Friday, April 19, 2024

නියෝජ්‍ය ඇමැති ඉන්දිකට පොල්පිතිගමින් ලැබුණු හූව පිටුපස තව ඇමැති කෙනෙක් ?

Must read

ayg_2017_01_13ජයන්ත විජේරත්න වයඹ පළාත් සභාවෙන් සමුගනී.

වයඹ පළාත් සභා නිලධාරි යාන්ත‍්‍රණයේ ඉහළ පුටුවක සිදු වූ වෙනස්වීම පසුගිය සතියේදී වයඹ පළාත් සභාව තුළ සිදු වූ සුවිශේෂීම සිදුවීම විය. ඒ අනුව වසර ගණනාවක් තිස්සේ වයඹ පළාත් සභාවේ ප‍්‍රධාන ලේකම් තනතුර හොබවමින් සිටි ජයන්ත විජේරත්නට අමාත්‍යංශ ලේකම්වරයෙකු ලෙසට උසස්වීමක් ලැබී තිබීම හේතුවෙන් හෙතෙම පසුගිය සිකුරාදා වයඹ පළාත් සභාවෙන් සමුගත්තේය. සමුගැනීමේ උත්සව හෝ සමුගැනීමේ සාදවලින් තොරව තම කාර්ය මණ්ඩලය අමතා ස්තූති කළ ප‍්‍රධාන ලේකම්වරයා වැඩි සද්ද බද්ද නැතිවම පළාත් සභාවෙන් සමුගෙන තිබීම විශේෂත්වයක් විය. කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍යංශයේ නව ලේකම්වරයා වශයෙන් ජයන්ත විජේරත්න බොහෝදුරට ඉදිරි දින කිහිපය තුළදී වැඩ භාරගැනීමට නියමිතව තිබේ. වයඹ පළාත් සභාවේ ප‍්‍රධාන ලේකම් තනතුරෙහි වැඩබලීම සදහා ප‍්‍රධාන අමාත්‍යංශ ලේකම් පී. බී. එම්. සිරිසේන මේ වන විට පත්වීම් ලබා සිටී. ජයන්ත විජේරත්නගෙන් පුරප්පාඩු වූ ප‍්‍රධාන ලේකම් තනතුරට පත්වන්නේ කවුරුන්දැයි මේ වන විට පළාත් සභාව තුළ කසු කුසු නැගෙමින් ඇති අතර එම තනතුරට පත් වී ඒමට නියමිත බව කියැවෙන ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරින් ගණනාවකගේ නම්ද මේ වන විට වයඹ පළාත් සභාව පැත්තෙන් ඇසෙමින් තිබේ. නමුත් එම තනතුර සදහා නිශ්චිතව පත්කෙරෙන නිලධාරියෙකු පිළිබදව මෙම සටහන ලියැවෙන අගහරුවාදා වන විටත් පැහැදිලි තොරතුරක් අඵ යට ගිනි වෙත ලැබී නොතිබිණි. වයඹ පළාත් සභාවේ මුල් පුටුවට පත් වී එන්නේ කවුරුන් වේවා, එලෙස පත්වීම් ලබන නිලධාරියා රාජකාරිය පමණක් නොව පළාත් සභාවට අයත් වන මෙන්ම අයත් නොවන විෂයන් ගණනාවක් පිළිබදව මනා පරිචයක් තිබිය යුතු වන්නේ දිවයිනේ සෙසු පළාත් සභාවන් අතර වයඹ පළාත් සභාව වෙනස්ම එකක් ලෙසට නම් දරා තිබීම හේතුවෙනි.

පොලිස් ආරක්ෂාව මැද තිබ්බ , පොල්පිතිගම මුල්ගල !

