Thursday, March 28, 2024

“  කල්ලි ගැසී පක්ෂයෙන් ගිය අයටත් ජනපතිගේ වැඩපිළිවෙලට එක්වීමට සිදුවේවි ! “ වයඹ ශ්‍රීලනිප මැති ඇමැතිවරු කියති.

Must read

slfp_press_01ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් නායකයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සංකල්ප, අරමුණු සහ වැඩපිළිවෙල අද වනවිට බො‍හෝදෙනෙකු පිළිගෙන ඇති බැවින් පක්ෂයෙන් වෙන්වී කල්ලි ගැසී සිටින කණ්ඩායම්වලටද ඉදිරියේදී එම වැඩපිළිවෙල හා එක්වීමට සිදුවනු ඇති බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන වයඹ පළාත් සභා මැති ඇමැතිවරු පවසති.

වයඹ පළාත් සභාවේ මැති ඇමැතිවරුන් මේ බව ප්‍රකාශ කළේ පසුගියදා ( 17 දා) කුරුණෑගලදී පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී අදහස් දැක්වූ වයඹ ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා මෙසේ පැවැසීය.

එදා සිට අද දක්වා මේ රට පාලනය කළ රාජ්‍ය නායකයින් දිහා බලලා අපිට ඉදුරාම කියන්න බැහැ කවුද දක්ෂ නායකයා , කවුද අදක්ෂ නායකයා කියලා. නමුත් අපිට එක දෙයක් නිශ්චිතවම කියන්න පුලුවන්. ඒ තමයි මේ රාජ්‍ය නායකයින් අතර පිරිසිදුම රාජ්‍ය නායකයා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කියලා. ඒක මේ රටට විතරක් නොවෙයි මුලු ලෝකයටම එතුමා මේ වෙනකොට ඔප්පු කරලා හමාරයි. එතුමා දූෂණයට, වංචාවට, හොරකම්, තක්කඩිකමට උදව් නොකරන, ඒවා සහමුලින්ම ප්‍රතික්ෂේප කරන රාජ්‍ය නායකයෙක්. එතුමා හැම අවස්ථාවකදීම කියන්නේ පිරිසිදු රාජ්‍ය පාලනයක් වර්තමානයේදීවත් ඇති කළ යුතුයි කියලයි. ඇත්තම කිව්වොත් දැන් දේශපාලනය කරන එකත් විලිලැජ්ජාවක් බවට පත්වෙලා තියෙනවා. රටේ මිනිස්සු අමුතු විදහටයි දේශපාලනඥයෝ දිහා බලන්නේ. හොරකම් කරනවා, කොමිස් ගහනවා, තක්කඩිකම් කරනවා, රාජ්‍ය බලය යොදාගන්නවා, දේශපාලන බලය යොදාගෙන අකටයුතුකම් කරනවා කියලා තමයි අද සමාජය දේශපාලනඥයෝ දිහා බලන්නේ. මේක මහා භයානක තත්වයක්. ලැජ්ජාවක් ඇති කෙනෙකුට අද දේශපාලනය කරන්න බැරිවෙලා තියෙනවා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කියන ආකාරයට දැන් මේ රටේ රාජ්‍ය පරිපාලනය පිරිසුදු විය යුතුයි. එහෙම නොවුනොත් මේ රටේ මිනිස්සු දේශපාලනඥයින්ට කවද හරි දවසක හොද පාඩමක් උගන්වයි. පිරිසිදු රාජ්‍ය පාලනයක් හදන්න නම් පිරිසිදු පක්ෂයක් හදන්න අපි දැන් ක්‍රියාත්මක වෙන්න ඕනෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ පිරිසිදු පක්ෂයක්. බණ්ඩාරනායක ශ්‍රීමතණාන්, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ඇතුලු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයින් රටට, ජනතාවට අයහපතක් වෙන විදිහට කවදාවත් කටයුතු කරලා නැහැ. ඒ අනුව අතිගරු ජනාධිපතිතුමා හිතන විදිහහේ පිරිසුදු දේශපාලනයක්, පිරිසිදු පරිපාලනයක් සහ පිරිසිදු සංවර්ධනයක් කරන්න පුලුවන් එකම පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා රටේ සියලු ජනතාවගෙන් අපි ඉල්ලීමක් කරනවා එකතුවෙන්න, හිතන්න, සම්බන්ධවෙන්න සහ පක්ෂය ශක්තිමත් කරන්න කියලා. පක්ෂයේ සභාපතිවරයා සහ රටේ රාජ්‍ය නායකයා ශක්තිමත් කරන්න. ඒ හරහා ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කරලා මේ රටේ පිරිසුදු රාජ්‍ය පාලනයක් තුළින් පිරිසිදු රටක් නිර්මාණය කරමු කියන ආයාචනය කරන්න මම කැමැතියි.

වයඹ පළාත් මාර්ග සංවර්ධන, ප්‍රවාහන සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය ගුණදාස දෙහිගම මහතා මෙසේ පැවැසීය.

