Thursday, March 28, 2024

අගමැතිගේ සැදෑ හමුවට වයඹ මහ ඇමැති බෑ කියයි !

Must read

ayg_2016_12_30

සුපිරි ඇමැති පනතින් මන්ත‍්‍රීවරුන්ගේ නිවාඩුවටත් තට්ටු වෙයි.

2017 සදහා වූ අයවැය කෙටුම්පත පසුගිය 09 වැනිදා සම්මත කරගැනීමෙන් අනතුරුව දෙසැම්බර් නිවාඩුව විවේකීව ගතකිරීමේ අරමුණෙන් යුතුව නිවෙස් බලා ගිය වයඹ පළාත් සභාව නියෝජනය කරන පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරුන්ට එම බලාපොරොත්තුව යම් තරමකින් කඩකර ගන්නට පසුගිය සතියේදී සිදුවිය. වයඹ පළාත් සභාව නැවත රැස්වන්නට සැලසුම් සකස් වී තිබුණේ එළැඹෙන නව වසරේ ජනවාරි තුන්වැනිදාට වූ නමුත් නිවාඩු ගන්වා තිබූ පළාත් සභාව ඊට දින කිහිපයකට පෙර හදිසියේම බලගන්වන්නට සිදු වූයේ රජය විසින් ගෙනඒමට සූදානම් වන සංවර්ධන විශේෂ විධිවිධාන පනත හෙවත් සුපිරි ඇමැති පනත හේතුවෙනි. ඒ අදාළ පනත පළාත් සභාවට ඉදිරිපත් කර ඊට වයඹ පළාත් සභාවේ අනුමැතිය ලබාගැනීම වෙනුවෙන් ඊයේ දිනයේදී හදිසි පළාත් සභා රැස්වීමක් කැදවා තිබීම හේතුවෙනි. පසුගිය සතිය පුරා ජාතික දේශපාලනයේ ප‍්‍රධානතම මාතෘකාව බවට පත්ව තිබූ සංවර්ධන විශේෂ විධිවිධාන පනත පිළිබදව රජයේ පාර්ශ්වවලින් දැක්වුණු අදහස්වලින් කියැවුණේ උක්ත පනත හේතුවෙන් වැඩිම ප‍්‍රතිලාභ අත්වන පළාත වයඹ පළාත වන බවටය. අදාළ පනත හරහා වයඹ පළාත් තුළ ක‍්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන ව්‍යාපෘති ගණනාවක්ද රාජ්‍ය මාධ්‍යයන් ඔස්සේ ප‍්‍රචාරය කෙරෙනු දැකගත හැකිවිය. ඒ අනුව කුරුණෑගල නගර සංවර්ධනය, හලාවත – කල්පිටිය සංචාරක කලාපය, පන්නල – කුලියාපිටිය කර්මාන්ත තීරය, ඉරණවිල – කල්පිටිය – මාදම්පේ – බිංගිරිය ආර්ථික හා සංචාරක කලාපය, පොල් වගාව සහ පොල් කර්මාන්ත නවීකරණය සහ සංවර්ධනය, වෙන්නප්පුව – බිංගිරිය ආශ‍්‍රිත සත්ව ගොවිපොළ නිෂ්පාදන අපනයනය, ධීවර