Thursday, April 25, 2024

නොදරුවන්ට සිගරැට් විකිණූ නාරම්මල මුදලාලිලා දොළහකට වැඩ වරදී.

Must read

DEB5BF Child blond boy smoking cigarette

බාලවයස්කරුවන්ට දුම්වැටි අලෙවි කළ බවට අධිකරණය හමුවේ වරද පිළිගත් ව්‍යාපාරිකයින් දොළොස් දෙනෙකුට එක් අයෙකුට රුපියල් එක්දහස් පන්සියයය බැගින් රුපියල් දහඅට දහසක දඩමුදලක් නියම කළ නාරම්මල මහේස්ත‍්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා මින් ඉදිරියට බාලවයස්කරුවන්ට දුම්වැටි අලෙවි කළහොත් සිර දෙඩුවම් නියම කරන බවට විත්තිකාර ව්‍යාපාරිකයින්ට තරයේ අවවාද කළේය.

මෙලෙස දඩ මුදල් නියම කෙරුණේ නාරම්මල, කිවුල්ගල්ල, දම්පෑලැස්ස සහ රම්මුතුගල ප‍්‍රදේශවල වෙළදසැල් පවත්වාගෙන යන ව්‍යාපාරිකයින් පිරිසකටය. 2007 අංක 11 දරණ දුම්කොළ සහ මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරි පනතේ ප‍්‍රතිපාදන අනුව නාරම්මල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් මෙම ව්‍යාපාරිකයින්ට එරෙහිව නඩු පවරා තිබිණි.

නාරම්මල සහ ඒ අවට ප‍්‍රදේශවල වෙළදසැල්වලින් බාලවයස්කරුවන් වෙත දුම්වැටි අලෙවිකිරීම බහුලව සිදුවන බවට ලැබී තිබූ පැමිණිලිවලට අනුව, වයස අවුරුදු 17 ක උපාය දූතයෙකු යොදාගනිමින් කළ වැටලීමකදී මෙම ව්‍යාපාරිකයින් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පැමිණිල්ල මෙහෙය වූ නාරම්මල මහජන සෞඛ්‍ය පරීක්ෂක මංජුල අමරවික‍්‍රම මහතා අධිකරණය හමුවේ පැවසීය. නාරම්මල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප‍්‍රදේශයට අයත් සියලු ව්‍යාපාරිකයින් මීට මාස 03 කට පමණ පෙර එම කාර්යාලය වෙත කැදවා දුම්කොළ සහ මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරි පනත සහ එහි සදහන් විධිවිධාන පිළිබද පූර්ණ වශයෙන් දැනුවත් කර තිබියදීත් විත්තිකාර ව්‍යාපාරිකයින් විසින් බාලවයස්කරුවන්ට දුම්වැටි අලෙවි කර ඇති බවද හෙතෙම පැවැසීය. යොවුන් වියේ පසුවන බාලවයස්කරුවෙකු එම වයස් සීමාව තුළදී දුම්බීම අත්හදා බැලුවහොත් හෙතෙම ජීවිත කාලය පුරාම දුම්බීමට ඇබ්බැහි වන බව විද්‍යාත්මකව හෙළි වී ඇති බවත්, දුම්කොළ නිෂ්පාදන සමාගම් විසින් තම නිෂ්පාදන ව්‍යාප්ත කරගැනීම සදහා බොහෝදුරට ඉලක්ක කරන්නේ මෙවැනි බාලවයස්කරුවන් බවද අමරවික‍්‍රම මහතා වැඩිදුරටත් පැවසීය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත‍්‍රාත්වරයා විත්තිකාර ව්‍යාපාරිකයින් පිරිසට තරයේ අවවාද කරමින් දඩ නියම කළේය. නාරම්මල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය වයි. එන්. හේමසිරි මහත්මියගේ උපදෙස් මත, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වන ඩී. එම්. ජී. පී. ගම්ලත් සහ නලින් ප‍්‍රියදර්ශණ යන මහත්වරුන්ගේ සහයද ඇතිව නාරම්මල මහජන සෞඛ්‍ය පරීක්ෂක මංජුල අමරවික‍්‍රම මහතා විසින් සැකකාර ව්‍යාපාරිකයින් පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළේය.

( ප්‍රවෘත්තිය සදහා යොදාගෙන ඇති ඉහත ඡායාරූපය මෙම සිදුවීමට අදාළ ඡායාරූපයක් නොවන අතර ප්‍රවෘත්තිය අර්ථවත් කිරීමේ අරමුණින් යොදාගෙන ඇති අන්තර්ජාල නිරූපනයක් පමණක් බව කරුණාවෙන් සලකන්න )

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article