Saturday, April 20, 2024

වයඹ ඇමැතිවරුන්ට ඇමැතිකම් එපා වෙලා !

Must read

ayg_2016_11_25alg_july_7_4සිරි කුලරත්නගේ අවමගුලට ගිය ජනපති අතරමගදී ආපසු හැරෙයි.

දේශපාලනික වශයෙන් එතරම් උණුසුමක් නොවූ නමුත් ගෙවී අවසන් වූයේ මුඵ රටේම ඇස් කන් කුරුණෑගල පැත්තට හැරවුණු සතියකි. පාතාල සාමාජිකයෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී එල්ල වූ වෙඩි ප‍්‍රහාරයකින් උප පොලිස් පරීක්ෂකවරයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් නිලධාරින් දෙදෙනෙකු තුවාල ලැබීමේ සිදුවීම මුඵ රටම කැළැඹීමට පත්කරන්නට සමත්විය. රාජකාරියේදී දිවිපිදූ උප පොලිස් පරීක්ෂක එල්. එච්. එම්. දසනායක මහතාට අවසන් ගෞරව දැක්වීම සදහා ජනාධිපති මෛත‍්‍රීද පසුගිය සිකුරාදා දහවල් කුරුණෑගලට පැමිණියේය. පොලිස් නිලධාරියාගේ අවසන් කටයුතු සිදුවීමට නියමිතව තිබුණේද එදින පස්වරුවේ වූ අතර ජනාධිපතිවරයාත් මළගෙදර එන බවට පෙර දින රාත‍්‍රියේ සිටම කණින් කොනින් ඇසෙමින් තිබිණි. මීට දෙවසරකට පමණ ඉහතදී රාජකාරියේ යෙදී සිටි තවත් පොලිස් නිලධාරියෙකු මේ අයුරින්ම වෙඩි ප‍්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වූ නමුත් ඔහුට අවසන් ගෞරව දැක්වීමට එවකට සිටි රාජ්‍ය නායකයා තබා පොලිස්පතිවරයාවත් නොපැමිණි පසුබිමක් තුළ ජනපති මෛත‍්‍රී මෙම අවමගුලට සහභාගි වනු ඇතැයි පොලිස් නිලධාරිහු පවා විශ්වාස නොකළහ. නමුත් එදින උදෑසන වනවිට මළගෙදර අවට රොද බදිමින් සිටි ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරිහු ජනාධිපතිවරයාගේ පැමිණීම පිළිබදව නිහඩව කියාපෑහ. කඵතර පැවැති උත්සව කිහිපයකට සහභාගි වූ ජනාධිපතිවරයා මළගෙදරට පැමිණියේ පස්වරු 1. 15 ට පමණය. පොලිස් නිලධාරියාගේ දේහය වෙත අවසන් බුහුමන් දැක් වූ ජනාධිපතිවරයා ඔහුගේ අඹු දරුවන් සමග කෙටි සාකච්ඡාවකද යෙදුණේය. එදින පැවැත්වෙන අයවැය විවාදයට සහභාගිවීමට පස්වරු 2 පමණ වන විට තමන් පාර්ලිමේන්තුවේ සිටිය යුතු බවට කල්වේලා ඇතිවම දැනුම් දී තිබූ නමුත් ජනාධිපතිවරයා දසනායක මහතාගේ නිවසින් එළියට බැස්සේ තවත් අවමගුලකට ගොඩවීමේ අරමුණ ඇතිවය. ඒ චිත‍්‍රපට අධ්‍යක්ෂ සිරි කුලරත්න මහතාගේ අවමගුලටය. ජනාධිපතිවරයා රැගත් රථපෙළ මැද්දේගම පිහිටි සිරි කුලරත්නයන්ගේ නිවස බලා ගමන් ඇරැඹූ නමුත් පිරිසට අතරමගදී දැනගත හැකිවූයේ ඒ වනවිට දේහය නිවසින් පිටතට ගෙන පාංශූකූල කටයුතු සිදුවෙමින් ඇති බවකි. සිරි කුලරත්නගේ අවමගුලට සහභාගිවීමට තමන් ප‍්‍රමාද වැඩි බව තීරණය කළ ජනාධිපතිවරයා මලියදේව පිරිමි විදුහල් පිටිය වෙත ගොස් එහි නවතා තිබූ හෙලිකොප්ටර් යානයට නැගී පාර්ලිමේන්තුව බලා පිටත්විය.

