Tuesday, April 16, 2024

සත්ව ආහාරවලට දුන් විස සහල් නැවත වෙළදපොළේ !

Must read

rice_press

මිනිස් පරිභෝජනයට නුසුදුසු බව තහවුරු කරගැනීමෙන් අනතුරුව සත්ව ආහාර සදහා අලෙවිකර තිබූ වස විස යෙදූ සහල් තොගයක් නැවත වෙළදපොළට නිකුත් වී ඇති බැවින් සහල් මිලදී ගැනීමේදී කල්පනාකාරී වන ලෙස සමස්ත ලංකා සුඵ සහ මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ගේ සංගමය සහ සමස්ත ලංකා ගොවිජන සම්මේලනය ජනතාවට අනතුරු අගවති.

ඔවුන් මෙම අනතුරු ඇගවීම කළේ ඊයේ (31 දා ) කුරුණෑගලදී පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී අදහස් දැක් වූ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා , 2014 දී ඉන්දියාවෙන් ආනයනය කෙරුණු මෙටි‍්‍රක් ටොන් 50000 ක් පමණ වන මෙම සහල් තොගය මිනිස් පරිභෝජනයට නුසුදුසු බවට තහවුරුවීම හේතුවෙන් වෙළදපොලට නිකුත් නොකෙරුණු බවත්, එම සහල් තොගය කිලෝවක් රුපියල් 38 බැගින් සත්ව ආහාර සදහා අලෙවි කිරීමට එවක පැවැති රජය කටයුතු කළ බවද පැවසීය. එම සහල් තොග මිලදීගත් පුද්ගලයින් ඒවාට රසායනික ද්‍රව්‍ය යොදා ගබඩා කරගෙන ඇති බවත්, ඉදිරි දිනවලදී රජය විසින් සහල් ආනයනය කිරීමට සූදානම්වීමත් සමග විස සහිත සහල් තොග නව ඇසුරුම් සහිතව වෙළදපොළට නිකුත් කර ඇති බවද හෙතෙම පැවසීය. පිටකොටුව ප‍්‍රදේශයේ සහල් අලෙවිසැල්වලින් මිනිස් පරිභෝජනයට නුසුදුසු මෙම සහල් කිලෝවක් රුපියල් 75 බැගින් මහජනතාව වෙත අලෙවි කරමින් සිටින බවද ඒ මහතා පැවසීය. රටපුරා විසිරී සිටින කුඩා සහ මධ්‍යම පරිමාණ මෝල් හිමියන් හරහා වස විස නැති සහල් වෙළදපොළට නිකුත්කර සහල් මිල පාලනය කිරීමේ වගකීම සහ කුඩා මෝල් හිමියන් සහ පාරිභෝගික ජනතාව ආරක්ෂා කිරීමේ වගකීමත් ආණ්ඩුව භාරගත යුතු බවද කරුණාරත්න මහතා කීය.

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක් වූ සමස්ත ලංකා සුඵ සහ මධ්‍යම පරිමාණ මෝල් හිමියන්ගේ සංගමයේ ලේකම් ජී. ඩී. එස්. සෝමචන්ද්‍ර මහතා, වසර එකහමාරකට වැඩි කාලයක් පැරණි සහල් මේ වන විට වෙළදපොළට නිකුත් වී ඇති නමුත්, ඒවා අද ඊයේ කොටන ලද සහල්වල පෙනුමෙන් පැවතීමට සහ ගුල්ලන් වැනි කෘමි සතුන්ගෙන් හානි නොවී පැවතීමට හේතු වී ඇත්තේ එම සහල්වලට එකතු කර ඇති රසායනික ද්‍රව්‍යවල බලපෑම බව පැවසීය. මෙම සහල්වලින් පිසූ බත් ආහාරයට ගැනීමෙන් උදරයේ දැවිල්ලක් වැනි තත්වයක් හටගන්නා බවත් එය තවත් රෝගාබාධ රැසකට හේතුවන බවද හෙතෙම පැවසීය. එබැවින් වෙළදපොළ වෙත මෙවැනි වස විස සහිත සහල් වර්ග පැමිණීම වැළැක්වීම සදහා පාරිභෝගික ජනතාව වෙනුවෙන් ස්ථාපනය කර ඇති පාරිභෝගික අධිකාරිය වැනි ආයතනවලට විශාල වගකීමක් පවතින බවද සෝමචන්ද්‍ර මහතා පැවසීය.

අදාළ මාධ්‍ය හමුවේ වීඩියෝ දර්ශණ පහත දැක්වෙයි.


- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article