Thursday, April 25, 2024

ගජ මිතුරු විදුහල්පති දෙපළකගේ කඹ ඇදිල්ලකින් දරුවන් තිදෙනෙකුට පාසල් දොරටු වැහෙයි !

Must read

gajanaggama_school_5මහව, තම්මිටගම මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි එකම පවුලේ දරුවන් තිදෙනෙකු මහව කලාප අධ්‍යාපන කාර්යාලයෙන් ලබාගත් අනුමැතියක් මත එම කලාපයේම පිහිටි ගජනැග්ගම මහා විද්‍යාලයට ඇතුලත් කිරීමට යාමේදී එහි විදුහල්පතිවරයා විසින් දරුවන් ඇතුලත් කරගැනීම ප‍්‍රතික්ෂේප කිරීමෙන් එම දරුවන් තිදෙනාට අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව අහිමි වී තිබේ.

මෙම අවාසනාවන්ත තත්වයට මුහුණ දී සිටින්නේ මහව, තම්මිටගම පදිංචි යුධ හමුදා සේවයේ නියුතු ඩී. ඒ.රත්නායක මහතාගේ දරුවන් තිදෙනාය. ඔහුගේ දරුවන් 4,6 සහ 11 ශ්‍රේණිවල ඉගෙනුම ලබමින් සිටිති.

සිය අඹු දරුවන් සමග තම්මිටගම ප‍්‍රදේශයේ කුලී නිවසක වසර 9ක් පමණ කාලයක් වාසය කර ඇති රත්නායක මහතා මහව, උඩුවේරිය ප‍්‍රදේශයෙන් මිලදීගත් ඉඩමක නව නිවසක් ඉදිකර තවත් නොබෝ දිනකින් එහි පදිංචියට යාමේ අපේක්ෂාවෙන් පසුවෙයි. තම්මිටගම ප්‍රදේශයෙන් පදිංචිය වෙනස්වීම හේතුවෙන් සහ තම දරුවන් ඉංගී‍්‍රසි මාධ්‍යයෙන් ඉගෙනීමට දක්වන කැමැත්ත හේතුවෙන් දරුවන් තම්මිටගම විද්‍යාලයෙන් ඉවත් කරගෙන මහව අධ්‍යාපන කලාපයේම පිහිටි ගජනැග්ගම මහා විද්‍යාලයට ඇතුලත් කිරීමට අයදුම් කර තිබේ. පදිංචිය තවමත් වෙනස්කර නොමැති නිසා ඉල්ලා අස්වීමේ සහතික ලබාදීමට තම්මිටගම විද්‍යාලයේ විදුහල්පතිවරයා මුලින් අකමැති වී ඇති නමුත් පසුව මහව කලාප අධ්‍යාපන කාර්යාලයේ අනුමැතිය පරිදි දරුවන් තිදෙනා සදහා අස්වීමේ සහතික නිකුත් කර ඇත.

ඒ අනුව දරුවන් තිදෙනා ගජනැග්ගම මහා විද්‍යාලයට ඇතුලත් කිරීමට රත්නායක මහතා විසින් අයදුම් කර ඇති අතර ඊට අනුමැතිය පළ කළ එම විද්‍යාලයේ විදුහල්පතිවරයා පාසලට අඩුපාඩුවක්ව පවතින ඩෙස් සහ පුටු සකස් කරගෙන එන ලෙසටත්, විදුහලට ඔබින ලෙස පාසල් නිල ඇදුම අලුතින් සුදානම් කර ගන්නා ලෙසට සහ දරුවන් ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය හදාරන්නේ නම් ඊට පෙර සම්මුඛ පරීක්‍ෂණයකට පෙනි සිටිය යුතු බවත් දැනුම් දුන් බවත් රත්නායක මහතා කියයි.

