Thursday, April 25, 2024

චන්ද්‍රිකාගේ රැස්වීමේදී ගෝරි දැමූ නඩුවෙන් හිටපු මන්ත‍්‍රීවරු නිදහස්. (ඡායාරූප)

Must read

chandrika_meeting_caseහිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේදී පැවති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සමුඵවක් අතුරතුරදී මන්ත‍්‍රීවරයෙකුට පහර දී , හූ කියා කලබල ඇති කළ බවට කුරුණෑගල මහ නගර සභාවේ සහ කුරුණෑගල ප‍්‍රාදේශීය සභාවේ හිටපු මන්ත‍්‍රීවරුන් තිදෙනෙකු ඇතුලු පිරිසකට එරෙහිව පවරා තිබූ නඩුවක චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙසට කුරුණෑගල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සම්පත් හේවාවසම් මහතා ඊයේ (06 දා) නියෝග කළේය.

මෙලෙස නිදොස් කොට නිදහස් කෙරුණේ කුරුණෑගල මහ නගර සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු මන්ත‍්‍රීවරුන් වන තුෂාර සංජීව, අබ්දුල් සත්තාර්, කුරුණෑගල ප‍්‍රාදේශීය සභාවේ හිටපු මන්ත‍්‍රී අසංක රණසිංහ, අරුණ දසනායක සහ පුෂ්පකුමාර යන අයවඵන්ය.

2015 අප්‍රේල් මස 09 වැනිදා පැවැති මෙම රැස්වීමේදී නිකවැරටිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රි ආනන්ද රුද්‍රිගු මහතාට පහරදුන් බව කියමින් නීතිවිරෝධී රැස්වීම, නීති විරෝධී රැස්වීමක සාමාජිකයින් වී පුද්ගලයෙකුට පහරදීම, බැණ තර්ජනය කිරීම ඇතුලු චෝදනා හයක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව කුරුණෑගල පොලිසිය විසින් අධිකරණය හමුවේ නඩු පවරා තිබිණි. එම චෝදනාවලින් 5 සහ 6 යන චෝදනා පැමිණිලිකරුගේ එකගත්වය මත ඉල්ලා අස්කරගැනීමට පොලිසිය විසින් නඩු විභාගය අතරතුරදී කටයුතු කළේය. සාක්ෂි විමසීම සදහා පැමිණිල්ලේ පළමු සාක්ෂිකරු අධිකරණය වෙත කැදවා තිබූ අතර විත්තියේ නීතිඥ ශ‍්‍රී ලාල් වෙදගේ මහතා විසින් හරස් ප‍්‍රශ්න ඇසීමට ලක්කිරීමේදී සාක්ෂියෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත‍්‍රාත්වරයා, විත්තිකරුවන්ට එරෙහිව නගා ඇති සෙසු චෝදනාවන් ඔප්පුකිරීමට හෝ විත්තිකරුවන් වැරදිකරුවන් බව තහවුරු කිරීමට තරම් ප‍්‍රමාණවත් සාක්ෂි පැමිණිල්ල සතුව නොමැති‍ බවක් පෙනී යන බව පැවසීය. එබැවින් තවදුරටත් සාක්ෂි විභාග කිරීම අවශ්‍ය නොවන බවට නිගමනය කළ මහේස්ත‍්‍රාත්වරයා විත්තිකරුවන් වෙත නගා තිබූ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළේය.

විත්තිකරුවන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ කීර්ති දුණුසිංහ සහ නීතිඥ ශ‍්‍රී ලාල් වෙදගේ යන මහත්වරුන් පෙනී සිටියහ.

පසුසටහන

මෙම සිදුවීම හේතුවෙන් එවකට කුරුණෑගල සහකාර පොලිස් අධිකාරිවරයා ලෙස කටයුතු කළ මහින්ද දිසානායක මහතා හැටන් වෙත මාරු කර යවනු ලැබීය.

පහත දැක්වෙන්නේ අදාල කලබලය සිදු වූ අවස්ථාවේ ලබාගත්  ඡායාරෑප කිහිපයකි. chandrika_meeting_case_2 chandrika_meeting_case_3 chandrika_meeting_case_4 chandrika_meeting_case_5 chandrika_meeting_case_1 chandrika_meeting_case_6

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article