Thursday, April 25, 2024

මන්ත‍්‍රීවරු හිරේ යවා ඒකාබද්ධය දියකරවීමේ ආණ්ඩුවේ සැලසුමක් එළියට!

Must read

ayg_2017_01_27ටිකිරි බණ්ඩාගේ කෙණෙහිලි ගැන ලිවේරා කලකිරීමෙන්.

ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම නියෝජනය කරන කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ හිටපු පළාත් පාලන මන්ත‍්‍රීවරුන්ගේ හමුවක් කුරුණෑගල, දඹුල්ල පාරේ පිහිටි උත්සව ශාලාවකදී පැවැත්වුණේ පසුගිය සෙනසුරාදාය. නුගේගොඩදී පැවැති ඒකාබද්ධ විපක්ෂයේ රැළිය වෙනුවෙන් කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ සංවිධාන කටයුතු සිදුකිරීම මෙන්ම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ග‍්‍රාමීය කමිටු පිහිටුවීමේ ප‍්‍රගතිය පිළිබදව සාකච්ඡා කිරීමද මෙම හමුවේ අරමුණු වී තිබිණි. මෙම රැස්වීමේ ආරාධිතයින් ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, ජොන්ස්ටන් ප‍්‍රනාන්දු සහ සාලින්ද දිසානායක සහභාගි වී සිටියහ. රැස්වීමේ ටික වේලාවක් රැදී සිටි සාලින්ද ඉදිරි කටයුතු මහින්දානන්දට සහ ජොන්ස්ටන්ට පවරා දී එතැනින් නික්ම ගියේ තමන්ට අසනීප බව කියමිනි. රැස්වීමේ මුල් භාගය මාධ්‍යයට විවෘත නොවූ අතර එහිදී සිදුකෙරුණේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ග‍්‍රාමීය කමිටු පිහිටුවීමේ ප‍්‍රගතිය පිළිබදව ආසන මට්ටමින් විමසා බැලීමය. එක් එක් ආසන නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් විසින් තම තමන්ගේ ආසනවල ග‍්‍රාමීය කමිටු පිහිටුවීමේ ප‍්‍රගතිය ඉදිරිපත් කළහ. අනෙකුත් ආසනවල කමිටු පිහිටුවීම ගැටඵවකින් තොරව සිදුකෙරුණු බව කියැවුණු නමුත් වාරියපොළ සහ පොල්ගහවෙල ආසන දෙකෙහි ප‍්‍රගතිය විමසීමට ගත් අවස්ථාවේදී මන්ත‍්‍රීවරුන්ගෙන් නැගෙන්නට වූ චෝදනා හේතුවෙන් රැස්වීම උණුසුම් මුහුණුවරකට පෙරළිණි. ඒකාබද්ධයේ වාරියපොළ මන්ත‍්‍රී කණ්ඩායම දෙකට බෙදී සිටි බවක් දැකගත හැකි වූ අතර එක් පිරිසක් කීවේ ඩී. බී. හේරත් සමග වැඩ කළ නොහැකි බවකි. අනෙක් පිරිස ඊට හාත්පසින් වෙනස් මතයක් ඉදිරිපත් කරමින් අනෙක් පිරිස කීවේ ඩී. බී. නැතිව වැඩකළ නොහැකි බවකි. දෙපාර්ශ්වය විසින් ඩී. බී. අලලා දක්වන්ට වූ පක්ෂ විපක්ෂ උදහස් උදහස් හේතුවෙන් ගැටුමක් දක්වා දුරදිග යන්නට ගිය සාකච්ඡාව ජොන්ස්ටන් සහ මහින්දානන්දගේ මැදිහත්වීමෙන් තාවකාලිකව සමනය කෙරිණි. අනතුරුව පොල්ගහවෙල ආසනයේ ප‍්‍රගතිය සාකච්ඡාවට ගත් අවස්ථාවේදී නැගී සිටි හිටපු සභාපති ලිවේරා ගුණතිලක අදහස් දැක්වූයේ කළකිරුණු ස්වරයකිනි. ‘‘අපේ ආසනයේ සංවිධායකතුමා තනියම ගම්වලට ගිහින් ග‍්‍රාමීය කමිටු හදාගෙන හදාගෙන යනවා. මන්ත‍්‍රීවරුන් විදිහට අපිට කිසිම දැනුම්දීමක් නැහැ. අඩුම ගාණේ අපිට කතා කරන්නෙවත් නැහැ’’ලිවේරා කීය. ලිවේරාගේ ප‍්‍රකාශය තහවුරු කරමින් තවත් මන්ත‍්‍රීවරුන් කිහිපපොළක්ම අදහස් දැක්වූහ. ආරම්භයේ සිටම මහින්ද පිල වෙනුවෙන් ඇපකැප වී සිටින ලිවේරා ගුණතිලකට පොල්ගහවෙල ශ‍්‍රීලනිප සංවිධායකකම මෙන්ම වයඹ පළාත් සභාවේ සභාපතිකමද හොබවමින් සිටින ටිකිරි බණ්ඩාගෙන් සිදුවන කෙණෙහිලිකම් පිළිබදව රැස්වීමේ සිටි මන්ත‍්‍රීවරුන්ගෙන් දැඩි අප‍්‍රසාදයක් පළ වූ බව පෙණනි. ‘‘එයාට මොකක්ද තියෙන අයිතිය ලිවේරාට වෙනස්කම් කරන්න ? තනතුරු වරප‍්‍රසාදවලට ගැතිනොවී මහින්දත් එක්ක පොල්ගහවෙලින් දිගටම හිටියේ ලිවේරලා විතරයි. මෛත‍්‍රී පස්සේ ගිහින් තනතුරු ඉල්ලාගෙන, ගාල්ලේ මැයි රැළියට ගිහින් ලකුණුත් දාගෙන අන්තිමේදී ඊළග ඡන්දෙන් කෙලවෙන්න යන බව දැනගෙන ආපහු මහින්ද ළගට පැන්න උන් තමයි දැන් ලිවේරලාටම කෙළින්න හදන්නේ. ’’මන්ත‍්‍රීවරුන් අතර ටිකිරි බණ්ඩා විවේචනය කෙරෙන එවැනි සංවාදයක්ද ඇති වී තිබිණි. වාද විවාද මැද ඇදී ගිය කමිටු පිහිටුවීම පිළිබද සාකච්ඡාව අවසන්වීමත් සමග රැස්වීමේ දෙවැනි භාගය මාධ්‍යයට විවෘත විය.