අපනයනය, ධීවර වරාය ස්ථාපිත කිරීම ආර්ථික සහ සංචාරක කලාපය වන සංවර්ධන ව්‍යාපෘතින් වයඹ පළාත් සභාව සම්බන්ධ කරගනිමින් ක‍්‍රියාත්මක කිරීමට නියමිත බවද රජයේ පාර්ශ්වයන්ගෙන් කියැවිණි. අදාළ පනත මුල්කරගනිමින් පැනනැගී තිබූ ගැටඵ හේතුවෙන් ඒ පිළිබදව සාකච්ඡ කිරීම සදහා අගමැති රනිල් වික‍්‍රමසිංහ විසින් පසුගිය සිකුරාදා පස්වරුවේ සියලු පළාත් සභාවන්හි මහ ඇමැතිවරුන් අරලියගහ මන්දිරය වෙත කැදවා තිබිණි. නමුත් වයඹ මහ ඇමැති ධර්මසිරි දසනායක ඇතුලු මහ ඇමැතිවරුන් පස්දෙනෙකු අගමැතිවරයාගේ සැදෑ හමුව වර්ජනය කිරීමට කටයුතු කර තිබූ අතර අදාළ හමුවට සහභාගි වී තිබුණේ දකුණ, ඌව, නැගෙනහිර සහ බස්නාහිර මහ ඇමැතිවරුන් සිව්දෙනා පමණි. අගමැතිවරයාගේ උත්සාහය වතුරේ යවමින් පළාත් සභාවන්හි අනුමැතිය සදහා යොමුකළ සංවර්ධන විශේෂ විධිවිධාන පනත පසුගිය සතිය පුරාම පළාත් සභාවලින් ප‍්‍රතික්ෂේප වූ අතර වයඹ පළාත් සභාව පෙරේදා දිනයේදී හදිසියේ රැස්වූයේ සෙසු පළාත් සභාවලින් තරගයට මෙන් එම පනත ප‍්‍රතික්ෂේප කරමින් සිටින පසුබිමෙකවීමද විශේෂත්වයකි. මෙම සටහන ලියැවෙන අගහරුවාදා වන විට එම පනත උතුර, උතුරුමැද, සබරගමුව, දකුණ ඇතුලු පළාත් සභා ගණනාවකින් එම පනත ප‍්‍රතික්ෂේප වී තිබිණි. ඉකුත් අගහරුවාදා පස්වරුවේ පැවැති වයඹ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී ඒතමතිකව තීන්දු වී තිබුණේ සෙසු පළාත් සභාවලට අනුව යමින් මෙම පනත වයඹදීත් පරාජයට පත්කිරීමටය. ඒ අනුව සුපිරි ඇමැතිවරයෙක් නිර්මාණය කිරීමට පාර කැපෙන බව කියන සංවර්ධන විශේෂ විධිවිධාන පනත පිළිබදව වයඹ පළාත් සභාවේ ඉරණම ඊයේ දිනයේදී ලියැවීමට නියමිතව තිබිණි. (පළාත් සභාවේ අනුමැතිය ලබාගැනීමේ අපේක්ෂාවෙන් මධ්‍යම රජය විසින් වයඹ පළාත් සභාව වෙත එවා තිබූ සංවර්ධන විශේෂ විධිවිධාන පනත වැඩි ඡන්ද 20 කින් පරාජයට පත් විය.)

