Friday, April 19, 2024

බැසිල්ගේ ලේකම් සභාපති පුටුවේ වාඩිකරවීමේ ඇමැති දෙහිගමගේ සිහිනය බිදවැටෙයි !

Must read

alg_july_7_4

ayg_2017_02_23ආණ්ඩුකාර පියසීලිට එරෙහි විශ්වාසභංගයට පණ ආ හැටි.

වයඹ ආණ්ඩුකාර අමරා පියසීලීට එරෙහිව විශ්වාසභංගයක් ගෙනඒමට ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් විසින් දෙවැනි වරටත් මුල පිරුවේ පසුගිය සතියේදීය. 2015 මාර්තු මාසයේදීත් ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් විසින් ආණ්ඩුකාර පියසීලිට එරෙහිව මේ අයුරින්ම දෝෂාභියෝග යෝජනාවක් ගෙනා නමුත් අන්තිමේදී එම දෝෂාභියෝගයට සිදුවූයේ නටපු නැටුමකුත් නැතිව, බෙරේ පලුවකුත් නැතිවුණු පන්නයේ වැඩකි. ස්ත‍්‍රී දූෂණ චෝදනාවක් මත සේවයෙන් නෙරපා හැර සිටි පුත්තලම, විල්පොත අනුර විද්‍යාලයේ සේවය කළ ශාරීරික අධ්‍යාපන විෂය පිළිබද ගුරුවරයෙකු යළි සේවයේ පිහිටුවන ලෙසට ආණ්ඩුකාර පියසීලී විසින් ලබාදී තිබූ බව කියන නියෝගයක් එම දෝෂාභියෝග යෝජනාව ගෙන ඒමට නිමිති වී තිබිණි. හිටපු ආණ්ඩුකාර තිස්ස බල්ලල විසින් නිශ්ප‍්‍රභ කරන ලද අභියාචනාවක් වෙනස් කරමින් දූෂණ චෝදනා සහිත එම ගුරුවරයා යළි සේවයේ පිහිටුවීමෙන්, පෙර ආණ්ඩුකාරවරයෙකු විසින් ලබා දුන් නියෝගයක් තවත් ආණ්ඩුකාරවරයෙකුට වෙනස් කළ නොහැකි ලෙසට සහ එක් සිදුවීමක් සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකුට ආණ්ඩුකාරවරයෙකු වෙත අභියාචනා කළ හැක්කේ එක් වතාවක් පමණක් බවට පැනවී ඇති විධිවිධාන ආණ්ඩුකාර පියසීලී විසින් හිතාමතාම කඩකර ඇතැයිද, එමගින් ආණ්ඩුකාරවරිය විසින් ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව චේතනාන්විතව උල්ලංඝණය කර ඇති බවටත් විෂමාචාර චෝදනා නගමින් ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් විසින් එම දෝෂාභියෝග යෝජනාව කෙටුම්පත් කර තිබිණි. සභා වාර ගණනාවකදීම විවාදයට නොගෙන කල් දමමින්, මාස ගණනාවක් තිස්සේ සභා න්‍යාය පත‍්‍රයේ වේලෙමින් පැවැති දෝෂාභියෝග චෝදනාව ඉල්ලා අස්කරගැනීමට අවසානයේදී ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් විසින්ම කටයුතු කිරීමත් සමග දෝෂාභියෝගය කතාබහද එතැනින් අවසන් විය. වයඹ ආණ්ඩුකාරවරියට එරෙහි විශ්වාසභංගයකට ආණ්ඩු පක්ෂය විසින් පසුගිය සතියේදී දෙවැනි වරටත් මුලපුරන්නේ එවැනි අසාර්ථක දෝෂාභියෝග ඉතිහාසයක අත්දැකීම්ද සහිතවය. මෙවර ආණ්ඩුකාරවරියට එරෙහිව ඉදිරිපත් කිරීමට යන විශ්වාසභංගයට ආසන්නම හේතුව වී ඇත්තේ වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පත්කිරීම සම්බන්ධයෙන් මධ්‍යම ආණ්ඩුව සහ පළාත් සභාව අතර හටගත් ගැටුමේ අතුරු ඵලයකි. වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ධූරය සදහා සුදුස්සෙකු බදවාගැනීමට අයදුම්පත් කැදවමින් රේඛීය අමාත්‍යංශය පුවත්පත් දැන්වීමක් පළකිරීමත්, එම ක‍්‍රියාදාමය අනුමත කරමින් සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය සදහා ආණ්ඩුකාරවරිය විසින් පළාත් සභා නියෝජිතයින් නම් කර යැවීමත් ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන්ගේ විරෝධයට හේතු වී තිබිණි. රේඛීය අමාත්‍යංශයේ වැඩපිළිවෙල පළාත් සභාව සතු බලතල උදුරාගැනීමක් වන බැවින් එම ආක‍්‍රමණකාරී පිළිවෙත හෙළාදැකිය යුතු බවට සහ ඒ හරහා සිදුකරනු ලබන පත්වීමක් ආණ්ඩුකාරවරිය විසින් පිළිනොගත යුතු බවට දක්වමින් ඇමැති සන්ධ්‍ය රාජපක්ෂ විසින් පසුගිය 07 වැනිදා වයඹ පළාත් සභා රැස්වීමට ඉදිරිපත් කළ හදිසි හා අත්‍යවශ්‍ය යෝජනාවක්ද වැඩි ඡන්දයෙන් සම්මත වූයේ ඒ උණුසුම මැදය.

