සිනමාව පෝෂණය කිරීමට සිය මහගු දායකත්වය ලබාදුන් ප‍්‍රවීණ චිත‍්‍රපට අධ්‍යක්ෂ, අභාවප‍්‍රාප්ත සිරි කුලරත්න මහතා දේහය පිළිබද අවසන් කටයුතු පෙරේදා (18 දා ) කුරුණෑගල, මල්කඩුවාව ආදාහනාගාරයේදී සිදුකෙරිණි.

වස්තුව චිත‍්‍රපටය අධ්‍යක්ෂණය කරමින් 1974 සිනමාවට පිවිසි සිරි කුලරත්න මහතා සිකුරු දශාව, සඳවට රන්තරු, බඹර පහස, රිදී තැල්ල, පෙතිගෝමර, නිළියකට පෙම් කළෙමි, පොඩි රාළහාමි, වීදියේ විරයා, සුබෝධා, අනුරාධා, සහ රාස්ස කැලේ ඇතුලු පේ‍්‍රක්ෂක ආකර්ෂණය දිනූ චිත‍්‍රපට ගණනාවක් නිර්මාණය කළේය. සිනමාව පමණක් නොව ටෙලි නාට්‍ය ක්ෂේත‍්‍රයෙහිද එකසේ දස්කම් පෑ අධ්‍යක්ෂකවරයෙකු වූ හෙතෙම හරිම හපන්නු, පෙරනිමිති, සතුරෝ, බූත වස්තුව සහ සුබ ප‍්‍රාර්ථනා වැනි ටෙලිනාට්‍ය කිහිපයක්ද නිර්මාණය කර තිබේ. මිල්ටන් මල්ලවාරච්චි මහතා විසින් ගායනා කළ ‘‘පියාපත් සලා මම ඔබ සොයා එමි රැයේ ’’ නැමැති ගීතයද සිරි කුලරත්න මහතා විසින් රචනා කළ එකකි.

කලක් රෝගාතුරව පසු වූ ඒ මහතා පසුගිය 16 වැනිදා රාත‍්‍රියේ කුරුණෑගල ශික්ෂණ රෝහලේදී අභාවප‍්‍රාප්ත විය. කුරුණෑගල, මැද්දේගම පිහිටි ඔහුගේ නිවසෙහි දින දෙකක් තැන්පත් කර තැබුණු දේහයට කලාකරුවන්, හිතවතුන් සහ ඔහුගේ රසියකයින් ඇතුලු පිරිසක් අවසන් ගෞරව දැක්වූහ. ආගමික වතාවත්වලින් පසුව සිරි කුලරත්න මහතාගේ පුතුන් තිදෙනා ඇතුඵ ඥාතීහු නිවසින් පිටතට රැගෙන ආ දේහය ඔහුගේ සහෝදර කලාකරුවන් වෙත භාරකෙරිණි. කලාකරුවන්ගේ කරමතින් අවමංගල රථයක තැන්පත් කෙරුණු සිරි කුලරත්න මහතාගේ දේහය මල්කඩුවාව ආදාහනාගාරය වෙත ගෙනඒමෙන් පසුව එහිදී ආදාහනය කෙරිණි. සිරි කුලරත්න මහතා බෙහෙවින් ඇලුම් කළ, ඔහුගේ සේවය අගය කරමින් මීට සති කිහිපයකට පෙරදී ලේක්හවුස් ආයතනයෙන් පිරිනැමුණු සමරු තිළිණය දේහය ආදාහනය කරන මොහොත දක්වාම එය අසල තැන්පත් කර තිබෙනු දැකගත හැකි විය.

එහිදී අදහස් දැක් වූ ප‍්‍රවීණ රංගන ශිල්පි වසන්ත කුමාරසිරි මහතා මෙසේ පැවසීය.

“සිරි අයියගේ අවමගුලට කලාකරුවන්ගේ සහභාගිත්වයේ අඩුවක් තිබුණා කියන එක පැහැදිලිවම පෙනෙන්න තිබුණා. සිරි කුලරත්න වගේ චිත‍්‍රපටි පහළොවක් විතර අධ්‍යක්ෂණය කරපු අධ්‍යක්ෂකවරයෙකුට මෙච්චරද කලාකරුවෝ හිටියේ කියන එක ප‍්‍රශ්නයක්. ඇත්තටම මේක ඛේදවාචකයක්. වැඩකරද්දී විතරයි අයියේ, අක්කේ, නංගියේ, මල්ලියේ කියාගෙන ඉන්නේ. වියෝවකදී කවුරුවත් එකතුවෙන්නේ නැති එක හරිම කණගාටුදායක තත්වයක්. “

ප‍්‍රවීණ රංගන ශිල්පි රිචාඩ් වීරක්කොඩි මහතාද මෙසේ පැවසීය.
“සිරි කුලරත්න සිංහල සිනමාවට කරපු සේවය මොකක්ද කියලා දන්නේ අතළොස්සයි. එතුමාගේ අතදීම හරහා සිනමාවට ආව නලූ නිළියෝ වැහි වැහැලා හිටියත් අවමගුලට සහභාගිවෙලා හිටියේ ඉන් කිහිපදෙනෙක් විතරයි. අනිත් අය එතුමාව අමතක කරලා දමලා. අනෙක් අතට මේ වගේ කලාකාරයෙකුට රජයෙන් මොනවද කළේ කියලත් අපිට අහන්න වෙනවා. එතුමා අසනීපවෙලා, අසරණවෙලා ඉන්නකොට ආධාර උපකාරයක් කරන්න කිසිම කෙනෙක් ආවේ නැහැ. එතුමාට විතරක් නෙවෙයි අපිටත් ඉදිරියේදී ඔය ටිකම තමයි. “

siri_kularathne_1siri_kularathne_2
siri_kularathne_3
siri_kularathne_4 siri_kularathne_5 siri_kularathne_6 siri_kularathne_7 siri_kularathne_8 siri_kularathne_9siri_kularathne_10 siri_kularathne_11 siri_kularathne_12 siri_kularathne_13 siri_kularathne_14 siri_kularathne_15

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article