Friday, April 19, 2024

අකිලගේ අාක්‍රමණයට වයඹ පළාත් සභාවෙන් විරෝධය !

Must read

nwp_pd_eduපළාත් සභාවන් සතු බලතලවලට බලපෑම් වන අයුරින්, වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ධූරය සදහා සුදුස්සෙකු බදවාගැනීමට රේඛීය අමාත්‍යංශය මගින් සිදුකිරීමට නියමිත ක‍්‍රියාදාමය හෙළාදැකිය යුතු බවට සහ වයඹ පළාත් ආණ්ඩුකාරිවරිය විසින් එය නොපිළිගත යුතු බවට වූ යෝජනාවක් පසුගියදා (07 දා) වයඹ පළාත් සභාවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය.

වයඹ පළාත් සභා සංකීර්ණයේ සශ‍්‍රී ශාලාවේදී පෙරේදා පැවැති වයඹ පළාත් සභා රැස්වීම වෙත හදිසි හා අත්‍යවශ්‍ය යෝජනාවක් ලෙස මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ පළාත් අධ්‍යාපන අමාත්‍ය සන්ධ්‍ය කුමාර රාජපක්ෂ මහතා විසිනි.

පළාත් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ එම යෝජනාවෙහි දැක්වුණේ ‘‘ 1988 පළාත් සභා නිර්මාණය වූ දා සිට පළාත් ආණ්ඩුකාරවරයා සතු බලයක් වන පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ධූරය සදහා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනයට අදාලව පළාත් සභා පනත යටතේ පවතින බලතල අභිබවමින්, සේවා ව්‍යවස්ථාවක් යොදාගනිමින් රේඛීය අමාත්‍යංශයේ අධ්‍යාපන සේවා කමිටුව‍ සම්මුඛ පරීක්ෂණය සදහා පුවත්පත් දැන්වීමක් පළකර ඇත. ඒ අනුව මෙම ක‍්‍රියාදාමය පළාත් සභා බලතල සදහා සෘජුව බලපාන හෙයින් මෙය හෙළාදැකිය යුතු අතර , එමගින් සිදුකරනු ලබන පත්වීමක් ආණ්ඩුකාරවරිය විසින් පිළිනොගත යුතු බවත්, වයඹ පළාත් සභාව තුළින් සිදුකිරීමට නියමිත බදවාගැනීමේ ක‍්‍රියාවලියෙන් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ බදවාගැනීමටද ආණ්ඩුකාරවරිය කටයුතු කළ යුතු බවත් මෙම සභාව යෝජනා කරයි. ’’ යනුවෙනි.

අනතුරුව පැය දෙකකට ආසන්න කාලයක් තිස්සේ ඒ පිළිබදව විවාදය පැවැති අතර පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරුන් විසින් එහිදී යෝජනාව පිළිබදව අදහස් දක්වනු ලැබූහ. විවාදය අතරතුරදී පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරුන් අතර ඇති වූ උණුසුම් වචන හුවමාරු කිහිපයක් හේතුවෙන් සභා රැස්වීම උණුසුම් මුහුණුවරකටද පෙරළිණි. විවාදය අවසන්වීමෙන් පසුව අදාළ යොජනාව සම්මත කිරීම සදහා ඡන්ද විමසීම පැවැත්වුණු අතර වයඹ ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා ඇතුලු එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කළ අතර යෝජනාවට පක්ෂව ඡන්ද 21 ක් ලැබිණි. ඉන් අනතුරුව සභාපති ටිකිරි බණ්ඩා අධිකාරි විසින් යෝජනාවට විපක්ෂව ඡන්දය පාවිච්චි කිරීමේ අවස්ථාව සහ ඡන්දය දීමෙන් වැළැකීසිටීමේ අවස්ථාවන් නිවේදනය කළ නමුත් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් එම අවස්ථාවන්වලදී කිසිදු ප‍්‍රතිචාරයක් පළනොකර සිටිනු දැකගත හැකිවිය. ඒ හේතුවෙන් සභාපති ටිකිරි බණ්ඩා විසින් අදාළ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වූ බව සභාවට නිවේදනය කළේය. එහිදී ඊට විරෝධය දැක් වූ එජාප මන්ත‍්‍රීවරුන්, විපක්ෂව ඡන්දය ප‍්‍රකාශ කිරීමේ අවස්ථාවක් නිවේදනය කරනු තමන්ට නොඇසුණු බැවින් නැවත ඡන්ද විමසීමක් කරන ලෙසට ඉල්ලා සිටි නමුත් සභාපතිවරයා ඊට අවසර නොදුන්නේය. ඒ අනුව යෝජනාව වැඩි ඡන්ද 21 කින් සම්මත විය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article