සැමට සෙවණ නිවාස ව්‍යාපෘතිය යටතේ යාපහුව මැතිවරණ කොට්ඨාශයේ නිවාස ව්‍යාපෘතියක් සදහා මුල්ගල් තැබීමට ගිය නිවාස හා ඉදිකිරීම් නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායකට හූ සංග‍්‍රහයක් භුක්ති විදීමට ලැබුණේ පසුගිය සෙනසුරාදාය. පොල්පිතිගම කෝරුවාව ප‍්‍රදේශයේදී පැවැති මෙම උත්සවය සදහා ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී. බී. ඒකනායකට මෙන්ම යාපහුව එජාප සංවිධායිකා අචිනි ලොකුබණ්ඩාටද එහි සංවිධායකයින් විසින් ආරාධනා කර තිබූ නමුත් උත්සව භූමියේදී ඉන්දික සමග දැකගත හැකි වූයේ අචිනි පමණි. උත්සව භූමියේ කලබලයක් සිදුවීමට නියමිත බවට පොලිසියට කල් ඇතිවම ඉව වැටී තිබීම හේතුවෙන්දෝ මහවින් ගෙන්වූ අතිරේක පොලිස් බල ඇණියක් මෙන්ම කැරළි මර්දන කණ්ඩායමකුත් උත්සව භූමියට නුදුරින් ස්ථාන ගතකර තිබිණි. නියෝජ්‍ය ඇමති ඉන්දික උත්සව භූමියට පා තබනතුරුම උත්සව භූමියෙන් කලබලයක සේයාවක් හෝ දිස් නොවීය. කලබලය ඇරඹුණේ ඉන්දික ඇතුලු මැති ඇමැතිවරුන්ගේ සම්ප‍්‍රාප්තියත් සමගිනි. ආරාධිත මැති ඇමැතිවරුන් උත්සව බිමට පා තබනවාත් සමග ප‍්‍රදේශවාසිහු පිරිසක් විරෝධතා වැකි ලියූ පුවරු දිගහැරගෙන ආරාධිතයින්ගේ මග අහුරමින් විරෝධතාවය දක්වන්නට වූහ. අනපේක්ෂිත විරෝධය හමුවේ ගමන මදක් නැවතූ ඉන්දික විරෝධතාකරුවන්ගෙන් ඊට හේතු විමසා සිටියේය. ඊට ප‍්‍රතිචාර දැක් වූ ගම්මුන් කීවේ ගමේ පොදු කටයුතු සදහා යොදාගන්නා එම ඉඩම නිවාස ව්‍යාපෘතියක් සදහා යොදාගැනීමෙන් ගමේ පොදු ඉඩම තමන්ට අහිමිවන බවය. එමෙන්ම එම නිවාස ව්‍යාපෘතියෙන් ගමේ කිසිවෙකුටත් ප‍්‍රතිලාභයක් නැති නිසා ඔවුන් ඊට විරුද්ධ බවය. ගම්මුන් වෙත කරුණු පැහැදිලි කිරීම සදහා එවර ඉදිරිපත්වූයේ පොල්පිතිගම ප‍්‍රාදේශීය ලේකම්වරයාය. ඔහු කීවේ රජය සතු මෙම ඉඩම නිවාස ව්‍යාපෘතියක් සදහා තෝරාගෙන ඇති බවට ගම්වාසීන් දැනුවත් කළ බවත්, එහිදී ගමෙන් කෙරුණු ඉල්ලීමකට අනුව සමිති ශාලාවක් ඉදිකර ගැනීම සදහා ඉඩමෙන් කොටසක්ද වෙන්කර දුන් බවය. ‘‘ග‍්‍රාම නිලධාරින් හරහා තොරතුරු ලබාගෙන හදුනාගත්තු මේ මැතිවරණ කොට්ඨාශයේම ඉන්න අඩු ආදායම්ලාභීන් පිරිසකට තමයි මේ නිවාස ව්‍යාපෘතියෙන් ගෙවල් ලබාදෙන්නේ. මේක ඉතාමත් සද්භාවයෙන් සහ විනිවිද භාවයක් ඇතිව කරන වැඩක්. ඒ නිසා ඔබතුමාලා කරුණාකරලා මේ වැඩේට බාධා කරන්න එපා. ’’යැයි කී නියෝජ්‍ය ඇමැති ඉන්දික විරෝධතාවය දක්වන පිරිසගෙන් කාරුණිකව ඉල්ලා සිටියේය. නමුත් විරෝධතාකරුවන් ඊට අවනත වූ බවක් නොපෙණිනි. ගම්මුන්ගේ විරෝධය දිගින් දිගටම නැ‍ගෙද්දී ඉන්දික, අචිනි ඇතුලු පිරිස නිවාස ව්‍යාපෘතියට මුල්ගල් තැබුවේ පොලිස් ආරක්ෂාව මැද්දේය. අනතුරුව උත්සව සභාව ආරම්භ වූ අතර විරෝධතාකරුවන් හූ කියමින් එහි කටයුතුවලට බාධාකරන්නට වූහ. තත්වය එන්න එන්නම නරක අතට හැරීම හේතුවෙන්, උත්සව භූමිය අවට විරෝධතා සහ උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කරමින් මහව මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් නිකුත්කර තිබූ තහනම් නියෝගයක්ද පොල්පිතිගම පොලිස් ස්ථානාධිපතිවරයා විසින් විරෝධතාකරුවන් වෙත ඉදිරිපත් කළේය. එම උසාවි නියෝගය විරෝධතාකරුවන් ටික වේලාවක් නිහඩ කර තැබීමට සමත් වූ නමුත් ඇමැති ඉන්දික සභාව ඇමතීම ආරම්භ කළ අවස්ථාවේදී ඇවිස්සී ගිය පිරිස යළි හූ හඩ නගන්නට වූහ. හූ හඩ සහ බාධාකිරීම් නොතකමින් සිය කතාව කරගෙන ගිය ඉන්දික කීවේ මොන බාධක ආවත් එම නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් සිව් මසක් ඇතුළත අවසන් කර ඇමැති සජිත් පේ‍්‍රමදාස ගෙන්වා එය ජනතා අයිතියට පත්කිරීමට කටයුතු කරන බවය. පිරිස අතර සිටි එක් අයෙකු මහ හඩින් කීවේ ‘‘අපේ ඇමතිතුමා නම් ඕවට එන්නෙ නෑ කීවා. ’’ කියාය. කතාව මදකට නතර කළ ඉන්දික ඇසුවේ ‘‘කවුද ඒ ඇමතිතුමා ? ’’යනුවෙනි. නමුත් කෑ ගැසූ පුද්ගලයාගෙන් ඔහුට පිළිතුරු නොලැබිණි. උත්සවය අවසන් කර ආපසු යන්නට ගිය ඉන්දික ඇතුලු පිරිසගේ මග අවුරමින් විරෝධතාකරුවන් යළි විරෝධය දක්වන්නට වූ අතර එවර ඔවුන්ගේ සටන් පාඨය තරමක් වෙනස් වී තිබිණි. ‘‘අචිනි, අචිනි අපට එපා ’’යැයි පිරිස එවර කෑ ගැසූහ. ඒ අතර තවත් අයෙකු කීවේ ‘‘මේකට අපි විතරක් නෙවෙයි අපේ ඇමැතිතුමාත් සම්පූර්ණයෙන්ම විරුද්ධයි. උඹලා ඕකට විරුද්ධ වෙයල්ලා කියලා අපට කීවේත් අපේ ඇමැතිතුමාම තමයි.’’එම කතාව ඇසුණු නියෝජ්‍ය ඇමැති ඉන්දික සිනා මුහුණින් යුතුව වාහනයට නැග්ගේ ‘‘දැන් තමයි කාරණේ හරියටම පැහැදිලි වුණේ. ’’යැයි කියමිනි.

