Friday, March 29, 2024

මැයි දා මහ රෑ දෙමටගොඩට පයින් ගිය ආණ්ඩුවේ ඇමැති කවුද ? – වයඹ අඵ යට ගිනි

Must read

ayg_2017_05_04ayg_newඉන්දික බණ්ඩාරනායක පඩුවස්නුවරින් ගියාද ? යැව්වාද ?

සති කිහිපයකට පෙර සිදුකෙරුණු කුරුණෑගල දිස්ත‍්‍රික් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක තනතුරු සංශෝධනයේ උණුසුම තවමත් පහව ගොස් නැත. සංවිධායක තනතුරු මාරුවීම් සම්බන්ධයෙන් එළිපිටදී මෙන්ම තිරය පිටුපස සිදුවෙමින් ඇති සිදුවීම්වලිනුත් වයඹ ජනතාවට අඩුවක් නැත. ආසන සංවිධායක තනතුරු වෙනස් වූ බොහෝ සංවිධායකවරු තමන් කලින් සිටි ආසනයෙන් පැදුරටත් නොකියා අලූත් ආසනයට මාරු වී තිබූ නමුත් නිකවැරටියට ‘‘ස්ථාන මාරුවක්’’ලැබූ නියෝජ්‍ය ඇමැති ඉන්දික බණ්ඩාරනායක නම් ඊට වඩා වෙනස් ක‍්‍රමවේදයක් අනුගමනය කර තිබිණි. පඩුවස්නුවර ශ‍්‍රීලනිප සංවිධායක තනතුරේ කටයුතු කිරීම සදහා තමන්ට වසර හතක් තිස්සේ සහය වූ භික්ෂූන් වහන්සේ, මන්ත‍්‍රීවරුන්, රාජ්‍ය නිලධාරින්, ව්‍යාපාරිකයින්, ශාඛා සමිති නියෝජිතයින් සහ ආධාරකරුවන් කැදවා ඔවුන්ට ස්තූතිය පළකර ඔවුන්ගෙන් සමුගැනීමට නියෝජ්‍ය ඇමැති ඉන්දික පසුගියදා කටයුතු කළේය. ඇමැති ඉන්දිකගේ පඩුවස්නුවර කාර්යාලයේදී පසුගිය සිකුරාදා උදෑසන සමුගැනීමේ උත්සවයක් සංවිධානය වී තිබුණේ ඒ නිමිත්තෙනි. ප‍්‍රදේශයේ භික්ෂූන් වහන්සේ කිහිප නමකුත්, පඩුවස්නුවර ප‍්‍රාදේශිය සභාවේ හිටපු සභාපති එමල් ප‍්‍රියන්ත ඇතුලු දේශපාලන නියෝජිතයින් කිහිපදෙනෙකු සහ පඩුවස්නුවර ආසනයේ විවිධ ක්ෂේත‍්‍රයන් නියෝජනය කරන පිරිසක්ද උත්සවයට එක් වී සිටියහ. එහිදී අනුශාසනාවක් පවත්වමින් වහන්තරේ සිද්ධාර්ථ හිමියෝ නියෝජ්‍ය ඇමැති ඉන්දිකගෙන් පඩුවස්නුවරට සිදු වූ සේවය අගය කළ අතර තමාට සහය වූ පිරිස් වෙත කෘතවේදීත්වය පළකර ආසනයෙන් නික්මයාමට ගත් තීරණයද අගය කළහ. අනතුරුව කතාකළේ නියෝජ්‍ය ඇමැති ඉන්දිකය. අතිශය සංවේදී වූ කතාවක් පැවැත්වූ නියෝජ්‍ය ඇමැති ඉන්දික විනාඩි කිහිපයක් තුළ සිය දැවෙන ඇතුළාන්තය මහජනතාව හමුවේ නිරාවරණය කළා යැයි කීවද එහි ඇති දොසක් නැත. තම අතීතය, වර්තමානය සහ අනාගතය පිළිබදව මෙන්ම තමන් පඩුවස්නුවරදී කළ කී දේ සහ කරන්නට බැරි වූ දේ සැකෙවින් විස්තර කරන්නට විනාඩි කිහිපයකට සීමා වූ කතාවේදී නියෝජ්‍ය ඇමැති සමත්විය. ‘‘මම පඩුවස්නුවරට ආවේ 2010 වසරේදී. ඇත්තටම මට මේ ආසනයට එන්න කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නෑ. අහම්බෙන් තමයි මට මේ ආසනයට එන්න ලැබුණේ. මහින්ද රාජපක්ෂ මහත්තයා තමයි මාව පඩුවස්නුවර ආසනයට පත්කළේ. මොකද ඒ වෙනකොට මේ ආසනයේ ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරයෙක් හිටියේ නැහැ. ඒ නිසා 2010 මැතිවරණයේදී මේ සියලුදෙනා එකතුවෙලා මේ ආසනයේ නියෝජිතයා විදිහට මාව පත්කරගත්තා. මම මේ ආසනය භාරගනිද්දි කියපු දෙයක් තමයි පඩුවස්නුවර ආසනය සංවර්ධනයේ ඉහළටම ගේනවා කියන එක.’’කතාවට බාධාකරමින් නියෝජ්‍ය ඇමැතිවරයාට හැඩුම් ආවේය. දෑසට නැගුණු කදුඵත්, උගුරෙන් පිටවන්නට ආ හැඩුමත් අසීරුවෙන් මැඩගනිමින් ඉන්දික දිගටම කතාකළේය. ‘‘මම මේ ආසනයේ කෝටි දාහක විතර වැඩකළා. ඇත්තමට ඒ කරපු වැඩවලින් මම සෑහීමකට පත්වෙන්නේ නැහැ. තවත් වසර කීපයක් මේ ආසනයේ ඉන්න ලැබුණා නම් ඉතිරි අඩුපාඩු ටිකත් සම්පූර්ණ කරලා දෙන්න හැකියාව සහ ශක්තියක් මට තිබුණා. පහුගිය ජනාධිපතිවරණයෙන් පස්සේ අපිට තීන්දුවක් ගන්න සිද්ධවුණා. හිටපු ජනාධිපතිතුමාද , වර්තමාන ජනාධිපතිතුමාද කියන මාර්ග දෙකෙන් එකක් තෝරාගන්න අපිට සිද්ධ වුණා. මම තෝරාගත්තේ දෙවැනි මාර්ගය. ඒ මාර්ගය මම තෝරාගත්තේ මේ ගම්වල ඉන්න ඔබතුමන්ලාට යමක් කරන්න ඕනෑ කියලා හිතලා. ’’ඇමැති ඉන්දික විසින් එතෙක් වේලා දැඩි ආයාසයක් දරමින් සගවාගෙන සිටි හැඩුම බාධාවකින් තොරව එළියට පැන්නේ මෙහිදීය. දෙනෙතින් කදුඵවැල් රූරා හැලෙද්දී, වෙවුලන දෙතොල් අතරින් ඉකිබිදුමක්ද එළියට පැන්නේ ඇමැති ඉන්දික එතෙක් වේලා සගවාගන්නට වෑයම් කළ සියලු දුක් දොම්නස් එකවර මුදාහරිමිනි. දුක සහ වේදනාව හමුවේ සම්පූර්ණයෙන් පරාජය වී සිටි ඇමැති ඉන්දික ඇගිල්ලක් කටේ රුවාගෙන හැගීම් පාලනය කරගන්නට දැරූ උත්සාහයද අසාර්ථක විය. සිය කථන මේසය මත වූ මයික්‍රොෆෝනය බිමට පහත් කරමින් සිය හැඩුම අන්‍යයන්ට ඇසීම වළක්වන්නට නියෝජ්‍ය ඇමැතිවරයා තවත් අසාර්ථක උත්සාහයක් දරන ආකාරයද පෙණිනි. ‘‘මම මීට වඩා කතාකරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ’’. යැයි