Thursday, April 25, 2024

විශ්වාසභංගයේ උණුසුම ඉන්දුනිසියාවටත් දැනෙද්දී ආණ්ඩු පක්ෂයේ ගුටි කෙළියක් නූලෙන් වැළකෙයි !

Must read

ayg_2017_3_10alg_july_7_4සාලින්දගෙයි, අලවතුවලගෙයි බෝල්වලට දයාසිරි බැට් කරයි.

වත්මන් සම්මුතිවාදී ආණ්ඩුවේ අනුහසින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මැති ඇමැතිවරුන් එකම වේදිකාවක වාඩි වී උත්සවවලට සහභාගිවීම මේ වන විට සුලබ දසුනක් වී ඇති නමුත් එජාපය, ශ‍්‍රීලනිපය සහ ඒකාබද්ධය යන පිල් තුනම නියෝජනය කරන මැති ඇමැතිවරුන් එක තැනකට එකතුවන අවස්ථාවන් නම් දැකගත නොහැකි තරම්ය. එවැනි අවස්ථාවක් උදාවන්නේ නම් එය සැලකිය හැක්කේ විරල අවස්ථාවක් ලෙසටය. එවැනි විරල අවස්ථාවක් පසුගිය සෙනසුරාදා කුරුණෑගල, වෙළගෙදර පිටියේදී දැකගත හැකි විය. නවීකරණය කෙරුණු වෙළගෙදර ගෘහස්ථ ක‍්‍රිකට් අංගනය ක‍්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකරගේ අතින් විවෘත කෙරුණේ එදිනය. දයාසිරිට අමතරව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපති, නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජේ. සී. අලවතුවල මෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ සාලින්ද දිසානායකත් එම අවස්ථාවට එක්වී සිටියහ. පීත්ත පටිය කපා විවෘත කෙරුණු ක‍්‍රිකට් අංගණයට පිවිසි මැති ඇමැතිවරුන් ඉදිරිපිටදී පාසල් සිසුන් පිරිසක් ප‍්‍රදර්ශණාත්මකව ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ යෙදෙන්නට වූහ. ටික වේලාවක් එදෙස බලා සිටි තිලංග සුමතිපාල ක‍්‍රිකට් පිත්තක්ද අතට ගෙන පන්දුවට පහරදීමට සැරසුණු නමුත් පාසල් සිසුහු තිලංගට පන්දුව යොමුකරන්නට මැලිවූහ. ඒ නිසා තිලංගට පන්දු යවන්නට ඉදිරිපත් වූයේ ඇමැති දයාසිරිය. දයාසිරි යැවූ පන්දු කිහිපයටම තිලංග එල්ල කළේ එකම පහරකි. ‘‘ඔයා ගහන්නෙම ඕෆ් එකෙන්නේ. කෝ දෙන්න මට ’’යැයි කියමින් අත්වැසුම් යුවළක් පැළදගත් දයාසිරි තිලංගගේ අතේ තිබූ පිත්ත අතට ගත්තේය. ඇමැති දයාසිරිට පන්දු එවීමට එහා අන්තයේ සිටගත්තේ ඒකාබද්ධ පිල නියෝජනය කරන මන්ත‍්‍රී සාලින්දය. ‘‘ඔයාට මම එවන්නේ අවුට් නොවෙන බෝලයක්. ’’ සාලින්ද කීවේය. ‘‘ඒ මොකද ? ’’ දයාසිරි ඇසීය. ‘‘නෑ ඉතිං ඔයා කොයි පිට්ටනියට ගියත් තමන්ට ඕනේ විදිහට මැව් එක ගහගන්නවානේ. ඒකයි. ’’යැයි කී සාලින්ද දයාසිරිට පන්දු කිහිපයක් යැවූ අතර දයාසිරිද සාලින්දගේ පන්දුවලට සාර්ථක ලෙස මුහුණ දුන්නේය. සාලින්දගෙන් පසුව පන්දුව අතට ගත්තේ මන්ත‍්‍රී ජේ. සී. අලවතුවලය. අලවතුවලත් දයාසිරිට පන්දුව යැව්වේ සාමාන්‍ය වේගයකිනි. ‘‘දැන් මෙහෙම හෙමිහිට බෝල් කළාට මම පළාත් සභාවේ හිටපු කාලේ මෙයා බෝල එව්වේ මගේ ඔලුව කුඩුවෙන්න. ’’තමන් වයඹ මහ ඇමැති ලෙසත්, අලවතුවල විපක්ෂනායක ලෙස කටයුතු කළ කාලය සිහිකරමින් දයාසිරි කීවේය. ‘‘හරි, හරි, දැන් ඔයාවත්, මමවත් පළාත් සභාවේ නැහැනේ. ඒ නිසා දැන් ඒ කාලේ එවපු බෝල දැන් දාන්නේ නැහැ.’’කී අලවතුවල දයාසිරි වෙත පන්දු කිහිපයක්ම යැවීය.