අවසන් තීන්දුවකට ආණ්ඩු පක්ෂයෙන් හදිසි රැස්වීමක් !

පැය දෙකකට ආසන්න කාලයක් පැවැති එම විවාදය අතරතුරදී මැති ඇමැතිවරුන්වත් නොදැන සිටි බව කියන ආණ්ඩුකාරවරියගේ ඇතැම් තීන්දු තීරණ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන්ගේ කටින් පිටවීම ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක් බදු විය. එම ගින්නේ රස්නය ආණ්ඩු පක්ෂයට තදින්ම දැනී තිබීම නිසාදෝ සභා රැස්වීම නිමවීමෙන් අනතුරුව ආණ්ඩු පක්ෂයේ හදිසි කණ්ඩායම් රැස්වීමක් කැදවා තිබිණි. එය ආණ්ඩුකාරවරියට එරෙහිව විශ්වාසභංගය ඉදිරිපත් කිරීම පිළිබදව තීන්දුවක් ගැනීම සදහා කැදවූ රැස්වීමක් විය. එහිදී ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් වැඩිදෙනෙකු තරයේම කියා සිටියේ ආණ්ඩුකාරවරියට එරෙහිව යළි විශ්වාසභංගයක් ගෙන ආ යුතු බවය. පසුගිය වතාවේ දෝෂාභියෝග ලියැවිල්ල කෙටුම්පත් කිරීමේ කටයුත්ත සිදුකළ මන්ත‍්‍රී පියුමාල් හේරත්ට එම වගකීම මෙවරත් පවරන්නට කණ්ඩායම් රැස්වීමේදී යෝජනාවක් ඉදිරිපත් විය. පියුමාල් හැරෙන තැපෑලෙන් එම යෝජනාව ප‍්‍රතික්ෂේප කළේය. ”අනේ මට නම් බැහැ. එකපාරක් ඔය විදිහට දෝෂාභියෝගයක් ගෙනල්ලා අන්තිමට වෙච්ච දේ දැක්කනේ. නිකම් සවුත්තු වුණා විතරයි. ඒ නිසා ඔය යෝජනාව ගෙනාව දවසකට අත උස්සන්න එන්නම්. ඒ හැර වෙන කිසිම වගකීමක් භාරගන්න මට බැහැ. ” යැයි කී පියුමාල් තමාගේ ලිපි ලේඛණ මිටියද කිහිලිගන්නාගෙන කණ්ඩායම් රැස්වීමෙන් පිටවී ගියේය. පියුමාල් නික්ම ගිය නමුත් ආණ්ඩු පක්ෂයේ හදිසි රැස්වීම අවසන් වූයේ ආණ්ඩුකාර පියසීලිට එරෙහිව විශ්වාසභංගයක් ගෙනෙන බවට ස්ථිර තීන්දුවකට එළැඹෙමිනි.

විශ්වාසභංගයට අස්සන් තැබීමෙන් පසු මහ ගෙදරදී සාදයක් !

