Wednesday, April 24, 2024

වන්දනා ලොරියක මෝටර් රථයක් ගැටී කතක් මියයයි. වන්දනාකරුවන් 11 ක් රෝහලේ.

Must read

walakumbura_accidentකුරුණෑගල – කොළඹ මාර්ගයේ ධාවනය වූ මෝටර් රථයක් අලව්ව, වලකුඹුර ප‍්‍රදේශයේදී වෙසක් වන්දනාකරුවන් පිරිසක් රැගත් ලොරි රථයක ගැටීමෙන් එම ලොරි රථයේ ගමන්කරමින් සිටි කාන්තාවක් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වූ අනතුරින් තුවාල ලැබූ තවත් වන්දනාකරුවන් එකොළොස්දෙනෙකු ඊයේ කුරුණෑගල ශික්‍ෂණ රෝහලට ඇතුලත් කරනු ලැබූහ.

වන්දනාකරුවන් දහතුන් දෙනෙකු රැගෙන වන්දනාවේ යමින් තිබූ මෙම කුඩා ලොරි රථය වලකුඹුර දුම්රිය ස්ථානය ආසන්නයේදී මාර්ගය අයිනේ නවතා තිබී ඇති අතර කුරුණෑගල දෙසින් අධික වේගයෙන් පැමිණි මෝටර් රථය ලොරි රථයෙහි පසුපස කොටසේ ගැටී ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ. මෝටර් රථයේ ගැටුණු ලොරිය එහි සිටි වන්දනාකරුවන් පිරිසද සමග උඩුබැලි අතට පෙරළී ගොස් තිබූ අතර මෝටර් රථයද මාර්ගය අයිනේ පිහිටි ගසක වැදී නැවැතී තිබිණි.

මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූයේ පොතුහැර, පහළ හදුගල ප‍්‍රදේශයේ පදිංචි එස්. ආර්. බිසෝමැණිකේ නැමැති කාන්තාවකි. අනතුරින් තුවාල ලබා සිටින පිරිස බුලුගොල්ල සහ හදුගල අවට ප‍්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. මෝටර් රථයේ ගමන්කරමින් සිටි කළගෙඩිහේන ප‍්‍රදේශයේ පදිංචි යුවලක්ද සුඵ තුවාල ලබා ඇති අතර මෝටර් රථයේ රියදුරුට නින්දයාම හේතුවෙන් අනතුර සිදුවී ඇති බවට පොලිසිය සැකකරයි. අනතුරට පත් ලොරියේ ගමන් කරමින් සිටි කාන්තාවක් සන්තකයේ තිබූ රුපියල් එක් ලක්ෂ පනස්දහසක පමණ මුදලක් අස්ථානගත වී ඇති බවටද ඇගේ පුත‍්‍රයෙකුගෙන් පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති අතර පොලිසිය ඒ පිළිබදවත් පරීක්ෂණ ආරම්භ කර තිබේ. අලව්ව පොලිසිය අනතුර පිළිබද වැඩිදුර පරීක්ෂණ ආරම්භ කරයි.

අලව්ව චන්දන ගුණසේකර 

walakumbura_accident_3 walakumbura_accident_1 walakumbura_accident_4 walakumbura_accident_2 walakumbura_accident_5 walakumbura_accident_6

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article