Thursday, March 28, 2024

පළාත් සභා දොරටුව ළග උපවාස කළ ගුරු සමතුන්ට මොකද වුණේ ?

Must read

ayg_206_12_22alg_july_7_4එජාප, ශ‍්‍රීලනිප, මහින්ද පිල, මෛත‍්‍රී පිල ආදී දේශපාලන වාදභේද සහ බෙදීම් මොහොතකට අමතක කරමින් පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරුන් අත්ඔසවා ලබාදුන් සහයෝගයෙන් 2017 වර්ෂය සදහා වන වයඹ පළාත් සභාවේ අයවැය වැඩි ඡන්ද 45 කින් සම්මත විය. මහඇමැති ධර්මසිරි දසනායක විසින් පසුගිය 06 වැනිදා වයඹ පළාත් සභාවට ඉදිරිපත් කළ අයවැය කෙටුම්පත පිළිබද විවාදය දින හතරක් තිස්සේ පැවැත්විණි. විවාදය අවසානයේදී අයවැය සම්මත කිරීම සදහා ඡන්ද විමසීම පැවැත්වුණු අතර එහිදී එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් අයවැයට පක්ෂව ඡන්දය භාවිතා කළ අතර ඊට එරෙහිව ඡන්දය පාවිච්චි කළ එකම මන්ත‍්‍රීවරයා වූයේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන නාමල් කරුණාරත්න පමණි. සිව්දිනක් තිස්සේ පැවැති වයඹ අයවැය විවාදය අපහාස, උපහාස මෙන්ම උණුසුම් වාද විවාද මැද ගලාගිය රසවත් සහ නොකියැවුණු සිදුවීම් ගණනාවකින් පිරුණු එකක් විය.

අයවැය දා පාන්දර පළාත් සභා ගේට්ටුව ළග පොලිස් මෙහෙයුමක් !  

ගුරු පත්වීම් සදහා බදවාගැනීමේදී පළාත් රාජ්‍ය සේවා කොමිසමෙන් තමන්ට අසාධාරණයක් සිදු වී ඇති බව පවසමින් මාස තුනකට වැඩි කාලයක් තිස්සේ පළාත් සභාව ඉදිරිපිට අඛණ්ඩ උපවාසයක යෙදී සිටි වයඹ උපාධිධාරී ගුරු විභාග සමතුන් රැදී සිටි තාවකාලික අට්ටාලය හෝ එම විරෝධතාකරුවන් පිරිස අද වනවිට එම ස්ථානයේ දක්නට නොලැබෙයි. තම ගැටඵවට විසදුමක් ලැබෙන තෙක් පළාත් සභාව ඉදිරිපිටින් නොනැගිටින බවට ශපථ කර සිටි ගුරු විභාග සමතුන් එතැනින් හිටි අඩියේ අතුරුදන්වීම පිළිබදව බොහෝදෙනෙකුට ඇත්තේ කුතුහලයකි. සත්‍ය වශයෙන්ම ගුරු සමතුන්ට පළාත් සභාව ඉදිරිපිටින් ඉවත්වන්නට සිදුවූයේ ඔවුන්ගේ ඉල්ලීම් දිනාගැනීමේ ප‍්‍රතිඵලයක් ලෙසට නොව පසුගියදා පැවැති අයවැය විවාදයේ බලපෑම හේතුවෙනි. අයවැයට පෙර දින දහවල් ගුරු සමතුන් පිරිස දෙවැනි වතාවටත් පළාත් සභා දොරටුව ආක‍්‍රමණය කළේ ආණ්ඩුකාර අමරා පියසීලි සමග පැවැති සාකච්ඡාවක් විසදුමකින් තොරවම අවසන්වීම හේතුවෙනි. ඒ හේතුවෙන් පළාත් සභා සංකීර්ණයේ පිවිසුම් දොරටුව සුපුරුදු ලෙසම ගේට්ටුව අවහිර වී ගිය අතර රාජකාරි කටයුතු සදහා පළාත් සභාවට සිටි පැමිණි මන්ත‍්‍රීවරුන් කිහිපදෙනෙකුම පළාත් සභාව තුළ නිවාස අඩස්සියට පත්ව සිටියහ. මන්ත‍්‍රී මොහාන් පෙරේරා, මන්ත‍්‍රී කමල් හේරත් සහ මන්ත‍්‍රී ඩී. බී. හේරත් තමන් පැමිණි වාහන පළාත් සභාවෙන් පිටකර ගැනීමට නොහැකිව අසරණව සිටියහ. මන්ත‍්‍රී මොහාන් පෙරේරා ගුරු සමතුන් වෙත ගොස් ඔවුන්ගේ ගැටඵවට විසදුමක් ලබාදීමට මැදිහත්වන්නට උත්සාහ කළ නමුත් ගුරු සමතුන්ගෙන් ඊට යහපත් ප‍්‍රතිචාරයක් පළනොවීම හේතුවෙන් මොහාන්ට පසුබාන්නට සිදුවිය. සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකුගේ මෙහෙයවීමෙන් යුතු පොලිස් කැරළි මර්දන කණ්ඩායමක්ද වයඹ පළාත් සභාව ඉදිරිපිට ස්ථාන ගත කර තිබූ නමුත් පැය දෙකකට ආසන්න කාලයක් එතැන රැදී සිටි පොලිස් බලඇණිය උපාධිධාරින් වෙත කිසිදු බලපෑමක් නොකරම ආපසු ගියහ. ඇදිරි වැටීගෙන ආ නමුත් පළාත් සභා දොරටුව ඉදිරිපිට වාඩි වී සිටින ගුරු සමතුන් එතැනින් ඉවත්වන බවක් පෙනෙන්නට නොවීම නිසා ඒ වනවිටත් ආණ්ඩුකාර කාර්යාලයේ රැදි සිටි ආණ්ඩුකාර පියසීලි ,ආණ්ඩුකාර නිල නිවස වෙත යැවීම පිණිස ආරක්ෂක නිලධාරින් විසින් විකල්පය සොයන්නට වූහ. පළාත් සභා පරිශ‍්‍රයට වාහන ඇතුලු කළ නොහැකි බැවින් යාබදව පිහිටි කුරුණෑගල මහනගර සභා භූමිය වෙත වෙනත් වාහනයක් ගෙනැවිත් ආණ්ඩුකාරවරිය ඊට නංවා පිටත් කර යැවීමට ආරක්ෂක නිලධාරිහු සමත්වූහ. නගර සභා භූමියෙහි නවතා තිබූ වාහනය වෙත යාම සදහා පළාත් සභා භූමිය සහ නගර සභා භූමිය වෙන්කෙරෙන වැටක්ද පසුකරමින් තරමක දුෂ්කර පරිශ‍්‍රමයක යෙදීමට ආණ්ඩුකාරවරියටද සිදුවිය. අනතුරුව පළාත් සභාව තුළ සිරවී සිටි මන්ත‍්‍රීවරුන් සහ නිලධාරින්ද ආණ්ඩුකාරවරිය අනුගමනය කරන්නට වූහ. පළාත් සභාව පිටුපස පිහිටි ශ‍්‍රවණාගාර දොරටුව වෙත ගෙන්වාගත් සිය හිතවතුන්ගේ වාහනවල නැගුණු මන්ත‍්‍රී තිදෙනා සිය නිවෙස් බලා පිටත්වූයේ ඔවුන් පැමිණි වාහන පළාත් සභා භූමියෙහි ගාල් කර තබමිනි. පළාත් සභාවේ නිලධාරින්ගෙන් ඇතැමෙක් වෙනත් වාහනවලිනුත්, තවත් සමහරෙක් කුලී රථවල පිහිටෙනුත් ගෙදර ගියහ. විරෝධය අඛණ්ඩවම පවත්වාගෙන ගිය ගුරු