Thursday, April 18, 2024

දේශපාලනයට ගේට්ටුව වැසූ විජයබා විදුහල්පතිගෙන් කෝටි පහක් ඉල්ලා නඩු වැටෙයි !

Must read

ayg_2017_02_02දයාසිරි මාධ්‍යවේදීන් පරදවයි.

නවීකරණය කෙරුණු අලව්ව, ගල්ගමුව මහා විද්‍යාලයේ ක‍්‍රීඩා පිටිය හා පේ‍්‍රක්ෂකාගාරය ක‍්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකරගේ අතින් විවෘත කෙරුණේ පසුගිය සෙනසුරාදාය. ක‍්‍රීඩා පිටිය විවෘත කිරීම නිමිති කරගනිමින් දඹදෙණිය ආසනයේ දයාසිරිගේ සම්බන්ධීකරණ ලේකම්, හිටපු ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී අරුණ ජයලත්ගේ මෙහෙයවීමෙන් සැහැල්ලු පන්දු ක‍්‍රිකට් තරගාවලියක්ද එදින එහිදී සංවිධානය කර තිබිණි. ඒ හරහා ක‍්‍රීඩා පිටියකදී කලෙකින් දැකගත නොහැකි දෙපිලක් අතර ක‍්‍රිකට් තරගයක් සියැසින් දැකගැනීමේ අවස්ථාවද එදින ගල්ගමුව ප‍්‍රදේශවාසීන්ට උදාවී තිබිණි. ඒ දේශපාලනඥයින්ගේ කණ්ඩායම සහ ජනමාධ්‍යවේදීන්ගේ කණ්ඩායම අතර පැවැති පැවති සුහද ක‍්‍රිකට් තරගයයි. ඇමැති දයාසිරි, වයඹ පළාත් සභා මන්ත‍්‍රී රෝහණ බස්නායක, අරුණ ජයලත් සහ දයාසිරිගේ සම්බන්ධීකරණ ලේකම් පාලිත පෙරේරා ඇතුලු පිරිසක් දේශපාලන කණ්ඩායම නියෝජනය කළ අතර වයඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සාමාජික මාධ්‍යවේදීන් පිරිසක් මෙන්ම මාධ්‍යවේදිනියන් දෙදෙනෙකුත් මාධ්‍යවේදීන්ගේ කණ්ඩායමට ඇතුළත්ව සිටියහ. දේශපාලනඥයින්ගේ පිලේ නායක දයාසිරි විසින් තරගයේ කාසිය වාසිය දිනාගත් අතර දයාසිරිගේ ඇරැයුමින් පන්දුවට පහරදීම සදහා මාධ්‍යවේදීන් පිටියට පිවිසියහ. කාලය කළමණාකරනය කරගැනීම පිණිස තරගය එක් පිලකට පන්දු ඕවර තුනකට සීමා කරන්නට සංවිධායකයින් විසින් කටයුතු කර තිබිණි. තරගයේ දෙවැනි පන්දු ඕවරය ක‍්‍රියාත්මක කරනු ලැබුවේ ඇමැති දයාසිරි විසිනි. දයාසිරිගේ ඕවරය මාධ්‍යවේදීන්ගේ කණ්ඩායමේ ලකුණු පුවරුව වේගයෙන් ඉහළ නංවන්නට හේතු වූ අතර ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ පන්දුවලට දැවැන්ත හයේ පහර කිහිපයකින් සංග‍්‍රහ කරන්නටද මාධ්‍යවේදීන්ගේ කණ්ඩායමේ පිතිකරුවන් වගබලා ගත්හ. කඩුලු දෙකක් බිද වැටී, ලකුණු 