Friday, March 29, 2024

දැදුරු ඔය වනසන සදුන් මුදලාලිට එරෙහිව රිදීගම ජනතාව වීදි බසිති.

Must read

sandun_protest_1

පස් සෝදා වැලි ඉවත්කිරීමේ කර්මාන්තයක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙකු විසින් එලෙස පස් සේදීමට යොදාගන්නා අපජලය දැදුරුඔයට මුදාහැරීම හේතුවෙන් දැදුරුඔය දූෂණයට ලක්වී ඇති බව පවසමින් රිදීගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි ගම්මාන කිහිපයක ජනතාව ඊයේ (27 දා ) දැදුරුඔය හරහා වැටී ඇති දෑලතුඩුවවත්ත පාලම මතදී රිදීගම – මාතලේ මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක යෙදුණහ.

මෙම විරෝධතාවයට ලිහිණිවැහැර, නිලන්තට්ටුව, දෑලතුඩුවවත්ත, රිදීගම සහ රඹුකන්දන ඇතුඵ ගම්මානවල වෙසෙන දෙසියයකට වැඩි පිරිසක් එක් වී සිටියහ.

සදුන් එන්ටර්ප්‍රයිසස් නමින් ගල්, වැලි සහ ලී ව්‍යාපාර පවත්වාගෙන යන ප්‍රේමරත්න නැමැත්තෙකු විසින් ඔහුට අයත් ලිහිණිවැහැර ප‍්‍රදේශයේ පිහිටි ඉඩමක පස් සෝදා වැලි ඉවත්කරගැනීමේ ව්‍යාපාරයක් කලෙක පටන් පවත්වාගෙන යන බවත්, එහිදී පස් සේදීමට යොදාගත් මඩ වතුර එම ඉඩම අයිනෙන් ගලා බසින දැදුරුඔය වෙත මුදාහරිමින් සිටින බවටත් ප‍්‍රදේශවාසීහු මෙහිදී චෝදනා කළහ. එලෙස මඩ වතුර එක්වී දැදුරුඔය අපිරිසිදුවීම හේතුවෙන් පානීය ජලය, ස්නානය කිරීම ඇතුලු දෛනික ජල අවශ්‍යතාවයන් දැදුරුඔයෙන් පිරිමසාගන්නා ප‍්‍රදේශවාසී ජනතාව ගලෙස තමන් මහත් දුෂ්කරතාවයට පත් වී සිටින බවත් විරෝධතාකරුවෝ මෙහිදී පැවසූහ. එපමණක් නොව රිදීගම සහ ඒ අවට ගම්මාන වෙත පානීය ජලය සැපයීම සදහා ජලය සම්පාදන මණ්ඩලය විසින් ජලය පොම්ප කරගනු ලබන්නේද දැදුරුඔයෙන් බව ඔවුහු කීහ. අදාල ව්‍යාපාරිකයා විසින් මෙවැනි පාරිසරික විනාශයක් කරමින් සිටින නමුත් ඒ සදහා බලපත් නිකුත් කළ රාජ්‍ය නිලධාරිහු මුනිවත රකිමින් සිටින බවටද ප‍්‍රදේශවාසීහු මෙහිදී චෝදනා කළහ.

රිදීගම – මාතලේ මාර්ගයේ එක් මංතීරුවක් අවහිර කරමින් උද්ඝෝෂණය ආරම්භ කළ මෙම පිරිස ඉන් ටික වේලාවකට පසුව මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වන පරිදි ඒ මත වාඩි වී විරෝධතාවයේ යෙදෙන්නට වූහ. මේ නිසා රිදීගම – මාතලේ මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම නැවතී ගිය අතර මගී ප‍්‍රවාහන බස් රථ ඇතුලු රථවාහන ගණනාවක් විරෝධතාවය පැවැති දෑලතුඩුවවත්ත පාලම දෙපස නවතා තිබෙනු දැකගත හැකි විය. මහා මාර්ගයේ ගමන් කරමින් සිටි ජනතාවද සිය ගමන් බිමින් නවතා මෙම විරෝධතාවයට සහය පළකරන්නට එකතුවීම එහිදී සිදුවූ විශේෂ සිදුවීමක් විය. දැදුරුඔය වනසමින් ඊට මඩ වතුර මුදාහරින ව්‍යාපාරිකයාට සහ ඒ සදහා බලපත‍්‍ර නිකුත් කළ බව කියන රාජ්‍ය නිලධාරින්ටද ජනතාව විසින් ශාප කළ ආකාරයද මෙහිදී දැකගත හැකි විය. විරෝධතාවය පැවැති ස්ථානයට පැමිණ සිටි ප්‍රේමරත්න නැමැත්තගේ නියෝජිතයෙකු විසින් බටයක් කැඩී යාම හේතුවෙන් දැදුරුඔයට අපජලය මුසු වී ඇති බව කියමින් ජනතාවට කරුණු දක්වන්නට උත්සාහ කළ නමුත් විරෝධතාකරුවෝ එම පුද්ගලයා එතැනින් පළවා හැරීමට කටයුතු කළහ.

පසුව විරෝධතාවය පැවැති ස්ථානයට පැමිණි ගොකරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ආනන්ද අබේරත්න මහතා, අදාළ ව්‍යාපාරිකයා විසින් දැදුරුඔය විනාශවන අයුරින් කටයුතු කර ඇත්නම් ඒ පිළිබදව නීතිමය පියවර ගන්නා බවට විරෝධතාකරුවන් වෙත පොරොන්දුවක් ලබාදුන්නේය. එබැවින් මාර්ගයෙන් ඉවත් වී රථවාහන සදහා ගමනාගමනයට ඉඩ ලබාදෙන ලෙසට හෙතෙම ප‍්‍රදේශවාසීන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය. ගොකරැල්ල පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ලබා දුන් එම පොරොන්දුවට අවනත වූ විරෝධතාකරුවන් පිරිස පැයකට ආසන්න කාලයක් තිස්සේ රැදී සිටි රිදීගම – මාතලේ මාර්ගයෙන් ඉවත්වීමත් සමග එහි ගමනාගමන කටයුතු යථාතත්වයට පත්විය.sandun_protest_2 sandun_protest_3 sandun_protest_5

ඊයේ (27 දා) සිරස නිව්ස් ෆස්ට් රාත්‍රි 7 ප්‍රවෘත්ති ප්‍රකාශයේ විමර්ශණ විශේෂාංගයෙන් මෙම  පිළිබදව අනාවරණය කළ අයුරු

දැදුරුඔයට සිදු වී ඇති හානිය

ජන විරෝධය

මුදලාලි රකින්න ආ ඒජන්තයෙකු ජනතාව විසින් එළවා ගත් අයුරු

චෝදනා එල්ල වන වැලි සේදුම්පොල


- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article