සමතුන් එදින රාත‍්‍රියද ගේට්ටුව ඉදිරිපිට ගත කරමින් පසුදින අඵයම වනතුරුම දොරටුව ඉදිරිපිට වාඩි වී සිටියහ. නමුත් පළාත් සභාවේ අයවැය ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ පසුදිනට හිරු උදාවීගෙන එද්දී එහි පැමිණි පොලිස් කැරළි මර්දන ඒකකයක් විසින් වැඩි සද්ද බද්ද නැතිවම ගුරු සමතුන් පිරිස පළාත් සභා දොරකඩින් පළවා හැර තිබිණි. ගුරු සමතුන් පළාත් සභා දොරකඩින් පළවා හැරියා පමණක් නොව ඔවුන් දින සියයකට වැඩි කාලයක් තිස්සේ රැදී සිටි අට්ටාලයද ගලවා ඉවත්කරමින් පළාත් සභා දොරටුවට සම්පූර්ණයෙන්ම ‘‘සුද්ද කරන්නට’’ පොලිසිය විසින් වගබලාගෙන තිබූ බවක් පෙණිනි. වයඹ මහජන නියෝජිතයින්ට නිරුපද්‍රිතව අයවැයට සහභාගිවීමට අවස්ථාව උදාකරදෙනු පිණිස ‘පාන්දර පොලිස් මෙහෙයුම’හරහා ගුරු සමතුන්ගෙන් පළාත් සභා දොරටුව මුදාගෙන තිබුණේ එලෙසිනි. අයවැය අවසන්වීමෙන් පසුව ගුරු සමතුන් විසින් පළාත් සභා දොරටුව අසලදී යළිත් අරගල කරන බවට ආරංචි පැතිර ගිය නමුත් පළාත් සභාව දොරටුව අසලින් අදටත් දැකගත හැක්කේ සාමකාමී තත්වයකි.

අයවැයේ රස කතා.

පොලිසිය යොදවා පළවා හැරීමෙන් පසුවත් ගුරු සමතුන් පිළිබද වයඹ පළාත් සභාවේ කතාබහ නැවතීමේ ලකුණු වැටුණු බවක් දැකගත නොහැකි විය. වෙනකක් තබා මහඇමැති ධර්මසිරි විසින් අයවැය ඉදිරිපත්කරන අතරතුරදීත් ගුරු සමතුන් පිළිබද අවස්ථා කිහිපයකදීම සිහිපත් කළේය. මහ ඇමැති ධර්මසිරි ඇතුලූ ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් ප‍්‍රමාද වී සභාවට පැමිණීම හේතුවෙන් අයවැය කෙටුම්පත ඉදිරිපත් කිරීමද නියමිත වේලාවට වඩා විනාඩි 45 කින් පමණ ප‍්‍රමාද විය. පෙරවරු 9.30 ට මහ ඇමැති ධර්මසිරි දසනායක විසින් පළාත් සභාව වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ නමුත් ප‍්‍රධාන අමාත්‍යවරයා හෝ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මැති ඇමැතිවරුන් කිසිවෙකුත් පෙරවරු 10.15 පමණ වනතෙක් සභාවේ අසුන්ගෙන නොසිටියහ. වයඹ පළාත් සභාවේ විපක්ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් සියලුදෙනාම පාහේ නියමිත වේලාවට පැමිණ සභාවේ අසුන්ගෙන සිටි අතර ඔවුහු පළාත් සභාවේ සභාපතිවරයා මූලාසනාරෑඪ වනතෙක් බලා