වයඹ සෞඛ්‍ය ලේකම් නාරම්මල රෝහලේ !

ආණ්ඩුකාර අමරා පියසීලිට එරෙහි දෝෂාභියෝග යෝජනාව කරළියට එන මෙම සතියේදී අසනීපවීම්, විදේශගතවීම්, අතුරුදන්වීම් පමණක් නොව පළාත් සභාවට එන අතරමගදී වාහනයේ හුළං බැසීම් වැනි අකරතැබ්බයන් පවා මන්ත‍්‍රීවරුන්ට සිදුවිය හැකි බව පසුගිය සතියේ අඵ යට ගිනි පිටුවේ ලියැවිණි. දෝෂාභියෝග දිනයේදී මන්ත‍්‍රීවරුන් මුහුණදෙනු ඇතැයි අඵ යට ගිනි පිටුවෙන් සැක පහළ කළ එවැනි අවස්ථාවකට වයඹ පළාත් සභාවේ උසස් නිලධාරියෙකු මුහුණ දී තිබුණේ පසුගිය බ‍්‍රහස්පතින්දාය. ඒ වයඹ පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් ටී. බී. වික‍්‍රමසිංහය. පළාත් සභාවේ සිටින ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ලේකම් වික‍්‍රමසිංහ වෙත ආණ්ඩුකාර අමරා පියසීලි විසින් තවත් භාරදූර වගකීමක් පවරා තිබුණේ සති කිහිපයකට පෙරදීය. විවාදයට තුඩු දී ඇති පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ධූරයට අයෙකු පත්කිරීම වෙනුවෙන්, රේඛීය අමාත්‍යංශය විසින් පත්කෙරෙන සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය සදහා වයඹ පළාත් සභාවේ නියෝජිතයා ලෙස ආණ්ඩුකාරවරිය විසින් නම් කර යවා තිබුණේ ලේකම් ටී. බී. වික‍්‍රමසිංහගේ නමය. ඒ අනුව එම සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේදී හාපුරා කියා රැස්වීමට නියමිතව තිබුණේ පසුගිය සිකුරාදාය. නමුත් සැලසුම් කළ පරිදි එදින එම සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට රැස්වීමට නොහැකිවූයේ ලේකම් වික‍්‍රමසිංහට මුහුණදීමට සිදු වූ බව කියන හදිසි අනතුරක් හේතුවෙනි. වාහනයේ ගමන් කරමින් සිටියදී මුහුණදුන් අනතුරකින් ආබාධයකට ලක් වූ බව කියමින් ලේකම් ටී. බී. වික‍්‍රමසිංහ හදිසියේ රෝහල්ගත වී තිබුණේ පසුගිය බ‍්‍රහස්පතින්දා පස්වරුවේදීය. කුරුණෑගල ශික්ෂණ රෝහල හෝ වැඩි පහසුකම් සහිත රෝහලක් ප‍්‍රතිකාර ලබාගැනීම සදහා තෝරාගත හැකිව තිබියදීත්, පළාත් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා ලෙස පූර්වාදර්ශයක් ලබාදිය යුතුයැයි කල්පනා කිරීම නිසාදෝ වික‍්‍රමසිංහ විසින් ප‍්‍රතිකාර ලැබීමට තෝරාගෙන තිබුණේ නාරම්මල දිසා රෝහලවීම විශේෂත්වයකි. අදාල අනතුරින් බාහිර තුවාල කිසිවක් නොලැබූ නමුත්, පෙර අනතුරකින් ඇතිව තිබූ ගෙල ප‍්‍රදේශයේ මස් පිඩු ආබාධයක් යළි මතුවීම හේතුවෙන් රෝහල් ගතවී නේවාසිකව ප‍්‍රතිකාර ලබන්නට සිදු වූ බව කියමින් වෛද්‍ය වාර්තාවක්ද සහිතව ආණ්ඩුකාරවරිය දැනුවත් කිරීමට ලේකම් වික‍්‍රමසිංහ කටයුතු කර තිබිණි. ලේකම්වරයාගේ හදිසි රෝහල්ගතවීමත් සමෙග පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ධූරය වෙනුවෙන් වූ පසුගිය සිකුරාදා පැවැත්වීමට නියමිතව තිබූ සම්මුඛ පරීක්ෂණයද ස්වයංක‍්‍රියව අහෝසි වී ගියේ පළාත් සභා නියෝජිතයා ලෙස නම්කර සිටින ලේකම් වික‍්‍රමසිංහ නොමැතිව එම මණ්ඩලයට රැස්විය නොහැකි වන බැවිනි. එබැවින් අදාළ සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටීමට කොළඹ ගිය සිරිමෙවන් පොඩිනිළමේ ඇතුලූ අධ්‍යාපන නිලධාරින්ට හිස් අතින්ම ආපහු හැරී එන්නට සිදු වී තිබිණි. නාරම්මල රෝහලේ වෙද හෙදකම්වල මහිමය හේතුවෙන්දෝ සිකුරාදා දහවල් වනවිට තරමක සුවය ලැබූ ලේකම් වික‍්‍රමසිංහ රෝහලෙන් නිදහස් වී නිවස වෙත ගොස් තිබිණි.

