Thursday, March 28, 2024

ජොහාන් ඉවත්කිරීමත් මෛත‍්‍රීගේ වැඩක්ලු !

Must read

ayg_2017_01_06

දිවයිනේ සෙසු පළාත් සභාවන් විසින් එළැඹි තීන්දුවට වයඹදීත් කිසිදු වෙනසක් නොකරමින්, වයඹ පළාත් සභාව වෙත පසුගිය බදාදා ඉදිරිපත් කෙරුණු සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් පරාජයට පත් විය. අදාල පනත් කෙටුම්පත උතුරු පළාත් සභාවේදී විවාදයට නොගෙනම ඉවත දැමුණු නමුත්, සබරගමුවේදී විවාදයකින් තොරවම පරාජය කෙරුණු නමුත්, මධ්‍යම පළාත් සභාවේදී විපක්ෂය නැගිට ගිය නමුත්, පනත සභාවට ඉදිරිපත් වූ අවස්ථාවේදී ඒ සියලු පළාත් සභාවලට වඩා වෙනස් ප‍්‍රතිචාරයක් දක්වමින් විශේෂ විධිවිධාන පනත පිළිබදව දීර්ඝතම විවාදය කළ පළාත් සභාව ලෙසට වයඹ පළාත් සභාව විසින් නව වාර්තාවක් පිහිටුවීමටද සමත්විය. මහ ඇමැති ධර්මසිරි දසනායක විසින් සභාවට ඉදිරිපත් කරනු ලැබූ පනත් කෙටුම්පතට පක්ෂව සහ විපක්ෂව මන්ත‍්‍රීවරුන් ගණනාවක් අදහස් දැක්වීම හේතුවෙන් ඒ පිළිබද විවාදය පැය පහකටත් වැඩි කාලයක් දක්වා දිග්ගැස්සණි. පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරුන් අතර ඇති වූ උණුසුම් වචන හුවමාරුවලින්ද විවාදය පුරාම අඩුවක් නොවූ අතර ‘‘ගොනා, බූරුවා’’වැනි සුපුරුදු වචනද මන්ත‍්‍රීන්ගේ මුවින් නොඅඩුව පිටවෙනු ඇසිණි. විපක්ෂ මන්ත‍්‍රී එම්. එස්. පෙරේරා ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන්ගේ අදහස් දැක්වීම්වලට කිහිපවතාවකදීම බාධාකිරීම ආණ්ඩු පක්ෂයේ නොසතුටට හේතු වී තිබිණි. ඒ නිසාම ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රී සමන්ප‍්‍රිය හේරත් විසින් එක් අවස්ථාවකදී ‘‘බූරුවෙක් වගේ තප්පුලන්නනේ නැතිව අහගන්නවා ’’යැයි මන්ත‍්‍රී පෙරේරා වෙත ගර්ජනයක්ද කළේය. ඇමැති සන්ධ්‍ය රාජපක්ෂ අදහස් දක්වමින් සිටියදීත් මන්ත‍්‍රී පෙරේරා විසින් කී යමක් සන්ධ්‍යගේ කෝපය අවුස්සන්නට සමත් වූ අතර ‘‘මෙතැන වෙළෙන්දෙක් වගේ හැසිරෙන්නේ නැතිව මන්ත‍්‍රීවරයෙක් වගේ හැසිරෙන්න ඉගෙන ගන්නවා ’’යැයි කියමින් සන්ධ්‍යද පෙරේරා වෙත දෝස්මුරයක් දැම්මේය. වයඹ සභාවේ කවියා බවට පත්ව සිටින ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රී ආනන්ද චන්ද්‍රලාල් විසින් සුපුරුදු ලෙසම කවි පන්තියකින් පනත පිළිබදව සිය අදහස් උදහස් දැක් වූ අතර මන්ත‍්‍රී පාලිත රෝහණ විරෝධය ප‍්‍රදර්ශණය කළේ ඔහු අත තිබූ සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ඉරාදමමිනි. ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් විසින් තම කටගැස්ම බවට පත්කරගෙන සිටින විපක්ෂ මන්ත‍්‍රී අජිත් රෝහණ විවාදයේදී අදහස් දක්වමින් සිටියදී සභා ගැබ සිනාහඩින් පිරී ගියේය. ඒ ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන්ගෙන් අජිත් වෙත දිගින් දිගටම එල්ල කළ උසුඵ විසුඵ හේතුවෙනි. ආණ්ඩු පක්ෂයෙන් එල්ල වූ බාධා නොතකමින් අදහස් දැක් වූ අජිත් සිය කතාව අවසානයේදී සභාවම තවත් වරක් සිනහවේ ගිල්ලවමින් පැවසුවේ ‘‘මේ පනත සම්මත වුණා කියලා ඔබතුමාලට ලැබෙන කාර් පර්මිට් එක නැතිවෙන්නේ නෑ කියලා ඔය කෑ ගහන ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන්ට මම කියන්න කැමැතියි. ’’කියාය. පස්වැනි පළාත් සභාව දක්වා වූ වයඹ පළාත් සභා ඉතිහාසය තුළ පුමුඛතම සහ සක‍්‍රිය චරිතයක්ව සිටි නමුත්, වත්මන් පළාත් සභාව තුළ අතිශය නිහඩ චරිතයක් බවට පත්ව සිටින හිටපු ප‍්‍රධාන අමාත්‍ය අතුල විජේසිංහද සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත පිළිබද විවාදයේදී අදහස් දැක්වීම සුවිශේෂ සිදුවීමක් විය. ප‍්‍රධාන අමාත්‍යවරයා ලෙස තමන් ලැබූ දිගු කාලීන අත්දැකීම්ද පදනම් කරගනිමින් අතුල විසින් සංවර්ධන විශේෂ විධිවිධාන පනතේ අහිතකර බලපෑම් පිළිබදව දීර්ඝ විග‍්‍රහයක් කළේය. ප‍්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කරද්දී මහින්ද රාජපක්ෂ පාලන සමයේදී තමන් විදි කටුක අත්දැකීම් පිළිබදවත් සිහිකරන්නටද අතුල අමතක නොකළේය. ‘‘මම මහ ඇමැතිකම කරන කාලයේදීත් මේ වගේම පනතක් පළාත් සභාවලට ආවා. මමත්, බර්ටි දිසානායකත් ඒකට විරුද්ධ වුණා. ඒකේ ප‍්‍රතිඵලය වුණේ මමත් බර්ටිත් රාජ උදහසට ලක්වීමයි. ඒ නිසාම විදවලා විදවලා බර්ටි නම් මැරිලා ගියා. මම අදටත් විදවමින් ඉන්නවා. ’’අතුල කීය. ප‍්‍රධාන අමාත්‍යවරයාගේ පිළිතුරු කතාව කිරීමට නැගී සිටි මහ ඇමැති ධර්මසිරි පනත පිළිබදව අදහස් දැක්වීමට පෙර සභාපති ටිකිරි බණ්ඩා වෙත දෝස්මුරයක් එල්ල කළේ පළාත් සභාවේ විවාද සදහා වෙන්කරන වේලාව නිසි පරිදි කළමණාකරනය කර නොගැනීම පිළිබදවය. සභා රැස්වීම රබර් එක වගේ ඇදීම හේතුවෙන් ප‍්‍රධාන අමාත්‍යවරයා ලෙස එදින පස්වරුවේ තමන් සහභාගිවිය යුතුව තිබූ උත්සව, අවමගුල් සහ රාජකාරි අවස්ථා ගණනාවක් මගහැරුණු බවට ධර්මසිරි ආඩපාලි කීවේය. පමාවේ දෝෂයත් මන්ත‍්‍රීවරුන් පිට පටවමින් සභාපති ටිකිරි බණ්ඩා ඇග බේරාගැනීමට උත්සහ කළ නමුත් එක් එක් අයට චෝදනා නොකර නියමිත වේලාවට සභාව ආරම්භ කිරීම සහ පවත්වාගෙනයාම සභාපතිවරයාගේ වගකීම බව කී මහ ඇමැති ධර්මසිරි සභාපති තනතුරේ වගකීම සහ බලතල පිළිබදව ටිකිරි බණ්ඩා වෙත මතක් කරදෙන්නටද වගබලා ගත්තේය.

ගහෙන් වැටුණු ජොහාන්ට ගෝලයොත් අණිති.

පසුගිය දෙසැම්බර් 22 වැනිදා අඵ යට ගිනි පිටුවෙන් කළ තවත් අනාවැකිය සැබෑ කරවමින් ජොහාන් ප‍්‍රනාන්දු වයඹ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ සංවිධායක තනතුරින් පහකිරීම බදදා පැවති පළාත් සභා රැස්වීමේදී නිල වශයෙන් ප‍්‍රකාශයට පත්කෙරුණු අතර ආණ්ඩු පක්ෂයේ සංවිධායක තනතුර මන්ත‍්‍රී බණ්ඩාර රාජපක්ෂට හිමිවිය. මාස තුනකට වැඩි කාලයක් තිස්සේ වයඹ පළාත් සභා රැස්වීම්වලට අඛණ්ඩවම සහභාගි වී නොමැති ජොහාන් පසුගියදා අවසන් වූ වයඹ පළාත් සභාවේ අය – වැය විවාදයට හෝ සහභාගි නොවීම සැලකිල්ලට ගනිමින් ඔහුව ආණ්ඩු පක්ෂ සංවිධායක තනතුරින් ඉවත්කිරීමට ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් කණ්ඩායම් රැස්වීමේදී ඒකමතිකව තීරණය කර තිබිණි. ජොහාන් ඉවත් කිරීම සදහා කණ්ඩායම් රැස්වීමට ඉදිරිපත් වූ යෝජනාවට මහින්ද, මෛත‍්‍රී පිල් භේදයකින් තොරව සියලු ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් සහය පළකර ඇති අතර ඒ කිසිවෙකුත් ජොහාන් වෙනුවෙන් වචනයක් හෝ කතා කිරීමට ඉදිරිපත් වී නැත්තේ ජොහාන්ගේ වෙත පැවරුණු වගකීම පැහැරහැරීම පිළිබද ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් අතර බලවත් විරෝධයක් ගොඩනැගී තිබීම හේතුවෙන් බව කියැවෙයි. මැදිහත් සිතින් බලන්නෙකුට නම් තනතුර අහිමිකර ගැනීම ජොහාන් විසින් විහින් කරගත් දෙයක් ලෙස පෙනෙන නමුත් ඇතැම් ජොහාන් හිතවාදීහු එම සිදුවීමේ බරපැනත් ජනපති මෛත‍්‍රීගේ ගිණුමටම බැරකරන්නට උත්සහ කරනු දැකගත හැකි විය. ෆේස්බුක් වෙබ් අඩවිය හරහා මුදාහළ අදහස් ඔස්සේ හිටපු ජනපති මහින්ද විසින් ජොහාන්ට පිරිනැමූ තනතුර මෛත‍්‍රී විසින් ආපසු උදුරාගත් බව කියැවෙන ප‍්‍රචාරයක් දියත් කිරීමටද එම පිරිස් විසින් කටයුතු කර තිබිණි. ඇතැම් විට එවැනි ප‍්‍රචාරයක් හරහා කලෙකට පෙර පළාත් සභා ඇමැතිකම අහිමි වූ ඩී. බී. හේරත්ට හිමි වූ ජනප‍්‍රියතාවය වැනි අමතර ‘‘බෝනස් එකක් ’’ ජොහාන් වෙතද ලබාදෙන්නට ජොහාන්ගේ ගෝලබාලයින් අපේක්ෂා කරන්නට ඇති නමුත් ජොහාන්ගේ තනතුර අහෝසිවීමට මෛත‍්‍රීගේ නම ගෑවීම තුළ සිදුව තිබුණේ ජොහාන් තවදුරටත් සමාජය ඉදිරියේ හෑල්ලුවීම පමණි. මුහුණුපොතේ පළ වූ අදහස් උදහස් ඒ බව අපූරුවට කියාපෑවේය. ජොහාන් පිළිබදව පෙර පළවූ ප‍්‍රවෘත්ති වාර්තා හරහා දැනුවත්වීමෙන් ජොහාන් පළාත් සභාව මගහරිමින් සිටින බව වයඹ ජනතාවගෙන් වැඩි දෙනෙකුට රහසක් නොවීය. එවැනි සාධාරණ හේතු මත ජොහාන්ගේ තනතුර අහෝසි වී ගිය කලෙක එයත් මෛත‍්‍රීගේ ගිණුමට බැරකර තිබීම පිළිබදව දැනගත් බොහෝ දෙනෙකුට එය සිනහවකට නිමිත්තක් වී තිබිණි. මක්නිසාද යත් ජොහාන්ගේ ගෝලබාලයින්ට අනුව මෛත‍්‍රී විසින් උදුරාගත් බව කියන ආණ්ඩු පක්ෂයේ සංවිධායක තනතුර නැවත පිරිනමා තිබුණේ පළාත් සභාව තුළ තවත් මහින්දවාදියෙකු ලෙසට ලේබල් වී සිටින මන්ත‍්‍රී බණ්ඩාර රාජපක්ෂට වීම හේතුවෙනි.

