Thursday, April 25, 2024

ආණ්ඩු පක්ෂයේ ප්‍රමාදයෙන් වයඹ අයවැය විනාඩි 45 ක් පමාවෙයි.

Must read

nwp_buget_2016_7වයඹ ප්‍රධාන අමාත්‍යවරයා ඇතුලු ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් ප්‍රමාද වී සභාවට පැමිණීම හේතුවෙන් වයඹ පළාත් සභාව වෙත අද (06 දා) ඉදිරිපත් කෙරුණු 2017 වර්ෂය සදහා වන අයවැය කෙටුම්පත ඉදිරිපත් කිරීම නියමිත වේලාවට වඩා විනාඩි 45 කින් පමණ ප්‍රමාද විය.

2017 වර්ෂය සදහා වන අයවැය අද පෙරවරු 9.30 ට වයඹ ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා විසින් පළාත් සභාව වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ නමුත් ප්‍රධාන අමාත්‍යවරයා හෝ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මැති ඇමැතිවරුන් කිසිවෙකුත් පෙරවරු 10.15 පමණ වනතෙක් සභාවේ අසුන්ගෙන නොසිටියහ. වයඹ පළාත් සභාවේ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සියලුදෙනාම නියමිත වේලාවට පැමිණ සභාවේ අසුන්ගෙන සිටි අතර ඔවුහු පළාත් සභාවේ සභාපතිවරයා මූලාසනාරෑඪ වනතෙක් බලා සිටිනු දැකගත හැකි විය.

පෙරවරු 10.10 වනතෙක් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු සභාවට නොපැමිණීම හේතුවෙන් සභාව ඇමැතූ විපක්ෂනායක ශමල් සෙනරත් මහතා, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් අතර අභ්‍යන්තර අර්බුදයක් ඇත්නම් එය සභාවෙන් පිටතදී විසදාගත යුතු බවත්, ලක්ෂ විසිතුනක් පමණ වන වයඹ ජනතාවට බලපාන අයවැය ඉදිරිපත් කරන දිනයේදී සභාවට පැමිණීමට ප්‍රමාදවීම වැරදි ක්‍රියාවක් වන බවත් පැවසීය. එම නිසා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ ප්‍රමාදය පිළිබදව සිය අප්‍රසාදය පළකරන බවද විපක්ෂනායකවරයා එහිදී පැවසීය. අනතුරුව නැගී සිටි ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතාද ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන්ගේ ප්‍රමාදය පිළිබදව අප්‍රසාදය පළකළ අතර විපක්ෂ මන්ත්‍රිවරුන් සභාගැබෙන් ඉවත්වීමට සූදානම් වූ අවස්ථාවේදී වයඹ ප්‍රධාන අමාත්‍යවරයා ඇතුලු ආණ්ඩු පක්ෂ මැති ඇමැතිවරුන් සභාගැබට පිවිසියහ. වයඹ පළාත් සභා ඉතිහාසයේ අයවැයක් ඉදිරිපත් කිරීම ප්‍රමාද වූ පළමු අවස්ථාව මෙය වන බවද තතු දත් අය කියති.

සභාපති ටිකිරිබණ්ඩා අධිකාරි මූලාසනාරෑඪවීමෙන් පසුව සභාව ආරම්භ වූ එහිදී නැගී සිටි ආණ්ඩු පක්ෂ මන්ත්‍රි සුමිත් රාජපක්ෂ මහතා මුදල් ප්‍රකාශය කල්වේලා ඇතිව තමා වෙත නොලැබීම පිළිබදව සභා ලේකම්වරිය වෙත දෝෂාරෝපණය කළේය. මන්ත්‍රිවරුන් හෑල්ලු වන අයුරින් දිගින් දිගටම කටයුතු කිරිම පිළිබදව මන්ත්‍රිවරයා මෙහිදී සභා ලේකම්වරිය වෙත සිය අප්‍රසාදයද පළකළේය. අයවැය කියැවීම ආරම්භ කිරීමට පෙර ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ ප්‍රමාදය පිළිබදව අදහස් දැක් වූ ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා, ඊයේ පළාත් සභාවේ ගේට්ටුව අවහිර කරමින් විරෝධතාවයක යෙදුණු ගුරු සමතුන් පිරිසක් අද දිනයේදීත් ගේට්ටුව අවහිර කිරීමට සූදානමින් සිටින බව වාර්තාවීම නිසා, අයවැයට පැමිණි මැති ඇමැතිවරුන් අපහසුතාවයට පත්වීම වැලැක්වීමට වැඩපිළිවෙලක් යෙදීම හේතුවෙන් සභාවට පැමිණීම ප්‍රමාද වූ බව පැවසීය.ඉන් අනතුරුව පෙරවරු 10.30 ට පමණ අයවැය කියවීම ආරම්භ කළ ප්‍රධාන අමාත්‍යවරයා පැය දෙකයි විනාඩි පහළොවක කාලයක් තිස්සේ “ආදර්ශමත් පළාත් සභාවක් – හරිත අනාගතයක ඇරඹුම“යන මැයෙන් වූ 2017 වර්ෂය සදහා වූ අයවැය කෙටුම්පත පළාත් සභා රැස්වීම වෙත ඉදිරිපත් කළේය. ප්‍රධාන අමාත්‍යවරයා අයවැය ඉදිරිපත් කරමින් සිටියදී එජාප මන්ත්‍රී අසංක පෙරේරා මහතා අසුන්ගෙන සිටි පුටුව කඩාවැටීම නිසා ඔහුගේ පුටුව මාරුකිරීමටද එක් අවස්ථාවකදී සභා සේවකයින්ට සිදුවිය.

මන්ත්‍රීවරු සභාවට නොපැමිණීම හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ අසුන් හිස්ව තිබූ අයුරුnwp_buget_2016_1
ආණ්ඩු පක්ෂයnwp_buget_2016_2
විපක්ෂයnwp_buget_2016_4
විනාඩි 45 ක ප්‍රමාදයකින් පසුව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු සභාවට පැමිණි අයුරුnwp_buget_2016_5
ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා අයවැය ඉදිරිපත් කරමින්nwp_buget_2016_6

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article