ඒ අනුව තම දරුවන් තිදෙනා තම්මිටගම විද්‍යාලයෙන් ඉවත්කර ගැනීමටත් පෙර , ගජනැග්ගම විදුහල්පතිවරයා විසින් පැනවූ සියලු කොන්දේසි සපුරාලීමට තමන් කටයුතු කළ බවත් රත්නායක මහතා කියයි. ඒ අනුව 11 වසරට ඇතුළත් කිරීමට නියමිත දරුවා වෙනුවෙන් ඩෙස් එකක් සහ පුටුවක් මුදල් ගෙවා අලුතින්ම සාදවාගෙන ඇති අතර අනෙක් දරුවන් දෙදෙනා වෙනුවෙන් පාසලේ කැඩී බිදී ඉවත දමා තිබූ ඩෙස් බංකු නවීකරණය කරදීමට හෙතෙම කටයුතු කර ඇත. එමෙන්ම විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයා ඇතුලු ගුරුවරුන් තිදෙනෙකු විසින් පැවැත් වූ ඉංග්‍රිසි මාධ්‍ය සම්මුඛ පරීක්‍ෂණයට දරුවන් සහභාගි කරවූ බවත්, නව පාසල් වාරය ආරම්භ කිරීම වෙනුවෙන් විද්‍යාලයේ පැවැති මව්පිය ශ‍්‍රමදානවලටද සහභාගි වී ඒ සදහා ගිය වියහියදම්ද මව්පිය සමිතියේ භාණ්ඩාගාරිකවරුන් වෙත ලබාදුන් බවද රත්නායක මහතා වැඩිදුරටත් කියයි. විදුහල්පතිවරයාගේ දැනුම්දීම අනුව දරුවන් තිදෙනා සදහා අලුත් නිල ඇදුම් මසාදීමටත්, විදුහලේ නියමයන්ට අනුව පෙළපොත් සහ අභ්‍යාස පොත්වල පිට කවර නියමිත වර්ණයන්ගෙන් සකස් කිරීමටත් ඔවුහු කටයුතු කර තිබේ.

මෙම සියලු අව්‍යශතා සම්පූර්ණ කිරීමෙන් පසුව ඩෙස් පුටු ආදිය රැගෙන දරුවන් තිදෙනා ගජනැග්ගම විද්‍යාලයට ඇතුළත් කිරීමට ගිය රත්නායක යුවළට එහි විදුහල්පතිවරයාගෙන් ලැබී ඇත්තේ හාත්පසින්ම වෙනස් ප්‍රතිචාරයකි. දරුවන් කලින් අධ්‍යාපනය ලැබූ තම්මිටගම මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා තමාට දුරකථනයෙන් අමතා එම දරුවන් ගජනැග්ගම විද්‍යාලයට භාර නොගන්නා ලෙසට ඉල්ලා සිටි බව විදුහල්පතිවරයා විසින් පවසා තිබේ. නිතර දෙවේලේ රැස්වීම්වලදී හමුවන, එකට රාජකාරි කරන සහෝදර විදුහල්පතිවරයෙකුගේ ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප කළ නොහැකි බැවින් දරුවන් තිදෙනා පාසලට භාර ගත නොහැකි බව ගජනැග්ගම විදුහල්පතිවරයා එහිදී ප්‍රකාශ කර තිබේ. දරුවන්ට අස්වීමේ සහතික නිකුත්කර තිබියදී මෙන්ම දරුවන් භාරගැනීම සදහා බව කියමින් ගජනැග්ගම විද්‍යාලයෙන් පැනවූ සියලු කොන්දේසි සහ ඉල්ලීම් නොපිරිහෙලා ඉටුකොට තිබියදීත් දරුවන් භාරගැනීම ප‍්‍රතික්ෂේප කිරීම අසාධාරණ බව කියමින් රත්නායන මහතා සහ ඔහුගේ බිරිද විදුහල්පතිවරයාට කොතෙක් ඇවිටිලි කළත් ඉන් පලක් වී නොමැත.

තම්මිටගම විද්‍යාලයේ විදුහල්පතිවරයා ඉදිරියේ දණින් වැටී හෝ ඔහුගේ වචනය වෙනස් කරගන්නා තෙක් දරුවන් පාසලට භාරගත නොහැකි බව කියමින් ගජනැග්ගම විදුහල්පතිවරයා විසින් අදාළ මව්පියන් වෙත උපදෙස් සපයන ආකාරය ජංගම දුරකථනයක පැහැදිලි ලෙස පටිගත වී ඇත.