හැඩුම් මධ්‍යයේම කී ඉන්දික තමාට සහය දුන් පිරිස වෙත ඉක්මන් ස්තූතියක් කළේ කතාව නැවතීමේ අරමුණිනි. ඒ අතරේ තම කාර්ය මණ්ඩල සාමාජිකයෙකු විසින් සැපයූ ටිෂූ කඩදාසි කිහිපයකින් දෙනෙතින් ගලමින් තිබූ කදුඵ පිසදාගත් ඉන්දික තත්පර කිහිපයක් නිහඩව සිට අතරමග නවතන්නට ගිය කතාවට යළි පණදුන්නේය. ‘‘මේ ආසනයේ ඉන්නේ බොහොම ගුණ යහපත් මිනිස්සු. මම මේ ආසනයට ආව දවසේ ඉදලා මට කිසිම අඩුපාඩුවක් කළේ නැහැ. ඔබතුමන්ලා මට ඡන්දයක් දුන්නා නම් මම ඒ ඡන්දෙට උපරිම සාධාරණයක් කරලා තියෙනවා. අපේ අත්වල අපි ජරාව ගාගෙන නැහැ. මම කරන්නේ වැදගත් දේශපාලනයක්. ’’යැයි කියමින් අතක් ඉහළට ඔසවා පෙන් වූ ඇමැති ඉන්දික යළිත් වතාවක් හැගීම් හමුවේ පරාජය විය. කුඩා දරුවෙකු මෙන් හැඩුම පරාජය කිරීමට නියොජ්‍ය ඇමැතිවරයා බලවත් සටනක යෙදී සිටිනු පෙණිනි. විනාඩියකට ආසන්න වේලාවක් නිහඩව සිට තම හැගීම් මැඩගත් ඉන්දික තමන් අත තිබූ ටිෂූ කොළ කිහිපයෙන් යළිත් වරක් කදුඵ පිසදාගෙන හැඩුම්බර හඩින්ම කතාකරගෙන ගියේය. ‘‘මට මේ ආසනයෙන් යන්න සිද්ධවුනු කරුණු ගණනාවක් ඇත්තටම තියෙනවා. නමුත් ඒවා ගැන දීර්ඝව කතාකරන්න මම කැමැති නැහැ. නමුත් එක දෙයක් කියන්න ඕනෑ. එදා මම මේ ආසනය භාරගන්නකොට දේශපාලන නායකයෝ කවුරුත් හිටියේ නැහැ. නමුත් අද නායකයෝ ගණනාවක් ඉන්නවා. ඒගොල්ලන්ටත් යම් අවස්ථාවක් දෙන්න ඕනෑ කියලා මම කල්පනා කළා. තව දෙයක් මම කියන්න ඕනෑ. මේ ආසනයට එන අලුත් සංවිධායකතුමා මට කිසිම බලපෑමක් කරලා නැහැ නිකවැරටියට යන්න කියලා. අපි එකගතාවයෙන් තමයි ඒ තීන්දුව ගත්තේ. ’’අතිශය හැගුම්බර අවස්ථාවක වුවද පඩුවස්නුවර නව සංවිධායක ලෙස පත්වීම් ලැබූ ඇමැති දයාසිරිට අවලාදයක් එල්ලවීමට තිබූ ඉඩකඩත් අහුරාලන්නට ඇමැති ඉන්දික වගබලාගත්තේ එසේය. ‘‘මේ ආසනයෙන් යන්න මගේ බලාපොරොත්තුවක් නොතිබුනත් නිකවැරටිය ආසනය කියන්නෙත් අතිදුෂ්කර ආසනයක්. පඩුවස්නුවර ආසනයේදී මම ලබාගත්තු අත්දැකීම් ප‍්‍රයෝජනයට අරගෙන නිකවැරටිය ආසනයේ ඉන්න අහිංසක මිනිස්සු වෙනුවෙනුත් විශාල සංවර්ධනයක් කරන්න මම බලාපොරොත්තු වෙනවා.’