Thursday, March 28, 2024

මන්ත‍්‍රී පැටිකිරිය ප‍්‍රශ්න කළ පියුමාල්ට පක්ෂ විපක්ෂ දෙගොල්ලම තරගෙට ඔරවති !

Must read

ayg_2016_12_01alg_july_7_4
පක්ෂ විපක්ෂ වයඹ මන්ත‍්‍රීවරු අදයි – හෙටයි නුවරඑළියේ !

‘‘පළාත් සභාවේ අයවැය ගැන මන්ත‍්‍රීවරුන්ට උගන්වන්න නුවරඑළියේ තරු හෝටලයකදී දෙදින වැඩමුඵවක් ’’යන මැයෙන් පසුගිය නොවැම්බර් 03 වැනිදා වයඹ අඵ යට ගිනි පිටුව හරහා කළ හෙළිදරව්ව මේ වන විට සැබෑවක් බවට පත්වී තිබේ. අදාළ වැඩමුඵව සංවිධානය කිරීමේ මූලිකත්වය ගෙන සිටි වයඹ පළාත් සභාවේ සභාපති ටිකිරි බණ්ඩා විසින් අප හෙළිදරව්වේ සදහන් කරුණු අසත්‍ය බව කියමින් මව්බිම කර්තෘවරයා වෙත ලිපියක්ද එවා බබා පාට් එකක්ද දැමූ නමුත් බේගල් ඇද බා ඇත්තේ අඵ යට ගිනි නොව ටිකිරි බණ්ඩාම බව පසක් කරවමින් පළාත් සභාවේ පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරුන් අද දහවල් නුවරඑළිය බලා පිටත්ව යාමට නියමිතය. අද පස්වරු 3 ට පමණ ආරම්භ වන මෙම වැඩමුඵව අවසන්වීමට නියමිතව ඇත්තේ හෙට රාත‍්‍රියේදීය. අඵ යට ගිනි වෙත වාර්තා වන අන්දමට මෙම වැඩමුඵව මහජන මුදල් නාස්තියක් ලෙස සලකා ඊට සහභාගිවීම ප‍්‍රතික්ෂේප කර ඇත්තේ මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකු පමණි. ඒ ජනතා විමුක්ති පෙරමුණු මන්ත‍්‍රී නාමල් කරුණාරත්න සහ ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රී පියුමාල් හේරත් පමණි. අදාළ වැඩමුඵව අවලංගු කළ යුතු බව කියමින් මන්ත‍්‍රී පියුමාල් ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීම තුළදී පවා හුදෙකලා සටනක යෙදී තිබූ නමුත් පියුමාල්ගේ මහන්සිය වතුරේ යවමින් අදාළ වැඩමුඵව සැලසුම් කළ පරිදිම නුවරඑළියේ හෝටලයකදී සංවිධානය කරන්නට ටිකිරි බණ්ඩා ඇතුලු පිරිස වගබලාගෙන තිබිණි. සාමූහිකව කළ නොහැකි වූ දේ තනිව හෝ කරන්නට උත්සාහ කළ මන්ත‍්‍රී පියුමාල් හෘද සාක්ෂියට එකගව තමන්ට එම වැඩමුඵවට සහභාගිවිය නොහැකි බැවින් ඊට සහභාගි නොවන බව සභා ලේකම්වරිය වෙත දැන්වීමට කටයුතු කර තිබිණි.

වයඹ ගොඩදාන හැටි අගමැති කියයි.