පළාත් සභා ආදායම් වියදම් ගැන නි. ඇමැතිගෙන් හෙළිදරව්වක්.

සංවර්ධන විශේෂ විධිවිධාන පනත මුල්කරගනිමින් රජය සහ පළාත් සභාවන් අතර ගැටුමක් නිර්මාණය වන ලකුණු පහළවෙමින් තිබියදී මධ්‍යම රජයේ කොටස්කරුවෙකු වන ප‍්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පළාත් සභාවන්වල ආදායම් වියදම් පිළිබදව කට ඇරියේ පසුගිය සදුදාය. ඒ එදින කුරුණෑගලදී පැවැති මාධ්‍ය හමුවකදීය. ප‍්‍රවාහන අමාත්‍යංශයේ ඉදිරි සංවර්ධන වැඩසටහන් ගැන සාකච්ඡා කිරීම පිණිස කැදවා තිබූ මෙම ප‍්‍රවෘත්ති සාකච්ඡාවේදී සංවර්ධන විශේෂ විධිවිධාන පනත ගැනත් අදහසක් දැක්වීමට අශෝක් අමතක නොකළේය. එම පනත ගෙනඒමේ අරමුණ පළාත් සභා රටේ සංවර්ධනයට දායක කරගැනීම වන බව අශෝක් කීය. පසුගිය වසරේදී පළාත් සභා නවයේම ආදායම රුපියල් කෝටි 6600 ක් වන නමුත් සමස්ත වියදම රුපියල් කෝටි 27100 ක් වන බවත් , වාර්ෂිකව රුපියල් කෝටි 21000 ක මුදලක් මධ්‍යම රජයෙන් ලබා නොදුන්නහොත් පළාත් සභාවන් පවත්වාගෙන යා නොහැකි තත්වයක් මතුවන බවත් අශෝක්ගෙන් කියැවිණි. අශෝක්ගේ අදහස් දැක්වීම අවසානයේදී මාධ්‍යවේදියෙකු ඇසුවේ පළාත් සභා නවයෙන්ම විශේෂ විධිවිධාන පනත ප‍්‍රතික්ෂේප කළහොත් රජය විසින් කුමන පියවරක් ගන්නේදැයි කියාය. ඊට පිළිතුරු දෙමින් අශෝක් කිව්වේ තරමක අමුතු කතාවකි. ‘‘පළාත් සභාවලට සල්ලිත් නැත්නම් මධ්‍යම රජයත් එක්ක සහයෝගයෙන් වැඩ නොකර, මධ්‍යම රජය ගෙනෙන පනත් සම්මත කරන්නේ නැතුව ඉදිරියට යන්නේ කොහොමද? වයඹ පළාත් සභාවේ ගිය අවුරුද්දේ අදායම කෝටි 575 යි. වියදම කෝටි 2660 යි. එතකොට වයඹ පළාත් සභාවට මේ සල්ලි ටික මධ්‍යම ආණ්ඩුවෙන් දුන්නේ නැත්නම් පළාත් සභාව කොහොමද ඉදිරියට අරගෙන යන්නේ ? මම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් එක්ක කතා කළා. ඒ සමහර අය මේකට කැමැතියි. මම හිතන්නේ ජනාධිපතිතුමත් මේ පනතට කැමැතියි. කැබිනට් මණ්ඩලයේදී මේක අනුමත වුණා කියන්නේ කැබිනට් මණ්ඩලයේ ඉන්න ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන සමස්ත ඇමැති මණ්ඩලයම එකතුවෙලා තමයි මේක අනුමත කරන්නේ. නොදන්නාකමට තමයි පළාත් සභාවලින් මේ පනතට අකමැති වෙන්නේ. මම හිතන විදිහට මේවා නැවත පළාත් සභාවලට ඉදිරිපත් වෙයි. ජනාධිපතිතුමාගේ උපදෙස් මත මේ පනත අනුමත වෙයි. සමහර විට මහ ඇමැතිවරු හිතනවා ඇති මේකෙන් තමන්ගේ බලය ගිලිහෙයි කියලා. නමුත් එහෙම හිතන ප‍්‍රධාන ඇමැතිවරු කල්පනා කරන්නේ නැහැ තමන්ට මධ්‍යම ආණ්ඩුවේ උදව් නැතිව පළාත් සභාවක් ගෙනියන්න පුඵවන් වෙයිද කියලා. මධ්‍යම ආණ්ඩුවෙන් සල්ලි දුන්නේ නැත්නම් මහ ඇමැතිතුමා නිකම්ම නිකම් රූකඩයක් බවට පත්වෙයි. ’’නියෝජ්‍ය ඇමැති අශෝක් සිය අදහස් දැක්වීම එලෙස අවසන් කළේ පළාත්සභා වෙත කරන අනතුරු ඇගවීමක ස්වරයෙන්දැයි, එසේත් නැතිනම් අනාවැකියක ස්වභාවයෙන්දැයි දැනගැනීමට තවත් ටික කාලයක් ගතවෙනු ඇත.

ජවිපෙ මන්ත‍්‍රීගෙන් කඩාපැනීමේ හමුදාවක් !

