Saturday, April 20, 2024

මන්ත‍්‍රී ක‍්‍රියාකාරීත්වය ප‍්‍රශ්න කළ පියුමාල්ට පිළිතුරු දීම වයඹ සභාපති ප‍්‍රතික්ෂේප කරයි.

Must read

piyumal_reject_by_tbවයඹ පළාත් සභාව නියෝජනය කරන පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරුන් පළාත් සභාව තුළ සක‍්‍රිය දායකත්වය දක්වන ආකාරය පිළිබදව විමසමින් වයඹ පළාත් සභා මන්ත‍්‍රී පියුමාල් හේරත් මහතා විසින් අසන ලද ප‍්‍රශ්නයකට පිළිතුරුදීම වයඹ පළාත් සභාවේ සභාපති ටිකිරි බණ්ඩා අධිකාරි විසින් ඊයේ (21 දා ) ප‍්‍රතික්ෂේප කළේය.

පළාත් සභාවේ සභාපතිවරයාගෙන් පිළිතුරු අපේක්ෂා කරමින් ඊයේ පැවැති වයඹ පළාත් සභා රැස්වීමේ න්‍යාය පත‍්‍රයට මෙම ප‍්‍රශ්නය ඇතුළත් කර තිබිණි. අනු අංක දහයකින් යුත් එම ප‍්‍රශ්නයෙන්, වයඹ පළාත් සභාව නියෝජනය කරන එක් එක් මන්ත‍්‍රීවරයා සභා රැස්වීම්වලට සහභාගි වූ දින ගණන, අවසර ලබා සභා රැස්වීම්වලට සහභාගි නොවූ මන්ත‍්‍රීවරු සහ නොදන්වා සභාවට නොපැමිණි මන්ත‍්‍රීවරුන් හා වාර ගණන, එක් එක් මන්ත‍්‍රීවරයා විසින් පසුගිය වසර තුන තුළදී සභාවට ඉදිරිපත් කළ යෝජනා ගණන, පුද්ගලික කරුණු දැක්වීම් යටතේ අදහස් නොදැක් වූ මන්ත‍්‍රීවරුන් මෙන්ම මන්ත‍්‍රීවරුන්ගේ උපදේශක කාරක සභාවන්ට සහභාගිවීමේ ප‍්‍රගතිය ආදී මන්ත‍්‍රීවරුන්ගේ ක‍්‍රියාකාරිත්වය පිළිබදව තොරතුරු විමසා තිබිණි.

එම ප‍්‍රශ්නයට පිළිතුරු දෙමින් සභාපති ටිකිරි බණ්ඩා පැවසුවේ අදාල ප‍්‍රශ්නයට පිළිතුරු ලබාදීම පිළිබදව සභා කටයුතු කාරක සභාවේදී සාකච්ඡා කර තීන්දුවකට එළැඹි බවය. පියුමාල් හේරත් මහතාගේ ප‍්‍රශ්නයෙන් ඉල්ලා සිටින්නේ මන්ත‍්‍රීවරුන් සම්බන්ධ පුද්ගලික තොරතුරු වන බැවින් එම තොරතුරු ලබාදීමට සියලු මන්ත‍්‍රීවරුන් එහිදී විරෝධය පළකළ බවද සභාපතිවරයා පැවසීය. එබැවින් මන්ත‍්‍රීවරුන්ගේ තොරතුරු ලබාදීමට නොහැකි බවත්, අවශ්‍ය නම් පියුමාල් හේරත් මහතාගේ තොරතුරු පමණක් අදාළ ප‍්‍රශ්නයට පිළිතුරු ලෙස ලබාදිය හැකි බවත් සභාපතිවරයා පැවසීය. එහිදී සිය අසුනෙන් නැගී සිටිමින් ඊට ප‍්‍රතිචාර දැක්වූ පියුමාල් හේරත් මහතා, තමන් පිළිබද තොරතුරු තමන්ටම ලබාදීමට තීන්දු කිරීම පිළිබදව සභාපති ටිකිරි බණ්ඩා වෙත සිය ස්තූතිය පළකළේය.

සභා කටයුතු අමාත්‍යවරයාගෙන් පිළිතුරු අපේක්ෂා කරමින් පියුමාල් හේරත් මහතා විසින් 2016 නොවැම්බර් මස 22 වැනිදා පැවැති පළාත් සභා රැස්වීමට මෙම ප‍්‍රශ්නය පළමු වරට ඉදිරිපත් කළේය. එහිදී විෂය භාර අමාත්‍ය ලක්ෂ්මන් වේඩරුව මහතා විසින් අදාළ ප‍්‍රශ්නයට පිළිතුරු ලබාදීමට තරම් තමන්ට බලතල නැති බව කියමින් ප‍්‍රශ්නයට පිළිතුරු සැපයීම ප‍්‍රතික්ෂේප කළ අතර ඉන් අනතුරුව පියුමාල් හේරත් මහතා එම ප‍්‍රශ්නය වයඹ ප‍්‍රධාන අමාත්‍යවරයා වෙත යොමුකරනු ලැබීය. වයඹ ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා ද පියුමාල් හේරත් මහතාගේ ප‍්‍රශ්නයට පිළිතුරු ලබාදීම ප‍්‍රතික්ෂේප කිරීම හේතුවෙන් අවසන් වශයෙන් එම ප‍්‍රශ්නය යොමුකර තිබුණේ වයඹ පළාත් සභාවේ සභාපතිවරයා වෙතය. වයඹ පළාත් සභාවේ ධූරධාරින් විසින් පිළිතුරු සැපයීම ප‍්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මාස තුනකට අධික කාලයක් තිස්සේ සභා න්‍යාය පත‍්‍රයේ රැදී තිබූ පියුමාල් හේරත් මහතාගේ ප‍්‍රශ්නයට පිළිතුරු ලබාදීමකින් තොරවම ඊයේ දිනයේදී සභා න්‍යාය පත‍්‍රයෙන් ඉවත්විය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article