Friday, April 19, 2024

දයාසිරිගේ බෙදිල්ලට එරෙහිව පළාත් සභාව එකතු වෙයි !

Must read

dayasiriayg_newවෙල්ගාල උත්සවයේ කටවුට් ආරවුල්.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පසුගිය සෙනසුරාදා කුරුණෑගලට පැමිණියේ වෙල්ගාල මොරොත්තාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකෙරුණු චෛත්‍යයේ කොත නිරාවරණය කිරීමේ උත්සවයටය. ඉබ්බාගමුව ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සුමිත් උඩුකුඹුරගේ අතින් පෙර දින චෛත්‍යයට පැළැදවුණු කොත එදින මහින්දගේ අතින් නිරාවරණය විය. උත්සවයේ කටයුතු එලෙස සිදුවෙද්දී හිරියාලට කවදත් ආවේණික තිරය පිටුපස ගැටුම්වලින්ද උත්සවයට අඩුවක් නොවීය. මහින්ද සහ තමාගේ රුව රැගත් කටවුට් කිහිපයක් උත්සව භූමියේ සවිකරන්නට සුමිත් විසින් සැලසුම් කර තිබූ නමුත් පළාත් සභා මන්ත‍්‍රීනි මංජුලා දිසානායක විසින් ඊට දැඩි ලෙස විරෝධය පළකිරීම නිසා අසරණ වී ගියේ උත්සවයේ සංවිධායකයින්ය. සංවිධායකයින් විසින් ඒ පිළිබදව සුමිත්ට දැනුම් දුන් අතර මංජුලාගේ විරෝධය පිළිබදව දැනගත් සුමිත්ගේ මුහුණ රතු වී ගියේය. ‘‘මහින්ද මහත්තයාගේ කටවුට් දාන්න මම මොකටද කාගේවත් අවසර ගන්නේ.’’යැයි කියූ සුමිත් සිය ආධාරකරුවන් ලබා කටවුට් කිහිපයක්ම උත්සව භූමියේ සවිකරන්නට වගබලාගත්තේය. තැන තැන ඇසුණු කසුකුසු විනා කටවුට් ආරවුල ඊට වඩා දුරදිග ගියේ නැත. මොරොත්තාරාමයේ උත්සවය අවසන් කළ මහින්ද එදින නවාතැන් ගත්තේ මන්ත‍්‍රී ජොන්ස්ටන්ටගේ ඥාතියෙකුට අයත් මඩහපොල, අලිපල්ලම ප‍්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයකය. මහින්ද සමග ජොන්ස්ටන්, උදිත් ලොකුබණ්ඩාර ඇතුලු පිරිසක්ද එහි නවාතැන් ගත්හ. සුපුරුදු ව්‍යායාම් ආදියෙහි යෙදෙමින් සිය සමීප හිතවතුන් සමග සතිඅන්තය විවේකීව ගත කළ මහින්ද එම හෝටලයෙන් නික්ම ගියේ එක් දින නිවාඩුවක් එහි ගතකිරීමෙන් පසුවය.

නලින් බණ්ඩාර ලෙඩ්ඩු අදියි.

කුරුණෑගල දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම පැවැත්වුණේ පසුගිය සදුදාය. සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගිවීමට එමින් සිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාරට තමන් පැමිණි කාර්යය පසුවට කල්දමා මහමගදී විපතට පත් පිරිසකට පිහිටවන්නට සිදුවිය. පුද්ගලික බස් රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් කලුගමුව ප‍්‍රදේශයේදී මහ අනතුරක් සිදු වී තිබුණේ නලින් බණ්ඩාර රැගත් වාහනය එතැනට එන්නට විනාඩි කිහිපයකට පෙරය. අනතුරේ බිහිසුණු බව වැඩි කරවමින් බස් රථය මාර්ගය මැද පෙරළී ගොස් තිබූ අතර ප‍්‍රදේශවාසීන් එක්ව තුවාලකරුවන් බස් රථයෙන් එළියට ගනිමින් සිටියහ. සිය ගමන නවතා වාහනයෙන් බැසගත් නලින් බණ්ඩාරද පෙරළී තිබූ බස් රථය අසලට ගොස් තුවාලලැබූවන් ගලවාගන්නට ප‍්‍රදේශවාසීන්ට සහය විය. ලේ ගලන තුවාල සහිතව සිටි කිහිපදෙනෙකු තමන්ගේ වාහනයට නංවාගෙන රෝහල වෙත ගෙනයන්නටද මන්ත‍්‍රීවරයා ඉදිරිපත්වූයේ ස්වේච්ඡාවෙනි. තුවාලකරුවන් පිරිස කඩිනමින් කුරුණෑගල රෝහලට ගෙන ගිය නලින් බණ්ඩාර එම පිරිස එහි හදිසි අනතුරු ඒකකයට භාරදීමෙන් පසුව දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයට පැමිණෙන විට සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ වැඩකටයුතු ආරම්භ වී තිබිණි.