ලබන වසරේදී කුරුණෑගලට ජාතික පාසල් දෙකක් අලුතින් ලබාදෙන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ කීවේ පසුගිය ඉරිදාය. ඒ කුරුණෑගල මාළිගාපිටියේදී පැවැති සවිය ස්වයං රැකියා ණය යෝජනා ක‍්‍රමයේ සමාරම්භක උත්සවයට සහභාගිවෙමිනි. වයඹ පළාත වෙනුවෙන් ආරම්භ කිරීමට නියමිත සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් පිළිබදව සිය කතාවේදී සැකෙවින් විස්තර කළ අගමැතිවරයා ලබන වසරේදී ඇරඹෙන කුලියාපිටියේ වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව ගැනත්, බිංගිරියේ කර්මාන්ත කලාපයක් ගැනත්, හලාවත සිට පුත්තලම දක්වා සංචාරක ව්‍යාපාර කලාපයක් ගැනත්, හලාවත සහ කල්පිටියේ ඉදිවන නව ධීවර වරායන් ගැනත් පැහැදිලි කළේය. කුරුණෑගල දිස්ත‍්‍රික්කය වෙනුවෙන් සකස්කර ඇති සංවර්ධන වැඩපිළිවෙල තුළ දැනට පවතින පාසල් ප‍්‍රමාණවත් නොවීම නිසා නව ජාතික පාසල් දෙක ආරම්භ කෙරෙන බවත් එය පසුගිය මැතිවරණයේදී තමන් කුරුණෑගල ජනතාවට ලබාදුන් පොරොන්දුවක් ඉටුකිරීමක් වන බවත් අගමැතිවරයා සභාව අමතමින් කීවේය. එම පාසල් දෙක සදහා අවශ්‍ය කරන ඉඩම් වෙන්කර ගෙන ඇති බැවින් 2017 වසරේදී ඒවායේ ඉදිකිරීම් ආරම්භ කරන ලෙසට තමන් අධ්‍යාපන අමාත්‍යවරයාට සහ වයඹ සංවර්ධන අමාත්‍යවරයාට උපදෙස් ලබාදුන් බවද අගමැති රනිල් කීය. හමුදාව සදහා වැඩියෙන් බැදීමෙන් වයඹ ජනතාව යුද්ධය වෙනුවෙන් විශාල කැපකිරීමක් කළ බැවින් වයඹ දියුණු කිරීම යුතුකමක් වන බව කියමින් අගමැතිවරයා කතාව අවසන් කළේය. උත්සවය අවසන්වීමෙන් පසුව අගමැතිවරයා ඇතුලු ප‍්‍රභූන් සදහා දිවා භෝජනය සූදානම් කර තිබුනේ කුරුණෑගල නුවර පාරේ පිහිටි හෝටලයකදීය. දිවා ආහාරය අතරතුරදීත් අගමැති රනිල් සහ මැති ඇමැතිවරුන් අතර ඇති වූ කතාබහේදීත් වැඩිවේලාවක් වෙන්වූයේ නගර සංවර්ධනය, අධිවේගී මාර්ග, රැකියා උත්පාදනය ඇතුලු සංවර්ධන කටයුතු පිළිබදව සාකච්ඡා කිරීම වෙනුවෙනි. දිවා ආහාරය අවසන් කළ අගමැතිවරයා වෙළගෙදර පිටියට පැමිණ එහි නවතා තිබූ හෙලිකොප්ටර් යානයට නැග කොළඹ බලා පිටත් විය. සවිය ස්වයං රැකියා ණය යෝජනා ක‍්‍රමය හරහා දස දහසකට පමණ ප‍්‍රතිලාභ ලබාදීමට සැලසුම් කර ඇති බව කියැවුණු නමුත් එහි සමාරම්භක උත්සවයේදී එක්තරා කණගාටුදායක සිදුවීමක්ද සිදු වී තිබිණි. ඒ එම උත්සවය සදහා ගල්ගමුව ප‍්‍රදේශයේ සිට පැමිණි කාන්තාවක් සහ ඇගේ සය හැවිරිදි පුත‍්‍රයා මාළිගාපිටිය ඉදිරියෙන් දිවෙන මාර්ගයේදී නොසැලකිලිමත් රියදුරෙකු විසින් ධාවනය කළ ලොරියකට යටවීම නිසා බරපතල ලෙස තුවාල ලැබීමය. අනතුරට ලක් වූ දෙදෙනා කඩිනමින් කුරුණෑගල රෝහලට ඇතුළත් කෙරුණු නමුත් අනතුරට ලක් වූ කාන්තාවගේ සුසුම්නාවට හානි සිදු වී තිබීම නිසා ඇයව කොළඹ ජාතික රෝහලට වෙත මාරු කර යවා තිබිණි.

පළාත් සභාව ඉදිරිපිට පොල් ගැහිල්ලක් නූලෙන් වැළකෙයි.