පසුගිය 07 වැනිදා එලෙස තීන්දු කෙරුණු දෝෂාභියෝගයේ දෙවැනි පියවර ක‍්‍රියාත්මක කෙරුණේ පසුගිය බ‍්‍රහස්පතින්දාය. ඒ එදින පැවැති ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදීය. ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීම වෙනදාට පැවැත්වෙන්නේ ප‍්‍රධාන අමාත්‍ය කාර්යාලයේ රැස්වීම් කාමරයේදී වුවත්, එදින කණ්ඩායම් රැස්වීම වඩාත් තීරණාත්මකවීම නිසාදෝ එය සංවිධානය වී තිබුණේ කුරුණෑගල වැවරවුමේ පිහිටි මහ ගෙදරදීය. කණ්ඩායම් රැස්වීමත්, ඉන් අනතුරුව සුහද සාදයකුත් එහිදී සංවිධානය වී තිබුණේ මහ ඇමැති ධර්මසිරිගේ අනුග‍්‍රහයෙනි. කණ්ඩායම් රැස්වීම ආරම්භයේදීම දෝෂාභියෝගය පිළිබද සාකච්ඡාවට ගත් අතර එහිදී අදහස් දැක්වූ මන්ත‍්‍රීවරුන් ගණනාවක් විසින් ආණ්ඩුකාරවරියගේ ක‍්‍රියාපිළිවෙත පිළිබදව විවේචනාත්මක අයුරින් අදහස් දක්වන්නට වූහ. පළාත් සභාවේ සුඵ සේවක පත්වීම් සම්බන්ධ බලතලත් ගැසට් නිවේදනයක් මගින් ආණ්ඩුකාරවරිගේ අතට ගෙන ඇතැයිද, පළාත් සභාවේ ගුරු පත්වීම් ලබාදීම සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරිය විසින් මේ දක්වා ගැසට් නිවේදනයක් නිකුත් කර නැති තත්වය තුළ තමන් දැඩි ලෙස අපහසුතාවයට පත්ව සිටින බවටද ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරු චෝදනා කළහ. එබැවින් ආණ්ඩුකාරවරියට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංගයට එම චෝදනා සියල්ලම මෙන්ම කලින් දෝෂාභියෝගයට ඇතුළත්ව තිබූ චෝදනාවද ඇතුලත් විය යුතු බවටත් කණ්ඩායම් රැස්වීමේදී තීන්දු කෙරිණි. ආණ්ඩුකාර පියසීලීට එරෙහි දෝෂාභියෝග චෝදනාව පළාත් සභාවේ සභාපතිවරයා වෙත භාරදීම සදහා සභාවේ මන්ත‍්‍රීවරුන්නේ අඩකගේ හෙවත් මන්ත‍්‍රීවරුන් 27 දෙනෙකුගේ අත්සන් පමණක් සෑහෙන නමුත් මන්ත‍්‍රීවරුන් වැඩි පිරිසක් අත්සන් තැබූ විශ්වාසභංග චෝදනාවක් සභාපතිවරයා අතට පත්කිරීම ආණ්ඩු පක්ෂයේ අරමුණ විය. සැලසුම එසේ වුවත් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් සියලුදෙනාම එදින කණ්ඩායම් රැස්වීමට සහභාගි වී නොසිටි බැවින් විශ්වාසභංග ලියැවිල්ලට අත්සන් තැබුවේ එදින එහි පැමිණ සිටි මන්ත‍්‍රීවරුන් පමණි. ඇමැති රවුෆ් හකීම් යහපාලන ආණ්ඩුවේ කොටස්කරුවෙකුව සිටින නමුත් එදින කණ්ඩායම් රැස්වීමට පැමිණ සිටි මුස්ලිම් කොංග‍්‍රස් මන්ත‍්‍රී එස්. එච්. එම්. නියාස්ද දෝෂාභියෝගය සදහා අත්සන් තැබීය. ඒ අනුව මුස්ලිම් කොංග‍්‍රසය නියෝජනය කරන අනෙක් මන්ත‍්‍රීවරයා වන රිස්වි ජවහර්ෂාගේ ඡන්දයද දෝෂාභියෝගයට පක්ෂව ලැබෙන බවට ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් විසින් ගණන් තබාගත්හ. එදින කණ්ඩායම් රැස්වීමට නොපැමිණි මන්ත‍්‍රීවරුන්ද තමන්ට කණ්ඩායම් රැස්වීමට පැමිණීමට නොහැකි වන නමුත් ආණ්ඩුකාරවරියට එරෙහි දෝෂාභියෝග යෝජනාවට අස්සන් තබන බවට එහි පැමිණ සිටි මන්ත‍්‍රීවරුන් වෙත සහතික කිරීමට වගබලාගෙන තිබිණි. එලෙස දෝෂාභියෝගයේ අඩිතාලම දමමින් කණ්ඩායම් රැස්වීම අවසන්වෙද්දී මහගෙදර එළිමහනේදී සුහද සාදය සූදානම්ව තිබූ අතර දෝෂාභියෝගයේ සාර්ථකත්වය පතා සව්දිය පුරමින්ම සාදය ඇරඹිණි.
ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් විසින් අස්සන් කරන ලද අදාළ දෝෂාභියෝග යෝජනාව ලබන මාර්තු මස 07 වැනිදා පැවැත්වීමට නියමිත පළාත් සභා රැස්වීමේ න්‍යාය පත‍්‍රයට ඇතුළත් කරන ලෙස ඉල්ලා වයඹ පළාත් සභාවේ සභාපති ටිකිරි බණ්ඩා වෙත පෙරේදා දිනයේදී භාරදෙනු ලැබීය. වයඹ පළාත් සභාවේ තුනෙන් දෙකක බලයක් සහිත බහුතර බලය හිමිව ඇත්තේ වත්මන් ආණ්ඩු පක්ෂය ලෙස කටයුතු කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයට වන බැවින් ආණ්ඩුකාර පියසීලීට එරෙහිව ඉදිරිපත් කෙරෙන විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් පෙර වතාවේදී මෙන් බාධාවක් සිදුනොවුනහොත් එම යෝජනාව බහුතර ඡන්දයෙන් සම්මතවීමේ වැඩි සම්භාවිතාවක් පවතී. වත්මන් වයඹ පළාත් සභාවේ සංයුතිය පවතින්නේ ආණ්ඩු පක්ෂයට මන්ත‍්‍රීධූර 34 ක් සහ විපක්ෂයට මන්ත‍්‍රීධූර 17 ක් වශයෙනි. වයඹ පළාත් සභාව , සභාපතිවරයා හැර මන්ත‍්‍රීවරුන්ගෙන් 51 දෙනෙකුගෙන් සමන්විත වන අතර එහි තුනෙන් දෙකේ බලයකින් දෝෂාභියෝග යෝජනාවක් සම්මත කිරීම සදහා අවශ්‍යවන්නේ මන්ත‍්‍රීවරුන් 34 දෙනෙකුගේ ඡන්ද පමණකි.