මහ ඇමැති එළිවෙනකම් පිරිත් අහයි.

පවතින නියගය අවසන් කරමින් වැසි ලැබේවා යැයි ප‍්‍රාර්ථනා කරමින් වයඹ පළාත් සභාව විසින් සංවිධානය කළ සර්වරාත‍්‍රික වැසි පිරිත් දේශණයක් කුරුණෑගල වැව් ඉස්මත්තේදී පැවැත්වුණේ පසුගිය සෙනසුරාදාය. ජනපති මෛත‍්‍රීගේ පදවි ප‍්‍රාප්තියේ දෙවර්ෂ පූර්ණය මුල්කරගනිමින් සංවිධානය කර තිබූ මෙම පිරිත් සජ්ජායනාව කුරුණෑගල වැවට යාබදව පිහිටි කුඩා දූපත් කොටසක ඉදිකළ විශේෂ පිරිත් මණ්ඩපයකදී සිදුකෙරිණි. මහ ඇමැති ධර්මසිරි දසනායක සහ වයඹ ප‍්‍රධාන ලේකම් ජයන්ත විජේරත්න විසින් සධාතුක කරඩුව වඩමවා පිරිත් මණ්ඩපයෙහි තැන්පත් කිරීමෙන් පසුව පිරිත ඇරඹිණි. පිරිත් දේශණය ශ‍්‍රවණය කිරීම සදහා වයඹ ආණ්ඩුකාර අමරා පියසීලිද පැමිණ සිටියාය. පළාත් සභා නිලධාරිනුත් බොහෝදෙනෙකු පිරිත් අසන්නට පැමිණ සිටි නමුත් මධ්‍යම රාත‍්‍රිය ආසන්න වනවිට වැඩිදෙනෙකු නිවෙස් බලා යනු පෙණිනි. නමුත් මහ ඇමැති ධර්මසිරි දසනායක නම් පිරිත් මණ්ඩපය ඉදිරිපිට වාඩි වී එළිවෙන තුරුම පිරිත් ඇසුවේය. පිරිත අවසානයේදී සධාතුක කරඩුව තම හිස මතින්ම ආපසු වැඩම කළ ධර්මසිරි ආපසු නිල නිවෙස බලා ගියේ පිරිතට සහභාගි වූ භික්ෂූන් වහන්සේ වෙත හීල් දානය පිරිනැමීමටද එක්වීමෙන් අනතුරුවය. පිරිතට සහභාගි වී එදින අඵයම් කාලයේ ආපසු ගිය වයඹ පළාත් සභාවේ නියෝජ්‍ය ප‍්‍රධාන ලේකම් ගීතා ධර්මසිරිට නිවසට පා තබන්නට ලැබී තිබුණේ මවක ලෙස ජීවිතයේ ලැබිය හැකි අතිශය දුර්ලභ සතුටක හිමිකාරිනියක් වෙමිනි. ඊට ටික වේලාවකට පෙර අන්තර්ජාලයට නිකුත්කර තිබූ 2016 උසස්පෙළ ප‍්‍රතිඵලවලට අනුව ගණිත අංශයෙන් දිවයිනේ ප‍්‍රථම ස්ථානය දිනාගැනීමට ඇගේ දියණිය වන අමායා ධර්මසිරි සිසුවිය සමත් වී තිබීම හේතුවෙනි. කෙසේවෙතත් පළාත් සභාවේ පිරිත මෙම සජීවි ලෙස විකාශය කිරීම එක්තරා ප‍්‍රාදේශීය ගුවන් විදුලි සේවාවක් වෙත භාර දී තිබිණි. ඒ අනුව රාත‍්‍රි 9.30 ට ආරම්භ වූ පිරිතේ පළමු භාගය රාත‍්‍රි 11.30 ට පමණ වන විට මහ පිරිතෙන් අවසන් විය. අදාළ ගුවන් විදුලිය විසින් විකාශය කරමින් සිටි පිරිත පිළිබද සජීව විකාශයත් එතැනින්ම නැවතිණි. මුඵ රැයක් පුරා පැවැති පළාත් සභා පිරිතේ විකාශණය දෙපැයකට පමණක් සීමාවූයේ ඇයිදැයි පිරිතට සම්බන්ධවූවෝ දැන් විමසමින් සිටිති.