කෝටි හතරක් දයාසිරි පස්සේ පන්නයි.

ඇමැති දයාසිරි ජයසේකර වයඹ පළාත් සභාවට ආයුබෝවන් කියා දැනට වසර දෙකකට වැඩි කාලයක් ගෙවී ගොස් ඇතත් දයාසිරි පිළිබද මතකය අමතක කරන්නට පළාත් සභාව සූදානම් බවක් පෙනෙන්නට නැත. දයාසිරි මහ ඇමැති ධූරය දරමින් සිටි අවසන් මාස කිහිපයේදී රුපියල් කෝටි 4 කට වැඩි මුදලක් වැයකරමින් ස්වේච්ඡා සංවිධානවලට භාණ්ඩ ලබාදීමේ සිදුවීම පාරාවලලක් මෙන් දයාසිරි පසුපස හඹාඑමින් ඇති බවක් මේ වනවිට පෙනෙයි. දයාසිරිගේ බඩු බෙදිල්ල පිළිබද කතාබහ පළමුවරට කරළියට ආවේ 2015 නොවැම්බර් 03 වැනිදා පැවැති පළාත් සභා රැස්වීමේදීය. වයඹ ප‍්‍රධාන අමාත්‍යංශය විසින් 2014 සහ 2015 වර්ෂයන්හි වයඹ පළාතේ ස්වේච්ඡා සංවිධාන සදහා බෙදාදෙනු ලැබූ උපකරණ මොනවාද සහ ඒ සදහා වැය වූ මුදල කොපමණද යනුවෙන් මන්ත‍්‍රී සමන්ප‍්‍රිය හේරත් විසින් විමසා තිබූ ප‍්‍රශ්නයකට එදින පිළිතුරු දුන්නේ මහ ඇමැති ධර්මසිරි විසිනි. පිටු 103 ක් සහිත දීර්ඝ පිළිතුරක් සභාවට ඉදිරිපත් කරමින් ධර්මසිරි එදින අනාවරණය කළේ පළාත තුළ පිහිටි දුෂ්කර පාසල්වල පහසුකම් දියුණු කිරීම සදහා මහා භාණ්ඩාගාරය විසින් වයඹ පළාත් සභාව වෙත ලබා දුන් රුපියල් හාර කෝටි තුන්ලක්ෂ පනස් හයදහසක මුදලක් වැය කරමින් දයාසිරි විසින් කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ස්වේච්ඡා සංවිධාන සදහා පුටු, රෙදි හට් සහ සාස්පාන් වැනි උපකරණ බෙදාදී ඇති බවය. එම උපකරණ සහ භාණ්ඩ ලබාගත් බව කියන කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙහි ස්වේච්ඡා සංවිධාන 1576 ක ලැයිස්තුවක්ද ධර්මසිරි විසින් එදින සභාවට ඉදිරිපත් කළේය. ධර්මසිරිගේ එම හෙලිදරව්වත් සමග දයාසිරිගේ බඩු බෙදිල්ල පිළිබදව එකල මහත් ආන්දෝලනයක් හටගත් අතර කෙමෙන් මැකීයමින් තිබූ එම මතකය යළි අලුත් වූයේ පසුගිය බ‍්‍රහස්පතින්දා පැවැති වයඹ පළාත් සභා රැස්වීමේදීය. රුපියල් කෝටි 4 ක භාණ්ඩ බෙදුණු ආකාරය පිළිබද