අසාධාරණයට ලක් වූ දරුවන්ගේ මව මෙසේ කීවාය.
“අපි අවුරුදු 9 ක් කුලී ගෙදරක ඉදලා මෑතකදී තමයි අපේම කියල ගෙයක් හදාගත්තේ. අපි ළගදිම ඒ ගෙදරට පදිංචියට යන නිසාත්, ගජනැග්ගම ඉස්කෝලේ ඉංගි‍්‍රසි මාධ්‍ය තියෙන නිසාත්, අපි ඒ ඉස්කෝලේට ළමයින්ව දාන්න කතා කර ගත්තා. ඒ ඉස්කොලේ ප‍්‍රින්සිපල් කියපු දේවල් සියල්ලම අපි සම්පූර්ණ කරලා දුන්නට පස්සේ දැන් කියනවා තම්මිටගම ප‍්‍රින්සිපල් එයාගෙ යාලුවෙක්ලු, එයා ළමයි ගන්න එපා කියනවා කියලා. එයාගේ කීම අහක දාන්න බැරි හින්දා ආයෙ වතාවක් තම්මිටගම ප‍්‍රින්සිපල්ගෙ ගෙදර හරි ගිහිල්ලා එයාට කථාකරලා එන්නලු. නිකම්ම අත හොල්ල හොල්ල යන්නත් එපාලු , ගිහින් දණින් හරි වැටිලා ඉල්ලිමක් කරන්නලු. එතකොට එයා කෝල් එකක් දෙයිලු ළමයි ගන්න කියලා. අපට මේ කියන එක තේරෙන්නේ නැහැ. තම්මිටගම ඉස්කෝලෙන් අස්කරගෙන එද්දී අපේ දරුවෝ මුලු ඉස්කොලෙම ගුරුවරුන්ට දණගහලා වැදලයි ආවේ. දැන් ආයෙම දණ ගහන්න කියන එක අපිට නම් තේරෙන්නේ නැහැ.

මේ පිළිබදව ගජනැග්ගම විද්‍යාලයේ විදුහල්පති උපාලි දිසානායක මහතාගෙන් කළ විමසීමකදී හෙතෙම මෙලෙස පැවසීය.
“මම ඔය කියන විදිහේ විරුද්ධත්වයක් නම් ප‍්‍රකාශ කළේ නැහැ. ඔබතුමාට පුලුවන් නම් ඔය දරුවන්ට ඉස්කොලෙට එන්න කියන්න. අනික මේ සිද්ධිය ඔබතුමා ප‍්‍රශ්නයක් කර ගන්නත් එපා.“ යැයි පැවසීය.

මව්පියන්ගේ චෝදනාව පිළිබදව තමිමිටගම විද්‍යාලයේ විදුහල්පති හේරත් මහතාගෙන්ද විමසීමක් කළෙමු.
“එහෙම පාසලට ගන්න එපා කියලා මම බලපෑමක් කළේ නැහැ. එහෙම නම් මම අස්වීම දෙන්නෙත් නැහැනේ. ඕවා කවුරුහරි හදල කියන කතා. එහෙම දෙයක් නෑ.“

දරුවන්ට එක් පාසැල් දිනයක් හෝ අහිමි කිරීම දරුණු අපරාධයක් බව කියැවෙන රටක තම්මිටගම විද්‍යාලයෙන් නිකුත් කළ අස්වීම් සහතික තුරුලු කරගත් දරුවන් තිදෙනෙකු තවමත් නිවසේ පසුවෙති. නව පළමු පාසැල් වාරය ආරම්භ වී සති දෙකකටත් වැඩි කාලයක් ඉක්ම ගොස් ඇතත් පෑන් පහරකින් හෝ කිලිටි නොවූ පොත්පත් සහ පාසල් නිල ඇදුම් අතැතිව මේ දරුවන් මගබලා සිටින්නේ තමන්ට වැසීගොස් ඇති පාසලේ දොරගුලු ඇරෙන තුරුය.

ගවේෂණය සහ සටහන
මහව වීරරත්න බණ්ඩාරgajanaggama_school_4මුදල් ගෙවා අලුතින්ම සකස් කරගත් ඩෙස් පුටුgajanaggama_school_1
තම්මිටගම විද්‍යාලයෙන් නිකුත් කළ අස්වීමේ සහතිකgajanaggama_school_2
දරුවන් ඉවත්කරගැනීමට අවසර දෙමින් මහව කලාප අධ්‍යාපන කාර්යාලයෙන් නිකුත් කළ ලිපියgajanaggama_school_3

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article