අයවැය දිනකට සීමා කිරීමේ යෝජනාවට සම්ප‍්‍රදාය හරස් වෙයි.

වයඹ පළාත් සභාවේ සභා කටයුතු කාරක සභාව පැවැත්වුණේ පසුගිය බ‍්‍රහස්පතින්දාය. 22 වැනිදා පැවැත්වුණු පළාත් සභා රැස්වීම පිළිබදව මෙන්ම දෙසැම්බර් මාසය මුලදී පැවැත්වෙන අයවැය විවාදය පිළිබදවත් එහිදී සාකච්ඡා කෙරිණි. සභා කටයුතු කාරක සභික, මන්ත‍්‍රී අසංක නවරත්න විසින් සභා කටයුතු කාරක සභාව වෙත අපූරු යෝජනාවක් ඉදිරිපත් කළේය. ‘‘අයවැය විවාදය දවස් දෙක තුනක් ඇදගෙන යන්නේ නැතිව එක දවසින් ඉවර කරමු කියලයි මම නම් කියන්නේ. දවස් දෙක තුනක් විවාද කරන්න තරම් දෙයක් මෙතැන නැහැ කියලයි මට පේන්නේ. එක එක අමාත්‍යංශවලින් පාට පාට පොත් ටිකක් අච්චු ගහලා මන්ත‍්‍රීවරුන්ට බෙදලාදීලා ඒ ගැන අදහස් දක්වනවා. ඒ වෙනුවෙන් කොච්චර මුදලක් නාස්තිවෙලා යනවද ? මට නම් පේන්නේ මේක අපරාදයක් විදිහටයි. ඒ නිසා මේ පාර අයවැය එක දවසකින් දවසකින් ඉවර කරමු කියලා මම යෝජනා කරනවා. අසංක කීය. කෙතරම් ප‍්‍රගතිශීලි යෝජනාවක් වුවද සභා කටයුතු කාරක සභාවේ සෙසු සාමාජිකයින්ගෙන් ඊට පළවූයේ දැඩි විරෝධයකි. අයවැය ඉදිරිපත් කිරීමේ සභා සම්ප‍්‍රදායන් ආරක්ෂා කළ යුතු බව වැඩිදෙනෙකුගේ මතය විය. ‘‘ඇයි ඔයා කොහේ හරි යන්න දාගෙන තියෙනවාද ?’’ඇතැමෙක් අසංකගෙන් ඔච්චමට මෙන් ඇසූහ. ‘‘මම නම් කොහෙවත් යන්න දාගෙන නැහැ. මම කිව්වේ මේක නාස්තියක් වගේ මට පෙනෙන නිසයි.’’අසංක කීය. සභා කටයුතු කාරක සභාවේ සිටියදීම තමන්ට මුහුණදීමට සිදු වූ අත්දැකීම පිළිබදව සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තැබීමටද අසංක විසින් කටයුතු කර තිබිණි. ‘‘මහජන මුදල් නිරපරාදේ නාස්තිකරමින් දින ගණනාවකට සැළසුම්කර ඇති වයඹ අයවැය විවාදය එක්දිනකට පමණක් සීමාකරන ලෙස යෝජනා කළා. නමුත් සභාවේ සම්ප‍්‍රදාය ඊට හරස්වන බව අන් අයගේ අදහසයි. මක්කොරන්නද?’’අසංකගේ ෆේස්බුක් සටහන එලෙස විය.

මහ ඇමැතිටයි, දෙහිගමටයි ඇමැතිකම් එපා වෙයි.