යැයි කියමින් කතාව අවසන් කළ ඇමැති ඉන්දික භික්ෂූන් වහන්සේට, මන්ත‍්‍රීවරුන්ට, රාජ්‍ය නිලධාරින්ට, ව්‍යාපාරිකයින්ට පමණක් නොව තමන් වෙනුවෙන් පෝස්ටර් ඇලැවූ සහ පෝලිම් බූත්වල සිටි අයටද ස්තූති කරන්නට අමතක නොකළේය. ‘‘මම ඉදිරියේදීත් ඔබතුමන්ලාව දාලා යන්නේ නැහැ. මේ ආසනය තුළ මගේ ව්‍යාපාර තියෙනවා. ඉඩකඩම් තියෙනවා. මගේ මේ කාර්යාලය තියෙනවා. ඒ නිසා මම මේ ආසනය තුළ ඉන්නවා. මගේ මේ කාර්යාලය තියෙන්නේ මම සල්ලි දීලා ගත්තු ඉඩමක. පහුගිය කාලේ නොයෙක් දෙනා නොයෙක් ඒ සම්බන්ධයෙනුත් විවේචන එල්ල කළා. මම කාගේවත් ඉඩම් ගන්න ආවේ නැහැ. මම කාගේවත් එක බිම් අගලක්වත් අරගෙනත් නැහැ. ’’යැයි කී නියෝජ්‍ය ඇමැතිවරයා කතාව අවසන් කළේය. පැමිණ සිටි භික්ෂූන් වහන්සේට වැද නමස්කාර කළ ඇමැති ඉන්දික උන්වහන්සේලාගෙන් සමුගත් අතර භික්ෂූන් වහන්සේ කිහිප නමක් විසින්ම නියෝජ්‍ය ඇමැතිවරයා අස්වසනු පෙණිනි. දැඩි හැගුම්බර ස්වභාවයකින් සිටි නියෝජ්‍ය ඇමැති ඉන්දික තමන් සමුදීමට පැමිණි පාක්ෂිකයින්ට දෑතම එක්කර ආචාර කළ නමුත් ඔවුන් සමග වැඩි කතාබහකට නොගිය බවක් පෙනෙන්නට තිබිණි. නියෝජ්‍ය ඇමැති ඉන්දිකගේ සමුගැනීමේ උත්සවය එලෙස අවසන් වෙද්දී එහිදී කියැවුණු සහ කෙරුණු දෑ හරහා දේශපාලනය තුළ තවත් අලුත් කතාබහක් ලියලමින් තිබිණි. ඇමැති ඉන්දික විසින් හැගුම්බරව කියූ දෑ වලින් මෙන්ම ඔහු විසින් නොකියූ දෑ හරහාත් දැන් බොහෝ දෙනෙකු ප‍්‍රශ්න කරමින් ඉන්නේ ඉන්දික බණ්ඩාරනායක පඩුවස්නුවරින් ගියාද එසේත් නැත්නම් යැව්වාදැයි කියාය.

මැයි දින කෝච්චියේ ඇමැතිගේ කපල් ඩාන්ස් !

අඵත් අවුරුදු සමය වෙනුවෙන් තරමක් අක‍්‍රිය වී තිබූ දේශපාලන පොරපිටිය යළි පණගසා ආවේ පසුගිය සතියේදීය. ගැටඹේ පිටිය, කැම්බල් පිටිය, ගොල්ෆේස් පිටිය සහ බීආර්සී පිටිය මුල්කරගනිමින් රටේ ප‍්‍රධාන පක්ෂ අතර මැයි රැළි සටන ආරම්භ වෙද්දී එහි උණුසුම වයඹටත් නොඅඩුව දැණිනි. ඒ ඒ පක්ෂවල මැයි දින සැමැරුම් සදහා සදහා මැති ඇමැතිවරුන් සහ ඔවුන්ගේ ආධාරකරුවන් බස්රථ යොදාගනිමින් කොළඹ සහ මහනුවර බලා ඇදෙද්දී ප‍්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ සිය ආධාරකරුවන් වෙනුවෙන් ප‍්‍රවාහන පහසුකම් සපයා තිබුණේ තරමක වෙනස් ආකාරයටය. මැයි රැළියට සහභාගි වන තම ආධාරකරුවන්ට සුවපහසු ගමනක් සහ වෙනස් අත්දැකීමක් ලබාදීමේ අරමුණින් අශෝක් විසින් දුම්රිය දෙපාර්තමේන්තුව වෙත මුදල් ගෙවා දුම්රියක් වෙන්කරගෙන තිබිණි. දුම්රිය මැදිරි 05 කින් යුක්ත වූ එම දුම්රිය කොළ පැහැති සැරසිලි යොදාගනිමින් සැරසිලි කර තිබූ අතර එහි සෑම පෙට්ටියක පාහේ ‘‘මුදල් ගෙවා වෙන්කරගෙන ඇත.’’ යනුවෙන් දැන්වීම්ද අලවා තිබෙනු දැකගත හැකි විය. දුම්රිය ගමන ආරම්භ කිරීමට පෙර මාධ්‍යයට අදහස් දැක්වූ අශෝක් කීවේ රුපියල් දෙලක්ෂ හැටදහහසක පමණ මුදලක් ගෙවා මෙම දුම්රිය වෙන්කරවා ගත් බවත්, කුරුණෑගල ආසනය නියෝජනය කරන එක්සත් ජාතික පාක්ෂිකයින් 700 කට වැඩි පිරිසක් එම දුම්රියෙන් එක්සත් ජාතික පක්ෂ මැයි දින සැමැරුමට සහභාගි වන බවත්ය. අශෝක් විසින් වෙන්කරවා ගත් විශේෂ දුම්රිය කුරුණෑගල දුම්රිය ස්ථානයේ සිට මරදාන බලා ගමන් ආරම්භ කළේ පෙරවරු 9. 30 ට පමණය. මැයි රැළි ගමන සදහා ඇමැති අශෝක්ගේ බිරිද වන විශාඛාත් එක් වී සිටියේ ලක්වනිතා පෙරමුණ නියෝජනය කරමිනි. දුම්රිය ගමන ආරම්භයේ සිටම පපරේ සංගීතයෙන් රසගැන්වුණු අතර ගමන අතරමැදදී විශාඛා සහ අශෝක් එක්ව යුගළ නර්තනයක යෙදුණේ පාක්ෂිකයින්ගේ අත්පොළසන් හඩ මැද්දේය. පෙරවරු 11.30 පමණ වෙද්දී අශෝක් ඇතුලු පිරිස රැගත් දුම්රිය මරදාන දුම්රිය ස්ථානයට ළගාවන්නේ මැයි රැළියකට දුම්රියකින් ජනතාව ප‍්‍රවාහනය කළ පළමු දේශපාලනඥයා ලෙස අශෝක්ගේ නමින් අලුත් වාර්තාවක්ද පිහිටුවමිනි. පිරිස මරදානේ සිට කැම්බල් පිටිය දක්වා පෙළපාලියෙන් ගොස් මැයි රැළියට සහභාගි වූහ. මැයි රැළිය අවසන් කළ පිරිස ආපසු කුරුණෑගල බලා පිටත්වන්නට සූදානම්වන විට රෑ බෝවී තිබිණි. අශෝක් විසින් වෙන්කරගෙන තිබූ දුම්රිය කුරුණෑගල බලා ආපසු පිටත්වීමට සූදානමින් දෙමටගොඩ දුම්රිය ස්ථානයේ නවතා තිබිණි. නිලරථය හෝ වෙනත් කිසිදු වාහනයක් කොළඹ පැමිණ නොතිබූ නිසා අශෝක් පළමුව කළේ බිරිද විශාඛා ත‍්‍රිරෝද රථයක නංවා දෙමටගොඩ දුම්රිය ස්ථානයට පිටත්කිරීමය. ‘‘හරි එහෙනම් උදේ ආවා වගේ ඔය ටිකත් පයින්ම අල්ලමු දෙමටගොඩට.’’යැයි කී අශෝක් ඉස්සර විය. ඒ අනුව බොරැල්ලේ සිට දෙමටගොඩ දක්වා කිලෝමීටර් තුනකට ආසන්න දුර පාගමනින්ම ගෙවා දැමූ අශෝක් එහි නවතා තිබූ දුම්රියට ගොඩවිය.

දයාසිරි ගිනිගත්හේනේදී දෙමළෙන් සිංදු කියයි.