34 ක්ද ලබාගනිමින් තම ඉනිම අවසන් කළ මාධ්‍යවේදීහු ලකුණු 35 ක ජයග‍්‍රාහී ඉලක්කයක්ද සමග පන්දුව පහරදීමට දයාසිරිගේ පිලට ඇරැයුම් කළහ. දේශපාලන කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස ඇමැති දයාසිරි සහ ලේකම් පාලිත පෙරේරා පිටියට පිවිසියහ. පිටියේ එහා කොණ වෙත එල්ල කළ හයේ පහරක්ද සමග දයාසිරි විසින් ලකුණු රැස්කිරීම ආරම්භ කළ නමුත් ඊළග පන්දුවට දයාසිරි එල්ල කළ පහර උඩපන්දුවක් ලෙසින් මාධ්‍යවේදීන්ගේ කණ්ඩායමේ කඩුඵ රකින්නා විසින් රැකගනු ලැබීය. නමුත් දයාසිරි සිනහමුසු මුහුණින් යුතුව තවමත් කඩුල්ලේ රැදී සිටියේ විනිසුරු විසින් ඒ වන විට එය නිපන්දුවක් බවට නම් කර තිබීම හේතුවෙනි. පිතිකරු දයාසිරි කඩුල්ලේ සීමා ඉරෙන් මදක් ඔබ්බට ගොස් සිටි අයුරු ඒ ඇසිල්ලේ දුටු මාධ්‍යවේදී කඩුඵ රකින්නා සැනෙකින් දයාසිරිගේ කඩුල්ල බිදදමා ඔහුව ස්ටම්ප් කිරීමට ලක්කර විනිසුරුගෙන් ඉල්ලීමක් කළේය. නිපන්දුවෙන් ලැබුණු උඩ පන්දුවේ වාසිය දයාසිරිට තත්පර කිහිපයක් තුළ අහිමි කරමින් හෙතෙම දුවද්දී දැවී ගිය ක‍්‍රීඩකයෙකු ලෙස නම් කිරීමට විනිසුරු කටයුතු කළේය. ආරම්භයේ සිටම මාධ්‍යවේදීන් පිළට බරව පැවැති තරගයේ වාසිය වෙනස් වී ගියේ තරගයේ අවසන් පන්දු ඕවරයේදීය. අවසන් පන්දු ඕවරය යැවූ මාධ්‍යවේදියාට තුළ දැඩි ප‍්‍රහාරයක් දියත් කළ දේශපාලන කණ්ඩායමේ පිතිකරුවෝ තරගයේ අවසන් පන්දුවටද දැවැන්ත හයේ පහරක් එල්ල කරමින් දිනුම තම පිල ඉදිරියෙන් ලියවාගත්හ. තරගය අවසන්වීමෙන් අනතුරුව කණ්ඩායම් දෙක සදහා දිවා ආහාරය සූදානම් කර තිබුණේ නල්ලූර ප‍්‍රදේශයේ නිවසකය. කුඩා වැවක්ද සහිත මනරම් පරිසරය පිහිටි එම ගෙඋයනේ බංකුවක වාඩි වූ දයාසිරි තමන් සමග තරග කළ මාධ්‍යවේදීන් සමග ගී ගයා සතුටුවීමටද අමතක නොකළේය. ලී මේසයට හැදිවලින් සහ අත්වලින් තට්ටු කරමින් මෙන්ම කටහඩින්ද තාල සපයමින් මාධ්‍යවේදීන් විසින් සැපයූ සංගීතයට ‘‘වියෝ වූ පසුවයි දැනෙන්නේ ’’ සහ ‘‘මල්ලියේ නරක මිතුරන් පිළිගන්න එපා ’’යන ගී යුගල ඇමැති දයාසිරිගේ හඩින් ගැයිණි. අනතුරුව මාධ්‍යවේදීන් සම`ගම දිවා අහාරය ගත් දයාසිරි එතැනින් නික්ම ගියේය.