වයඹ පළාත් සභාවේ ඇමැතිවරුන්ට තමන් විසින් දරමින් සිටින ඇමැතිකම් කරදරයක් එසේත් නැතිනම් වදයක් බවට පත්වී ඇති බවක් ඔවුන් විසින් දැන් දැන් කරමින් සිටින ප‍්‍රකාශ හරහා කියැවෙමින් තිබේ. ඇමැතිකම් කරදරයක් බව කීමෙන් නොනැවතී ඒවා කාගේ හෝ ඇ‍ගේ ගැසීමට ගත් උත්සාහයන්ද පසුගිය දෙසතියේදී වයඹින් දැකබලා ගත හැකි විය. තමන් විසින් දරමින් සිටින ඇමැතිකම් එපා වී සිටින බවක් පෙනෙන්නේ මහ ඇමැති ධර්මසිරි දසනායකට සහ ප‍්‍රවාහන ඇමැති දෙහිගමටය. තම ඇමැතිකම කුණු කන්දලමක් ලෙස හැදින් වූ ඇමැති දෙහිගම එය භාරගන්නැයි මහ ඇමැති ධර්මසිරි දසනායකගෙන් ඉල්ලා සිටියේ පසුගිය 01 වැනිදා පැවැති පළාත් සභා රැස්වීමේදීය. වයඹ පළාතේ බස් නැවතුම්පොළවල් කිහිපයක් කප්පම්කරුවන් විසින් අල්ලාගැනීම පිළිබදව සහ පුද්ගලික බස් සංගමයේ සභාපති රූබන් සිල්වා විසින් පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරුන්ට යවා ඇතැයි කියන පෙත්සමක් සම්බන්ධයෙන් කරුණු දැක්වීමක් කළ ඇමැති දෙහිගම අවසානයේදී තම ඇමැතිකම මහ ඇමැති ධර්මසිරිගේ ඇගේ ගහන්නට උත්සාහ කළේය. ‘‘මහ ඇමැතිතුමාට මම දෙවතාවක් කියලා තියෙනවා මේ මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිය භාරගන්න කියලා. පත්තරෙත් දමලා තියෙනවා ප‍්‍රධාන අමාත්‍යවරයා යටතට පත්කිරීමට ඉඩකඩ ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි කියලා. මම මහ ඇමැතිතුමාට කියන්නෙත් මේ කුණු කන්දලම පුලුවන් නම් භාරගන්න. මම කැමැත්තෙන්ම මේක භාරදෙන්න කැමැතියි. මොකද මේ මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ නම ගෑවුනත් ඇති. මම මේක ඕනෑ කෙනෙකුට දෙන්න ලෑස්තියි. මම කවදාවත් මේවට තෘෂ්ණාවක්, ආශාවක් දැක්වුයේ නැහැ.’’දෙහිගම කීය. ඇමැති දෙහිගම විසින් තමන්ගේ ඇගේ ගහන්නට හදන ප‍්‍රවාහන ඇමැතිකම පිළිබදව යාබද අසුනේ සිටි මහ ඇමැති ධර්මසිරි ක්ෂණික ප‍්‍රතිචාරයක් දැක්වීය. ‘‘මාර්ගස්ථ කුණු කන්දලම මට නම් දෙන්න එපා. මම භාරගන්නෙත් නැහැ.’’