සිටිනු දැකගත හැකි විය. පෙරවරු 10.10 වනතෙක් ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරු සභාවට නොපැමිණීම හේතුවෙන් සභාව ඇමැතූ විපක්ෂනායක ශමල් සෙනරත් කීවේ ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රිවරුන් අතර අභ්‍යන්තර අර්බුදයක් ඇත්නම් එය සභාවෙන් පිටතදී විසදාගත යුතු බවත්, ලක්ෂ විසිතුනක් පමණ වන වයඹ ජනතාවට බලපාන අයවැය ඉදිරිපත් කරන දිනයේදී සභාවට පැමිණීමට ප‍්‍රමාදවීම වැරදි ක‍්‍රියාවක් වන බවය. අනතුරුව නැගී සිටි ජනතා විමුක්ති පෙරමුණු මන්ත‍්‍රී නාමල් කරුණාරත්නද ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රිවරුන්ගේ ප‍්‍රමාදය පිළිබදව අප‍්‍රසාදය පළකළ අතර විපක්ෂ මන්ත‍්‍රිවරුන් සභාගැබෙන් ඉවත්වීමට සූදානම් වූ අවස්ථාවේදී වයඹ ප‍්‍රධාන අමාත්‍යවරයා ඇතුලු ආණ්ඩු පක්ෂ මැති ඇමැතිවරුන් සභාගැබට පිවිසියහ. අනතුරුව සභාපති ටිකිරි බණ්ඩා මූලාසනාරූඪවීමෙන් සභාව ආරම්භ වූ අතර අයවැය කියැවීම ආරම්භ කිරීමට පෙර ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන්ගේ ප‍්‍රමාදය පිළිබදව අදහස් දැක් වූ මහ ඇමැති ධර්මසිරි පෙරදින පළාත් සභාවේ ගේට්ටුව අවහිර කරමින් විරෝධතාවයේ යෙදුණු ගුරු සමතුන් එදිනත් ගේට්ටුව අවහිර කිරීමට සූදානමින් සිටින බව වාර්තාවීම නිසා, අයවැයට පැමිණි මැති ඇමැතිවරුන් අපහසුතාවයට පත්නොවනු පිණිස වැඩපිළිවෙලක් යෙදීම හේතුවෙන් සභාවට පැමිණීමට පමා වූ බව පැවසීය. ඉන් අනතුරුව පෙරවරු 10.30 ට පමණ අයවැය කියවීම ආරම්භ කළ මහ ඇමැති ධර්මසිරි පැය දෙකයි විනාඩි පහළොවක කාලයක් තිස්සේ ‘‘ආදර්ශමත් පළාත් සභාවක් – හරිත අනාගතයක ඇරඹුම’’යන මැයෙන් වූ 2017 වර්ෂය සදහා වූ අයවැය කෙටුම්පත පළාත් සභා රැස්වීම වෙත ඉදිරිපත් කළේය. මහ ඇමැති ධර්මසිරි අයවැය කියවාගෙන යද්දී කිහිප අවස්ථාවකදීම වැරදුණු අතර එහි දෝෂයත් ගුරු සමතුන්ගේ ගිණුමටම බැර කරමින් ධර්මසිරි කීවේ ගුරු සමතුන් විසින් පළාත් සභාවේ ගේට්ටු වසාගෙන උද්ඝෝෂණය කිරීම නිසා තමන්ට අයවැය ප‍්‍රකාශය කල්වේලා ඇතිව කියවා ගන්නටවත් අවස්ථාවක් නොලැබුණු බවය. ඔක්කොම කුණු බේරුවල බොක්කට කීවා සේ කළ නොකළ සියලු පාපයන්හි දොස් ගුරු සමතුන්ගේ ගිණුම්වලට බැරකෙරුණේ එලෙසිනි.