ගුරු පත්වීම් සදහා බදවාගැනීමේදී වයඹ පළාත් රාජ්‍ය සේවා කොමිසමෙන් අසාධාරණයක් සිදු වී ඇති බව පවසමින් වයඹ පළාත් සභා සංකීර්ණය ඉදිරිපිට දින සියයක් තිස්සේ උපවාසයක යෙදී සිටි වයඹ පළාතේ උපාධිධාරී ගුරු විභාග සමතුන් පළාත් සභා සංකීර්ණයේ ප‍්‍රධාන පිවිසුම් දොරටුව ආක‍්‍රමණය කළේ පසුගිය සදුදාය. දොරටු ආක‍්‍රමණයට පෙර ගුරු සමතුන් වයඹ ආණ්ඩුකාර අමරා පියසීලි සමග සාකච්ඡාවකට වාඩි වූ නමුත් එම සාකච්ඡාව අසාර්ථකවීම නිසා පළාත් සභා සංකීර්ණයේ ප‍්‍රධාන පිවිසුම් දොරටුව ඉදිරිපිටට පැමිණි පිරිස ප‍්‍රධාන දොරටුව අවහිර වන ලෙස වාඩි වී විරෝධතාවය ආරම්භ කළහ. ගුරු විභාග සමතුන්ගේ විරෝධය හේතුවෙන් ලොකුම අමාරුවේ වැටුණේ වයඹ පළාත් සභා සංකීර්ණයට පිවිසීමට සහ ඉන් පිටවීමට වාහනවලින් පැමිණි නිල බලධාරින්ය. පළාත් සභා පරිශ‍්‍රය තුළට වාහන ඇතුල්කිරීම සහ ඉන් පිටකිරීම සම්පූර්ණයෙන්ම අවහිරවීම නිසා පළාත් සභා දොරටුව ඉදිරිපිට දිගු වාහන පෝලිමක් නිර්මාණය වී තිබිණි. එබැවින් පළාත් සභාවට පැමිණි නිලධාරින් බොහෝ දෙනෙකුට සිදුවූයේ වාහනවලින් බැස තමන්ගේ දෙපයේ පිහිට පැතීමටය. ගුරු සමතුන් ගේට්ටුවේ බලය අල්ලාගෙන පැයක් පමණ ගෙවෙද්දී ඔවුන්ට නැවත වරක් ආණ්ඩුකාර කාර්යාලයෙන් ඇරයුමක් ලැබුණේ තවත් සාකච්ඡාවක් සදහාය. ඒ වන විට පළාත් සභා දොරටුව ඉදිරිපිට පොල් ගැසීමක් සදහා ලකලෑස්ති වෙමින් සිටි ගුරු සමතුන් එම කාර්යය මදකට පසෙක තබා සිය නියෝජිතයින් නැවත ආණ්ඩුකාර කාර්යාලය වෙත පිටත් කර යැවූහ. ආණ්ඩුකාර පියසීලිට අමතරව වයඹ පළාත් රාජ්‍ය සේවා කොමිසමේ ලේකම් කාන්ති වේහැල්ල සහ පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් කුමාරි වීරසේකරද සාකච්ඡාවට එක් වී සිටියහ. සුබවාදීව ගලා ගිය සාකච්ඡාව අවසන් වූයේ එළැඹෙන සදුදා දිනයේදී ගැටඵව සදහා ස්ථිර විසදුමක් ලබාදෙන බවට ආණ්ඩුකාර පියසීලිගෙන් ලැබුණු සහතිකයක්ද සමගිනි. ආණ්ඩුකාරවරියගේ මැදිහත්වීම මත විරෝධතාවය අවසන් කිරීමට තීරණය කළ ගුරු සමතුන් පස්වරු පහට පමණ පළාත් සභා දොරටුවෙන් ඉවත් වී තමන්ගේ සුපුරුදු අට්ටාලය වෙත ගියහ. අවහිරය ඉවත්වීමත් සමග පැය පහකට ආසන්න කාලයක් පළාත් සභා පරිශ‍්‍රය තුළ නිවාස අඩස්සියට ලක් වී සිටි නිලධාරින් සහ රියදුරන් ඔවුන්ගේ වාහනවල නැගී පළාත් සභා පරිශ‍්‍රයෙන් පිටවී ගියහ. කෙසේවෙතත් ආණ්ඩුකාර කාර්යාලයෙන් ලැබුණු කැදවීම තවත් මොහොතක් හෝ පමා වූයේ නම් ගුරු සමතුන් පළාත් සභා දොරටුව ඉදිරිපිට පොල් ගසන ආකාරය දැකගැනීමට හැකිව තිබූ නමුත් ඊට පෙර ප‍්‍රශ්නය නිරාකරණය කිරීමට මැදිහත්වෙමින් පළාත් සභා දොරටුව දේවාල දොරටුවක් බවට පත්වීම වළක්වන්නටද ආණ්ඩුකාර පියසීලි සමත් වී තිබිණි.