ප‍්‍රතිශතයක් එළිදක්වමින් ඒ පිළිබද අලුත් හෙළිදරව්වක් කළේ වයඹ පළාත් සභාවේ ගිණුම් කාරක සභාවේ සභාපති තනතුර හොබවන මන්ත‍්‍රී ඩී. බී. හේරත් විසිනි. ඩී. බී. ට එවැනි අනාවරණයක් කරනු පිණිස පිටිය සකස්කර දුන්නේ මන්ත‍්‍රී නිලන්ත රාජපක්ෂ විසිනි. මන්ත‍්‍රීවරුන්ගේ පුද්ගලික ප‍්‍රකාශ අවස්ථාවේදී මහ ඇමැති ධර්මසිරි විසින් කර තිබූ ප‍්‍රකාශයක් ගැන අදහස් දැක්වන්නට නැගී සිටි නිලන්ත අන්තිමේදී දයාසිරිගේ බඩු බෙදිල්ල ගැනත් ඇදගත්තේය. ‘‘පහුගිය කාලේ සංවර්ධන වැඩසටහන් ක‍්‍රියාත්මක කරනකොට ජනතාව අතර මුදල් බෙදාහැරීමේදී සමහර ප‍්‍රදේශවල ජීවත්වන ජනතාවට විශාල අසධාරණයක් වුණා. එහාට මෙහාට පිනුම් ගහන, කරණම් ගහන මන්ත‍්‍රීවරු, ඇමැතිවරු තමුන්ගේ ප‍්‍රයෝජනයට මනාප ගොඩවල් හදාගන්න විවිධ දේවල් බෙදනවා අපි දැක්කා. ප‍්‍රධාන අමාත්‍යංශය යටතේ තිබූ විශාල මුදලක් මේ අය තමන්ගේ මනාප ගොඩවල් වැඩිකරගන්න යොදාගත්තා. පළාතේ ජනතාවට බලපාන ප‍්‍රශ්න ඕනෑ තරම් තියෙද්දී හැළිවළං, පිගන් කෝප්ප, ස්පීකර්, ජෙනරේටර් වගේ දේවල් ගෙනිහිල්ලා, ඒ මැතිවරණ කොට්ඨාශවල ඉන්න මන්ත‍්‍රීවරුන්ටත් නොදන්වා මේවා බෙදුවා. ගම්වල ඉන්න මන්ත‍්‍රීවරු සහ ඒ අයගේ ආධාරකාරයින්ගේ ගෙවල්වල පුටු දෙසීය තුන්සීය තියෙනවා. ඒ වගේම හට්, ස්පීකර් සෙට් ඒ ගෙවල්වල ගොඩගහගෙන ඉන්නවා. පහුගිය ගිණුම් කාරක සභා රැස්වීම්වලදී හෙළිවුනා මේ බඩු බෙදපු තැනක් නෑ, බෙදපු කෙනෙක් හෝ ආයතනයක් නැහැ කියලත්. ඒ විදිහට පළාත් සභාව සතු විශාල මුදලක් මේ අමාත්‍යංශය යටතේ පසුගිය කාලේදී විනාශ කරලා දාලා තියෙනවා. මේ භාණ්ඩ බෙදාහැරීමේදී කිසිම සුදුසුකමක් හෝ නීත්‍යානුකූලබවක් නැති අයට තමයි ඒවා බෙදලාදීලා තියෙන්නේ. මම මේ ද්වේෂ සහගතව කතාකරනවා නෙවෙයි. නමුත් වයඹ පළාතේ ජනතාව මේවා දැනගන්න ඕනෑ. ඒ වගේම පහුගිය කාලේ රැකියා දුන්නා. අධ්‍යාපන අමාත්‍යංශය යටතේ සුලූ සේවක පත්වීම් අටසියයකට වැඩිය දුන්නා කියලා අපි අහලා තියෙනවා. ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන් අතර එම පත්වීම් බෙදිය යුතුයි කියලයි තීරණය කරලා තිබුණේ. නමුත් මන්ත‍්‍රීවරුන්ට සනීපාරක්ෂක හෝ කම්කරු පත්වීමේ දෙකක් දීලා එදා ඒ විෂය භාර ඇමැතිවරයා හත්සියයක්, අටසියයක් තනියෙන් ලබාගත්තා. මන්ත‍්‍රීවරයා තමන්ගේ ආසනයට පත්වීම් දෙකක් දෙනකොට ඇමැතිලා අනූවක්, සීයක් විතර ඒ ආසනයට එවනවා. මම එක උදාහරණයක් කියන්නම්. අපේ දිස්ත‍්‍රික්කයේ කෙලවරේම තියෙන ගිරිබාවේ කුඩා පාසල මුරකරන්නත් මුරකරුවෙක් යවන්නේ හෙට්ටිපොළින් නැත්නම් කුලියාපිටියෙන්. මේ ගම්වල ඉන්නවා ඒ රස්සාවට සුදුසුකම් තියෙන, අපිට වැඩකරපු අය. නමුත් ඒ අයට ඒ අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මේ ක‍්‍රමවේදය ඉතාම අසාධාරණයි. මේ වයඹ පළාතේ තියෙන මැතිවරණ කොට්ඨාශ 19 න් මැතිවරණ කොට්ඨාශ හතරක පහකට විතරයි වැඩි වරප‍්‍රසාද හිමිවෙන්නේ. ’’ නිලන්ත වේගවත් අයුරින් පැවසීය. අනතුරුව විපක්ෂනායක ශමල් සෙනරත්ද කීවේ මහජනයාගේ ඡන්දයෙන්ම පත් වී මහජනතාව වෙනුවෙන් තිබෙන මුදල් තමන්ගේ පුද්ගලික අවශ්‍යතාවයන් වෙනුවෙන් වියදම් කිරීම වැරදි ක‍්‍රියාවක් බැවින් අදාල මුදල් වැයකිරීම පිළිබදව වහාම සභාවට හෙළිකරන ලෙසය. මෛත‍්‍රී සහ මහින්ද යනුවෙන් දෙපිලක් නියෝජනය කරමින් සිටින නමුත් දයාසිරිට එරෙහි සටනේදී එක පිලකට එකතුවෙමින් නිලන්ත රාජපක්ෂ විසින් තනා දුන් පිටිය ඩී. බී. හේරත් විසින් අපූරුවට ප‍්‍රයෝජනයට ගත්තේය. ස්වේච්ඡා සංවිධානවලට භාණ්ඩ ලබාදීම සදහා දයාසිරි විසින් වැයකළ රුපියල් කෝටි 4 කට වැඩි මුදලින් සියයට පනස් දෙකක්ම වැය කර ඇත්තේ පඩුවස්නුවර මැතිවරණ කොට්ඨාශයට භාණ්ඩ ලබාදීමට බව ඩී. බී. එහිදී කීවේ ගිණුම් කාරක සභාවේ තොරතුරු සාක්ෂි ලෙසට යොදාගනිමිනි. සභාව තේ විවේකය සදහා කල්තබන අවස්ථාව වන විට සභාවෙන් පෙනෙන්නට තිබුණේ දයාසිරිගේ බෙදිල්ලට එරෙහිව සියලු වාදභේද දුරලමින් වයඹ පළාත් සභාවම එකතු වී ඇති බවකි.