වයඹ පළාත් සභාවේ ජවිපෙ මන්ත‍්‍රී නාමල් කරුණාරත්න මේ දිනවල ගෙවාදමමින් ඉන්නේ දැඩි අවිවේකී කාල සීමාවකි. අලි කොරිඩෝව, පොහොර සහනාධාර නොලැබීම , බිත්තර වී හිගය, රටින් හාල් ගෙන්වීම, ජල හිගය ආදි පෙරමුණු කිහිපයක් ඔස්සේ රජයට එරෙහිව සටන් මෙහෙයවමින් සිටින මන්ත‍්‍රී නාමල් ඉකුත් සතියේදී තවත් අඵත් කර්තව්‍යයකට අත ගැසුවේය. සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සාමාජිකයින් සහ කුඩා පරිමාණ වී මෝල් හිමියන්ගෙන් සැදුම්ලත් කඩාපැනීමේ හමුදාවක් නිර්මාණය කරගත් නාමල් කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ඇති වී අලෙවි මණ්ඩලයට අයත් වී ගබඩා වැටලීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබේ. නාමල් ඇතුලු කඩාපැනීමේ හමුදාවේ පළමු මෙහෙයුම පසුගිය සිකුරාදා දියත්වුයේ මීගලෑව රජයේ වී ගබඩාව ඉලක්ක කරගනිමිනි. නාමල් ඇතුලු පිරිසගේ චෝදනාව වූයේ රජයේ වී ගබඩාවලින් නිකුත් කරන වී තොග මහා පරිමාණ හාල් මෝල් හිමියන් වෙත නිකුත් කර, ඔවුන් හරහා කුඩා පරිමාණ මෝල් හිමියන් වෙත ලැබීමට සැලැස්වීමෙන් සුවිශාල කොමිස් මුදලක් උපයාගැනීමට මහා පරිමාණ මෝල් හිමියන්ට අවස්ථාව උදාකර දී ඇති බවය. කුරුණෑගල වී තොග පොළොන්නරුවේ සහල් ව්‍යාපාරිකයින් අතට පත්නොකර දිස්ත‍්‍රික්කයේම කුඩා පරිමාණ මෝල් හිමියන් වෙත ලබාදිය යුතු බව නාමල් ඇතුලු පිරිසගේ තර්කය වී තිබිණි. පිරිසගේ විරෝධය හේතුවෙන් මීගලෑව ගබඩාවෙන් වී ගෙනයාමට පැමිණි ලොරි කිහිපයකටම ආපසු හැරී යන්නට සිදුවිය. කඩාපැනීමේ හමුදාවේ දෙවැනි මෙහෙයුම පසුගිය සදුදා දියත් කෙරුණු අතර එහිදී නාමල් ඇතුලු පිරිස එහිදී ආක‍්‍රමණය කළේ මහව රජයේ වී ගබඩාවය. නාමල් ඇතුලු පිරිස දැක් වූ විරෝධය හමුවේ එම වී ගබඩාවෙන් වී තොග නිකුත් කිරීම අත්හිටුවන්නටද නිලධාරින්ට සිදුවිය. මාඑළිය, දාගම පිහිටි රජයේ වී ගබඩාවෙන්ද මහා පරිමාණ වී මෝල් හිමියන් වෙත වී තොග නිකුත්කෙරෙන බව සැලවීම හේතුවෙන් නාමල්ගේ කඩාපැනීමේ හමුදාව එහි යන්නට සැලසුම් කරගෙන තිබුණේ පසුගිය අගහරුවාදාය. නමුත් මීගලෑවේදී සහ මහවදී ඇති වූ කලබගෑනි හේතුවෙන්දෝ පසුගිය ‍අගහරුවාදා උදෑසන වන විට දාගම වී ගඩඩාවෙන් වී නිකුත්කිරීමද නිලධාරින් විසින් අත්හිටුවා තිබිණි. වී නිකුත්කිරීමේ ගැටඵව පිළිබදව සාකච්ඡා කිරීම සදහා නාමල් ඇතුලු පිරිස කොළඹ පිහිටි වී අලෙවි මණ්ඩලයේ ප‍්‍රධාන කාර්යාලය වෙත ගොස් මහා කලබලයක් කළේ පසුගිය බදාදාය.

පොහොට්ටුවේ කට්ටියට පොහොට්ටුවෙන්ම පිළිගැනීමක්.

