Tuesday, April 23, 2024

අන්ධ පුද්ගලයින්ට පාර කියන්න මාවතගම පුතෙකු හැදූ ආලෝක සැරයටියට ජාත්‍යන්තර සම්මාන ත‍්‍රිත්වයක් !

Must read

light_stickමැලේසියාවේදී පැවැති අයිටෙක්ස් 2017 ජාත්‍යන්තර නව නිපැයුම් සහ තාක්ෂණ ප‍්‍රදර්ශණයේදී හොදම නිර්මාණකරුවා ඇතුලු සම්මාන ත‍්‍රිත්වයක් දිනාගනිමින් ශ‍්‍රී ලංකාවට මහත් කීර්තියක් අත්කරදීමට මාවතගම මධ්‍ය මහා විද්‍යාලයේ 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන එච්. එම්. තාරුක දිල්ෂාන් හේරත් සිසුවා සමත් වී තිබේ.

මැයි මස 11 වැනිදා සිට 13 වැනිදා දක්වා පැවැති අයිටෙක්ස් 2017 ජාත්‍යන්තර නව නිපැයුම් සහ තාක්ෂණ ප‍්‍රදර්ශණය සදහා රටවල් 52 කින් ඉදිරිපත් වූ තරගකරුවන් 235 ක් අභිබවමින් තාරුක දිල්ෂාන් හේරත් ශිෂ්‍යයා විසින් ඉදිරිපත් කළ ආලෝක සැරයටිය එම තරගයේදී අංශ තුනක් යටතේ සම්මානයට පාත‍්‍රවී තිබේ. අන්ධ පුද්ගලයින් විසින් දැනට භාවිතා කරන සුදු සැරයටිය වැඩිදියුණු කරමින්, ඔවුන් මහමග ගමන්කිරීමේදී වඩාත් ආරක්ෂාකාරී සහ පහසු ගමනක් ලබාදෙන විශේෂාංග ගණනාවක් ඇතුලත් කර මෙම ආලෝක සැරයටිය නිර්මාණය කිරීමට දිල්ෂාන් හේරත් සිසුවා සමත් වී තිබේ. තාරුක දිල්ෂාන් විසින් නිර්මාණය කළ ආලෝක සැරයටිය සදහා අයිටෙක්ස් 2017 ප‍්‍රදර්ශණයේදී කනිෂ්ඨ අංශයේ ප‍්‍රථම ස්ථානය, තරගාවලියේ ප‍්‍රථම ස්ථානය සහ හොදම නිර්මාණකරුවාට හිමි ත්‍යාගය යන සම්මාන ත‍්‍රිත්වයම හිමිවීම විශේෂත්වයකි.

මෙම විශේෂ සැරයටියෙන් රාත‍්‍රී කාලයේදී ආලෝකයක් නිකුත් කෙරන අතර එමගින් රාත‍්‍රියේදී ගමන්බිමන් යන අන්ධ පුද්ගලයෙකුට සිදුවිය හැකි රථවාහන හෝ වෙනත් අනතුරු අවම කෙරෙන බව තාරුක දිල්ෂාන් සිසුවා පැවසීය. අදාල සැරයටිය රැගෙන ගමන්කරන විට ඉදිරියෙන් යම් බාධකයක් ඇත්නම් අදාල බාධකයට අඩි පහක පමණ දුරක් තිබියදී පෙර එය භාවිතාකරන්නාගේ අතට වයිබ්‍රේඩ් තාක්ෂණය මගින් දැනුම්දීමක් සිදු කරයි. සැරයටියේ ඇති බොත්තමක් එබීමෙන් තමන් ගතකරමින් ඉන්නේ දවසේ දිවා කාලයද එසේත් නැත්නම් රාත‍්‍රී කාලයද යන්න පටිගත කළ හඩක් ඔස්සේ අන්ධ පුද්ගලයෙකුට දැනගැනීමේ පහසුකමද මෙම සැරයටියට ඇතුලත් කර තිබේ. එමෙන්ම තමන් විපතට පත්වූ අවස්ථාවක මෙම සැරයටියේ ආධාරයෙන් අවට සිටින අයගෙන් උදව් ඉල්ලාසිටීමේ හැකියාවද අන්ධ පුද්ගලයින් වෙත ලබා දී තිබේ. ගැටලුකාරී අවස්ථාවක සැරයටියේ ඇති බොත්තමක් තද කිරීමෙන් ‘‘ප්ලීස් හෙල්ප් මී ’’යනුවෙන් හඩක් එයින් නිකුත්වෙයි. තාරුක දිල්ෂාන් සිසුවා විසින් නිර්මාණය කර ඇති විශේෂිත පරිපථයක් මගින් මෙම සැරයටියේ සියලු කාර්යයන් ඉටුකෙරෙන අතර අදාල පරිපථයද සැරයටිය අභ්‍යන්තරයේ සවිකර තිබේ. එම පරිපථය යළි ආරෝපණය කළ හැකි කුඩා බැටරියකින් ක‍්‍රියාකරන අතර එය එක් වරක් ආරෝපණය කළ විටෙක පැය 17 ක කාලයක් සැරයටිය භාවිත කළ හැකි බවද තාරුක දිල්ෂාන් සිසුවා පැවසීය.light_stick_1 light_stick_2

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article