ඒකාබද්ධ විපක්ෂය සමග කටයුතු කරමින් සිටින හිටපු සභාපතිවරු, උප සභාපතිවරු සහ මන්ත‍්‍රීවරුන්ගේ සුපුරුදු මුහුණුවලට අමතරව මින් පෙර දැකගත නොහැකි වූ අලූත් මුහුණක්ද එදින රැස්වීමේදී දැකගත හැකි විය. ඒ කුරුණෑගල හිටපු නගරාධිපති ගාමිණී පෙරමුණගේය. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ පුංචි මන්ත‍්‍රීවරු මින් පෙර අවස්ථා ගණනාවකදී මෙම උත්සව ශාලාවේදීම ශ‍්‍රීලනිප සම්මුඛ පරීක්ෂණ ලිපි ගිනිතැබීම්, මාධ්‍ය සාකච්ඡා, රැස්වීම් ආදි ශ‍්‍රීලනිපයට රිදෙන ක‍්‍රියාකාරකම් ගණනාවක යෙදුණු නමුත් ගාමිණී පෙරමුණගේ නම් ඒ එකතැනකදීවත් දැකගත නොහැකි විය. කුරුණෑගල මහ නගර සභාව නියොජනය කළ ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් වැඩිදෙනෙකු ඒකාබද්ධ විපක්ෂය සමග එක්ව කටයුතු කරද්දී ගාමිණී පෙරමුණගේ සිටියේ නිහඩ ප‍්‍රතිපත්තියකය. නිහඩ යැයි කීවාට ගාල්ලේ පැවැති ශ‍්‍රීලනිප මැයි දිනයට මෙන්ම කුරුණෑගල මාළිගාපිටියේ පැවැති ශ‍්‍රීලනිප සමුඵවටත් පෙරමුණගේ සහභාගි වූ බවට එකල කසුකුසු පැතිර ගියේය. ගාමිණි විසින් අනුගමනය කළ එහාටත් නැති, මෙහාටත් නැති දේශපාලන ප‍්‍රතිපත්තිය පිළිබදව මහින්ද පිල නියෝජනය කරන කුරුණෑගල පුංචි මන්ත‍්‍රීවරුන් පසුවූයේ එතරම් හිත හොදකින් නොවේ. ඒ නිසාම ඔවුන්ගේ රැස්වීම් සහ සාකච්ඡා ගණනාවකදී ගාමිණිගේ පිළිවෙත දැඩි ලෙස විවේචනයට ලක්විය. මීට මාස කිහිපයකට පෙර කුරුණෑගල බෞද්ධාලෝක පිරිවෙනේදී පැවැති රැස්වීමකදී කුරුණෑගල ප‍්‍රාදේශීය සභාවේ හිටපු මන්ත‍්‍රී සිසිර කුමාර විසින් ගාමිණි පෙරමුණගේ පිළිබදව දැඩි විවේචනයක් එල්ල කළේ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂද මුලසුනේ සිටියදීය. කොයි අත්තකවත් වහන්නේ නැතිව සිටින බවක් පෙන්වූ ගාමිණි මීට සති කිහිපයකට පෙර ඒකාබද්ධ විපක්ෂයේ අත්තට බාගත්තේ පළාත් සභා මන්ත‍්‍රවරුන් වන ඩී. බී. හේරත්, අසංක නවරත්න ඇතුලු පිරිසකගේ උත්සාහයක ප‍්‍රතිඵලයක් ලෙසනි. ඩී. බී, අසංක ඇතුලු පිරිස විසින් සිය මෙහෙයුම ජයග‍්‍රාහී ලෙස හමාර කර තිබුණේ ගැට්ටුවානේ පිහිටි ගාමිණිගේ නිවසේදී ඒකාබද්ධ විපක්ෂයේ ග‍්‍රාමීය කමිටු පිහිටුවීමේ රැස්වීමක්ද ගාමිණි ලවාම සංවිධානය කරවමිනි. සෙනසුරාදා පැවැති මහින්ද පිලේ මන්ත‍්‍රී හමුවට ගාමිණි සහභාගි වී සිටියේ මහින්ද පිලේ සාමාජිකයෙකු වශයෙන් සති කිහිපයකට පෙරදී ඒ අයුරින් බෞතීස්ම ලැබීමෙන් පසුවය. ගාමිණි විසින් හා පුරා කියා සහභාගි වූ රැස්වීමේදී නමුත් ඔහුට හීනි කැපිල්ලක් දමන්නටද මන්ත‍්‍රී ජොන්ස්ටන් වගබලා ගත්තේය. ‘‘අපේ හිටපු නගරාධිපතිතුමාත් අද මේ රැස්වීමට සහභාගි වෙලා ඉන්නවා. එතුමා යහපාලනේට ගිහින් ඉදලා ඊයේ පෙරේදා ආයෙමත් අපේ පැත්තට ආවා.’’ සිය කතාව ආරම්භ කිරීමට අවසර ගනිමින් ජොන්ස්ටන් කීය. ජොන්ස්ටන්ගේ කතාවෙන් ගාමිණි කලබල වූ බවක් පෙණිනි. ‘‘මම ගියේ නැහැ, මම එහාට ගියේ නැහැ. ’’ගාමිණි තම අසුනේ සිටම ජොන්ස්ටන්ට කීය. ‘‘නෑ. නෑ. ඔබතුමාට චෝදනාවක් කළා නෙවෙයි. මට ඕන වුණේ ඔබතුමාට ලකුණු ටිකක් වැඩිපුර අරන් දෙන්නයි. ’’යැයි සිනාමුසු මුහුණින් කී ජොන්ස්ටන් නැවත කතාව ආරම්භ කළේය.