ලාංකීය දේශපාලනය තුළ දේශපාලන පක්ෂ විසින් තම පක්ෂ සළකුණ ලෙස යොදාගන්නා සංඛේතවලට එක් එක් කාලවලදී සුවිශේෂි වටිනාකම් ලැබෙන බව නොරහසකි. ජේ. ආර්. ජයවර්ධන පාලන සමයේ පැවැති ජනමත විචාරණයේදී ලාම්පු සහ කළගෙඩිවලට ලැබුණු විටිනාකම ගැන පැරුන්නෝ තවමත් සිහිකරති. බුලත් කොළය සළකුණ කරගනිමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය කළඑළි බැසීමත් සමග බුලත් ගොවීන්ගේ අතමිට සරු වූ බවට එකල මාධ්‍ය වාර්තා පළවිය. මක්නිසාද යත් එක්සත් ජනතා නිදහස් සන්ධානය මුහුණ දුන් මුල් මැතිවරණවලට තරග කළ අපේක්ෂකයින් විසින් ඡන්ද දායකයින් වෙත බුලත් කොළයක් පිරිනමා මනාපයක් ඉල්ලීමේ ක‍්‍රමවේදයක් අනුගමනය කරමින් ගිය බැවිනි. නමුත් කල්ගතවීමත් සමග මැතිවරණ ආශ‍්‍රිතව කළඑළි දුටු දන්සැල්, ත්‍යාග, සන්තෝෂම් පිරිනැමීමේ සංස්කෘතියත් සමග බුලත සමග පැවැති සබදතාවයන්ද අඩු වී ගිය බව පෙණිනි. කෙසේවෙතත් ඒකාබද්ධ විපක්ෂයේ මෙහෙයවීමෙන් මෑතකදී එළි දුටු ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආගමනයත් සමග මල් පොහොට්ටුවලටද ඉදිරි දේශපාලන පොරපිටියේදී තුළ සිවිශේෂි තැනක් හිමිවනු ඇති බවට පෙරමග ලකුණු මේ වන විට පහළවෙමින් තිබේ. එහි ආසන්නතම උදාහරණය පසුගිය සදුදා කුරුණෑගල උඩවල්පොළ ප‍්‍රදේශයේදී දැකගත හැකිවිය. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ග‍්‍රාමීය කමිටු පිහිටුවීමේ වැඩපිළිවෙල යටතේ උඩවල්පොල ග‍්‍රාමීය කමිටුව පිහිටුවීම සදහා ප‍්‍රදේශයේ ප‍්‍රජා ශාලාවකදී රැස්වීමක් සංවිධානය වී තිබුණේ එදින පස්වරුවේදීය. කුරුණෑගල හිටපු නාගරික මන්ත‍්‍රී සුමිත් උඩවාසල විසින් සංවිධානය කර තිබූ රැස්වීමට අස්වැද්දුම අභිවනවාරාමාධිපති එළවිටිගම සෝමානන්ද හිමියන් සහ වයඹ පළාත් සභා මන්ත‍්‍රීවරුන් වන ඩී. බී හේරත් සහ අසංක නවරත්න ඇතුලු පිරිසක් ආරාධිතයින් ලෙස සහභාගි වී සිටියහ. තම ඇරැයුමින් රැස්වීම සදහා සපැමිණි ආරාධිත මන්ත‍්‍රීවරුන් හිටපු මන්ත‍්‍රී සුමිත් විසින් පිළිගනු ලැබුවේ තරමක වෙනස් ආකාරයකටය. සාමාන්‍යයෙන් කෙනෙකු පිළිගැනීමේදී දෝතට දෙන බුලත් හුරුල්ල වෙනුවට සුමිත් විසින් ආරාධිතයින් අතට එදින පත්කළේ නෙලූම් මල් පොහොට්ටු පොකුරකි. සුමිත්ගේ මල් පොහොට්ටු මිටිය දෝතින් පිළිගත් ආරාධිතයින් උත්සව සභාවේ අසුන්ගැනීමෙන් අනතුරුව එහි කටයුතු ආරම්භ කෙරිණි.

උපුටාගැනීම – මව්බිම පුවත්පත, 2016 දෙසැම්බර් 30 වැනි බ‍්‍රහස්පතින්දා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article