31 දා රෑ නාමල් වස විස හාල් කරළියට ගෙනෙයි.

මිනිස් පරිභෝජනයට නුසුදුසු බව තහවුරු කරගැනීමෙන් අනතුරුව සත්ව ආහාර සදහා අලෙවිකළ වස විස යෙදූ සහල් තොගයක් නැවත වෙළදපොළට නිකුත් වී ඇති බවට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක, වයඹ පළාත් සභා මන්ත‍්‍රී නාමල් කරුණාරත්න විසින් කළ හෙළිදරව්වක් පසුගිය සෙනසුරාදා කළ හෙළිදරව්වක් රට තුළ යම් කැළඹීමක් ඇතිකරන්නට සමත් විය. නාමල් විසින් මෙම අනතුරු ඇගවීම කළේ 2017 නව වසර ලබන්නට දෙතුන් පැයක් පමණක් ඉතිරිව තිබූ දෙසැම්බර් 31 වැනිදා මහ රෑ කුරුණෑගලදී පැවැත්වුණු මාධ්‍ය හමුවකදී වීම විශේෂත්වයක් විය. මාධ්‍ය හමුවක් සාමාන්‍යයෙන් පැවැත්වෙන්නේ දිවා කාලයේදී වුවත් නව වසරක් කට උඩ තිබියදී සංවිධානය වී තිබූ මෙම මාධ්‍ය හමුව පිටුපස ඇත්තේද අපූරු කතාවකි. සමස්ත ලංකා සුඵ සහ මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ගේ සංගමයේ සාමාජිකයින් පිරිසක් එදින පස්වරුවේ කුරුණෑගලදී මන්ත‍්‍රී නාමල් මුණගැසුණේ රජයේ ගබඩාවලින් වී නිකුත්කිරීමේදී උද්ගතව ඇති අර්බුදය පිළිබදව සාකච්ඡා කිරීමටය. නාමල් සමග පැවති සාකච්ඡාවට දිවයිනේ විවිධ දිස්ත‍්‍රික්කයන් නියෝජනය කරමින් සුඵ සහ මධ්‍ය පරිමාණ මෝල් හිමියන් පිරිසක් කුරුණෑගලට පැමිණ සිටියහ. නාමල් සහ මෝල් හිමියන් සැලසුම් කරගෙන තිබුණේ දෙපිරිසගේ හමුව අවසානයේදී එහිදී ගත් තීන්දු තීරණ පිළිබද දැනුවත් කරමින් මාධ්‍ය හමුව පැවැත්වීමටය. එබැවින් නාමල් විසින් මාධ්‍යවේදීන් වෙත දැනුම් දී තිබුණේ පස්වරු 6.30 ට පමණ මාධ්‍ය හමුවක් පැවැත්වෙන බවටය. නමුත් මෝල් හිමියන් සහ නාමල් අතර සාකච්ඡාව අදහස් උදහස්වලින් සරුවෙමින් වඩාත් පුඵල්ව ඉදිරියට ඇදීයාම හේතුවෙන් රාත‍්‍රි 8 පසුවන තුරුත් අදාළ සාකච්ඡාව පැවැත්වෙමින් තිබිණි. පසුව නාමල් තීරණය කළේ සාකච්ඡාව තාවකාලිකව නතර කර මාධ්‍ය හමුව පැවැත්වීමටය. ඒ අනුව සුඵ සහ මධ්‍ය පරිමාණ මෝල් හිමියන් පිරිසක් සමග මාධ්‍ය හමුවට වාඩි වූ නාමල් මිනිස් පරිභෝජනයට නුසුදුසු බවට තහවුරුවීම හේතුවෙන් සත්ව ආහාර සදහා විකුණා තිබූ මෙටි‍්‍රක් ටොන් 50000 ක සහල් තොගයක් නැවත වෙළදපොලට නිකුත් වී ඇති බව හෙළිකළේ එම විස සහිත සහල්වල සාම්පලයක්ද මාධ්‍ය වෙත ප‍්‍රදර්ශණය කරමිනි.