සජිත්ගේ වැඩ ගැන පුංචි මන්ත‍්‍රීවරු අමනාපයෙන්.

කුරුණෑගල, නුවර පාරේ පිහිටි හෝටලයකදී කුරුණෑගල දිස්ත‍්‍රික් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම පැවැත්වුණේ පසුගිය සෙනසුරාදාය. මීට පෙර පැවැති දිස්ත‍්‍රික් කෘත්‍යාධිකාරි රැස්වීම්වලට තෝරාගැනීමකින් තොරව පිරිස් සහභාගි කරගැනීම හේතුවෙන් ඇති වූ කලබල හේතුවෙන්දෝ එදින රැස්වීමට ඇතුලූවන්නට අවසර ලැබී තිබුණේ දිස්ත‍්‍රික් කෘත්‍යාධිකාරි මණ්ඩලයේ නිල සාමාජිකයින්ට පමණි. රැස්වීම පැවැති ශාලාවට ඇතුල්වීමේදී නාම ලේඛණයක් පරීක්ෂා කර අදාළ පුද්ගලයින් පමණක් ඊට ඇතුලු කරන්නට සංවිධායකයින් විසින් කටයුතු කළහ. ඇමැති ගාමිණි ජයවික‍්‍රම, ඇමැති අකිල විරාජ්, නියෝජ්‍ය ඇමැති අශෝක් අබේසිංහ සහ මන්ත‍්‍රී නලින් බණ්ඩාර ඇතුලූ පිරිසක් රැස්වීමේ මුලසුන හෙබවූහ. එජාපය නියෝජනය කරන පළාත් සභා මන්ත‍්‍රීවරුන්, පළාත් පාලන ආයතනවල හිටපු මන්ත‍්‍රීවරු සහ ආසන සංවිධායකවරුන්ද දිස්ත‍්‍රික් කෘත්‍යාධිකාරි මණ්ඩල සභිකයින් ලෙස රැස්වීමට සහභාගි වී සිටියහ. රැස්වීම අතරතුරදී අදහස් දැක් වූ හිටපු පළාත්පාලන මන්ත‍්‍රීවරුන් කිහිපදෙනෙකු රජයේ වැඩපිළිවෙල පිළිබදව කතාකළේ එතරම් ප‍්‍රසාදයකින් නොවේ. රජය විසින් යම් සංවර්ධන වැඩපිළිවෙලක් දියත් කරමින් සිටින බව පිළිගන්නා නමුත් ඒවායේ ප‍්‍රතිලාභ ගම්වලට නොලැබීම පිළිබදව ඔවුහු නොසතුටින් අදහස් දැක්වූහ. විශේෂයෙන් එක්සත් ජාතික පාක්ෂිකයින් රැකියාවක් හෝ ලබාදීමට නොහැකිවීමෙන් ඔවුන් අසතුටට පත්ව සිටින බවත් හිටපු මන්ත‍්‍රීවරු මෙහිදී කීහ. ඊට පිළිතුරු දෙමින් ඇමැති අකිල සහ අශෝක් කීවේ රට මත පැටවී තිබෙන ණය බරින් නිදහස්වීමට රජය මුල්තැනක් දී කටයුතු කරන බැවින් කෙටි කාලයක් තුළදී මෙම තත්වය සමනය වී නව රැකියා අවස්ථාවන් උදාවනු ඇති බවය. හවුල් ආණ්ඩු සංකල්පයෙන් එක්සත් ජාතික පාක්ෂිකයින් දිගින් දිගටම බැටකමින් සිටින බව කී තවත් මන්ත‍්‍රීවරයෙකු කීවේ පසුගියදා පොල්පිතිගම විජයබාගම නමින් විවෘත කෙරුණු උදාගම්මානයෙන් එකම යූඇන්පී කාරයෙකුටවත් ගෙයක් ලැබී නැති බවය. ඒ පිළිබදව සංවාදය ඉදිරියට ඇදී යද්දී නැගී සිටි වයඹ පළාත් සභා මන්ත‍්‍රී මොහාන් පෙරේරා, ඇමැති සජිත් පේ‍්‍රමදාසගේ අධීක්ෂණය යටතේ ක‍්‍රියාත්මක වන වැඩසටහන්වල පවතින අඩුපාඩු පිළිබදව දැඩි විවේචනයක් කළේය. ‘‘මම මේ වන්නි හත්පත්තුව නියෝජනය කරන නිකවැරටිය, ගල්ගමුව සහ යාපහුව ආසන තුන වෙනුවෙන් කතා කරන්නේ. කලින් ආණ්ඩුව තියෙද්දී අපේ පාක්ෂිකයින්ට තිබුණු සමෘද්ධි දීමනාවත් කපලා ඔවුන් පීඩාවට පත් කරලයි තිබුණේ. අපේ ආණ්ඩුව ආවට පස්සේ සජිත් මහත්තයා සමෘද්ධිය භාරගත්තා. නමුත් සජිත් ඇමැතිතුමා සමෘද්ධි නිලධාරින්ගේ දීමනා ටික වැඩිකරලා දුන්නා මිසක් අපේ පාක්ෂිකයන්ට වෙච්ච අසාධාරණකම් ගැන බැලූවේ නැහැ. අදටත් සමෘද්ධි නිලධාරින් කෙණෙහිලිකම් කරන්නේ අපේ පාක්ෂිකයින්ටම විතරයි. ඒ නිසා ඒ මිනිස්සු අදත් අසරණයි. දැන් ඉන්දික බණ්ඩාරනායක නිවාස ණයයි, සිමෙන්තියි , මේසන් කට්ටලයි බෙද බෙදා යනවනේ. ඒ සියලු ආධාර උපකාර යන්නෙත් මහින්ද රාජපක්ෂගේ මිනිස්සුන්ට විතරයි. යූඇන්පී කාරයින්ට ණයත් නැහැ, සිමෙන්තිත් නැහැ, කට්ටලත් නැහැ. නමුත් සජිත් මහත්තයා නම් කියලා තියෙන්නේ මේ ප‍්‍රතිලාභවලින් සියයට පනහක් ශ‍්‍රී ලංකා එකේ අයට දෙන්න. අනෙක් සියයට පනහ යූඇන්පී අයට දෙන්න කියලා. නමුත් වෙන්නේ එහෙම නෙවෙයි. මේවා නිවැරදි විය යුතුයි. මට කියන්න තියෙන දේ මම කෙලින්ම කියනවා. අපි වරප‍්‍රසාද ගන්න බලාගෙන නෙවෙයි මේ තනතුරු ගන්නේ. මේ තනතුරුවලින් ජනතාවට සේවයක් වෙන්නේ නැත්නම් මේ තනතුරු දාලා යන්න වුනත් මම ලෑස්තියි. ’’මොහාන් උද්වේකර අයුරින් පැවසීය. මොහාන්ගේ කතාව අනුමත කරමින් යාපහුව එජාප සංවිධායිකා අචිනි ලොකුබණ්ඩාරද කීවේ ශ‍්‍රීලනිප මැති ඇමැතිවරුන් ආසනය තුළ සිමෙන්ති මිටි පනහක් බෙදද්දී තමන්ට ලැබෙන්නේ සිමෙන්ති මිටි දහයක් පමණක් වන බවත්ය. සියලූ චෝදනාවලට සාවධානව කන්දුන් ඇමැති අකිල මැදිහත් වී මොහාන් සහ අචිනි අස්වැසුවේය. දේශපාලන පළිගැනීම් මත සහන සැලැස්වීමේදී එම සහන ලැබී ඇත්තේ සුදුසුම පුද්ගලයින්ට නොවන බවට තවත් චෝදනාවක් මතු වූ අතර අසාධාරණයට පත් සැබෑ එක්සත් ජාතික පාක්ෂිකයින් වෙත සහන සැලැස්වීමේ වැඩපිළිවෙලක් සකස් කරන බවට මුලසුනේ සිටි මැති ඇමැතිවරුන් සහතික වූහ.