ලංකා කම්කරු කොංග‍්‍රසයේ මැයි දින පෙළපාලිය සහ රැළිය මෙවර පැවැත්වුණේ ගිනිගත්හේන නගරයේදීය. එම රැළියට සහභාගිවීම සදහා කම්කරු කොංග‍්‍රස් නායක ආරුමුගම් තොණ්ඩමන් විසින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ඇමැති මහින්ද අමරවීරට සහ ඇමැති දයාසිරි ජයසේකරටද ආරාධනා කර තිබිණි. ආරාධනාව පිළිගත් අමරවීර සහ දයාසිරි හෙලිකොප්ටරයකින් ගිනිගත්හේනට ගොස් කම්කරු කොංග‍්‍රස් මැයි රැළියට එක්වූහ. රැළිය අතරතුරදී එහි නිවේදකයා විසින් ඇමැති දයාසිරිට ආරාධනා කළේ ගීයක් ගැයීමටය. දමිළ ජනයා ඉදිරියේ සිංහල ගීත ගැයීමෙන් පලක් නොවන බව වටහාගත් දයාසිරි අවට සිටි අයගේද උපකාරයෙන් දමිළ ගීයක පදවැලක් ලහිලහියේ කොළයක ලියාගත්තේය. අනතුරුව මයික‍්‍රෆෝනය අතට ගත් දයාසිරි ප‍්‍රකට දමිළ ගීයක් වන රෝජා ජානෙමන් ගීය ගයද්දී කොංග‍්‍රස් රැළියට එක්ව සිටි ජනයා අත්පොළසන් දෙමින් ඊට සහය පළකලහ. දයාසිරි එම ගීතය අවසන් කරනවාත් සමග ‘‘වන් මෝ , වන් මෝ ’’යැයි කියමින් දමිළ ජනයා කෑගසන්නට වූ නමුත් තමන්ට නුවර පැවැත්වෙන ශ‍්‍රීලනිප රැළියට යාමට ඇති බව කියූ දයාසිරි වේදිකාවෙන් බැසගත්තේය. ඇමැති අමරවීර සමග ආපසු පිටත් වූ දයාසිරි පල්ලේකැලේ ක්‍රීඩාංගණයට ගොඩ බෑ හෙලිකොප්ටරයෙන් බැසගොස් ශ‍්‍රීලනිප මැයි පෙළපාලියට එක්විය. සුපුරුදු ලෙසම රතු තරුව සහිත චේ තොප්පියෙන් සහ රතු පැහැති ටී ෂර්ටයකින් සැරසී සිටි දයාසිරි මැයි පෙළපාලියේ සටන් පාඨ කියමින් ගැටඹේ ක‍්‍රීඩාංගණය දක්වා ආවේය. ක‍්‍රීඩාංගණයේ දොරටුව ආසන්නයේදී දයාසිරිගේ ලේකම්වරයෙකු වන සමන්සිරි හේරත් විසින් දයාසිරි තම කරමතට නග්ගවාගත් අතර දයාසිරිගේ සෙසු ආධාරකරුවන්ද සමන්සිරිට සහය වූහ. තම පාක්ෂිකයින්ගේ කරපිටින් පැමිණ වේදිකාවට ගොඩවූ දයාසිරිට ඒ වනවිට වේදිකාවේ අසුන්ගෙන සිටි හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මුණගැසිණි. ‘‘දයාසිරි කවුරු වෙන්නද මේ හදන්නේ ? ’’ චන්ද්‍රිකා ඇසීය. ‘‘මම අමුතුවෙන් කවුරු වෙන්නද මැඩම්. මම දයාසිරි ජයසේකරම තමයි. ’’දයාසිරිද පෙරළා පිළිතුර දුන්නේය. මැයි රැළිය අවසන්වීමෙන් පසුව සිය හිතමිතුරන් සමග අවන්හලකට ගොඩවැදුණු දයාසිරි එහිදී රාත‍්‍රි ආහාරය ගත්තේය. රාත‍්‍රි ආහාරය අවසන් කළ දයාසිරි මහනුවර රෝහලට ගොඩවැදුණේ රාත‍්‍රි දහයත් පසුවී තිබියදීය. මහනුවර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත ගිය දයාසිරි යතුරුපැදි ධාවන තරගයක් අතරතුරදී සිදු වූ අනතුරකින් බරපතල තුවාල ලබා එහි ප‍්‍රතිකාර ලබමින් සිටින යතුරුපැදි ධාවනශූර ආනන්ද වෙඩිසිංහ දැකබලා ගත්තේය. ඒකකය භාර වෛද්‍යවරුන්ද මුණගැසී ආනන්දගේ තත්වය පිළිබදව විමසා බැලූ දයාසිරි සිය හිතමිතුරන්ගෙන් සමුගෙන කොළඹ බලා පිටත්විය.

උපුටාගැනීම – ජනයුගය පුවත්පත , 2017 මැයි 05 වැනි බ‍්‍රහස්පතින්දා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article