ලොතරැයිකරුවෝ නලින් බණ්ඩාරට පිටුපාති.

ලොතරැයි මිල ඉහළ දැමීමේදී තමන් වෙත ගෙවන කොමිස් මුදල සාධාරණ ලෙස වැඩි කරන්නැයි ඉල්ලා කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ලොතරැයි අලෙවි නියෝජිතයෝ කුරුණෑගල නගර මධ්‍යයේදී උද්ඝෝෂණයක යෙදුණේ පසුගිය සෙනසුරාදාමය. මීනි පෙට්ටියක්ද කරගසාගෙන කුරුණෑගල නගරය වටා විරෝධතා පා ගමනක යෙදුණු ලොතරැයි අලෙවිකරුවෝ නගරය මැද රතිඤ්ඤා දල්වන්නට වීමෙන් නගරය තුළ තරමක කලබගෑනියක්ද ඇති විය. පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර ලොතරැයි අලෙවිකරුවන් විරෝධයේ යෙදුණු ස්ථානයට පැමිණ තිබුණේ ඊට විසදුමක් ලබාදී පිරිස සන්සුන් කිරීමේ අදහසිනි. උද්ඝෝෂණය තාවකාලිකව නැවතූ අලෙවි නියෝජිතයෝ මන්ත‍්‍රී නලින්ට සිය දුක්ගැනවිලි ඉදිරිපත් කළහ. ‘‘මුදල් ඇමැතිතුමා මේ දවස්වල රට ගිහින් ඉන්නේ. එතුමා ආපහු ආව ගමන්ම මේ ගැන කතාකරන්න මම ඔබතුමාලට සාකච්ඡාවක් අරගෙන දෙන්නම්. නමුත් මම එකක් කියන්න ඕනෑ. ඔබතුමාලගේ ඉල්ලීම වගේම රටේ සංවර්ධනය ගැනත් බලන්න වෙනවා. ඒ නිසා දැන් මේ උද්ඝෝෂණය නවත්වලා ටිකට් විකුණන්න පටන් ගන්න. ’’නලින් බණ්ඩාර කීය. ලොතරැයි නියෝජිතයෝ මන්ත‍්‍රී නලින්ගේ යෝජනාවට දැක්වූයේ එතරම් සුබවාදී ප‍්‍රතිචාරයක් නොවේ. ‘‘අපි ඕනෑම සාකච්ඡාවකට එන්න ලෑස්තියි. නමුත් අපේ ඉල්ලීම් ලැබෙනකම් අපි ටිකට් නම් විකුණන්නේ නැහැ. ’’ලොතරැයි අලෙවිකරුවෝ එකහඩින් කීහ. ‘‘එහෙනම් ඉතිං මට කරන්න දෙයක් නැහැ. ටිකට් විකුණන්නේ නැත්නම් සාකච්ඡා දෙන්නත් බැහැ. ’’නලින් බණ්ඩාරද තරයේ පැවසීය. මන්ත‍්‍රීවරයාගේ ප‍්‍රතිචාරයත් සමග අලෙවි නියෝජිතයින් යළි කෑ කෝ ගසමින් උද්ඝෝෂණය ආරම්භ කළ අතර සාම දූත රාජකාරියට නැවතීමේ තිත තැබූ මන්ත‍්‍රී නලින් ආපසු හැරී ගියේය.

උපුටාගැනීම – මව්බිම පුවත්පත , 2017 ජනවාරි 06 වැනි සිකුරාදා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article