ධර්මසිරි කීය. එලෙස දෙහිගමගේ ඇමැතිකම භාරගැනීම ප‍්‍රතික්ෂේප කළ ධර්මසිරිත් ප‍්‍රධාන අමාත්‍යවරයා ලෙස තමන්ට පැවරී ඇති විෂයන් කිහිපයක් පිළිබදව පසුගිය සතියේදී කළකිරීමෙන් කතා කළේය. ඒ හෙට්ටිපොළ, මඩඉණ ප‍්‍රදේශයේ කිරි ගොවීන් පිරිසකට කිරි ශීතකිරීමේ උපකරණ ලබාදීම වෙනුවෙන් පැවැති උත්සවයකදීය. ‘‘මට පළාත් සභාවේ මුදල් විෂය තියෙනවා. මම තමයි අමාත්‍යංශවලට මුදල් බෙදලා දෙන්නේ. නීතිය හා සාමයත් මට තියෙනවා. හැබැයි පොලිස් නිලධාරියෙක් මාරු කරන්නවත් මට බැහැ. ග‍්‍රාමීය ජනතාවගේ ආර්ථික කටයුතු වැඩිදියුණු කරන්න කියලා ආර්ථික ප‍්‍රවර්ධන විෂයත් දීලා තියෙනවා. නමුත් ජනතාවගේ ආර්ථික කටයුතු දියුණු කරන්න කියලා අපට ශත පහක්වත් ලැබිලා නැහැ. මේ අවුරුදු විසි හයටම ශත පහක්වත් දීලත් නැහැ. ඒකත් පස්සේ කාලෙක තමයි මට අහුවුණේ. මම ඉදිරියේදී ජනාධිපතිතුමා එක්ක මේ ගැන කතාකරනවා. මුදල් ලබාදෙන්නේ නැති ඇමැතිකම්වලින් මට වැඩක් නැහැ. විෂයන් දෙනවා නම් මුදලුත් ලබාදෙන්න කියලා මම ජනාධිපතිතුමාට කියනවා. මොකද ජනතාවට වැඩ කරනවා නම් සල්ලි නැතුව බැහැ. ’’ධර්මසිරි කීය.

විපක්ෂයේ වගකීම ආණ්ඩු පක්ෂයෙන් ඉටුකරයි.

සභාපති ටිකිරි බණ්ඩා විසින් කළ ප‍්‍රකාශයක් මුල්කරගනිමින් මාස දහයකට වැඩි කාලයක් තිස්සේ වයඹ පළාත් සභා රැස්වීම් වාර්තා කිරීමෙන් වැළැකී සිටි මාධ්‍යවේදිහු පසුගිය අගහරුවාදා පැවැති පළාත් සභා රැස්වීමට සහභාගි වූහ. මාධ්‍යවේදීන් සභාවට ආවේ මහ ඇමැති ධර්මසිරි දසනායක විසින් කළ විශේෂ ආරාධනාවක් මතය. මාධ්‍යවේදීන් සභාවට කැදවන්නට පාර කැපී තිබුණේ පසුගිය බ‍්‍රහස්පතින්දා පැවැති ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදීය. උණුසුම් මාතෘකා කිහිපයක්ම එදින පළාත් සභා රැස්වීමේදී සාකච්ඡාවට ගැනීම නිසා කණ්ඩායම් රැස්වීම උණුවෙමින් නටන ලෝදිය හැලියක ස්වරූපයක් ගෙන තිබිණි. මහ ඇමැති ධර්මසිරි කණ්ඩායම් රැස්වීමට එන්නට මදක් පමා වූ නමුත් රැස්වීම ආරම්භ කළ මන්ත‍්‍රී පිරිස එය පවත්වාගෙන ගියහ. වයඹ පළාත් සභාවේ පාලනය එක්සත් ජාතික පක්ෂය විසින් හසුරවමින් සිටින බවට ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරු කිහිපදෙනෙකුම විවේචනාත්මක ලෙස අදහස් දක්වන්නට වූහ. ‘‘පහුගිය මහ මැතිවරණයේදී යූඇන්පී එකට ආණ්ඩු බලය ලැබීම තුළ පළාත් සභාවේ බලයත් යූඇන්පි කට්ටියගේ අතට ගිහින් වගේ තමයි දැන් පේන්නේ. ඒ අය බලය අතට ගැනීම තුළ ආණ්ඩු පක්ෂයේ ඉදලත් අපිට බලය නැතිවෙලා. මධ්‍යම රජයත් එක්ක හවුල්වෙලා ආණ්ඩුකාරතුමිය හරහා පළාත් සභාව පාලනය කරන්නෙත් ඒ අයයි. කරුණාකරලා