පියුමාල්ගේ ප‍්‍රශ්නයෙන් සභාව ඇවිලෙයි.

ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රී පියුමාල් හේරත්, සභා කටයුතු අමාත්‍යවරයා වෙතින් පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකර තිබූ එක්තරා ප‍්‍රශ්නයක් පසුගිය 22 වැනිදා පැවැති වයඹ පළාත් සභාව ගිනි අවුලවන්නට සමත් විය. තේ පානයෙන් පසුව මූලාසනාරූඪව සිටියේ නියෝජ්‍ය සභාපති සෝමසිරි ගුණතිලකය. පිළිතුරු දීමට කල් ලබා ගත් ප‍්‍රශ්න අවස්ථාවේ පියුමාල්ගේ ප‍්‍රශ්නය නියෝජ්‍ය සභාපතිවරයා විසින් සභාවට නිවේදනය කළේය. අනුඅංක දහයකින් යුත් පියුමාල්ගේ ප‍්‍රශ්නයෙන් විමසා තිබුණේ වයඹ පළාත් සභාව නියෝජනය කරන එක් එක් මන්ත‍්‍රීවරයා සභා රැස්වීම්වලට සහභාගි වූ දින ගණන, අවසර ලබා සභා රැස්වීම්වලට සහභාගි නොවූ මන්ත‍්‍රීවරු සහ නොදන්වා සභාවට නොපැමිණි මන්ත‍්‍රීවරුන් හා වාර ගණන, එක් එක් මන්ත‍්‍රීවරයා විසින් පසුගිය වසර තුන තුළදී සභාවට ඉදිරිපත් කළ යෝජනා ගණන, පුද්ගලික කරුණු දැක්වීම් යටතේ අදහස් නොදැක් වූ මන්ත‍්‍රීවරුන් මෙන්ම මන්ත‍්‍රීවරුන්ගේ උපදේශක කාරක සභාවන්ට සහභාගිවීම පිළිබදව තොරතුරුත් විමසා තිබිණි. සරලව කිවහොත් පියුමාල්ගේ ප‍්‍රශ්නය වයඹ පළාත් සභාව නියෝජනය කරන මන්ත‍්‍රීවරුන්ගේ ක‍්‍රියාකාරිත්වය මැනබලන මිනුම් දණ්ඩක් හෙවත් ලිට්මස් පරීක්ෂණයක් බදු විය. ජනතාව වෙනුවෙන් පළාත් සභාව තුළ හඩ නගන්නෙමියි කියමින් ජනතාවගේ වරමින් පළාත් සභාවට පිවිස සිටින වයඹ පළාත් සභාවේ සියලු මන්ත‍්‍රීවරුන් පියුමාල්ගේ ප‍්‍රශ්නයට දෑතම ඔසවා සහය පළකළ යුතු වුවත් ඒ කෙරෙහි පළවූයේ ඊට හාත්පසින්ම වෙනස් ප‍්‍රතිචාරයකි. පියුමාල් ප‍්‍රශ්නය ඉදිරිපත් කරනවාත් සමග දෙඹරයට ගල් ගැසූ කලෙක මෙන් සභාව නොසන්සුන් වී ගියේය. සභාව පුරා කසු කුසු පැතිරී යන අතරේ මන්ත‍්‍රීවරුන් බහුතරයකගේ මුහුණු මලානිකවගිය අයුරුද පෙණිනි. සභාවේ නොසන්සුන් බව මැද්දේම සභා කටයුතු විෂය භාර අමාත්‍ය ලක්ෂ්මන් වේඩරුව පිළිතුරුදීම සදහා අසුනෙන් නැ`ගිට්ටේය. ‘‘ගරු නියෝජ්‍ය සභාපතිතුමනි. මම මේ ප‍්‍රශ්නයට පිළිතුරු දීමට පෙර ගරු ආණ්ඩුකාරතුමියගෙන් විමසීමක් කළා මොනවද සභා කටයුතු අමාත්‍යවරයා ලෙස මට තියෙන