1977 සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ කාලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාජයට පත්වුණාම මේ පක්ෂය කණ්ඩායම් කීපයකට කැඩුණා. ඒ සියලු කණ්ඩායම් නැවත එකතුවෙලා මැතිවරණයකට ඉදිරිපත් වුණාට පස්සේ තමයි අපිට නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටුවගන්න ලැබුණේ. එහෙම නැතුව පක්ෂය කෑලි දෙකට තුනට කැඩිලා තිබුණු වෙලාවේ කිසිම දෙයක් කරගන්න ලැබුණේ නැහැ. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ කාලේ ඉදලා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ වෙලා ඉන්නවා. අපි මැතිණියගේ නායකත්වය පිළිගත්තා. ඉන්පසුව චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ නායකත්වයත් අපි පිළිගත්තා. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නායකත්වයත් පිළිගත්තා. දැන් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා තමයි අපේ පක්ෂයේ සභාපති. එතුමාගේ නායකත්වයත් අපි දැන් පිළිඅරගෙන තියෙනවා. ඒ නිසා ඉදිරි මැතිවරණ සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයක් විදිහට ඉදිරිපත් වුනොත් ජයග්‍රහණය කරන්න පුලුවන්. එහෙම නැතිව කණ්ඩායම් කැඩුනොත් ජයග්‍රහණය කරන්න බැහැ. මොකද මේක බලවත් පක්ෂයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාවගේ පක්ෂයක් මිස ධනපතින්ගේ පක්ෂයක් නෙවෙයි. අපි දෙකට තුනට කැඩිලා මැතිවරණයට ඉදිරිපත්වුනොත් එක්සත් ජාතික පක්ෂය උඩින්ම දිනනවා. ඊට පස්සේ අපේ ජනතාවට දුක් විදින්න වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් නායකයා ලෙස කටයුතු කරන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වය පිළිඅරගෙන, දෙකඩ වෙච්ච කණ්ඩායම් එකතුකරගෙන අපි සියලුදෙනාම එක කණ්ඩායමක් විදිහට ඉදිරිපත් වුනොත් අපිට ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කරන්න පුලුවන්. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගේ සංකල්ප, අරමුණු සහ වැඩපිළිවෙල මේ රට අද පිළිගන්නවා. තව කාලයක් යනකොට ඔය කණ්ඩායම් ගැහැලා ඉන්න අයත් ඒක පිළිගනියි කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා අපේ ගම්වල ඉන්න පාක්ෂිකයන්ට, අපේක්ෂකයින්ට, ක්‍රියාකාරීන්ට, සංවිධායකවරුන්ට සහ අපේ පළාත් සභා හා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සියලු දෙනාටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ නොකර ඒක ආරක්ෂා කරගන්න එකතු වෙමු කියලා මම ආරාධනා කරනවා.

වයඹ පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය සමාජ සුබසාධන අමාත්‍ය ලක්ෂ්මන් වේඩරුව මහතා එහිදී අදහස් දක්වමින් මෙලෙස පැවැසීය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය ඇතුලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩන්න උවමනාව තියෙන අයත් ඉන්නවා. මොකද ඒ අයගේ පැවැත්ම තියෙන්නෙත්, ඒ අයගේ කටේ හයිය සහ ඇගේ හයිය පෙන්වන්න පුලුවන් වෙලා තියෙන්නෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිසයි. ඒ අයගේ ක්‍රියාකලාපය නිසා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට බෙදිලා තිබුණත් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා දැඩි උත්සාහයක යෙදිලා ඉන්නවා මේ සියලු දෙනා ඒකරාශි කරගෙන ඉදිරි මැතිවරණවලට මුහුණ දෙන්න. පළාත් සභා නියෝජනය කරන මැති ඇමැතිවරුන් විදිහට අපිට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා පිළිබදව විශ්වාසයක් ගොඩනැගෙමින් තිබෙනවා. වයඹ පළාත් සභාවේ ඇමැති මණ්ඩලය ප්‍රමුඛ සමස්ත මන්ත්‍රී කණ්ඩායම ඉදිරි මැතිවරණවලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් කැපවී කටයුතු කරනවා. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා ජනාධිපති තනතුර භාරගනිද්දීම ප්‍රකාශයක් කළා එතුමාගේ ධූර කාලය අවසන්වීමෙන් පස්සේ එතුමා දේශපාලනයෙන් ඉවත්වෙනවා කියලා. නමුත් අද වනවිට රටේ ජනතාව තුළ එතුමා පිළිබද විශ්වාසයක් ගොඩනැගෙමින් පවතිනවා. ඒ නිසා දැන් හැම කෙනෙකුම කියන්නේ ඉදිරි ජනාධිපතිවරණවලටත් එතුමාට මුහුණ දෙන්න කියලයි. මොකද මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා කියන්නේ රටට ආදරය කරන නායකයෙක්. ඒ වගේම මේ රටේ ජනතාවට විශ්වාසය කියන්න පුලුවන් නායකයෙක්. ඒ නිසා එතුමා වටා එකතුවෙලා ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීම සදහා අපිත් එක්ක අත්වැල් බැදගන්න යන ඉල්ලීම මේ වෙලාවේ මම කරනවා.

මාධ්‍ය හමුවට එක් වී සිටි පිරිස01 03වයඹ ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා අදහස් දක්වමින් 04පළාත් අමාත්‍ය ගුණදාස දෙහිගම මහතා අදහස් දැක් වූ අයුරු05පළාත් අමාත්‍ය ලක්ෂ්මන් වේඩරුව මහතා අදහස් දක්වමින් 06

ඡායාරූප – අනුරුද්ධ නිරෝෂන් , වයඹ ප්‍රධාන අමාත්‍ය මාධ්‍ය ඒකකය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article