විශ්වාසභංගය නොගෙනාවොත් පළාත් සභා බිල්ඩිමෙන් බිමට පනින්න ගිය මන්ත‍්‍රී.

ජනපති මෛත‍්‍රී විසින් ඉන්දුනීසියාවේ සිට ලබාදුන් බව කියන පොරොන්දුවකට අනුව ආණ්ඩුකාර අමරා පියසීලීට එරෙහිව පළාත් සභාවේ ආණ්ඩු පක්ෂය විසින් පසුගිය අගහරුවාදා ගෙනඒමට නියමිතව තිබූ විශ්වාසභංගය දින නියමයක් නැතිවම කල්ගියේය. කාගේවත් හිත නොරිදෙන අයුරින් විශ්වාසභංගය අවසන් වූ බවක් මතුපිටින් පෙනෙන නමුත් විශ්වාසභංගය ඉදිරිපත්කිරීමට නියමිතව තිබූ පසුගිය අගහරුවාදා පළාත් සභා සංකීර්ණය තුළදී කරළි සහ පෙරළි රැසක්ම සිදුවිය. සදුදා මධ්‍යම රාත‍්‍රියද පසුවන වනතෙක් විශ්වාසභංගය සම්මත කරවාගැනීම පිණිස වෙහෙසීමෙන් පසුව, අගහරුවාදා උදෑසන ඡන්ද දෙන්නට ලකලෑස්ති වී පළාත් සභාවට පා තැබූ ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන්ගේ කණට වැටුණේ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීම අවිනිශ්චිත තත්වයක පවතින බවට වූ අසුබ ආරංචියකි. මේ හේතුවෙන් පළාත් සභා රැස්වීම ආරම්භවීමට පෙර ආණ්ඩු පක්ෂයේ හදිසි කණ්ඩායම් රැස්වීමක් කැදවිණි. එහිදී අදහස් දැක් වූ මහ ඇමැති ධර්මසිරි කීවේ ඉන්දුනිසීයාවේ සිටින ජනාධිපතිවරයා එදින උදෑසන 7. 18 පමණ තමා ඇමැතූ බවත්, ආණ්ඩුකාරවරිය සමග කටයුතු කිරීමේදී මතුව ඇති ගැටලූව පිළිබද සාකච්ඡා කර විසදුමක් ලබාදෙන බවට පොරාන්දු වූ බවත්ය. එබැවින් විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීම කල්දැමීමට හැකිදැයි ජනපති තමන්ගෙන් ඉල්ලා සිටි බවත් ධර්මසිරි කීය. ධර්මසිරිගේ ප‍්‍රකාශයත් සමග ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන්ගේ බොහෝ දෙනකුගේ අපේක්ෂා බිදවැටුණු බව දැකගත හැකි වූ අතර ධර්මසිරිගේ ප‍්‍රකාශය පිළිබදව සැක පහළ කළ ඇතැම් මන්ත‍්‍රීවරුන්ට තම දුරකථනයේ සටහන්ව තිබූ ජනාධිපතිවරයාගේ ඇමැතුම් දත්ත පවා පෙන්වීමට ධර්මසිරිට සිදුවිය. නිශ්චිත තීන්දුවකින් තොරවම සාකච්ඡාව අවසන් කළ ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් සභා රැස්වීමට පැමිණ අසුන්ගන්තේ විශ්වාසභංගය ඉදිරිපත් කිරීම හෝ නොකිරීම පිළිබද සිත්වල දෙගිඩියාවක්ද රදවාගෙනය. සභාවේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරුණු අතර පෙරවරු 11.05 ට පමණ තේ විවේකය සදහා සභාව කල්තබනු ලැබීය. ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් අතර ඇතිව තිබූ නොසන්සුන් බව හේතුවෙන්ම තේ පානයෙන් පසුව ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන්ගේ තවත් හදිසි කණ්ඩායම් රැස්වීමක් කැදවා තිබිණි. ‍ට්‍රෙවින් ප‍්‍රනාන්දු, සමන්ප‍්‍රිය හේරත්, ඩී. බී. හේරත්, සුමිත් රාජපක්ෂ, මල්රාජ් පීරිස් ඇතුලු ඒකාබද්ධ විපක්ෂ පිලේ මන්ත‍්‍රිවරුන් විශ්වාසභංග යෝජනාව ගෙන ආ යුතුය යැයි අවධාරණය කළ අතර මන්ත‍්‍රී අශෝක වඩිගමංගාව කීවේ ජනාධිපතිවරයා විසින් ලබා දී ඇති පොරොන්දුව මත එය මේ අවස්ථාවේදී ඉදිරිපත් නොකළ යුතු බවය. යම් හෙයකින් විශ්වාසභංගය ඉදිරිපත්වන්නේ නම් තමන් ඡන්දය නොදී සිටීමට තමන්ට සිදුවන බවද වඩිගමංගාව කීය. පියසිරි රාමනායකද වඩිගමංගාවගේ ස්ථාවරය අනුමත කරමින් කතා කළේය. මුස්ලිම් කොංග‍්‍රස් මන්ත‍්‍රී දෙපළගේ මෙන්ම ආණ්ඩු පක්ෂයේ තවත් මන්ත‍්‍රීවරු කිහිපදෙනෙකුගේ ඡන්දත් විශ්වාසභංගය වෙනුවෙන් ලැබීම අවිනිශ්චිත බවට ඒ වනවිට ලකුණු පහළ වෙමින් තිබිණි. විශ්වාසභංගය ගෙන ආවේ කාගේ උවමනාවකටදැයි සහ එය ඉදිරිපත් කළ ක‍්‍රමවේදයේ තිබූ අඩුපාඩු පිළිබදවත් මන්ත‍්‍රීවරුන් අතරේ වාද විවාද ඇති වී තිබිණි. විශ්වාසභංගය කල්දැමීමට විරෝධය පළකරමින් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් කිහිපදෙනෙකු සාකච්ඡාවෙන් නැගිට ගියේ තමන් මින් ඉදිරියට කිසිදු කණ්ඩායම් රැස්වීමකට සහභාගි නොවන බව කියමිනි. මෙම සිදුවීම්වලින් කණ්ඩායම් රැස්වීම තුළ වඩාත්ව අසරණ වී සිටි බව පෙණුනේ මහ ඇමති ධර්මසිරිය. විශ්වාසභංග යෝජනාව දියවෙමින් පවතින බව දැකීමෙන් එය සභාවට ඉදිරිපත් කිරීමට නියමිතව සිටි මන්ත‍්‍රී සුමිත් රාජපක්ෂට යකා නැංගේය. ‘‘දිනන්න හරි පරදින්න හරි අද මේක සභාවට දාන්නම ඕනෑ. මේ සභාවට දාන්නේ නැත්නම් මම මේ තට්ටු තුනෙන් පහළට පැනලා මැරෙනවා. ’’සුමිත් දැඩි ලෙස පැවසීය. ව්‍යාකූල වී ගිය සාකච්ඡාව සමථයකට පත්කරන්නට ඉදිරිපත් වූයේ මන්ත‍්‍රී අතුල විජේසිංහය. ‘‘අපිට විසදුම් දෙකයි තියෙන්නේ. එකක් තමයි මේ විශ්වාසභංගය අදම ගේන එක. දිනන්න හරි පරදින්න හරි මේක සභාවට දාන්න පුලුවන්. අනිත් විසදුම තමයි ජනාධිපතිතුමාට ඇහුම්කන්දීලා මේක වෙන දවසකට කල් දාන එක. නමුත් එහෙම කරන්න නම් අපේ ආත්ම ගරුත්වයත් ආරක්ෂා වෙන්න ඕනෑ. ඒ නිසා මේක කල්දානවා නම් මහ ඇමැතිතුමා ඒ ගැන ප‍්‍රකාශයක් කරන්න ඕනෑ. ’’අතුල කීය. ‘‘හරි. මම එහෙම ප‍්‍රකාශයක් කරන්නම්. ’’ධර්මසිරි එකග විය. ඒ අනුව පැයකට වැඩි කාලයක් තිස්සේ පැවැති සාකච්ඡාව අවසන් කරමින් ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් සභාගැබට පිවිසුණේ පස්වරු එකට පමණය. ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් සැලකිය යුතු පිරිසක් සභා ගැබට පැමිණ නොසිටි බව දැකගත හැකි විය. සභාවේ කටයුතු යළි ආරම්භවීමත් සමග සභාපති ටිකිරි බණ්ඩා මන්ත‍්‍රි සුමිත්ගේ නම නිවේදනය කළේ මහතා හදිසි සහ අත්‍යවශ්‍ය යෝජනා යටතේ විශ්වාසභංගය ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදෙමිනි. එහිදී සුමිත්ට පෙර නැගී සිටි මහ ඇමැති ධර්මසිරි ජනාධිපතිවරයාගේ මැදිහත්වීම මත ආණ්ඩුකාරවරියට එරෙහි විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීම කල්දැමීමට ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් තීරණය කළ බව පැවසීය. වෙනත් යෝජනා නොවූ බැවින් ඉන් අනතුරුව සභා රැස්වීම අවසන් කෙරිණි. ආණ්ඩු පක්ෂයේම දෙපිරිසක් අතර ගුටි කෙළියක් සදහා මුල පිරුණේ සභාව අවසන් කළ මන්ත‍්‍රීවරුන් සභාවෙන් පිටවී යමින් සිටියදීය. සභාවෙන් පිටවී යමින් සිටි මන්ත‍්‍රී ට්‍රෙවින් ප‍්‍රනාන්දු, මල්රාජ් පීරිස් ඇතුලූ පිරිසකට මන්ත‍්‍රී සභාව වෙත එමින් සිටි පියුමාල් හේරත්, ඉන්ද්‍රානි දසනායක, කමල් ඉන්දික ඇතුලු පිරිසක් මුහුණට මුහුණ මුණගැසුණේ සභා ගැබේ පිටවීම් දොරටුවේය. ‘‘කොහේද යන්නේ ?’’ පියුමාල් ඇසීය. ‘‘කොහේද යන්නේ කියලා අහන්නේ මොනවාද ? වැඩේ ඉවරයි.’’ට්‍රෙවින් නොමනාපයෙන් මෙන් පිළිතුරු දුන්නේය. ‘‘ ඇයි අද මේක ගන්නේ නැද්ද ? අපි මේ සභාවට යන ගමන්. ’’කී පියුමාල් සභාගැබ වෙත යාමට සැරසුණේය. ‘‘අනේ මේ නිකම් ඉන්න. වැඩේ අවුල් කරලා දැන් මෙතන මොනවත් දන්නේ නෑ වගේ පෙන්නනවා. ’’ට්‍රෙවින් එවර කීවේය. ට්‍රෙවින්ගේ ප‍්‍රතිචාරය පියුමාල් කෝපගන්වන්නට සමත් වූ අතර දෙදෙනා අතර උණුසුම් වාග් සංග‍්‍රාමයක් ආරම්භ විය. ‘‘සක්කිලියා, තොපි’’ ආදී වදන් මෙන්ම අසභ්‍ය වචන කිහිපයකුත් කියැවෙනු ඇසිණි. වාග් සංග‍්‍රාමය උස්ව නැගී අත් පා එසවෙන්නට ආසන්න තත්වයකට එද්දී ජවිපෙ මන්ත‍්‍රී නාමල් කරුණාරත්න ප‍්‍රශ්නයට මැදිහත් විය. ‘‘හරි , හරි, මෙතැන මිනිස්සුයි, නිලධාරිනුයි ඔක්කෝම බලාගෙන ඉන්නවා. තියෙන ප‍්‍රශ්නයක් ඇතුළට ගිහින් විසදගමු. ’’යැයි කියමින් දෙපාර්ශ්වය දෙපසකට කළේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article