ආණ්ඩුකාරතුමියට එයාගේ ජොබ් එක කරගෙන ඉඩදෙන්න. මට පළාත් සභාවෙන් මට එවන හැම ආරාධනා පත‍්‍රයකම ආණ්ඩුකාරතුමිය තමයි ප‍්‍රධානියා විදිහට සදහන් වෙන්නේ. පළාත් සභාවේ හැමදේකටම එතුමිය ගෙන්වීමේ සම්ප‍්‍රදායක් නැහැ. කලින් හිටපු තිස්ස බලල්ල ආණ්ඩුකාරතුමා ඉදිද්දි මෙහෙම වුණාද ? නැහැනේ. තමන්ගේ අමාත්‍යංශවලින් මොනවා හරි වැඩක් කළා ඇමැතිවරුන් මුල්වෙලා ඒක විවෘත කරගන්න. අනිත් කාරණාව තමයි අයවැය ගැන දැනුවත් කරන්න කියලා නුවරඑළියේ සූදානම් කරගෙන තියෙන මේ දවස් දෙකේ වැඩමුඵව අහෝසි කරලා දාන්න. ඒ අයයි අපියි දෙගොල්ලොම එකට ඉදගෙන මොනවද කරන වැඩමුඵ. හරි විහිඵවක්නේ. එහෙම දැනුවත්වීමක් ඕනෙම නම් එයාලට එයාලගේ ග්රූප් එකේදී තීන්දුවත් අරන් වෙනම වැඩමුලුවක් කරන්න කියන්න. අපි වෙනම එකක් කරමු. එහෙම නැතුව ඇත්තටම ඕනේ අපි දෙගොල්ලටම එකතුවෙලා ජොලියක් දාන්න නම් අයවැය වැඩමුඵ වගේ බොරු ලේබල් ගහන්නේ නැතිව යන තැනක ගිහින් ජොලියක් දාලා එමු. අනිත් කාරණාව තමයි මේ පාර අයවැයේ මන්ත‍්‍රී විදෙස් සංචාර වැය ශීර්ෂය කපාහරිමු. අපිට මන්ත‍්‍රීවරු විදිහට හැමදාම මාධ්‍යයෙන් චෝදනා එල්ල වුණේ අපි පිටරට සවාරි ගහනවා කියලා. ඒ හරහා මිනිස්සුන්ටත් අපි ගැන වැරදි අදහසක් ඇති වෙලා තියෙන්න පු`ඵවන්. ඒ නිසා අපි මේ පාර ඒ සල්ලි ටික වෙනත් විෂයකට යොදවමු. හරි නම් මේ වගේ යෝජනා එන්න ඕනේ විපක්ෂයකින්. නමුත් විපක්ෂය නොකරන ඒ දේ ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරු විදිහට කරලා අපි ආදර්ශයක් දෙමු. ’’පියුමාල් දීර්ඝ විග‍්‍රයක් කරමින් පැවැසීය. මහ ඇමැති ධර්මසිරි කණ්ඩායම් රැස්වීමේ වාඩිවූයේ පියුමාල් කතාකරමින් සිටින අතරතුරේදීය. පියසිරි රාමනායක, අසංක නවරත්න, සමන්ප‍්‍රිය හේරත් ඇතුලු කිහිපදෙනෙක්ම පියුමාල්ගේ අදහස අනුමත කරමින් අදහස් දක්වන්නට වූහ. මහ ඇමැති ධර්මසිරි ඊට එරෙහි විය. ‘‘කොහේද යූඇන්පිය බලවත් වෙලා තියෙන්නේ ? අපි කොතැනද ඒ අයට ඕන විදිහට වැඩකරන්න ඉඩදීලා තියෙන්නේ. ඒක වැරදි කතාවක්නේ. එහෙම දෙයක් වෙලා නැහැ. ’’ධර්මසිරි නොමනාපයෙන් කීය. ‘‘නැත්තේ කොහේද මහ ඇමැතිතුමා. දැන් බලන්නකෝ අර බස්නාහිර මහ ඇමැතිතුමා ආණ්ඩුවට රිදෙන්න ගහනවනේ. ඔබතුමා ඉතිං එහෙම දෙයක්වත් කරන්නේ නැහැනේ. ’’මන්ත‍්‍රීවරයෙක් කීය. ඒ කතාවට නම් ධර්මසිරිට