බලතල කියලා. ඒ අනුව ගරු ආණ්ඩුකාරතුමිය විසින් මගේ කාර්යයන් සහ බලතල පිළිබද ලැයිස්තුවක් මා වෙත එවා තිබෙනවා. එහි සදහන් කරුණුවලට අනුව මෙම ප‍්‍රශ්නයට පිළිතුරු ලබාදීමේ බලයක් මට පැවරිලා නැහැ. එම නිසා මේ ප‍්‍රශ්නයට පිළිතුරු ලබාදීමේ හැකියාවක් මට නැහැ. ’’යැයි කී වේඩරුව අසුන් ගත්තේය. වේඩරුවගේ අනපේක්ෂිත ප‍්‍රතිචාරය හමුවේ සටන අත්නොහළ පියුමාල් යළි කතා කළේය. ‘‘මට මේ ප‍්‍රශ්නයට පිළිතුරු ලබාගැනීම අත්‍යවශ්‍යයි. සභා කටයුතු අමාත්‍යතුමා කියනවා නම් එතුමාට මේ ප‍්‍රශ්නයට පිළිතුරු දෙන්න බැහැ කියලා මේ ප‍්‍රශ්නය ප‍්‍රධාන අමාත්‍යතුමාට ඉදිරිපත් කළ ප‍්‍රශ්නයක් ලෙස සංශෝධනය කර ලබන සභාවාරයේ න්‍යාය පත‍්‍රයට ඇතුළත් කිරීම සදහා මම අවසර ඉල්ලා සිටිනවා. ’’ නියෝජ්‍ය සභාපති සෝමසිරි පියුමාල්ගේ ඉල්ලීමට අවසර ලබාදීමත් සමග සභාව යළි නොසන්සුන් විය. අමාත්‍ය මණ්ඩලය, විපක්ෂය ඇතුලු සභාවේ ස්ථාන කිහිපයකින්ම මන්ත‍්‍රීවරු අත පය විසි කරමින් උණුසුම් කතාබහක යෙදෙනු දැකගත හැකි විය. අනතුරුව නැගී සිටියේ විපක්ෂ නායක ශමල් සෙනරත්ය. ‘‘මේ ප‍්‍රශ්නයෙන් පියුමාල් මන්ත‍්‍රීතුමා අහලා තියෙන්නේ මන්ත‍්‍රීවරුන්ගේ පුද්ගලික තොරතුරු. මම නම් හැමදාම මේ සභාවටයි, උපදේශක කාරක සභාවලටයි නියමිත වෙලාවට එන කෙනෙක්. නමුත් මේ ප‍්‍රශ්නයට අදාළව මගේ පුද්ගලික තොරතුරු දෙනවාට මම සම්පූර්ණයෙන්ම විරුද්ධයි. ’’ ශමල් කීය. අනතුරුව නැගී සිටි ඇමැති වේඩරුවත්, ඇමැති සන්ධ්‍ය මෙන්ම ඇමැති දෙහිගමත් පියුමාල්ගේ ප‍්‍රශ්නයට එරෙහිව අදහස් දක්වන්නට වූහ. දෙහිගම කීවේ පළාත් සභාව නියෝජනය කළ වසර තිහක කාලය තුළ මෙවැනි ප‍්‍රශ්නයක් ඉදිරිපත් වූ පළමු වතාව මෙය බවත්, මෙවැනි ප‍්‍රශ්නයක් ඉදිරිපත් කළේ කුමන අරමුණකින්දැයි තමන්ට නොතේරෙන බවත්ය. පියුමාල්ගේ ප‍්‍රශ්නයට එරෙහිව පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරුන් එක කදවුරකට එකතුවෙමින් සිටින බවක් සභා ගැබෙන් පෙනෙන්නට තිබිණි. සම්මතය වෙනස් කරන්නට උත්සාහ කිරීමේ ‘‘ද්‍රෝහී ක‍්‍රියාව’’හේතුවෙන්දෝ සුපුරුදු පරිදිම සභා ගැබ තුළ හුදෙකලාවන්නට පියුමාල්ට සිදුව තිබිණි. සටන අතනොහැරි පියුමාල් සිය ප‍්‍රශ්නය වෙනුවෙන් හඩ නගන්නට විය. ‘‘මට තේරෙන්නේ නැහැ මේ ප‍්‍රශ්නයේ කොතැනින්ද මන්ත‍්‍රීවරුන්ගේ පුද්ගලික තොරතුරු ඉල්ලන්නේ කියලා. මම ඉල්ලලා තියෙන කිසිම තොරතුරක් පුද්ගලික නැහැ. ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන මන්ත‍්‍රීවරු විදිහට අපි අපේ යුතුකම කොච්චර ඉටුකරලා තියෙනවාද කියලා විතරයි මම අහලා තියෙන්නේ. විපක්ෂ නායකතුමා කියන විදිහට එතුමා හැමදාම සභා රැස්වීම්වලට ආවත් මන්ත‍්‍රී වරප‍්‍රසාදවලට මුවාවෙලා සභා රැස්වීම්වලට එන්නේ නැති මන්ත‍්‍රීවරුනුත් මේ සභාව නියෝජනය කරනවා. යම් මන්ත‍්‍රීවරයෙක් මන්ත‍්‍රී වරප‍්‍රසාදවලට මුවාවෙලා වසර පහම පළාත් සභාවට එන්නේ නැතිව හිටියොත් ඔහුව මන්ත‍්‍රීවරයෙක් බවට පත්කිරීමේ තේරුමක් නැහැ. මේක මහ ජනතාවගේ අවධානයට යොමුවිය යුතු කාරණාවක් නෙවෙයිද ? මේ ප‍්‍රශ්නය හරහා කිසි කෙනෙක් අපහසුතාවයට පත්කරන්න මට උවමනා වුණේ නැහැ. නමුත් දැන් මට පේන්න තියෙන්නේ පක්ෂ විපක්ෂ දෙගොල්ලම මට විරුද්ධව අවි අමෝරාගෙන ඉන්නා ස්වරූපයක්. සහෝදර ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන් මෙහෙන් අවි අමෝරාගෙන ඉදිද්දී අනික් පැත්තෙන් විපක්ෂ නායකතුමා ඇතුලු විපක්ෂ මන්ත‍්‍රීවරුනුත් අවි අමෝරාගෙන ඉන්නවා. ඒ නිසා මම නැවත කියන්නේ මේ ප‍්‍රශ්නය කිසිදු පුද්ගලික වාසියක් බලාගෙන හෝ ප‍්‍රතිලාභයක් බලාගෙන ඉදිරිපත් කරපු එකක් නෙවෙයි. බොහොම අහිංසක චේතනාවෙන් ඉදිරිපත් කරපු එකක්. පක්ෂ විපක්ෂ භේද නොතකා මන්ත‍්‍රීවරුන් සියලුදෙනාම එක හඩින් මේ ප‍්‍රශ්නයට විරුද්ධවීම ගැන මම තුෂ්නිම්භූත වී සිටිනවා. මෙහෙව් කාරණාත් මේ සභාවේ සිද්ද වෙනවද කියලා මටම පුදුමයි. ඒ නිසා ඔබතුමාලා මේකට උරණ වෙන්න එපා. ඔබතුමාලගේ වගකීම හරියට ඉටුකරලා තියෙනවා නම් ඔබතුමාලට මේ ප‍්‍රශ්නයෙන් හානියක් වෙන්නේ නැහැ කියලා මම සහතික වෙනවා. ’’ පියුමාල් කීය. සභාවේ කලකෝලාහල මැද්දේම පියුමාල්ගේ ප‍්‍රශ්නය ප‍්‍රධාන අමාත්‍යවරයා වෙත යොමුකිරීම සදහා නියෝජ්‍ය සභාපති සෝමසිරි අවසර දුන්නේය.

උපුටාගැනීම – මව්බිම පුවත්පත, 2016 දෙසැම්බර් 01 වැනි බ‍්‍රහස්පතින්දා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article