අයවැය විවාදය අතරතුරදී මන්ත‍්‍රීවරුන්ගේ පුටු කඩාවැටීමේ සිදුවීම් කිහිපයක්ම දැකගත විය. එජාප මන්ත‍්‍රීවරුන් වන අසංක පෙරේරා මෙන්ම අජිත් රෝහණගේ පුටු කඩාවැටීම හේතුවෙන් මන්ත‍්‍රීවරුන් බිම ඇදගෙන නොවැටී ගැලැවීගත්තේ අනූනවයෙනි. කඩාවැටුණු පුටු වෙනුවට මන්ත‍්‍රීවරුන්ට වෙනත් පුටු ලබාදීමටද සභා සේවකයින් කටයුතු කළහ. අයවැය පිළිබද දැනුවත්කිරීම පිණිස වයඹ පළාත් සභාවේ මන්ත‍්‍රීවරුන්ට නුවරඑළියේ හෝටලයකදී පැවැති දෙදින වැඩමුඵව පිළිබදවත් අයවැය විවාදය පුරාම අදහස් උදහස් පළවිය. කිංස්ලි ප‍්‍රනාන්දු, ‍ට්‍රෙවින් ප‍්‍රනාන්දු ඇතුලු මන්ත‍්‍රීවරුන් කිහිපදෙනෙකුම අදාළ වැඩමුඵව හරහා තමන්ට හොද දැනුමක් ලැබුණු බව කියමින් එය අගයකළ අතර තවත් මන්ත‍්‍රීවරයෙකු කීවේ තමන් නුවරඑළි වැඩමුලුවට සහභාගි වූයේ සීතලේ වෙවුලමින් ඒ වෙනුවෙන් මහත් කැපකිරීමක්ද කරමින් බවයි. පළාත් සභාව තුළ නිහ`ඩ චරිතයක් බවට පත්ව සිටින මන්ත‍්‍රී අශෝක වඩිගමංගාව අයවැය විවාදයේදී අදහස් දක්වමින් කිව්වේ ඉදිරියේදී ඉදිරියේදී පැවැත්වෙන මෙවැනි වැඩමුඵවලට ‘‘බදුලු යන්න ඕනේත් නෑ, නුවරඑළි යන්න ඕනේත් නැහැ. සල්ලි ටික නාස්ති නොකර කරන දෙයක් මෙහේ කරමු. ’’කියාය.
වයඹ පළාත් සභාවේ මන්ත‍්‍රීවරුන් සහ නිලධාරින් අතර ඇතිව තිබෙන සීතල යුද්දයට අඩුවැඩිය තව ටිකක් සපයමින් පළාත් සභා නිලධාරින්ගේ ක‍්‍රියාකලාපයන් පිළිබදව අයවැය අතරතුරදී මන්ත‍්‍රීවරුන් ගණනාවකගෙන් දැඩි විවේචන එල්ල විය. මහඇමැති ධර්මසිරි අයවැය ඉදිරිපත් කරන්නටත් පෙර නැගී සිටි ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රි සුමිත් රාජපක්ෂ, මුදල් ප‍්‍රකාශය කල්වේලා ඇතිව තමා වෙත නොලැබීම පිළිබදව සභා ලේකම්වරිය වෙත දෝස්මුරයක් දැම්මේය. මන්ත‍්‍රීවරුන් හෑල්ලු වන අයුරින් දිගින් දිගටම කටයුතු කිරිම පිළිබදව මන්ත‍්‍රී සුමිත් මෙහිදී සභා ලේකම්වරිය වෙත සුමිත් සිය අප‍්‍රසාදය පළකළේය. නිලධාරින් සම්බන්ධයෙන් පළාත් සභාවේ ඊළග බෝම්බය පත්තු කළේ මන්ත‍්‍රී පියුමාල් හේරත් විසිනි. පළාත් අධ්‍යාපන අමාත්‍යංශ වැය ශීර්ෂය විවාදයට ගත් අවස්ථාවේදී ආමත්‍යංශ ලේකම් කුමාරි වීරසේකර සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ජේ. ජී. එන්. තිලකරත්න දෙපළ වෙත දැඩි වාග් ප‍්‍රහාරයක් එල්ල කළ පියුමාල් ඔවුන්ගේ ක‍්‍රියාකලාපයන් දැඩි විවේචනයකට ලක්කළේය.එතැනින් නොනැවතුනු පියුමාල් අධ්‍යාපන අමාත්‍යංශ වැය ශීර්ෂයට ඡන්දය දීමෙන්ද වැළැකී සිටියේය.