සමන්ප‍්‍රිය, මහඇමැති කිරි තේ වලින් නාවයි.

තේ විවේකය සදහා සභාගැබෙන් නික්මුණු පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරුන් මන්ත‍්‍රී භෝජනාගාරය වෙත ඇදුණහ. සභාගැබේ වාද භේද අමතක කළ මැති ඇමැතිවරුන් තේ කෝප්පයක රස බලද්දී සයකන්, අටකන්, දොළොස්කන් මන්ත‍්‍රනද තැන තැන ඇති වී තිබිණි. මන්ත‍්‍රී මල්රාජ් පීරිස් විසින් මන්ත‍්‍රී කමල් හේරත් බයිට් එකට අල්ලාගෙන තිබුණේ ඉකුත් සතියේ පැවැති ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී මහ ඇමැති ධර්මසිරි විසින් කියා තිබූ කතාවක් පදනම් කරගනිමිනි. මහඇමැති ධර්මසිරිගේ සංකල්පයකට අනුව වෙසක් පොහොය නිමිත්තෙන් වයඹ පළාතේ විහාරස්ථානවල ඇති චෛත්‍යයන් ශ්වේත වර්ණ ගැන්වීමේ වැඩසටහන පසුගිය සතියේදී පළාත පුරා ක‍්‍රියාත්මක කෙරිණි. එම වැඩසටහන පිළිබදව ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී විස්තර කළ මහඇමැති ධර්මසිරි මන්ත‍්‍රීවරුන්ටද ඊට එක්වෙන ලෙසට ඇරයුම් කළේය. අදාල චෛත්‍ය වර්ණ ගැන්වීමට අවශ්‍ය කරන සුදු හුණු , හුණු නිෂ්පාදනය කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන මන්ත‍්‍රී කමල් හේරත්ගෙන් මිලදී ගන්නා බවද මහඇමැති ධර්මසිරි විසින් කණ්ඩායම් රැස්වීමේදී කියා තිබිණි. එදින ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමට මන්ත‍්‍රී කමල් හේරත් සහභාගි නොවීම නිසා ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන්ට ඉන් පසුව කමල් මුණගැසී තිබුණේ පළාත් සභා රැස්වීමේ තේ විවේකයේදීය. ඇමැති සන්ධ්‍ය රාජපක්ෂ, මන්ත‍්‍රී ටෙ‍්‍රවින් ප‍්‍රනාන්දු, අසංක නවරත්න ඇතුලු පිරිසක් පිරිවරාගත් මන්ත‍්‍රී මල්රාජ් කමල්ව බයිට් කිරීම පටන් ගත්තේය. ‘‘ආ, උඹ නම් ගොඩ නේද ? පළාතෙම තියෙන චෛත්‍යවලට හුණු දෙනවා කියන්නේ පොඩි ගාණක්ද ? මල්රාජ් කීය. මල්රාජ්ගේ කතාවේ අගමුල නොදත් කමල් උඩබිම බලන්නටවීම නිසා මන්ත‍්‍රීවරුන් කිහිපදෙනෙකු කණ්ඩායම් රැස්වීමේදී මහඇමැති කළ ප‍්‍රකාශය පිළිබද කමල්ට විස්තර කර දුන්හ. ‘‘පිස්සුද ? මගෙන් තවම කිසිදෙයක් ගත්තේ නැහැ. බඩු ඕනෑ කියලා කිව්වා විතරයි. ’’සිද්ධිය ඇසූ කමල් පෙරළා පැවසීය. මහඇමැති ධර්මසිරිද මේ කතාබහ අතරේම එතැනට පැමිණ තේ මේසයට වාඩි විය. මන්ත‍්‍රී සමන්ප‍්‍රිය හේරත් කිරි තේ කෝප්පයකුත් රැගෙන කතාබහ පැවැති ස්ථානයට පැමිණි අතර වාඩිවීමට පුටුවක් නොවූයෙන් මහඇමැති ධර්මසිරි පිටුපසින් සිටගෙනම තේ කෝප්පය බීමට ලකලෑස්ති විය. මන්ත‍්‍රී මල්රාජ් කමල් හේරත්ගේ හුණු හුටපටය ගැන මහ ඇමැති ධර්මසිරිගෙන් ප‍්‍රශ්න කළේ සමන්ප‍්‍රිය පළමු තේ උගුර කටට ගන්නවාත් සමගය. ධර්මසිරි ඊට දුන් පිළිතුරින් අවට සිටි පිරිස බක බක ගා සිනාසෙන්නට වූ අතර අවාසනාවට මෙන් ලොකුම හිනාව පිටවූයේ පළමු තේ උගුර බොමින් සිටි මන්ත‍්‍රී සමන්ප‍්‍රියගේ මුවිනි. සිනාවත් සමග ‘‘ප්රූෂ් ’’හඩ නගමින් මන්ත‍්‍රී සමන්ප‍්‍රියගේ කටේ තිබූ තේ උගුර වතුර මලක් මෙන් විසිවී යද්දී ඔහුට පහළින් අසුන්ගෙන සිටි ධර්මසිරි කිරි තේ වලින් නැහැවී ගියේය. ‘‘මොන …. !’’යැයි කියූ ධර්මසිරි රතු වූ මුහුණින් අසුනෙන් නැගී සිටියේය. ඒ වනවිටත් ධර්මසිරිගේ සුදෝ සුදු ජාතික ඇදුම මත බතික් රටාවක් මවන්නට සමන්ප‍්‍රියගේ තේ ප‍්‍රහාරය සමත් වී තිබිණි. එතෙක් පැවැති සිනාවද, හුණු ගෑම පිළිබද කතාබහද ඒ සමග අවසන් වූ ධර්මසිරි මන්ත‍්‍රී භෝජනාගාරයෙන් පිට වී ගියේය. නැවත සභාවට පැමිණීමට පෙර නිල නිවස වෙත සේවකයෙකු යවා අලුත් ඇදුම් කට්ටලයක් ගෙන්වාගන්නට ධර්මසිරි සිදු වී තිබිණි. ඇදුම් මාරුකිරීම සදහා සැලකිය යුතු වේලාවක් ගත වී තිබීම හේතුවෙන් ධර්මසිරි සභාවට පැමිණියේ සභාව ආරම්භ වී විනාඩි කිහිපයක ප‍්‍රමාදයකින් පසුවය.