සමූප ඡන්දයේ ඇතුගල්පුර ගුටි කෙළි

කුරුණෑගල විවිධ සේවා සමූපකාර සමිතිය සදහා සභිකයින් තෝරාපත් කර ගැනීම සදහා පසුගිය සදුදා පැවැති වූ නිලවරණය අවසන් වූයේ ගුටි කෙළි කිහිපයක්ද සමගිනි. සුපුරුදු ලෙසම කුරුණෑගල සමූපකාර ඡන්දයෙනුත් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් කළ බව කියන කණ්ඩායමට ජය අත් වී තිබිණි. ඡන්දය අතරතුරදී ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන හිටපු මන්ත‍්‍රීවරුන් කිහිපදෙනෙකු ඇතුලු කණ්ඩායමක් විසින් ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහගේ සම්බන්ධීකරණ ලේකම්වරුන් ලෙස කටයුතු කරන චමින්ද සෝමරත්නට සහ ආනන්ද ජයසේකරට ස්ථාන දෙකකදී පහර දුන් බව වාර්තා විය. චමින්ද සෝමරත්න වෙත එල්ල වූ බව කියන ප‍්‍රහාරයෙන් වැඩි හානියක් නොවී ගැලැවී යන්නට ඔහු සමත් වී තිබූ නමුත් ආනන්ද ජයසේකරට නම් එවැනි අවස්ථාවක් ලැබී නොතිබිණි. මල්කඩුවාව සමූපකාර ප‍්‍රාදේශීකය ඉදිරිපිටදී අනන්දට එල්ල වූ ගුටි බැට ප‍්‍රහාරයක් හේතුවෙන් මුඛයට සහ ඉළ ඇටවලට සිදු වූ හානි සහිතව සදුදා පස්වරුවේ කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබීය. රෝහල් ඇදේ සිට තමාට එල්ල වූ ප‍්‍රහාරය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක් වූ ආනන්ද සෘජුවම චෝදනා කළේ කළේ ඒකාබද්ධ විපක්ෂ කණඩායම නියෝජනය කරන හිටපු නාගරික මන්ත‍්‍රි තුෂාර සංජීව සහ කුරුණෑගල ප‍්‍රාදේශීය සභාවේ හිටපු මන්ත‍්‍රී අසංක රණසිංහ විසින් තමන්ට පහර දුන් බවටය. ප‍්‍රවාහන අමාත්‍යංශයෙන් තමා වෙත නිකුත් කර ඇති කැබ් රථයේ නැගී නිවස බලා යමින් සිටියදී මල්කඩුවාව සමුපකාර ප‍්‍රාදේශිකය අසල සිටි තුෂාර සහ අසංක ඇතුලු පිරිසක් විසින් වාහනය නවත්වා තමන් එයින් බිමට ඇද දමා පහරදුන් බව ආනන්ද මාධ්‍යයට කීවේය. වාහනයට පහර දී එහි පැති කණ්ණාඩි කඩා දැමූ බවත්, අත තිබූ ජංගම දුරකථනය, වාහනයේ යතුර සහ වැදගත් ලියකියැවිලි කිහිපයක් උදුරාගත් බවටත් ආනන්ද විසින් පොලිසියට ප‍්‍රකාශයක්ද ලබා දී තිබිණි. කෙසේවෙතත් ප‍්‍රහාරයට ලක් වූ වාහනයේ යතුරු පහරදුන් පිරිස් විසින් පැහැරගෙන ගොස් තිබීම හේතුවෙන් ලොකුම අමාරුවේ වැටී තිබුණේ පොලිස් නිලධාරින්ය. යතුරු අස්ථානගත වී තිබූ එම කැබ් රථය පොලිසියට ගෙනඒම සදහා පොලිස් නිලධාරින්ට මහත් වෑයමක් දරන්නට සිදු වී තිබිණි. රෝහල්ගතව සිටින ආනන්දගේ ප‍්‍රකාශයට අනුව හිටපු මන්ත‍්‍රී තුෂාර සහ අසංක අත්අඩංගුවට ගැනීම සදහා පොලිසිය විසින් පසුගිය දින කිහිපය තිස්සේම කුරුණෑගල පීරා බැලූ නමුත් තුෂාර සහ අසංක දෙදෙනා පිළිබදව පසුගිය අගහරුවාදා රාත‍්‍රිය වනතෙක්ම තොරතුරක් ලැබී නොතිබිණි.

උපුටාගැනීම – මව්බිම පුවත්පත, 2017 ජනවාරි 14 වැනි සිකුරාදා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article