Saturday, April 20, 2024

රාජකාරිය නිමවා නිවසට එමින් සිටි ගොකරැල්ල සුඵ පැමිණිලි ස්ථානාධිපති වැලි ලොරියක ගැටී මරුට.

Must read

ip_weerarathne_death_5රාජකාරිය අවසන් කිරීමෙන් අනතුරුව යතුරුපැදියක නැගී නිවසට බලා යමින් සිටියදී මාර්ගය අයිනේ නවතා තිබූ වැලි ලොරියක ගැටීමෙන් පසුගියදා (17 දා) රාත‍්‍රියේ සිදු වූ අනතුරකින් ගොකරැල්ල පොලිසියට අනුයුක්තව සේවය කරමින් සිටි පොලිස් පරීක්ෂකවරයෙකු ජීවිතක්ෂයට පත්විය.

මෙලෙස ජීවිතක්ෂයට පත් වූයේ ගොකරැල්ල පොලිසියේ සුඵ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක එම්. ජී. වීරරත්න මහතාය.

ඉකුත් 17 දා රාත‍්‍රි 10.35 ට පමණ සේවය අවසන් කර තමාට අයත් යතුරු පැදියේ නැගී ගොකරැල්ල පොලිසියෙන් පිටත් වී ඇති වීරරත්න මහතා, පොලිසියේ සිට මීටර් දෙසියයක් පමණ දුරින් කුරුණෑගල – දඹුල්ල ප‍්‍රධාන මාර්ගය අයිනේ නවතා තිබූ වැලි ලොරියක පිටුපස කොටසේ ගැටී ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ. අනතුරින් හිසට සහ මුහුණ ප‍්‍රදේශවලට සිදු වූ බරපතල තුවාල සහිතව සිටි වීරරත්න මහතා ප‍්‍රදේශවාසීන් විසින් ගොකරැල්ල දිසා රෝහලට ඇතුළත් කර ඇති නමුත් ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බවද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. මිය ගිය නිලධාරියාගේ සිරුර පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත් වූ කුරුණෑගල අධිකරණ වෛද්‍ය නිලධාරි එම්. ඒ. සී. ටී. චමින්ද මහතා , ශරීරයට සිදු වූ බහුවිධ තුවාල සහ අභ්‍යන්තර ලේ ගැලීම් හේතුවෙන් එම මරණය සිදු වී ඇති බවට තීන්දු කළේය.

ගොකරැල්ල ප‍්‍රදේශයේම පදිංචිකරුවෙකු වන එම්. ජී. වීරරත්න මහතා මිය යන විට 58 හැවිරිදි වියෙහි පසුවිය. එක් දරු පියෙකු වන ඒ මහතා ලබන වසරේදී පොලිස් සේවයෙන් විශ‍්‍රාමයාමට නියමිතව සිටි බව ඔහුගේ ඥාතීහු කියති. 1979 වසරේදී උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස පොලිස් සේවයට එක් වී ඇති වීරරත්න මහතා ගෙවුණු වසර තිස් අටක කාලය පුරා මනම්පිටිය, මඩකලපුව, හතරැස්කොටුව, වාලච්චේන ආදී පොලිස් ස්ථාන ගණනාවක රාජකාරි කළ නිලධාරියෙකි. සේරුනුවර පොලිසියේ සේවය කරමින් සිටි වීරරත්න මහතා ස්ථාන මාරුවීමක් ලබා ඔහුගේ නිවස ආසන්නයේ පිහිටි ගොකරැල්ල පොලිසියේ සේවයට වාර්තා කර ඇත්තේ මීට වසරකට පමණ පෙරදීය. ගොකරැල්ල පොලිසිය සහ වීරරත්න මහතාගේ නිවස අතර ඇත්තේ කිලෝමීටරයකටත් නොඅඩු දුරක් වීමද විශේෂත්වයකි. ගොකරැල්ල දිසා රෝහල ඉදිරිපිට පිහිටි වීරරත්න මහතාගේ නිවසට ඊයේ (19 දා) දහවල් පැමිණි වයඹ සහ උතුරුමැද පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතා විසින් මියගිය නිලධාරියාගේ දේහයට අවසන් ගෞරව දැක්වීය.

වීරරත්න මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු පූර්ණ පොලිස් ගෞරව සහිතව මැල්සිරිපුර ආදාහනාගාරයේදී අද පස්වරුවේ සිදුකෙරිණි.ip_weerarathne_death_1 ip_weerarathne_death_2 ip_weerarathne_death_4 ip_weerarathne_death_3

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article