ලොකුම පිට්ටනිය ඉල්ලන – දොඩම්ගස්ලන්දේ කට්ටිය

මහනුවරදී පැවැති පක්ෂ මැයි රැළියේදී ලැබූ සාර්ථකත්වය මත තවත් නොබෝ දිනකින් පැවැත්වීමට නියමිත ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැට හයවැනි සංවත්සර උළෙල ශ‍්‍රී ලංකාවේ ලොකුම පිට්ටනියේදී පවත්වන්නැයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ දොඩම්ගස්ලන්ද ආසනයේ ක‍්‍රියාකාරිහු පක්ෂ සභාපති, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටියේ ඉකුත් බ‍්‍රහස්පතින්දා කුරුණෑගලදී පැවැති මාධ්‍ය හමුවකදීය. ‘‘ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් පවත්වපු මේ මැයි රැළිය වෙනත් මැයි රැළි සමග සංසන්දනය කරන හැටිත් මම දැක්කා. අපිට මේක ගුවනින් රූපගත කරලා ජනතාවට පෙන්වන්න බැරිවීම අපෙන් වෙච්ච අඩුවක් විදිහට අපි දකිනවා. මොකද මේ ක‍්‍රීඩාංගණයේ විතරක් නෙවෙයි මුලු මහනුවර පුරාම ජනතාව සීසීකඩ විසිරිලා හිටියා. ප‍්‍රධාන පාරවල් දෙකකින් පැය හය හමාරක් තිස්සේ මිනිස්සු පිට්ටනියට ආවා. අපේ පක්ෂයේ හැට හය වැනි සංවත්සරය ළග ළගම එනවා. ඒ නිසා වෙලාවේ අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරන්න කැමැතියි. ලංකාවේ විශාලම පිට්ටනිය කොහේද තියෙන්නේ අන්න එතැන අපේ පක්ෂයේ හැට හය වැනි සංවත්සරය පවත්වන්න ලෑස්තිකරන්න කියලා මම අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. ’’ එහිදී අදහස් දැක් වූ කුරුණෑගල දිස්ත‍්‍රික් සංවිධායක ඒ. ඒ. ඒ. ලතීෆ් කීවේය.

උපුටාගැනීම – ජනයුගය පුවත්පත, 2017 මැයි 11 බ‍්‍රහස්පතින්දා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article