ජොහාන්ගේ තනතුරට තට්ටු වෙයිද ?

වයඹ පළාත් සභාවේ අයවැය සභාවට ඉදිරිපත් කෙරුණු සහ ඒ පිළිබද විවාදය පැවැති දිනවලදී දැකගත හැකි වූ කැපීපෙනෙන කරුණක් වූයේ පළාත් සභාවේ මුල්පෙළ තනතුරක් වන ආණ්ඩු පක්ෂ ප‍්‍රධාන සංවිධායකවරයාගේ අඩුවය. 2013 වයඹ පළාත් සභා මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කරමින් මනාප ඡුන්ද 134423 දිනාගනිමින් සන්ධාන මනාප ලැයිස්තුවේ දෙවැනියා ලෙස වයඹ පළාත් සභාවට තේරී පත් වූ ජොහාන්ට වයඹ පළාත් සභාවේ තනතුරු පිරිනැමීමේදී ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක තනතුර හිමිවිය. මහින්ද රාජපක්ෂ පාලන සමයේදී ජොහාන් විසින් සක‍්‍රිය අයුරින් පළාත් සභා රැස්වීම් සදහා සිය දායකත්වය ලබාදුන් නමුත් ආණ්ඩු පෙරළියත් සමග පළාත් සභාව පිළිබද ජොහාන්ගේ ඇල්මද හීන වී ගිය බවක් දැකගත හැකි විය. මේ වනවිට මාස තුනකටත් වඩා වැඩි කාලයක් තිස්සේ වයඹ පළාත් සභා රැස්වීම්වලට අඛණ්ඩවම සහභාගි වී නොමැති ජොහාන් නොපැමිණීමේ අවසරය මත සභා රැස්වීම්වලට සහභාගිවීමෙන් වැළැකී සිටියි. අයවැය විවාදය දිනවලදීවත් ජොහාන්ගේ එම පිළිවෙත වෙනසක් නොවීම හේතුවෙන් විවාදය පැවැති එකම දිනයකදීවත් ජොහාන් සභාවේදී දැකගත නොහැකි විය. හිස්ව තිබූ ජොහාන්ගේ අසුනේ වගකීම් නොනිල වශයෙන් භාරගත් බවක් පෙණුනු මන්ත‍්‍රී බණ්ඩාර රාජපක්ෂ විසින් ආණ්ඩු පක්ෂ සංවිධායක තනතුරේ කාර්යභාරය ඉටුකරමින් සිටින අයුරුද පෙණිනි. ජොහාන් විසින් ඔහුගේ තනතුරේ වගකීම් පැහැරහැරීම පිළිබදව ආණ්ඩු පක්ෂයේ බහුතරයකගේ නොමනාපය පළව තිබූ අතර ඒ සියල්ල කැටිකරමින් අයවැය ඡන්ද විමසීම අවසානයේදී ප‍්‍රධාන අමාත්‍යවරයාගේ ස්තූති කතාවේදී ජොහාන් පිළිබදව ප‍්‍රතිචාර දක්වන්නට මහ ඇමැති ධර්මසිරි වගබලාගත්තේය. අයවැය දිනවලදීවත් සභාව පැත්ත පළාතක නොපැමිණි ආණ්ඩු පක්ෂ සංවිධායකවරයා ඔහුගේ වගකීම පැහැරහැර ඇති බවත්, ඔහුගේ ක‍්‍රියාකලාපය පිළිබදව තමන් කණගාටු වන බවත් ධර්මසිරි කීය. එබැවින් ආණ්ඩු පක්ෂයේ සෙසු මන්ත‍්‍රීවරුන් සමග සාකච්ඡා කර ජොහාන් පිළිබදව නුදුරේදීම තීන්දුවක් ගන්නා බවද ධර්මසිරි වැඩිදුරටත් කීවේය.

උපුටාගැනීම – මව්බිම පුවත්පත, 2016 දෙසැම්බර් 22 වැනි බ‍්‍රහස්පතින්දා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article