යකා නැග්ගේය. ‘‘මොකද නැත්තේ ? නිකං දන්නේ නැති දේවල් කතා කරන්න එපා මන්ත‍්‍රීතුමා. බස්නාහිර මහඇමැති කට අරින්න ඉස්සරවෙලා මීට මාස දෙකකට කලින් තමයි මම පළාත් සභාවේදී කිව්වේ පළාත් සභාවල මුදල් කප්පාදු කළොත් ආණ්ඩුවට නඩු දානවා කියලා. ධර්මසිරි උස් හඩින් පැවසීය. ‘‘කෝ ඉතිං ඔය කතාව පත්තරේකවත් ගියේ නැහැනේ මහ ඇමැතිතුමා. ’’මන්ත‍්‍රීවරු යළි කීය. ‘‘පත්තරේ යන්නේ කොහේද උඹලා පත්තරකාරයෝ එළවා ගත්තනේ ’’කණ්ඩායම් රැස්වීම සිනා සයුරේ ගිල්වමින් ධර්මසිරි කීය. සිනා හඩ මැද්දේම පියුමාල් නැවත කතාකළේය. ‘‘මම එදා ඉදලම කියන්නේ ඕක තමයි. මාධ්‍ය නැතිව පළාත් සභාවට ගමනක් යන්න බැහැ. අපි පළාත් සභාව ඇතුලේ කියන කරන කිසිදෙයක් මිනිස්සුන්ට යන්නේ නැහැ. අපිට මිනිස්සුන්ට කතාකරන්න වෙන ක‍්‍රමයකුත් නැහැ. අරහෙන් පළාත් සභාවලට දුන්න මුදල් ආණ්ඩුවෙන් කපාගෙන කපාගෙන යනවා. මෙහෙන් තව සති දෙකකින් අපේ බජට් එකත් එනවා. මේ කිසිදෙයක් ගැන කතාකරන්න අපිට මාධ්‍ය නැතිව බැහැ. අනික මාධ්‍ය එන්නේ නැති එක ප‍්‍රයෝජනයට අරගෙන පළාත් සභාවේ සමහරු දැන් බඩ පිනුම් ගහන්නත් පටන් අරගෙන තියනවා. ඒ නිසා දැන්වත් මේ ප‍්‍රශ්නය විස`දාගත යුතුයි කියලයි මම කියන්නේ. ’’අනතුරුව කණ්ඩායම් රැස්වීමේදී මාතෘකාව වූයේ මාධ්‍යවේදීන් යළි සභාවට කැදවාගැනීම පිළිබදවය. මාධ්‍යවේදීන් හමු වී සාකච්ඡා කර ගැටුම නිරාකරණය කරගැනීමේ වගකීම මහඇමැති ධර්මසිරිට භාරදෙන්නට සියලු මන්ත‍්‍රීවරු එකගවූහ. එම සාකච්ඡාවට මන්ත‍්‍රී පියුමාල් හේරත් සහ පියසිරි රාමනායක දෙදෙනාත් කුරුණෑගල සහ පුත්තලම් දිස්ත‍්‍රික් දෙක නියෝජනය වනු පිණිස ධර්මසිරි සමග වාඩිවිය යුතු බවට යෝජනා කළේද මන්ත‍්‍රීවරුන්මය. ‘‘එහෙනම් ඉතිං සභාපතිතුමාත් ඔය සාකච්ඡාවට එක්ක යන්න. ’’මන්ත‍්‍රීවරයෙක් කීය. ‘‘අනේ මට නම් බෑ. ’’එම යෝජනාවේ අන්තිම වචන කිහිපය කියැවෙන්නටත් පෙර ටිකිරි බණ්ඩා එය ප‍්‍රතික්ෂේප කළේය. එවර කතාකළේ මහ ඇමැති ධර්මසිරිය. ‘‘ ඔබතුමා ඉතාම හොද තීන්දුවක් ගත්තේ. මොකද මාධ්‍යවේදීන්ට ඔබතුමා කියන්නේ නිකං නයාට අදුකොළ වගේ. ඒ නිසා ඔය සාකච්ඡාවට ඔබතුමා වාඩිවුනොත් වෙන්නේ ඒකේ විසදුමක් වෙන එක නෙවෙයි. වැඩේ තවත් දුරදිග යන එක. ’’ධර්මසිරි කියද්දී ටිකිරි බණ්ඩා හැර සෙසු මන්ත‍්‍රීවරුන් උස් හඩින් සිනාසුණහ.
ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී ගත් තීරණයට අනුව මාධ්‍යවේදීන් සමග සාකච්ඡාව පැවැත්වුණේ පසුගිය සදුදාය. මන්ත‍්‍රී පියසිරි රාමනායක පුද්ගලික හේතුවක් මත ඊට සහභාගි නොවූ අතර මහඇමැති ධර්මසිරි සහ පියුමාල් සමග පැවැති සාකච්ඡාවට ඉතා සුහදව පැය දෙකකට ආසන්න කාලයක් ගලා ගියේය. මාධ්‍ය සහයෝගය නොමැතිව පළාත් සභාව අද වන විට වැටී ඇති අසරණ තත්වය පිළිබදව මන්ත‍්‍රී පියුමාල් මාධ්‍යවේදීන් හමුවේ දීර්ඝ ලෙස විග‍්‍රහ කළ අතර ධර්මසිරිද එය අනුමත කළේය. පැරණි තරහ මරහ අමතක කරදමා පළාත් සභාව වාර්තා කිරීමට පැමිණෙන ලෙසට ධර්මසිරි මෙන්ම පියුමාල්ද මාධ්‍යවේදීන් වෙත ආරාධනා කළහ. ‘‘මේ ප‍්‍රශ්නය විසදන්න කියලා විවිධ පුද්ගලයෝ අපිත් එක්ක අවස්ථා ගණනාවකදීම අපිත් එක්ක සාකච්ඡා කළා. නමුත් ටිකිරි බණ්ඩාගේ අවලාද ඉල්ලා අස්කර ගන්නා තුරු අපි සභාවට එන්නේ නැහැ කියලා අපි සියලුදෙනා එක තීන්දුවක හිටියා. එදා මාධ්‍යවේදීන් දොට්ට දානකොට ඒකට එරෙහිව නැගිටින්න කශේරුකාවක් තිබුණේ පියුමාල් හේරත් මන්ත‍්‍රීතුමාට විතරයි. ඒ ගරුත්වය මාධ්‍යවේදීන් විදිහට අපි හැමදාම එතුමාට දෙනවා. ඒ නිසා අපි වෙනුවෙන් හැමදාම පෙනී හිටපු පියුමාල් මන්ත‍්‍රීතුමා අපිට සභාවට එන්න කියලා ආරාධනා කරනවා නම් තවදුරටත් ඒ ආරාධනාව ප‍්‍රතික්ෂේප කරන්න අපිට බැහැ. ඒ වගේම මේ ගැටලුව විසදන්න මහ ඇමැතිතුමාත් අවස්ථා කිහිපයකදීම අවංකවම මැදිහත් වුණා. ඒ නිසා මේ ගැටලුව නිරාකරණය වුණා නම් එහි සම්පූර්ණ ගෞරවය හිමිවිය යුත්තේ පියුමාල් හේරත්ට සහ ධර්මසිරි දසනායකට පමණයි. අනෙක් අතට අපි සභාවට ආවා කියලා සියලූ ප‍්‍රශ්න විසදුනා කියලා ටිකිරි බණ්ඩා දැන් හිතයිද දන්නේ නැහැ. එහෙනම් එයාට වැරදිලා. අපි එයාව අතාරින්නේ ඊළග ඡන්දෙන් පරද්දලා ගෙදර ඇරිය දවසට විතරයි. එතෙක් අපේ පෑන් ක‍්‍රියාත්මකයි. ’’සාකච්ඡාව අවසන් කර අසුන්වලින් නැගී සිටිමින් මාධ්‍යවේදීහු කීහ.

උපුටාගැනීම – මව්බිම පුවත්පත, 2016 නොවැම්බර් 25 වැනි සිකුරාදා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article