Saturday, April 20, 2024

ආණ්ඩුකාරවරිය ගෙදර යවන දෙවැනි වෑයමටත් වයඹ ආණ්ඩු පක්ෂය හෙට වැඩ අල්ලයි.

Must read

nwp_govener_1වයඹ ආණ්ඩුකාර අමරා පියසීලී රත්නායක මහත්මිය විසින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව චේතනාන්විතව උල්ලංඝණය කර ඇති බැවින් ඕ එම ධූරයෙන් ඉවත්කළ යුතු බව ජනාධිපතිවරයා වෙත යෝජනා කරමින් ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන විශ්වාසභංග යෝජනාවක් හෙට ( 07 දා ) පැවැත්වෙන වයඹ පළාත් සභා රැස්වීමේදී විවාදයට ගැනීමට නියමිත බව වයඹ ටුඩේ වෙත වාර්තා වෙයි.

පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ධූරයට අයෙකු පත්කිරීම සදහා රේඛීය අමාත්‍යංශය විසින් අනුගමනය කිරීමට යන ක‍්‍රියාදාමය අනුමත කිරීම සහ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් සදහා ආණ්ඩුකාරවරිය විසින් පළාත් සභා නියෝජිතයෙකු නම් කර යැවීම, අදාළ පත්කිරීම පිළිබද පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයට කිසිදු දැනුම්දීමක් නොකර විපක්ෂය පමණක් දැනුවත් කිරීමට කටයුතු කිරීමෙන් පක්ෂග‍්‍රාහි ලෙස කටයුතු කිරීම, වයඹ පළාත් රාජ්‍ය සේවා කොමිසමේ සභාපතිවරයා ලෙස එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධකම් ඇති අයෙකු පත්කිරීම යන චෝදනාවන් ආණ්ඩුකාරවරියට එරෙහි විශ්වාසභංග යෝජනාවට අදාලව ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන් විසින් අද සභා රැස්වීමට ඉදිරිපත් කරනු ඇතැයිද බව වයඹ ටුඩේ වෙත වැඩිදුරටත් වාර්තා වෙයි.

මේ පිළිබදව කළ විමසීමකදී අද දිනයේදී එවැනි යෝජනාවක් ගෙන ඒමට ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් සූදානමින් සිටින බව වයඹ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රී සුමිත් රාජපක්ෂ මහතා සනාථ කළේය. ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 154 (ආ) 4 (ආ) වැනි වගන්තියට අනුව ඉදිරිපත්කරන මෙම යෝජනාව විවාද කිරීම පසුගියදා රැස්වූ සභා කටයුතු කාරක සභාවේදී කාලය පවා වෙන්කර ඇති බවද හෙතෙම පැවසීය. අදාල යෝජනාව සම්මත කිරීම සදහා අවශ්‍ය කරන ප‍්‍රමාණයටත් වඩා මන්ත‍්‍රීවරුන් ප‍්‍රමාණයක් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන බැවින් මෙම යෝජනාව පහසුවෙන් සම්මත කරගැනීමට හැකිවනු ඇති බවද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.

වයඹ පළාත් සභා සංකීර්ණයේ පිහිටි සශ‍්‍රී ශාලාවේදී හෙට පෙරවරු 9.30 ට වයඹ පළාත් සභාව රැස්වීමට නියමිතය.

වයඹ ආණ්ඩුකාර අමරා පියසීලී රත්නායක මහත්මියට එරෙහිව හෙට දිනයේදී වයඹ පළාත් සභාව වෙත ඉදිරිපත් කෙරෙන දෝෂාභියෝග විවාදය ආරම්භයේ සිට ඡන්ද විමසීම දක්වා සිදුවන උණුසුම් සහ නවතම තතු විත්ති එසැණින් ඔබ වෙත ගෙන එමින් වයඹ පළාත් සභා පරිශ්‍රයේ සිට විශේෂ ප්‍රවෘත්ති ආවරණයක යෙදීමට වයඹ ටුඩේ කණ්ඩායම සූදානමින් සිටී. ඒ අනුව දෝෂාභියෝගය සම්බන්ධ සියලු  අවස්වථාවන් වයඹ ටුඩේ වෙබ් අඩවිය හරහා සැණින් එසැණින් අප පාඨක ප්‍රජාව වෙත මුදාහැරීමට අප සූදානමින් සිටිමු. රැදෙන්න වයඹ ටුඩේ සමග !!

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article