පොදු දේපළ චෝදනාව බිදින්න ජනාධිපති නීතිඥයෙක් කුරුණෑගලට.

කුරුණෑගල විවිධ සේවා සමූපකාර සමිතිය සදහා සභිකයින් තෝරාපත් කරගැනීම සදහා ජනවාරි 09 වැනිදා පැවැති නිලවරණය ගුටි කෙළි මැද අවසන් වූ අයුරු එම සතියේ අඵ යට ගිනි පිටුවෙන් හෙළිකෙරිණි. සමූපකාර ඡන්දයේ ජය ඒකාබද්ධ විපක්ෂයට හිමිවෙද්දී නියෝජ්‍ය ඇමැති අශෝක් අබේසිංහගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකුට සෙලවෙන දත් සහ බිදුණු ඉළඇට සහිතව කුරුණෑගල රෝහලේ ඇදකට නගින්නට සිදුව තිබුණේ මල්කඩුවාව සමූපකාර ප‍්‍රාදේශීකය ඉදිරිපිටදී ඔහුට එල්ල වී තිබූ ගුටිබැට ප‍්‍රහාරයක් හේතුවෙනි. හිටපු නාගරික මන්ත‍්‍රි තුෂාර සංජීව සහ කුරුණෑගල ප‍්‍රාදේශීය සභාවේ හිටපු මන්ත‍්‍රී අසංක රණසිංහ ඇතුලු පිරිසක් තමන්ට පහර දුන් බවට එම සම්බන්ධීකරණ ලේකම්වරයා විසින් පොලිසියට ලබා දී තිබූ ප‍්‍රකාශයකට අනුව තුෂාර සහ අසංක අත්අඩංගුවට ගැනීම සදහා පොලිසිය විසින් සති දෙකකට වැඩි කාලයක් තිස්සේ කුරුණෑගල අස්සක් මුල්ලක් නෑර පීරූ නමුත් ඔවුන් පිළිබදව හෝඩුවාවක් හෝ ලැබී නොතිබිණි. පහර කෑමට ලක් වූ ලේකම්වරයා වෙත ප‍්‍රවාහන අමාත්‍යංශයෙන් නිකුත් කර තිබූ කැබ් රථයකටද ප‍්‍රහාරයේදී අලාභහානි සිදුවී තිබීමෙන් පොදු දේපළකට අලාභහානි කළ බවට චෝදනාවක්ද තුෂාර ඇතුලු පිරිසගේ නමින් ලියැවී තිබිණි. ඒ අයුරින් තම අනුගාමිකයින් පිරිස වෙත වැටී තිබූ තොණ්ඩුව තරමක් ලිහිල්කරදීමට මැදිහත්ව තිබුණේ මන්ත‍්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දුය. එහි පළමු පියවර ලෙස පොලිසියෙන් නගා තිබූ පොදු දේපළට අලාභහානි කිරීමේ චෝදනාව බිදහෙළීම පිණිස ජොන්ස්ටන්ගේ නඩු හබවලට පෙනී සිටින ජනාධිපති නීතිඥවරයෙකු කොළඹ සිට කුරුණෑගල ගෙන්වාගැනීමට ඔහු විසින් කටයුතු කර තිබිණි. පොලිසියෙන් නගා ඇති පොදු දේපළට අලාභහානි කිරීමේ චෝදනාව සාවද්‍ය බවට අධිකරණය හමුවේ කරුණු දැක් වූ එම නීතිඥවරයා ප‍්‍රහාරයට සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර සිටි එක් සැකකරුවෙකුට ඇප නියමකරවා ගන්නට සමත් වී තිබිණි. සති දෙකකට වැඩි කාලයක් තිස්සේ කුරුණෑගලින් අතුරුදන්ව සිටි තුෂාර , අසංක ඇතුලු සිව්දෙනෙකු නීතිඥයෙකු මගින් පසුගිය සදුදා අධිකරණයට භාරවූයේ ඉන් අනතුරුවය. ජනාධිපති නීතිඥවරයා විසින් අධිකරණය වෙත පෙර ඉදිරිපත් කළ කරුණුද සහිතව තුෂාර ඇතුලු පිරිස වෙනුවෙන් එදින පෙනී සිටි නීතිඥයින් දැක් වූ කරුණු සලකා බැලූ අධිකරණය තුෂාර ඇතුලු සිව්දෙනාටද එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප සහ රුපියල් පහළොස්දහස බැගින් මුදල් ඇපද සහිතව ඇප නියම කිරීමට කටයුතු කර තිබිණි.

මන්ත‍්‍රීට මයික් එක ඇල්ලූ රාජ්‍ය ඇමැති.