දෙස්පාලන තෝරු මෝරු මැද ඕසෙට තැලෙන මහව විදුහල්පති.

මහව විජයබා විදුහලට අයත් සයිමන් නවගත්තේගම රංග ශාලාවේදී පසුගිය ඉරිදා පස්වරුවේ පැවැත්වීමට තිබූ සම්මන්ත‍්‍රණයක් සදහා අවසර නොදී විදුහල් ගේට්ටුවට ඉබි යතුරු දැමීමේ සිදුවීමට පසුගිය සතියේදී මහත් ප‍්‍රසිද්ධියක් ලැබී තිබිණි. මෙම සම්මන්ත‍්‍රණයේ දෙසුම් සදහා පැමිණ සිටි බෙංගමුවේ නාලක හිමි, සරත් වීරසේකර, වසන්ත බණ්ඩාර සහ නීතිඥ මනෝහරද සිල්වා ඇතුලු පිරිසකට අවසානයේදී මහව උඩුවේරියේ පිහිටි නිවසකදී අදාල සම්මන්ත‍්‍රණය පවත්වන්නට සිදු වී තිබිණි. මෙම සිදුවීම මුල්කරගනිමින් දෙපාර්ශ්වයෙන්ම විවිධ කරුණු කාරණා කියැවෙමින් තිබේ. කල්ඇතිවම මුදල් ගෙවා, කලාප අධ්‍යාපන කාර්යාලයේ අවසරය මත මෙම සම්මන්ත‍්‍රණය සංවිධානය කළ නමුත් හදිසියේ ලැබුණු ඇමැති අකිලගේ නියෝගයක් මත සම්මන්ත‍්‍රණය පැවැති දා පාසල් ගේට්ටුව වසාදැමීමට විදුහල්පතිවරයා කටයුතු කළ බව සම්මන්ත‍්‍රණ සංවිධායකයින්ගේ චෝදනාව වෙයි. නමුත් අනෙක් පාර්ශ්වයෙන් කියැවෙන්නේ දේශපාලනික අරමුණක් මත සංවිධානය කර තිබූ මෙම සම්මන්ත‍්‍රණය , විද්වත් සභාවක් ලෙස අගවමින් එහි සංවිධායකයින් විසින් ශාලාව වෙන්කරගෙන තිබූ බවත්, අදාළ සම්මන්ත‍්‍රණයේ සැබෑ අරමුණු සහ එහි දේශකයින් පිළිබදව අනාවරණයවීමෙන් පසුව පාසල තුළට දේශපාලනය ගෙන්වාගැනීම යෝග්‍ය නොවන බැවින් විදුහල්පතිවරයාගේ බලතල අනුව අදාල වෙන්කිරීම අවලංගු කළ බවත්ය. සංවිධායක පාර්ශ්වයෙන් යළි කියන්නේ විදුහල්පතිවරයා විදුහලේ ගේට්ටු වසාදමා, යතුරුද රුගෙන නිවසින් අතුරුදන්ව සිටි බවත්, තමන්ට විදුහල්පතිවරයා සොයාගැනීම පිණිස මහත් වෑයමක් දරන්නට සිදු වූ බවත්ය. සම්මන්ත‍්‍රණයට එරෙහි පිරිස් කියන්නේ, සම්මන්ත‍්‍රණ සංවිධායකයින් අදාළ ශාලාව භාරකරුගේ නිවසට ගොස් ඔහුගේ පියා රවටාගෙන රංග ශාලාවේ යතුරු ලබාගෙන ඇති බවත්, බලහත්කාරයෙන් රංග ශාලාව විවෘත කිරීමට උත්සාහ කිරීම නිසා යතුර ආපසු ලබාගැනීමට පොලිසියේද සහය පතන්නට සිදු වූ බවත්ය. කෙසේ වෙතත් මේ දෙපාර්ශ්වයෙන්ම කියැවෙන කරුණු දෙස බැලීමේදී එක් කරුණක් නම් සක්සුදක් සේ පැහැදිලිය. එනම් එකිනෙකා වෙත ඇගිලි දිගුකරගනිමින් සිටින දෙපාර්ශ්වයේම කිල්ලෝටවල හුණු ටික ටික හෝ තිබී ඇති බවය. දේශපාලනික උවමනාවන් වෙනුවෙන් දෙපාර්ශ්වය විසින්ම මෙම සිදුවීම මෙහෙයවා ඇති නමුත් අද වන විට ඊට තනිවම වන්දි ගෙවන්නට සිදු වී ඇත්තේ මේ දෙපාර්ශ්වයම අයත් නොවන විදුහල්පතිවරයාටය. මක්නිසාදයත් අදාළ සම්මන්ත‍්‍රණය පවත්වන්නට ඉඩනොදීමෙන් තමන්ට සිදු වූ අපහසුතාවය වෙනුවෙන් රුපියල් කෝටි පහක වන්දියක් ගෙවන ලෙස ඉල්ලා මහව විජයබා විදුහල්පතිවරයාට එරෙහිව අදාල සම්මන්ත‍්‍රණයේ සංවිධායකයින් විසින් පසුගිය ස`දුදා අධිකරණය හමුවේ නඩුවක් ගොනු කළ හෙයිනි. දේශපාලන තෝරුන් මෝරුන් අතර සටනකට අකාලයේ මැද්දට ඇද වැටීමෙන් අනතුරුව තැලී පොඩිවෙන්නට සිදුවී ඇත්තේ කොහේවත් සිටි විදුහල්පතිවරයෙකුටවීම සිනාසෙන්නට කරුණක්දැයි, කණගාටුවෙන්නට කරුණක්දැයි තීරණය කිරීම පාඨක ඔබට භාරය.

උපුටාගැනීම – මව්බිම පුවත්පත, 2017 පෙබරවාරි 02 වැනි බ‍්‍රහස්පතින්දා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article