සතියෙන් සතියට මාරුවෙන ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරු !

වයඹ මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිය සම්බන්ධයෙන් නම් කියන්නට ඇත්තේ එම අධිකාරිය මේ වන විට එකම ජංජාලයක් බවට පත් වී ඇති බවය. ඇමැති දෙහිගම විසින් ප‍්‍රවාහන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ප‍්‍රභාත් විමල් කුමාර පත්කිරීමත් සමග වයඹ දේශපාලන පොර පිටිය ගිනියම් වූ අයුරු පසුගිය සතියේදී අඵ යට ගිනි පිටුවෙන් හෙළිකෙරිණි. සතර දෙසින් නැග ආ විරෝධය පවා නොතකමින් මාර්ගස්ථ අධිකාරියේ සභාපතිවරයා ලෙස ප‍්‍රභාත් පත්කිරීමට ඇමැති දෙහිගම විසින් ගත් තීන්දුවම දෙහිගම වෙත පාරාවලලක් වී තිබූ බව පසුගිය සතිඅන්තය වන විට දැකගත හැකි විය. දෙහිගමගේ තීන්දුව කෙතරම් දුරදිග ගොස් තිබුණාදැයි කිවහොත් ප‍්‍රභාත්ගේ පත්කිරීමට එරෙහිව ශ‍්‍රීලනිප මහලේකම් ඇමැති දුමින්ද දිසානායක සෘජුවම මැදිහත් වූ බවද පසුගිය සතිඅන්තයේදී වාර්තා විය. ඇමැති දුමින්ද විසින් රතු එළි දැල්වීමේ ප‍්‍රතිඵලයක් ලෙස ප‍්‍රභාත්ට පිරිනැමූ පත්වීම අහෝසිකර වයඹ මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිය වෙත නව සභාපතිවරයෙකු පත්කරන්නට ඇමැති දෙහිගම ඉකුත් අගහරුවාදා වනවිට කටයුතු කර තිබිණි. දෙහිගම පාලනය යටතේ මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියට පත් කළ පස්වැනි සභාපතිවරයා ලෙසට මෙන්ම, පෙබරවාරි මාසය තුළදී එම සභාපති අසුනේ හිදගත් සිව්වැන්නා වශයෙන් අයි. පී. ඩී. ගුණතිලක පසුගිය අගහරුවාදා රාජකාරි ආරම්භ කළේය. කුලියාපිටිය ප‍්‍රාදේශිය සභාවේ හිටපු මන්ත‍්‍රීවරයෙකු මෙන්ම ඇමැති දෙහිගමගේ සමීප ඥාතියෙකුද බව කියන ගුණතිලක මාර්ගස්ථ අධිකාරියේ මුල් පුටුවේ වාඩිකරවීම හරහා ප‍්‍රභාත්ගේ පත්වීමට එරෙහිව පැනනැගුණු කෝලාහලය සමනය කරන්නට ඇමැති දෙහිගම බලාපොරොත්තුවන්නට ඇති නමුත් ඒ සමගම බැසිල්ගේ ලේකම්වරයෙකුගේ අතට වයඹ මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිය පත්කිරීමට ඇමැති දෙහිගම විසින් දකිමින් සිටි සිහිනයද දිවාකල දුටු සිහිනයක් බවට පත්ව බිදවැටී තිබිණි.

උපුටාගැනීම – මව්බිම පුවත්පත, 2017 පෙබරවාරි 23 වැනි බ‍්‍රහස්පතින්දා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article