අගමැති රනිල් වික‍්‍රමසිංහගේ රැකියා දස ලක්ෂයේ වැඩසටහනට සමගාමීව කුරුණෑගල ශ‍්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලයේදී රැකියා පියස වැඩසටහනක් සංවිධානය වී තිබුණේ පසුගිය සෙනසුරාදාය. ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහගේ ප‍්‍රධානත්වයෙන් පැවැති එහි සමාරම්භක උත්සවයට ප‍්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ජේ. සී. අලවතුවල සහ නලින් බණ්ඩාරද එක්ව සිටියහ. උත්සවය අවසන්වීමෙන් පසුව එතැනින් නික්මයාමට සැරසුණු සුජීව, අශෝක් සහ නලින් බණ්ඩාර මාධ්‍යවේදීන් විසින් නවත්වා ගත්තේ වත්මන් දේශපාලන තත්වය පිළිබද මාධ්‍ය වෙත අදහසක් ලබාගැනීමටය. මන්ත‍්‍රී නලින් බණ්ඩාරට එරෙහිව සංඝාඥාවක් නිකුත්කරන බවට ඉකුත් සතියේදී භික්ෂූන් වහන්සේ පිරිසක් කළ ප‍්‍රකාශය පිළිබදව මාධ්‍යවේදීන් පළමුව විමසා සිටියහ. මන්ත‍්‍රී නලින් ඊට පිළිතුරුදීමට සූදානම් වුවත් රූපවාහිනි මාධ්‍යවේදීන්ගේ මයික්‍රොෆෝන අල්ලාගැනීමට කිසිවෙකුත් එහි නොසිටීම හේතුවෙන් යම් ගැට`ඵවක් මතු වී ආවේය. ‘‘කෝ දෙන්න මම මයික් ටික අල්ලන්නම්. ’’යැයි කියමින් ඇමැති සුජීව සේනාසිංහ ඊට ඉදිරිපත් වූයේ ස්වේච්ඡාවෙනි. සිය සහෝදර මන්ත‍්‍රීවරයා මාධ්‍ය වෙත අදහස් දක්වා අවසන් කරන තුරු එක් මයික්‍රොෆෝනයක් නොව මයික්‍රොෆෝන තුනක්ම අල්ලාගෙන සිටීමට තරම් සුජීව කාරුණික විය. ඇමැති සුජීව නලින්ට මයික්‍රොෆෝන අල්ලාගෙන සිටින ආකාරය එතැන සිටි අයෙකු විසින් ඡායාරූපයට නගා මුහුණුපොතට එක්කකර තිබූ අතර සුජීවගේ නිහතමානිත්වය අගයමින් එම ඡායාරූපය මේ වනවිටත් මුහුණුපොත ඔස්සේ හුවමාරුවෙමින් තිබේ. නලින්ගෙන් අනතුරුව මාධ්‍යවේදීන් වෙත අදහස් දැක් වූ අශෝක් මීළග පාර්ලිමේන්තු මැතිවරණයට පෙර ඒකාබද්ධ විපක්ෂය දියකර හරින ආකාරය පිළිබදව අපූරු විග‍්‍රහයක් කළේය. දැනට අධිකරණයෙන් ඇප මත නිදහස් වී සිටින ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් පහළොස් දෙනෙකුට එරෙහිව නුදුරේදීම අධිචෝදනා භාරදෙන බවත්, එම නඩුවලදී අනිවාර්යෙන්ම වැරදිකරුවන් බවට පත්වන මෙම මන්ත‍්‍රීවරුන්ගේ ප‍්‍රජා අයිතියත් ඒ සමගම අහෝසිවන බවද අශෝක් කීවේය. ප‍්‍රජා අයිතිය අහෝසි වූ අයෙකුට වසර හතක් යන තෙක් මැතිවරණයකට තරග කළ නොහැකි බැවින් මෙම මන්ත‍්‍රීවරුන්ට 2030 වනතෙක් නැවත මැතිවරණයකට තරගකිරීමට නොහැකි වන බැවින් ඒකාබද්ධ විපක්ෂයද වැඩි කාලයක් ගෙවීමට මත්තෙන් දිය වී යනු ඇති බව අශෝක් අවසන් වශයෙන් කීවේය.

උපුටාගැනීම – මව්බිම පුවත්පත, 2017 ජනවාරි 27 වැනි සිකුරාදා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article